Wednesday 22 August 2018

විදුපත්ඉරුව
20.01.2016

පසුගිය අවුරුද්දේ එක්‌තරා වැඩමුළුවකට සහභාගී වීමට සිදු වූ අතර එහි දී ද කතාබහට ලක්‌ වූයේ ස්‌වාභාවික අනතුරුවලට මුහුණපාන මිනිසුන් ගේ ම අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ සංවිධානය විය යුතු ආකාරය පිළිබඳවයි. එය වඩා සාර්ථක විය යුතු ආකාරයත් බිම් මට්‌ටමට එවැනි ක්‍රියාමාර්ග ගෙන යා යුතු බවත් කෙලෙස එය සිදු කළ යුතු ද යන්නත් එහි දී සංවාදයට තුඩු දුන්නා. එහි දී එයට සහභාගී වූ එක්‌ පුද්ගලයකු ගේ අදහස වූයේ කිසිදු පොදු කර්තව්‍යයක්‌ ශ්‍රමදාන මාර්ගයෙන් සිදු නො විය යුතු බවත් ඒ සියල්ල රජය විසින් ඉටු කරනු ලැබිය යුතු බවත්. එසේ කළ යුත්තේ සියලු රට වැසියන් රජයට බදු ගෙවන බැවින් බවයි ඔහු හේතුව ලෙස පැවසුවේ. එය ප්‍රථම වතාවට එවැනි අදහසක්‌ මා කන වැකුණ අවස්‌ථාව වූ අතර එනිසා ම එය මා අතිශයින් ම විමතියකට ද කලකිරීමකට ද පත් කරන්නක්‌ ද වුණා. කෙසේ වෙතත් එලෙස අදහස්‌ ප්‍රකාශ කළ තැනැත්තා රාජ්‍ය නො වන සංවිධානයක සේවය කරන තැනැත්තකු බවයි පසුව හෙළි වූයේ. මෙවැනි අදහස්‌ සහ එම අදහස්‌ දරන තැනැත්තන් ඇත්තෙන් ම ඉතා භයානක ලෙස අප සමාජයට හානියක්‌ කරන බවයි මගේ අදහස. එපමණක්‌ නො වේ. ජාත්‍යන්තරය හා ඔවුන් නිරතුරු ගැටෙන බැවින් ජාත්‍යන්තරයට ගෙන යන්නේ ද ඔවුන් ගේ මෙවැනි විකෘත අදහස්‌. එය සැම විට ම රටෙහි පොදු දැක්‌ම නො වුවත් ජාත්‍යන්තරයේ එවැනි දුර්මතයන් පොදු මත ලෙස පිළිගැනෙන්නට එනිසා ම බොහෝ ප්‍රස්‌ථා සැලසෙනවා.

මා කුඩා කාලයේ ගමේ බොහෝ පොදු වැඩ ඉටු වූයේ ශ්‍රමදාන මාර්ගයෙන්. ගමේ වැඩිහිටියන් ගේ එකමුතුව එමගින් පිළිබිඹු වුණා. ගමට පාර කැපුණේත් ශ්‍රමදානයෙන්. පසුව පාරවල් පිරිසිදු කළේත් ශ්‍රමදානයෙන්. පාසලේ මෙන්ම පන්සලේ සිදු කළ බොහෝ කාර්යයන්, පින්කම් සිදු වූයේත් ශ්‍රම දායකත්වයෙන්. දෙන්නට පුරුදු පුහුණු වූ ශ්‍රී ලාංකිකයන් සිය ශ්‍රමයත් ඒ අයුරින් පොදු වැඩ සදහා දෙන්නට පුරුදු වී සිටියා. එපමණක්‌ නො වේ. පෞද්ගලික වැඩ සිදු වුණේත් මේ ආකාරයෙන් මයි. ගොයම් කයිය වැනි කුඹුරු කර්මාන්තයේ විවිධ අවස්‌ථා ගමේ මිනිසුන් ගේ දායකත්වයෙන් තමයි සිදු වුණේ. එනිසා වැඩි අපහසුවකින් තොර ව ගමේ බොහෝ කාර්යයන් ඉටු කරගැනීමට හැකි වුණා. සුළු පරිමාණයේ පොදු වැඩ කටයුතු, පවතින රජයෙන් සිදු වන තුරු බලා සිටීමක්‌ එකල දක්‌නට තිබුණේ නැහැ. මහා පරිමාණයේ කටයුතුවලට පමණයි රජයේ අනුග්‍රහය පැතුවේ. ශ්‍රමදානය අප නො සිතන ලෙස ගමෙහි එකමුතුව වගේ ම අයකු ගේ අමනාපය ද අමතක කරවන ඉතා කදිම මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක සන්දර්භයක්‌ බව වර්තමානයේ බොහෝ දෙනකුට නො වැටහීම ඉතා කණගාටුවට කරුණක්‌.

ගමේ පොදු ප්‍රශ්නවලට පිළිතුරු, එකමුතු වූ ගමේ සමාජය පොදුව එක්‌ ව සෙවූ අතර එනිසා ඉතා සාර්ථකව ගැටලු මැඩපවත්වන්නට ඔවුනට හැකි වුණා. ගමේ වැඩිහිටියන් තම තමන් ගේ ජීවිත අත්දැකීම් තුළින් අනාගතය දුටු අතර බොහෝ කාර්යවල දී පෙරමුණ ගත්තා. පොදු වැඩවල දී ජවය සැපයුවේ ගමේ තරුණ පිරිසයි. ඔවුන් ගේ සහභාගිත්වයේ අරමුණ ජවය සැපයීම ම පමණක්‌ නො වෙයි. අනාගත නායකත්වය සදහා ඔවුන් වැඩිහිටියන් ඇසුරෙන් පුරුදු පුහුණු වුණේත් මෙවැනි පොදු වැඩවලට සහභාගී වීමෙන්. එනිසා අග්‍රගණ්‍ය වූ ප්‍රත්‍යක්‌ෂ වූ අතීත දැනුම අනාගත පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට අපේ මුතුන් මිත්තන්ට ආයාසයකින් තොර ව හැකි වුණා. ජීවිත අත්දැකීම් ලබාගන්නටත්, අවවාද අනුශාසනා ලබන්නටත් කුඩා දරුවන්ට මෙවැනි ස්‌ථාන තෝතැන්නක්‌ වුණා. "ශ්‍රමදාන" සංකල්පය පැරැණි ඉතා වටිනා සංකල්පයක්‌ වන්නේ සියල්ලන් ගේ ම අදහස්‌ සදහා අවස්‌ථාවක්‌ මෙන්ම වඩාත් සුදුසු ම පිළිතුරට, විකල්පයට, ක්‍රියාවලියට එමගින් ඉඩ ලැබෙන බැවින්. වඩාත් උචිත සංකල්ප බිහි වන්නට අගනා සාරභූමියක්‌ එමගින් බිහි වුණා.

වර්තමානයේ විද්‍යා ලෝකය තුළත් විවිධ විද්‍යාත්මක ගැටලුවලට එක්‌ ව පිළිතුරු සෙවීම වඩාත් ප්‍රචලිත වෙමින් පවතින බවයි පෙනෙන්නේ. විද්‍යා පර්යේෂණයක්‌ කළත් එයට ද බහු විෂයාත්මක ප්‍රවේශයක්‌ ලබා දීම සදහා බොහෝ විද්‍යාඥයින් උත්සුක වන බවයි පෙනෙන්නේ. බහු විෂයාත්මක ප්‍රවේශය විද්‍යාත්මක ගැටලු විසඳීමේ දී ඉතා සාර්ථක වී තිබෙනවා. සමහර ක්‌ෂේත්‍රවල දී බහු විෂයාත්මක ප්‍රවේශය අත්‍යවශ්‍ය වනවා. ඉතා සරල උදාහරණයක්‌ වන්නේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයි. තවත් එවැනි ක්‌ෂේත්‍රයක්‌ වන්නේ අධිකරණ විද්‍යාව. එහි දී බොහෝ විද්‍යාත්මක විෂයන්වල සහයෝගය අත්‍යවශ්‍ය වනවා. බහු විෂයාත්මක ප්‍රවේශය මගින් පටු අදහස්‌ ඉතා පුළුල් ලෙස විග්‍රහ කරවීමට අවස්‌ථාව එළඹෙන අතර එමගින් වඩාත් සුදුසු සහ නිවැරැදි තීරණ සදහා අවස්‌ථාව උදා වීම එහි ඇති විශේෂ වාසියක්‌.

මේ සැම අවස්‌ථාවක දී ම සැම ගේ අදහස්‌ උදහස්‌ නිති සාකච්ඡාවට බඳුන් වනවා. අභියෝගයට ලක්‌ වනවා. එනිසා සාර්ථක බව සැම විට ම ඉතා ළං වනවා. බහු විෂයාත්මක ප්‍රවේශයක දී එකිනෙකා ගේ අදහස්‌ ඉතා වැදගත් වන්නේ එබැවිනුයි. වඩාත් සුදුසු අදහස්‌ සහ තීරණ ගැනීම සදහා තම අදහස්‌ ප්‍රකාශ කිරීම ඉතා වැදගත්. විද්‍යාත්මක සාකච්ඡාවල දී අප බොහෝ දෙනකු තම අදහස්‌ ප්‍රකාශ නො කරන බවයි පෙනෙන්නේ. එය රටේ සංවර්ධන ප්‍රගමනයට කරන අසාධාරණයක්‌ බවයි හැඟෙන්නේ. තම ජීවිත කාලය තුළ දී අයකුට බොහෝ ඉතා වටිනා අදහස්‌ පහළ විය හැකියි. නමුත් එම අදහස්‌ ක්‍රියාත්මක කිරීම අයකු ගේ ජීවිත කාලයේ දී කෙසේ වත් සාර්ථක කරගැනීමට තනි ව හැකි වන්නේ නැති වන්නට පිළිවන්. අදහස්‌ ප්‍රකාශනය, වටිනා අදහස්‌ ක්‍රියාත්මක කළ හැකි අයකුට හෝ කණ්‌ඩායමකට හෝ දක්‌වන සහයෝගයක්‌. අප සමග ම වටිනා සංකල්ප වැළලී යැමට ඉඩ නො දිය යුතුයි. සංකල්ප අප ගේ වුවත් ඒවා ක්‍රියාත්මක කළ හැකි අයකු හෝ කණ්‌ඩායමක්‌ හෝ වෙයි නම් වැදගත් වන්නේ එයයි. කවුරු කෙසේ ක්‍රියාත්මක කළත් රටට හෝ ලෝකයට හෝ වැදගත් වන්නේ නම් එයයි අවශ්‍ය කරන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 17 August 2018

විදු පත්ඉරුව
13.01.2016

කාලය ඉතා ම වේගයෙන් ගලා යනවා. දින සති මාස ගත වී වසර අවසන් වන්නේ අපට හිතාගන්නටත් බැරි තරමේ වේගයකින්. වසර අවසානයේ දී ආපසු හරි බැලූ විට ඔබට සිතන්නේ කුමක්‌ ද? ඔබ එම කාලය ප්‍රයෝජනවත් ලෙස භාවිත කළේ ද යන්න ඔබට එවිට වැටහෙනු ඇත. නිසි කළමනාකරණය තුළ අයකුට කාලය කෙසේ වත් ගැටලුවක්‌ නො වනු ඇත. එබඳු අය කාලය ඩැහැගන්නේ කාලයටත් සිතාගන්නට නොහැකි ලෙසිනි. පැයක වැඩ කළමනාකරණය කරගන්නට හැකි තැනැත්තා ඉතා පහසුවෙන් දිනෙක වැඩ ද, සතියේ වැඩ ද, මාසයේ වැඩ ද ඉතා කාර්යක්‌ෂමව ඉටු කරගනී. මෙහි දී වඩා වැදගත් වන්නේ තමාට සිදු කිරීමට ඇත්තා වූ කාර්යය කුමක්‌ ද යන්න නිසි පරිදි වටහාගැනීමයි. ඉතා ඉක්‌මනින් ඉටු කළ යුතු අතවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව දිය යුතු ය. ප්‍රමුඛතාව තමාට පැටවෙන වගකීම මත ද තීරණය කළ යුතු වේ. කාර්ය ප්‍රමුඛ කාලසටහනක්‌ සකස්‌ කරගැනීම, ඉතා පහසුවෙන් තමා කළ යුත්තේ කුමක්‌ ද යන්න තීරණය කළ හැකි ක්‍රමවේදයකි. ඒ අතර අයකුට අවශ්‍ය නම් දිනපොතක්‌ භාවිත කළ හැකි ය. නිසි ලෙස කාර්ය කළමනාකරණය කරගන්නා තැනැත්තා අනෙක්‌ සැමට ම ඉදිරියෙන් බව අප සිතට ගත යුතු ය. එපමණක්‌ නො වේ. පරිණත නයකත්වයේ එක්‌ අංගයක්‌ වන්නේ කලට වෙලාවට තීන්දු තීරණ ගැනීමයි.

නිසි කල නිසි දෙයට ප්‍රමුඛතාව දී අදාළ කාර්යය ඉටු කිරීමට බොහෝ දෙනා උත්සුක නො වන බව පැහැදිලි වේ. එහි භයානක තත්ත්වය නම් එවැනි පුද්ගලයන් ජාතික තලයේ වැඩකටයුතුවල දී ගන්නා තීන්දු තීරණවල දී ඇති වන දුර්වලතාවන් ය. දුරදර්ශී නො වන ඔවුන් ගේ පරිපාලනය එනිසා බොහෝ කාර්යයන් ප්‍රමාද කරන අතර අවුල් සහගත තත්ත්වයක්‌ ඇති කරයි. මේ සදහා අප රට තුළින් ම නොයෙකුත් උදාහරණ ගෙනහැර පෑ හැකි ය. එවැනි එක්‌ උදාහරණයක්‌ වන්නේ කොළඹ එකතු වන කුණු කසළ බැහැර කිරීම සදහා ක්‍රමවත් ප්‍රායෝගික ක්‍රමවේදයක්‌ ස්‌ථාපිත කරගැනීමට මෙතෙක්‌ නොහැකි වීමයි. මේ ක්‌ෂේත්‍රයේ බොහෝ ප්‍රවීන විද්‍යාඥයන් කොතරම් විසදුම් යෝජනා කළ ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට නොහැකි වී ඇත. දශක ගණනාවක්‌ තිස්‌සේ මේ ප්‍රශ්නයෙන් අපි පිඩා විඳිමු. කුණුකසළ යනු ධන සම්පතක්‌ බව බොහෝ දෙනා පවසති. ඇත්තෙන් ම එය එසේ ම ය. බොහෝ දේවල් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර තවත් බොහෝ දේ ඉතා පහසුවෙන් දිරන ද්‍රව්‍ය වේ. ශක්‌ති අවශ්‍යතාව ඉතා ඉහළින් ඇති අප රටට ඉතා පහසුවෙන් මේ ශක්‌ති අවශ්‍යතාව තරමක්‌ දුරට හෝ මෙමගින් සපුරාගත හැකි ය. කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක්‌ ස්‌ථාපිත නො වීම තුළ ලෙඩ රෝග පැතිරීම ඇතුළු අනේකවිධ ගැටලු මතු වෙයි. නිසි කල නිසි පරිදි මේ ගැටලුව නිරාකරණය කළේ නම් මේ වන විට ගැටලු රැසකට විසඳුම් ලැබී බොහෝ වාසි අත් වී හමාර ය.

තවත් මෙවැනි ම නිසි කල පිළිතුරු නො දුන් දැවෙන ගැටලුවක්‌ වන්නේ සංස්‌කෘතික උරුමයන් සංරක්‌ෂණයයි. දශක පහක හයක කාලයක්‌ තිස්‌සේ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඒ සදහා ස්‌ථාපිත කිරීමට තැත් කරන අතර නොසුදුසු පුද්ගලයන් ගෙන් ද දුර්වල ක්‍රමවේදයන් ගෙන් ද එම ක්‌ෂේත්‍රය සමන්විත වීම නිසා අද බොහෝ ගැටලු රැසකට අප මුහුණ පාන බව පෙනී යන කරුණකි. ලෝක උරුමයක්‌ වූ සීගිරිය ශ්‍රී ලංකාවට ගෙන එන ආර්ථික වාසිය සුළුපටු නො වේ. විදේශික සංචාරකයන් සීගිරියට ඇද බැඳ තබාගන්නේ කරුණු දෙකක්‌ හේතුවෙනි. එකක්‌ වන්නේ සීගිරි චිත්‍ර වන අතර අනෙක වන්නේ කැටපත් පවුර ය. මේ දෙක ම අද වන විට නිසි අධීක්‌ෂණයකින් සහ නිසි සංරක්‌ෂණයකින් තොර වීම නිසා ඉතා ශීඝ්‍රව විනාශ වෙමින් පවතී. මෙවැනි සංස්‌කෘතික උරුමයන් ආරක්‌ෂා කරගැනීමට සුදුසු විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ සහ පර්යේෂණ සදහා ප්‍රස්‌තාව අහිමි වී ඇත්තේ ඒ සදහා සුදුසු ප්‍රවීනයන් මේ ක්‌ෂේත්‍රයට පත් නො වීම හේතුවෙන් පමණක්‌ ම නො වේ. ක්‌ෂේත්‍රයේ ඉන්නා ප්‍රවීනයන් ගෙන් අදාළ කාර්යය ඉටු කරගැනීමට හැකි නායකත්වයක්‌ නොමැති වීම ද ඊට හේතු වී ඇත. විද්‍යාත්මක සංරක්‌ෂණ ක්‍රමවේද ස්‌ථාපිත කිරීම සහ ඒ සදහා සුදුසු පුද්ගලයන් ක්‌ෂේත්‍රයේ නො වීම සදහා හේතු වී ඇත්තේ පෞද්ගලික වුවමනා එපාකම් මෙන්ම දේශපාලනික හේතූන් බව අපි අත්දැකීමෙන් ම දනිමු. සුදුසු විද්‍යාඥයන් මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද නිසි කල ස්‌ථාපිත කිරීම සදහා අදාළ ආයතනික නායකත්වය අපොහොසත් වීම අතිශය කණගාටුවට කරුණකි. අවසානයේ වන්නේ රටට සම්පතක්‌ වන බොහෝ ආර්ථික වාසි ගෙන දෙන මෙවැනි උරුමයන් අප ඇස්‌ ඉදිරියේ ම විනාශ වී යැමයි. රටක වටිනා ම සම්පතක්‌ මෙලෙස විනාශ වන්නේ නිසි කල නිසි තීන්දු තීරණ ගැනීමට නොහැකි වීම නිසා බව නැවතත් සඳහන් කළ යුතු ව ඇත.

ඔබ විද්‍යා විෂය හදාරන්නකු නම් විද්‍යාගාරය තුළ විවිධ පරීක්‌ෂණ සිදු කර තිබෙනු ඇත. බොහෝ පරීක්‌ෂණ යම් කාල පරාසයක්‌ තුළ සිදු කළ යුතු ඒවා මෙන්ම එක්‌ එක්‌ කාල අන්තරවල දී යම් වෙනස්‌කම් සිදු කිරීමට නියමිත ව ඇති බව ඔබට වැටහෙනු ඇත. ඒවා සිදු නො කළේ නම් ඔබට නිසි ප්‍රතිපල අත් නො වන බව විටෙක ඔබ අත්දැකීමෙන්ම දැනගනී. එය ම තම ජීවිතයට පාඩමක්‌ කරගන්නේ කී දෙනකු ද යන්න ජීවිතයේ ජයග්‍රහණ ළං කරගත්තවුන් දෙස බැලීමෙන් ම පෙනී යයි. සමස්‌තය තමන් ලබන අHdපනය ප්‍රායෝගිකව යොදාගන්නේ ඉතා අඩුවෙන් බව කිව යුතු ය. කළමනාකරණය කරන ලද කාලය තුළ ජීවත් වන්නන් ජය දද නංවන බව නොරහසකි. එය රටක්‌ ලෙස ද ගත් කල අත්‍යන්ත සත්‍යයකි. එසේ හෙයින් ඒ සදහා මනා ශික්‌ෂණයක්‌ සහිත අනාගත පරපුරක්‌ බිහි කරගැනීමට අප සැවොම උත්සුක විය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 10 August 2018

විදුපත් ඉරුව
06.01.2016


විදුපත් ඉරුව ලියන්න පටන් අරන් දැන් හරියටම අවුරුද්දක්‌ වෙනවා. මේ වෙන කොට ලිපි හතළිස්‌ නවයක්‌ පමණ ලියා අවසන්. මේ ලියවෙන්නේ එතකොට පනස්‌ වැනි ලිපිය. විවිධ මාතෘකා ඔස්‌සේ මා උකහාගත් දැනුම ඔබ වෙතට මේ අයුරින් හෝ ගෙන ඒමට ලැබීම සතුටක්‌. ඊටත් වඩා මා සතුටු වන්නේ මෙලෙස ලබා දෙන දැනුමෙන් කිසියම් කෙනෙකු ප්‍රයෝජනයක්‌ ගන්නවා නම්. මා සිතනවා විශේෂයෙන් ම විදුසර කියවන පුතාලා දූලා තම අධ්‍යාපන ගමන සාර්ථක කරගැනීමට විදුසර සඟරාව අත්වැලක්‌ කරගෙන ඇතැයි කියා.

මගේ විද්‍යා දැනුම පෝෂණය කරන්නට මුල සිට ම ඉවහල් වූයේ විදුසර විද්‍යා සඟරාවයි. එය මා නොසඟවා පැවසිය යුතු සත්‍යයක්‌. එය විද්‍යාවේ විවිධ මාතෘකා ඔස්‌සේ විවිධ විෂයන් ඔස්‌සේ ගෙන ආ තොරතුරු ඇත්තෙන් ම මා නිරන්තරයෙන් ම විස්‌මයට පත් කළා පමණක්‌ නො ව කුතුහලයට ද පත් කළා. එනිසා විද්‍යාව කෙරෙහි නිරන්තරයෙන් ම මා ඇද බැඳ තබාගත්තේ විදුසර බව කියන්න පුළුවන්. අද තරම් තොරතුරු සන්නිවේදනය නොදියුණු ඒ යුගයේ පත්තරවලට ඉතා ඉහළ තැනක්‌ තිබුණා. විදුසර ගෙන ආවේ දැනුම පමණක්‌ නො වේ. විශ්ව විද්‍යාව අතැඹුලක්‌ කර අප වෙතට ගෙන ආවේත් ගෙන එන්නේත් විදුසරයි.

විද්‍යාව කවදා කෙසේ ආරම්භ වුවත් අප නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ නම් එහි තාර්කික ස්‌වරූපයට අභියෝග කළ නොහැකියි. එනිසා යමක්‌ ඉගෙනගන්නේ නම් නියමාකාරයෙන් ම ඉගෙනගැනීම අතාර්කික, අසංවර සහ නිෂ්ඵල ප්‍රතිඵල අත් කර දෙන්නේ නැහැ. නිර්මාණාත්මක දැනුම බිහි කරන්නන් ගේ හිගයට මූලික හේතු වන්නේ නිසි පදනමක්‌ නොමැති වීමයි. වර්තමානයේ අධ්‍යාපන රටාව තුළ ඇත්තේ සිරගත මනස්‌ සහිත රොබෝ යන්ත්‍ර බිහි කරන යාන්ත්‍රණයක්‌ මිස බුද්ධිය මෙහෙයවා නිර්මාණශීලීව විශිෂ්ට අනාගතයක්‌ නිර්මාණය කළ හැකි පිරිසක්‌ බිහි කරන යාන්ත්‍රණයක්‌ නො වන බව වටහාගැනීම අපහසු නැහැ. අතරින් පතර විශිෂ්ට නිර්මාණශීලීන් බිහි වුවත් උසස්‌ නිර්මාණ අගය කළ හැකි බහුතරයක්‌ බිහි නො වීම, විශිෂ්ටයන් අගය නො කිරීමට ද හේතුවක්‌ වී තිබෙනවා.

බොහොමයක්‌ අධ්‍යාපන ආයතනවල ඉගෙන ගැනීමේ දී අනුගමනය කළ යුතු කරුණු කාරණා නිසි ලෙස භාවිත නො වන බව ද, දරුවන්ට අවබෝධ කර නො දෙන බව ද රහසක්‌ නො වේ. එයට හේතු ගණනාවක්‌ ම ඇති මුත් ප්‍රධාන ම කරුණ වන්නේ එවැනි දේ පිළිබඳව ඔවුන් නො දැන සිටීමයි. නොසැලකිලිමත් බව ද ඒ අතර වන බව අමතක නො කළ යුතුයි. දරුවන් ගේ සෞඛ්‍යය මෙහි දී තීරණාත්මක වන අතර සන්සුන් මනසක්‌ ඇති කරගැනීමේ දී නිසි පෝෂණය මනාව ලැබිය යුතුයි. මොළයට නිසි ඔක්‌සිජන් සැපයුමක්‌ ලැබීම එහි ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යැමට විශාල උපකාරයක්‌ බව අමතක නො කළ යුතුයි. මේ සදහා වැදගත් වන්නේ රුධිරයේ ඔක්‌සිජන් ප්‍රවාහනය කරන හිමොග්ලොබින් මට්‌ටම ප්‍රශස්‌තව පවත්වාගෙන යැමයි. යකඩ ඌනතාව රුධිරයේ හිමොග්ලොබින් මට්‌ටම පහත හෙළීමට හේතු වන අතර යකඩ බහුල ආහාර නිතර කෑම වේලට එක්‌ ගැනීමෙන් එය මගහරවාගත හැකියි. අඩු රුධිර පීඩනයට ද සෙම වැනි තත්ත්ව සඳහා ද අඩු ඔක්‌සිජන් සැපයුම හේතු වන බවයි පැවසෙන්නේ.

නොසන්සුන්තාව, එක තැනක සිට වැඩකට සිත යොමු කිරීමට නොහැකි වීම, කේන්ති යැම වැනි ලක්‌ෂණ මොළයට අඩු ඔක්‌සිජන් මට්‌ටමක්‌ නො ලැබීමේ තවත් ප්‍රතිවිපාක වනවා. එනිසා සංකීර්ණ ගැටලු විසඳීමට ඉදිරිපත් නො වීම, ප්‍රශ්නවලින් පැන යැම මෙන්ම පාඩම් කිරීමේ දී සින්දු අසමින් පාඩම් කිරීම වැනි තත්ත්ව ද වැඩිදුරටත් ඇති විය හැකියි. නිසි පෝෂණය සමග ක්‍රීඩා කිරීම ව්‍යායාම කිරීම වැනි දේ මගින් ද ප්‍රාණයාම ව්‍යායාම කිරීම මගින් ද එම තත්ත්වයන් මගහරවාගත හැකි වනවා.

ඒ වගේ ම කුඩා දරුවන් වසර 12 පමණ වන තෙක්‌ ඉතා හොඳින් රැක බලා ගත යුතුයි. මේ කාලය තුළ දී කරන කියන බොහෝ දේ ඔවුන් ගේ යටි හිතට ඇතුළු වන අතර ඒවා වැඩිහිටියකු වීමෙන් පසු නැවත උඩු හිතට විත් ක්‍රියා කරන බව පර්යේෂණාත්මකව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එනිසා ළමයකු අධෛර්යවත් කරන වචන හෝ ක්‍රියාකාරකම් ළමයකුට අත්විඳීමට සැලැස්‌විය යුතු නැහැ. එවැනි දේ මගින් සිතෙහි ඇති වන කැළැල් සමහර විටෙක සදාකාලික වන අතර එය ළමයා ගේ අනාගතය සදා අඳුරු කළ හැකියි. සෞම්‍ය වචන භාවිතය මෙහි දී ඉතා වැදගත් වන අතර නවීන ළමා මානසික විද්‍යාවේ පමණක්‌ නො ව අපේ අතීත දේශීය දැනුමේ ද මේ සම්බන්ධව බොහෝ කරුණු කාරණා සඳහන් වී ඇති බව අප අමතක නො කළ යුතුයි.

ඊළඟට අමතක නො කළ යුතු වැදගත් ම කරුණ වන්නේ සැම දරුවකු ම එක ම ලෙස දක්‌ෂයන් නො වන බවයි. ඔවුන් ගේ දක්‌ෂතා මතු වන්නේ ජීවිතයේ එක්‌තරා කාලයක්‌ ගිය පසුවයි. මේ සම්බන්ධව හොඳ ම උදාහරණය වන්නේ අයින්ස්‌ටයින් නමැති විද්‍යාඥයායි. ඔහු කුඩා කල ඉගෙනීමට දුර්වල ශිෂ්‍යයකු බව සදහන්. එහෙත් පසුකාලීනව ඔහු ලෝ ප්‍රකට විද්‍යාඥයකු බවට පත් වුණා. එනිසා දරුවන් ගේ පසුගාමී බව, අසනීප තත්ත්වයක්‌ නො වේ නම් කලබල විය යුතු දෙයක්‌ නො වන අතර, සැම විට ම අවධානයෙන් සිටීම තමයි වැදගත් වන්නේ.

දරුවන් ගේ අධ්‍යාපනයට සැම අතින් ම උචිත පරිසරයක්‌ කවදා කොතැන කෙලෙසක මේ රටේ ගොඩනැෙගන්නේ ද යන්න සාකච්ඡා කිරීම පවා විහිළුවක්‌ වන කාලයක කුඩා දරුවන් ගේ මනසේ අවම වශෙයන් හෝ විශිෂ්ටයන් බිහි කළ හැකි පරිසරයක්‌ ගොඩනැගීමේ සංකල්පීය බීජයක්‌ හෝ තැන්පත් කිරීම අප ගේ යුතුකමක්‌ වන අතර ඉදිරි පරම්පරා කිහිපයක්‌ හෝ ගත වී මේ අරමුණ සතුටුදායක මට්‌ටමකින් සාක්‌ෂාත් කරගත හැකි වේ යෑයි අපි පතමු.

විදුපත් ඉරුව ගැන ඔබ ගේ අදහස්‌ උදහස්‌ දැනගැනීමට කැමැතියි. එම අදහස්‌ පහත දුරකථන අංකයට හෝ විද්යුත් තැපෑලට හෝ යොමු කරන්න.

0718433319, jpathmak@gmail.com

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...