Friday 21 September 2018

"ස්‌වාභාවික විපත් නිසා මිය යන පිරිස එන්න එන්න ම වැඩි වන බවක්‌ පෙනෙන්නට තිබේ. ගංවතුර, නාය යැම්, භූ කම්පා ආදි බොහොමයක්‌ ස්‌වාභාවික විපත් ඇති වනුයේ භූ විද්‍යාත්මක සංසිද්ධීන් මුල් කරගනිමින් ය. දේශීය ව මෑතකාලීනව ගංවතුරෙන් හා නාය යැමෙන් ජනතාවට වූ පීඩා සුලබව අසන්නට දකින්නට ලැබිණ. කඩිනමින් ආහාරපාන, ආරක්‌ෂිත ස්‌ථාන ආදිය සපයමින් විපතට පත් වූවන්ට, අවතැන් වූවන්ට සහන සලසනු මෙවන් අවස්‌ථාවන්හි දී කෙතරම් දක්‌නට ලැබුණ ද පීඩිතයන්ගේ මානසික සංවර්ධනය උදෙසා යමක්‌ සිදු කරනු දක්‌නට නො ලැබෙන තරම් ය. කායික පීඩනයට වඩා මානසික පීඩනය බෙහෙවින් භයානක වන අතර ම අයකු මානසික ව ව්‍යාකූල වූ විට නො කරන දෙයක්‌ නොමැති තරම් ය.

සමාජ භූ විද්‍යාව නම් වූ සංකල්පය කරළියට පැමිණෙන්නේ මෙවන් වූ පසුබිමක ය."


                                                           -----------සිනේකා වීරක්‌කොඩි

http://vidusara.com/2018/09/19/feature3.html

Friday 14 September 2018

විදු පත් ඉරුව
02.03.2018.
කෙනකුට "උතුර දකුණ" මාරු වන්නේ හොඳකට නම් නො වේ. එකවර මුළු ලෝකයට ම උතුර දකුණ මාරු වුව හොත් කුමක්‌ සිදු වේ ද? ඇත්තට ම ඔබ ඒ ගැන කුමක්‌ සිතන්නේ ද? ඒ ගැන ඔබ කුමක්‌ සිතුවත් එකවර මුළු ලෝකයට ම උතුර දකුණු මාරු විය හැකි වීම සත්‍යයක්‌ බව නම් මේ වන විට විද්‍යාඥයන් සොයාගෙන අවසන්. ඇත්තට ම මෙහි දී සදහන් කෙරෙන "උතුර දකුණ" වන්නේ චුම්බක උතුර දකුණ මිස වෙන කිසිවක්‌ නො වේ.

පවතින චුම්බක උතුර, දකුණ වී, පවතින චුම්බක දකුණ, උතුර වීම භූ විද්‍යා ලෝකය තුළ දී නම් අරුමයක්‌ නො වේ. එයට හේතුව වන්නේ අතීතයේ බොහෝ වාර ගණනක්‌ මේ පැති මාරුව සිදු වී ඇති බව වාර්තා වීමයි. භූ චුම්බක ක්‌ෂේත්‍රය මෙලෙස කණපිට පෙරළෙන්නේ මන්දැයි යන්න දැනගැනීමේ කුතුහලයක්‌ ඔබට මේ වන විටත් ඇති වී ඇති බව නිසැක ය. ඔබට මෙයට පෙර වතාවක දී පෘථිවියේ හරස්‌ කඩ කෙබඳු දැයි මා පහදා දී ඇත. රවුම් අලි පෙර ගෙඩියක අභ්‍යන්තර කොටස්‌ පෘථිවියේ ප්‍රධාන ස්‌ථරවලට බොහෝ සමාන වේ. පිටතින් ම ඇත්තේ කබොල වන අතර ඇතුළතින් ම ඇත්තේ හරයයි. ඒ දෙක අතර ප්‍රාවරණය පිහිටයි. හරය ඉතා බර ලෝහවලින් සමන්විත වන අතර යකඩ සහ නිකල් නම් ලෝහවලින් එය සමන්විත වන බව සොයාගෙන ඇත. හරයේ මුල් ප්‍රදේශය අර්ධ ඝන තත්ත්වයේ පවතින අතර අභ්‍යන්තරයට යත් ම ඝන බවට පත් වේ. එනිසා හරය යම් දුරකට ගතික බවකින් යුක්‌ත වේ.

ඔබ විද්‍යාගාරයේ දී විද්යුත් චුම්බක ක්‌ෂේත්‍රයක්‌ ඇති කරගත් ආකාරය සිහියට නගාගන්න. තඹ කම්බි, යකඩ කූරක්‌ වටා ඔතා දෙකෙළවරට විද්යුත් ධාරාවක්‌ ලබා දීමෙන් චුම්බක ක්‌ෂේත්‍රයක්‌ ඇති වන බව ද එය තඹ කම්බිය දෙසට ඇදී යන ඇණ හේතුවෙන් තහවුරු වන බව ද ඔබ අත්දැක ඇත. හරය අභ්‍යන්තරයේ ද මෙවැනි ම ක්‍රියාවලියක්‌ සිදු වේ. ගතික හරයේ පවතින ද්‍රව යකඩ "ඩයිනමෝවක්‌" කැරකෙන ලෙස සංසරණය වීම නිසා විද්යුත් ධාරාවන් හටගන්නා අතර, එනිසා ම විද්යුත් චුම්බක ක්‌ෂේත්‍රයක්‌ හටගනී. අර්ධ ඝන ද්‍රව්‍යයේ සංසරණ රටාව වෙනස්‌ වීම උතුර දකුණ මාරු වීමට ප්‍රධාන ම හේතුව වේ.

භූ චුම්බක ප්‍රතිවර්තනය පිළිබඳව මුල්වරට අධ්‍යයන කටයුතු සිදු කර ඇත්තේ විසිවැනි ශතවර්ෂයේ මුල් භාගයේ වන අතර එහි දී ඔවුන් ආග්නේය පාෂාණ තැන්පත් වී ඇති රටාවෙහි ප්‍රතිවිරුද්ධතාවක්‌ නිරීක්‌ෂණය කර ඇත. විශේෂයෙන් ම සාගර පතුල විස්‌තාරණය වන ප්‍රදේශවල භූ අභ්‍යන්තරයෙන් ගෙන එන ද්‍රව මැග්මා ඝනීභවනය වී තැන්පත් වන්නේ තත්කාලයේ පවතින භු චුම්බක රටාවට අනුව ය. එනිසා මධ්‍ය සාගරික කඳු වැටියේ දෙපසින් තැන්පත් වන සෑම මැග්මා (ලාවා) පෙදියක්‌ ම පවතින රටාව අනුගමනය කරයි. ප්‍රතිවර්තනය වන විට ද එම ප්‍රතිවර්තනය එනිසා ඉතා කදිමට මේ පාෂාණවල සටහන් වේ. එවිට ප්‍රතිවිරුද්ධ දිශානතීන්ට තැන්පත් වූ පාෂාණ පොදි ඇති වේ. මෙවැනි ක්‍රියාවලියක්‌ මුලින් ම කාලනිර්ණයකට භාජන කරන ලද්දේ 1920 "මොන්ටෝරි මතුයාම" නැමති විද්‍යාඥයා විසිනි. මහාද්වීප ප්ලාවිතයත් සමග සබැදුණ මේ පර්යේෂණ හේතුවෙන් 1950 පමණ වන විට භූ චුම්බක ප්‍රතිවර්තනය යන්න හොඳින් පැහැදිලි කරගෙන තිබිණි.

සාමන්‍ය චුම්බක ක්‌ෂේත්‍රයේ දිශානතිය පවතින කාලය සහ ප්‍රතිවර්තනය වී කණපිට පෙරළුණු කාලය ද අතර පරතරය වසර මිලියන 0.1 සිට 1 පමණ දක්‌වා කාලයක්‌ වන බව මේ වන විට සොයාගෙන ඇත. ඒ අනුව සාමන්‍යය වන්නේ වසර 450,000 පමණ ය. බොහොමයක්‌ ප්‍රතිවර්තන පැවැති කාල සීමාව වසර 1000ක්‌ 10000ක්‌ පමණ වේ. මැතක දී සිදු වූ ප්‍රතිවර්තනය සිදු වී ඇත්තේ මෙයින් වසර 41000කට පමණ පෙර අන්තිම ග්ලැසියර යුගයේ දී ය. එම ප්‍රතිවර්තනය වසර 440ක්‌ පමණ තිබූ බව ගණනය කර ඇත. සමහර ප්‍රතිවර්තන ඉතා කුඩා කාලයකට සීමා වී ඇති බව ද මේ වන විට තහවුරු වී ඇත. "බ්රරන්චස්‌-මතුයාමා" නම් භූ චුම්බක ප්‍රතිවර්තනය මෙයට වසර 780000කට පමණ පෙර සිදු වී ඇත.

භූ චුම්බක ප්‍රතිවර්තනය කෙලෙස ජීවී ගෝලයට බලපාන්නේ ද යන්න අධ්‍යයනය ඉතා ම වැදගත් ය. තවමත් නිශ්චිතව තහවුරු නො වුවත් ජීවීන් සමූහ ලෙස වඳ වී යැමට මෙය හේතු වන බවට මතයක්‌ පවතී. ප්‍රතිවර්තනය සිදු වන කාල සීමාවේ දී චුම්බක ක්‌ෂේත්‍රයේ බලය හීන වන බවට ද මතයක්‌ පවතින අතර එනිසා වායුගෝලය තුළ අහිතකර කිරණවල බලපෑම වැඩි වන බවට විශ්වාස කෙරෙයි. එය කිසියම් ආකාරයකට ජාන විකෘත කරන්නට හේතු වන බවත් එනිසා නව විශේෂ බිහි කිරීමට හේතු වන බවත් විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන ආකාරයට මේ ප්‍රතිවර්තනය සුවිශේෂී ක්‌ෂණික වෙනස්‌කම්වලට හේතු නො වන බව පෙනී යයි.

වර්තමානයේ චුම්බක උතුර පිහිටන්නේ ලෝකයේ ආර්ක්‌ටික්‌ ප්‍රදේශයට ද, දකුණ පිහිටන්නේ ඇන්ටාර්ක්‌ටික්‌ ප්‍රදේශයට ද දිශානුගතව ය. සත්‍ය උතුර හා අංශක 6ක පමණ වෙනසක්‌ දක්‌ෂිණාවෘත ව ඇති අතර අප භාවිත කරන මාලිමාවේ සටහන් වන්නේ චුම්බක උතුර බව මතක තබාගත යුතු අතිශය වැදගත් කරුණකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 10 September 2018

විදු පත් ඉරුව
24.02.2016
කුඩා කාලයේ අපි "හීන් සැරය" කියවා ඇත්තෙමු. අලින් ගැනත්, අලින්ට වන අකරතැබ්බ ගැනත් එයින් දැනගත්තෙමු. දැවැන්තයකු වුවත් කුඩා කටුස්‌සා ඉදිරියේ කෙතරම් අසරණ වන්නේ ද යන්නත්, ඇඟපතේ ශක්‌තියට වඩා මොළයේ ශක්‌තිය කෙතරම් ප්‍රබල ද යන්නත් අපි ඉන් ඉගෙනගත්තෙමු. කෙසේ වෙතත් හීන් සැරය කුඩා ළමයින්ට වන පරිසරය ගැනඉගෙන ගැනීමට ද උපකාරී වන ඉතා කදිම කතාන්දරයකි. හීන් සැරයේ විස්‌තර කෙරෙන්නේ අලින් ගේ කෙරුවාව ය. මෙවර විදුපත් ඉරුවෙන් කියන්නට යන්නේ ද අලින් ගේ ඉතා සුවිශේෂී කෙරුවාවක්‌ ගැන ය.

අලියෝ පස්‌ කති. ලංකාවේ අලින්ට ද මේ කතාව අදාළ ය. උඩවලවේ වෙසෙන අලි මේ සදහා රුසියෝ වෙති. දශක දෙකක පමණ කාලයක සිට මෙරට පර්යේෂකයෝ මේ පිළිබඳව උනන්දුවෙන් පසු වෙති.

නිරීක්‌ෂණවලින් වාර්තා වන්නේ අලින් මේ සදහා තම අඩවියේ සුවිශේෂී ස්‌ථාන තෝරාගෙන ඇති බවයි. තෙතමනය සහිත ස්‌ථාන ඒ අතර සුවිශේෂී වේ. තම පාදයෙන් ඇන පස්‌ කඩා හොඬයෙන් ගුලි කර තම මුව තුළට ඉතා කදිමට ඔබාගනී. අලින් ලිංග භේදයකින් තොර ව මේ කාරියේ යෙදෙන බව ය වාර්තා වන්නේ.

අලි ලුණු කෑමට ඉතා ප්‍රිය කරතිs. ඔවුහු ස්‌වාභාවිකව ලුණු පවතින ස්‌ථාන සොයාගෙන යති. මුහුදු වෙරළට යා නොහැක්‌කෝ ගොඩබිම ඇති ස්‌වාභාවික ලුණු නිධි සොයාගනිති. ලංකාවේ නො පැවතුණ ද පාෂාණිභූත වූ ලුණු නිධි ලෝකයේ සමහර රටවල හමු වේ. එයට අමතරව ද්විතීයික ක්‍රියාකාරිත්වයන්වලින් පැනනගින ලුණු ද පවතී. කෙන්යාවේ "කිතුම්" නම් විශාල ගල් ගුහාවක්‌ වෙයි. එය මීටර 200ක්‌ පමණ දිගු වන අතර උගන්ඩාව ආසන්නයට ම විහිද යයි. නිර්මාණය වී ඇත්තේ ගිනිකඳුවලින් ගලා ගිය ලාවා සිසිලනයෙනි. මෙය විද්‍යාඥයෝ ලාවා ගලා ගිය බටයක්‌ ලෙස ද හඳුන්වති. කෙන්යාවේ අලින් ලුණු හාරන්නට යන්නේ මේ ගල් ගුහාවට ය. මේ ගුහාවේ බිත්ති ලුණුවලින් පිරි පවතී. එහි යන අලි හොඩයෙන් ද දළවලින් ද ගසා ලුණු කුට්‌ටි කඩා ගනිsති. ඉතා අතීතයේ සිට මේ ක්‍රියාකාරිත්වය සිදු වන නිසා මේ ගුහාව විශාල වන්නට ද එය හේතුවක්‌ වන්නට ඇතැයි මතයක්‌ පවතී.

ලුණු කන අප්‍රිකානු අලින් ඒ සදහා අවස්‌ථාව සොයාගන්නේ ගුහාවලින් පමණක්‌ නො වේ. තමන් වෙසෙන අඩවියේ සුදුසු තැන තෝරාගැනීමට ඔවුහු දක්‌ෂයෝ ය. ලුණු වැනි ඛනිජවලින් අනූන පස්‌ ඇති තැන් ඔවුනට ගෝචර වෙයි.

අලින් ලුණු කන්නේ ඇයි? විද්‍යාඥයන් පවසන ආකාරයට ඒ ඔවුන් ගේ ඛනිජ අවශ්‍යතාව සපුරාගැනීමට ය. ඛනිජ අවශ්‍යතාව පැනනගින කල්හි ඔවුන් ස්‌වාභාවිකව ම ඒවා පවතින ස්‌ථාන කරා යොමු කරවන බව පෙනී යයි. එමෙන් ම තමනට අවශ්‍ය වන ඛනිජ පවතින ස්‌ථාන සොයාගැනීමේ සහජ හැකියාව මෙහි දී ඔවුනට ඉතා උපකාරී වන බව පෙනී යයි. ලුණු යනු සෝඩියම් ක්‌ලෝරයිඩ් නම් රසායනිකය බව ඔබ හොඳින් දනී. ලුණු මගින් ලබාගන්නේ "සෝඩියම්" බව ඔබට වැටහෙනු ඇත. එහෙත් එයට අමතර පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, පොස්‌පරස්‌, මැන්ගනිස්‌ වැනි ඛනිජ ලවණ පමණක්‌ නො ව සෙලිනියම් වැනි දුලබ ඛනිජ ලවණ ද මේ ඔස්‌සේ ඔවුන් ලබාගන්නා බව පර්යේෂකයෝ පවසති. සමහර පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ගර්භණී ඇතින්නන් හට මේ ඛනිජ ලවණ අවශ්‍යතාව තදින් දැනෙන නිසා ඔවුන් වැඩිපුර මේ සදහා යොමු වන බවයි. කෙසේ වෙතත් මේ සදහා ඔවුන් පෙලඹෙන්නේ දෛනිකව ඔවුන් ලබාගන්නා ශාක ආහාර මගින් තම ඛනිජ ලවණ අවශ්‍යතාව සැපිරෙන්නේ නොමැති නිසා ය.

ලංකාවේ උඩවලව ප්‍රදේශයේ මට සංචාරය කරන්නට අවස්‌ථාවක්‌ ලැබුණු විටක අලින් පස්‌ කන ස්‌ථාන නිරීක්‌ෂණය කරන්නට අවස්‌ථාවක්‌ උදා විය. සමහර පර්යේෂකයන් පවසන ආකාරයට මෙහි අලින් පස්‌ බුදින්නේ ලවණ අවශ්‍යතාව සපුරාගැනීමට නම් නො වේ. ඒ විවිධ කොළ වර්ග, පොතු වර්ග ආහාරයට ගැනීමෙන් පසුව ආමාශයේ ඇති වන ජීර්ණ සංකුලතා සමනය කරගැනීමට බව ඔවුන් ගේ අදහස ය. ඔවුන් ගේ පර්යේෂණවලට අනුව පසෙහි එතරම් සැලකිය යුතු ලෙසකින් ඛනිජ ලවණ (salts) සාන්ද්‍රගත වීමක්‌ දක්‌නට නොමැති බව පෙනී යයි. එහෙත් මා ගේ නිරීක්‌ෂණවලට අනුව අලින් පස්‌ කන ස්‌ථානවල "ඛනිජ වර්ග (Minerals)" විශ්ලේෂණය කළ විට පෙනී ගියේ බොහොමයක්‌ ස්‌ථානවල ෙµල්ඩ්ස්‌පර් නම් ඛනිජය බහුල බවයි. මේ බොහොමයක්‌ ඛනිජ ස්‌ඵටික අර්ධ ජීර්ණයට ලක්‌ වූ ඒවා වන අතර ඒවායේ කැල්සියම් ලවණ බහුල ය. එම නිසා අප ගේ අදහස වන්නේ කැල්සියම් ලවණය වෙනුවෙන් මොවුන් පස්‌ බුදින බවයි. කෙසේ වෙතත් ඒ ආශ්‍රිත වෙනත් ලවණ ද ලබාගන්නවා විය හැකි ය.

හොඳින් නිරීක්‌ෂණය කළේa නම් යමකුට අලින් පමණක්‌ නො ව වෙනත් බොහොමයක්‌ වන සතුන් මේ ස්‌ථානවලට පැමිණ මෙලෙස පස්‌ බුදින බව දැක බලාගත හැකි ය. ඒ අතර මුවන්, ගෝනුන් වැනි සතුන් පමණක්‌ නො ව ගිරවුන් වැනි පක්‌ෂීන් ද වන බව වාර්තා වී ඇත. එයින් නිගමනය වන එක කරුණක්‌ නම් මේ ප්‍රදේශයේ සතුන්ට කිසියම් ආකාරයකට තමන් ලබාගන්නා ආහාරයෙන් කිසියම් ඛනිජයක්‌ නිසි පරිදි නො ලැබෙන බවයි.

මෙවැනි ආකාරයට ඛනිජ ලවණ අවශ්‍යතාව සපුරාගන්නේ සතුන් පමණක්‌ නො වේ. පැරැණි මිනිසුන් ද මෙවැනි ම ලෙස ඒ සදහා පස්‌ ආහාරයට ගත් බවට වාර්තා ඇත. මීට අදාළ පැරැණි ම වාර්තා හමු වන්aනේ අප්‍රිකාවෙනි. සැම්බියාව සහ ටැන්සානියාව අතර වූ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීමකින් තහවුරු වී ඇත්තේ එකල වූ හෝමෝ හැබිලිස්‌ නම් මානවයා කැල්සියම් අධික මැටි අනුභව කර ඇති බවයි. කාර්මීකරණයට පෙර බොහෝ රටවල මේ පුරුද්ද පැවැති අතර විශේෂයෙන් ම ගර්භණී කාන්තාවන් අතර බහුලව තිබූ සිරිතක්‌ බව සදහන් වෙයි. වර්තමානයේ නම් මිනිසුන්ට එවැනි අවශ්‍යතාවක්‌ පැන නො නගින්නේ හිඟ වන විට ලබාගැනීමට ඕනෑ තරම් විටමින් සහ ඛනිජ ඖෂධහල්වල පවතින බැවිනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 5 September 2018

විදු පත් ඉරුව
10.02.2016
හන්තාන අඩවිය පිස එන සුළඟ කිසි දිනක අමතක කළ නොහැක්‌කේ මා ගේ දෙවැනි කඩඉම සාක්‌ෂාත් කර දුන් පරිසරය එය බැවිනි. එපමණට ම මට හන්තාන අඩවිය ළබැඳි ය. විද්‍යාවේ ගැඹුරට කිමිදෙන්නට හන්තාන අඩවිය අපූරු පරිසරයක්‌ සකස්‌ කර දුන්නා ය. පළමු වසරේ සිට අවසාන වසර තෙක්‌ ම හන්තානේ නොයෙක්‌ තැන්වල කරක්‌ගසන්නට මා හට අවස්‌ථාව උදා විය. නැත හොත් අවස්‌ථාව මම ම උදා කරගත්තෙමි. ඒ කරුණු කිහිපයක්‌ නිසාවෙනි. පළමුවැන්න මා භූ විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වීමයි. දෙවැන්න මට විශ්ව විද්‍යාලය තුළ වූ ප්‍රමුඛ පෙළේ සමිති සමාගම් කිහිපයක ම ක්‍රියාකාරී සාමාජිකයකු වන්නට ලැබීමයි. තෙවැන්න මේ කිසිවක්‌ නොමැති කල කණ්‌ඩායම් සගයකු සමග කොහේ හෝ ඇවිදින්නට යැමයි.

තෙවැන්න බොහෝ විට සිදු වන්නේ නිවාඩු කාලයේ දී හෝ නිවාඩු දිනවල දී ය. සතිපතා ගෙදර දිවීමට වුqවමනාවක්‌ එකල මට නො වී ය. එමෙන් ම ඉතා දුර බැවින් සතිපතා ගමේ යැමට නොහැකි සගයන් කිහිප දෙනකු ද බොහෝ වේලාවට සති අන්තයේ නැවතිණි. විශ්ව විද්‍යාලයයේ නේවාසිකාගාර නිස්‌කලංකව පසු වෙයි. හවස්‌ වන විට කුමක්‌ දෝ පාළුවක්‌ අප වෙලාගනී. ඔන්න එවිට කාමරයෙන් පැන යැමට සිත් පහළ වෙයි. "යමු ද ඇවිදින්න" ඒ කනට මිහිරි වචන පෙළ අනෙකා ගෙන් පනින තුරු අප බලා සිටියා සේ ය. විශ්ව විද්‍යාලයයේ සිට හන්තාන කඳුකරය දෙසට විහිද යන පාරවල අපි සහෘදයන් සේ ඇවිද යන්නෙමු. විද්‍යාවේ ගැඹුරු තැන් ද, විද්‍යාඥයන් ගැන ද, පරිසරය ගැන ද, පුවත්පත්වල පළ වන වාද විවාද ගැන ද, දේශපාලනය ගැන ද පමණක්‌ නො වේ, ආචාර්යවරුන් සහ කණ්‌ඩායම් සගයන් ගැන ද අප ගේ නො නවතින කතා බහ ගලා යයි. විටෙක මේ නිස්‌කලංක ඇවිදීම නිසා ඉගෙනගත් කරුණු යළි සිහි කරන්නට පරිසරය තුළින් ම අවස්‌ථාව උදා විය. භූ විද්‍යාවේ උගත් ඛනිජ සහ පාෂාණ පිළිබඳ කරුණු ප්‍රායෝගිකව අත්විදින්නට මෙනිසා අපට අවස්‌ථාව ලැබිණි. වසර අවසාන විභාගය සදහා අප සූදානම් වූයේ ඒ සදහා ඉතා කෙටි කලක්‌ තබා ය. එහෙත් පෙර සිට ම විභාග භීතිකාවෙන් පෙළෙමින් බිය වී උන් අය අපහසුතාවට පත් කරමින් විටෙක අපි කිහිප දෙනා නිස්‌කලංකයේ ඇවිදින්නට යන්නෙමු. එය ඉතා වටිනා උපකාරයක්‌ වූයේ අප ගේ මානසික ආතතිය අඩු කරන්නට එය බෙහෙවින් හේතු වූ බැවිනි.

මෙයට පෙර වතාවක දී ද මා සදහන් කළ පරිදි සමිති අතර "හන්තාන සංරක්‌ෂණ සංගමය" මා හට බොහෝ අත්දැකීම් ලබා දුනි. 1998 වසරේ දී පිහිටුවූ මේ සංගමය විශ්වවිද්‍යාලයයේ බොහොමයක්‌ පීඨ නියෝජනය කරමින් ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන් ද සහයෝගය ලබා දුන් සංගමයක්‌ විය. එකල මේ සංගමය කමිටු ගණනාවකින් සමන්විත විය. ඒ අතර මා සිත්ගත් එක්‌ කමිටුවක්‌ වූයේ "ගිනි ගැනීම් මර්දනය කිරීමේ" කමිටුවයි. බොහෝ විට වියළි කාලගුණය ඇති කාලවල දී හන්තාන කඳුකරය ගිනිගැනීම්වලට ලක්‌ වේ. මේවා ස්‌වාභාවික ලැව් ගිනි නො වූ අතර මිනිසුන් ගේ යම් යම් ක්‍රියාකලාපයන් නිසා ඇති වන ගිනි ගැනීම් වේ. මෙය වළක්‌වාගැනීමේ පියවරක්‌ ලෙස හන්තාන අවට ග්‍රාමයන්හි වෙසෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ දියත් කරන ලදි. "රාත්‍රි කඳවුරු" ලෙස හැඳින්වූ මේ ක්‍රියාකාරකමට සහභාගී වන්නට මම බොහෝ කැමැත්තක්‌ දැක්‌වූයෙමි. එහි දී සිදු වූ ප්‍රධාන කෘත්‍යය වූයේ අදාළ ගමෙහි ජනතාව රැස්‌ කර පරිසර සංරක්‌ෂණයේ වැදගත්කම ගැන ඔවුනට පහදා දීමයි. ගිනිගැනීම නිසා පරිසරයට සිදු වන හානිය පහදා දීමයි. මෙහි දී පරිසර සංරක්‌ෂණය අරමුණු කරගත් නාට්‍ය ද කිහිපයක්‌ ද රඟදක්‌වන ලද අතර නළු නිළියන් වන්නේ ද සංගමයේ සාමාජිකයන් ම ය. ඉතා අගනා ලෙස ගම්මුන් හට පණිවිඩය දෙන්නට අප සමත් වන්නේ ය. අපත් සමග විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ද සහභාගි වන නිසා එතුමා ගේ දෙසුමක්‌ ද මේ රාත්‍රී කඳවුරේ අනිවාර්ය අංගයක්‌ වේ. රාත්‍රී ආහාරය බොහෝ විට පොලුත් සමග තැම්බූ කොස්‌ හෝ මඤ්ෙÆක්‌කා වෙයි. මහන්සි වී ද නේවාසිකාගාර බොජුන්හල්වල ඒකාකාරී ආහාරවලින් හෙම්බත් වී ද සිටින අපට ඒවා නම් දිව බොජුන් ය. මෙවැනි ක්‍රියාකාරකම් සදහා අනිවාර්යයෙන් ම සහභාගි වන්නා වූ දෙදෙනෙක්‌ වෙති. ඒ හේරත් මහත්ම මහත්මීන් දෙපළයි. අප ගේ කණ්‌ඩායම් සගයකු වන නිලන්ත ගේ මවුපියන් වන මොවුන් දෙදෙනා ගෙන් අපට ලැබුණු සහයෝගය ද ගුරුහරුකම් ද බොහෝ ය. මා අද ද ඔවුන් දෙපල සිහි කරන්නේ හද පිරි සතුටෙනි.

හන්තානේ ගිනිගැනීම් වැළැක්‌වීම සදහා හන්තාන සංරක්‌ෂණ සංගමය එකල ඉතා අගනා වටිනා සහයෝගයක්‌ ලබා දුන්නා ය. ඉහත සදහන් කළ දැනුවත් කිරීමේ රාත්‍රී කඳවුරුවලට අමතරව එම කමිටුවේ සාමාජිකයෝ ප්‍රායෝගිකව ද එම වගකීම ක්‍රියාවට නැංවූ හ. ගිනිගැනීමක්‌ පිළිබඳව ආරංචියක්‌ ලද වහා ම කමිටුවේ සංගමයේ සාමාජිකයන් රැස්‌ කර ගින්න නිවන්නට ද අපි උත්සුක වූයෙමු. එහි දී විශ්වවිද්‍යාලයයේ ආරක්‌ෂක අංශය ද දැනුවත් කරන්නට අප වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබිණි. පසු කාලීනව ආරක්‌ෂක අංශය වෙත යන අප සාමාජිකයන් දුටු සැණින් ඔවුහු බොහෝ විට ඒ බව කලින් ම නිශ්චය කර ගනිති. කෙසේ වෙතත් මෙවැනි වැඩ කටයුතු නිසා ආරක්‌ෂක අංශය පමණක්‌ නො ව විශ්ව විද්‍යාලයයේ "භූ දර්ශන නඩත්තු අංශය" ද අපට ඉතා සමීප විය. හන්තානේ ගිනිගැනීම් ඇති වන්නේ බොහෝ විට රාත්‍රී කාලයේ දී ය. රාත්‍රියේ දී වුව යාමය නිශ්චිත නො වී ය. එනිසා ක්‍රියාත්මක වීම කොයි මොහොතේ හෝ සිදු වෙයි. එකල අපට ගිනි නිවීම් සදහා ක්‍රමවත් උපකරණ නො වී ය. එහෙත් කෙසේ හෝ කාර්යය නිම කිරීමට අපි සමත් වූයෙමු. ආපසු නේවාසිකාගාරයට එන විට අපි හැමෝ ම කළු පැහැ ගැන්වී සිටියෙමු. වරක මද්දහනේ හන්තාන කඳු පන්තියේ හතරවැනි ශීර්ෂයේ ගින්නක්‌ ඇති වී තිබෙනු දුටුවෙමු. ඉතා හදිසියේ වුව අප ගේ තීරණය වූයේ කෙසේ හෝ එහි ළඟා වී ගින්න නිවිය යුතු බවයි. වෙනදාට පැය තුන හතරක කාලය ගන්නා ගමන පැයක දී නිම කරන්නට සමත් වූ අපි ගින්න ඇති වූ ස්‌ථානයට ළඟා වූයෙමු. සිටියේ අප හතර දෙනකු පමණි. වහා ම ක්‍රියාත්මක වූ අපි පැය කිහිපයක්‌ මහන්සි වී ගින්න නිවා දැමුවෙමුq. නැවත විශ්වවිද්‍යාලය වෙත එන විට හවස හය පසු වී තිබිණි. මෙවැනි දේ මගින් අපි වින්දනයක්‌ ලැබුවෙමු. ජීවිතයට අත්දැකීම් එක්‌ කරගත්තෙමු. වර්තමානයේ මෙවැනි දේ සදහා විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍යයන් හට ඉස්‌පාසුවක්‌ වේ ද යන්න මෙන්ම කාලය තිබුණ ද ඒ සදහා උනන්දුවක්‌ ඇත් ද යන්න ගැටලුවකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 3 September 2018

විදු පත් ඉරුව
03.02.2017
පසුගිය දොහක මට නෝර්වේ රටේ සංචාරයක නිරත වන්න අවස්‌ථාව ලැබුණා. දීර්ඝ ගුවන් ගමනකින් පස්‌සේ ඒ රටට පා තබන අවස්‌ථාවෙ සීත කාලය පටන් අරගෙනයි තිබුණේ. ඒ නිසා දසත විසිරිලා තිබුණේ සුදු ම සුදු හිම. සුළු මොහොතකින් සීතල අපව වෙළාගත්තේ එහි දැඩි දරුණු බව කියාපාමින්. උෂ්ණත්වමානය පෙන්නුම් කළේa සෙල්සියස්‌ අංශක Rණ හයක්‌ (-6) බවයි. ධන තිහක (+30) විතර උෂ්ණත්වයක ජීවත් වෙච්ච අපට ඒ උෂ්ණත්ව වෙනස දරාගන්න බැරි වේ වි කියලා මුල දී හිතුණත් අප හොඳින් සීතලට ලකලැහැස්‌ති වෙලා ගිය නිසා ඒ තරම් ගැටලුවක්‌ වුණේ නැහැ.

නෝර්වේ රාජධානියක්‌ ලෙසයි හඳුන්වන්නේ. එය විශාල රටක්‌. ශ්‍රී ලංකාව වගේ හයගුණයක්‌ පමණ විශාලයි. යුරෝපා මහාද්වීපයේ උතුරෙන් පිහිටි මේ රට නිරිත ඊසාන දිශානුගත ව විහිදී ගිය ඒ වගේ ම බටහිර පැත්තේ ඉතා දිගු වෙරළ තීරයක්‌ සහිත රටක්‌. ඒ වාගේ ම මේ රටේ බොහොමයක්‌ ප්‍රදේශ කඳුකර භූමිවලින් යුක්‌ත වන අතර ප්‍රාග් ඵෙතිහාසික යුගයේ නිර්මාණය වූ ග්ලැසියර තැන්පතුවලින් තැනුණු භූ රූපණවලින් සමන්විතයි. මෙහි පවතින බොහොමයක්‌ ගැඹුරු නිම්න අයිස්‌ යුගය අවසානයේ දී දිය වන හිම හේතුවෙන් සිදු වූ ඛාදනයෙන් ඇති වූ ඒවායි. එපමණක්‌ නො වේ, ලෝකයේ වැඩි ම දූපත් සංඛ්‍යාවක්‌ හිමි රට ලෙස ද එය හැඳින්වෙනවා. නෝර්වේ සතු දූපත් ගණන 50,000කට වැඩි බවයි වාර්තා වන්නේ. හැබැයි මෙපමණ විශාල රටක ජනගහනය නම් මිලියන 5කට ටිකක්‌ වැඩියි.

භූ විද්‍යාත්මකව ගත් කල බොහොමයක්‌ ප්‍රදේශ සමන්විත වන්නේ ප්‍රාග් කේම්බී්‍රය යුගයේ නිර්මාණය වූ විපරීත පාෂාණවලින්. ඒ වාගේ ම ග්‍රැනිට්‌ වර්ග, ස්‌ලේට්‌, වැලිගල් සහ හුණුගල් වැනි අවසාදිත පාෂාණ ද හමු වනවා. බොහොමයක්‌ ප්‍රදේශ කඳුකරයෙන් සමන්විත නිසා ඉතා හොඳ ජලවහන රටාවක්‌ මේ රටට හිමියි. එනිසා ම ඉතා කදිමට ක්‍රියාත්මක වන ජලවිදුලි බලාගාර රැසකින් ඉතා අපූරුවට විදුලිය උත්පාදනය කරනවා. ඊට අමතරව සුළං බලයත් යොදාගන්නවා. නෝර්වේ රාජධානියේ ශක්‌ති අවශ්‍යතාවෙන් 96%ක්‌ ම සපුරාගන්නේ සුනිත්‍ය බලශක්‌තියෙන්. ඒක හින්දා කොච්චර බොරතෙල් තිබුණත් ඒවා භාවිත කරන්නේ හරි ම අඩුවෙන්. ඔවුන් පවසන ආකාරයට තවත් බොහෝ විදුලි ශක්‌ති ප්‍රමාණයක්‌ ජලසම්පත භාවිත කරලා ලබා ගන්න පුළුවන්.

මේ රටේ එක්‌ ප්‍රධාන අපනයනයක්‌ වන්නේ බොරතෙල් සහ ස්‌වාභාවික වායුන්. ඔවුන් ගේ අපනයනයෙන් 50%ක්‌ ම එමගින් තමයි සපුරාගන්නේ. බොරතෙල් අපනයනයෙන් ලෝකයේ පස්‌වැනි තැන ඔවුනට හිමි වනවා. ඒ වාගේ ම ඛනිජ සම්පත්. විශේෂයෙන් ම විවිධ ලෝහ වර්ග ඔවුන් නිස්‌සාරණය කරගන්නවා. යකඩ, ටයිටේනියම් සහ නිකල් මේ අතර වනවා. ඔවුන් හුණුගල්, ඔලිවින් සහ විවිධ පාෂාණ වර්ග ද අපනයනය කරන බව තමයි පැවසෙන්නේ.

ඉතා ම සුහදශීලී මිනිසුන් සිටින රටක්‌ වන නෝර්වේ රාජ්‍යයේ බොහොමයක්‌ අය උතුරු ජර්මානු ජාතිකයන්. එයට අමතරව වැඩි ම සංක්‍රමණිකයන් පිරිසක්‌ සිටින රටක්‌ ලෙසත් සලකන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් ද සැලකිය යුතු පිරිසක්‌ එහි වෙසෙනවා. මිනිසුන්ට අවශ්‍ය බොහොමයක්‌ පහසුකම් එම රජයෙන් සපයා තිබෙන අතර සෞඛ්‍ය පහසුකම් සහ ගමනාගමන පහසුකම් ඉන් මුල්තැන ගන්නා බවයි අපට තේරුම් ගියේ. අප ගේ සංචාරය කේන්ද්‍රගත වූ ඔස්‌ලෝ නගරය ඉතා කදිම ප්‍රවාහන පද්ධතියකින් සමන්විතයි. ට්‍රෑම් කාර් මෙන්ම කාර්යක්‌ෂම දුම්රිය සේවයක්‌ ද මෙහි පවත්වාගෙන යනු ලබනවා. බොහොමයක්‌ දෙනා තම තමන් ගේ වාහන ගෙදර දමා කාර්යාලයට මෙන්ම කඩපිලට යන්නෙත් මේවායින්. එනිසා අප දුටු තවත් සුවිශේෂීතාවක්‌ වන්නේ වාහන තදබදය අවම වීමයි.

මහා මාර්ගයේ දී පළමු තැන හිමි වන්නේ පයින් ගමන් කරන්නාට වන අතර දෙවැන්න බයිසිකල් කරුවාටයි. මෝටර රථ පදවන්නන්ට හිමි වන්නේ අවසාන තැනයි. එනිසා මාර්ග අනතුරු නගරය තුළ අවම වනවා පමණක්‌ නො වේ මෙනිසා පරිසර දුෂණය ද ඉතා ම අඩුවෙන් පවත්වාගෙන යන්නට ඔවුනට හැකි වී තිබෙනවා. පයින් ගමන් කරන්නා ද, බයිසිකල්කරුවා ද එනිසා බොහෝ දිරිමත් වන අතර එය ඔවුන් ගේ සෞඛ්‍යය රැකගැනීමට ද අනියම් ලෙස බලපාන බවයි පෙනෙන්නේ. එය එක්‌තරා අකාරයකට රෝහල් සදහා වාර්ෂිකව වැය වන මුදල කිසියම් ප්‍රමාණයකට අඩු කිරීමක්‌. එපමණක්‌ නො වේ, කාර්යාලවල කාර්යක්‌ෂමතාව ඉහළ නංවන්නක්‌.

වර්තමානයේ ඔස්‌ලෝ නගරයේ පරිපාලනය පරිසර දූෂණයෙන් තොර නගරයක්‌ ලෙස පවත්වාගෙන යැමට තීරණය කර තිබෙනවා. එනිසා ඉදිරි කාලයේ නගරයට පෞද්ගලික වාහන ඇතුළු වීම සපුරා තහනම් කෙරෙනු ඇති. මේ කාලයේ බොහෝ රටවල ජනප්‍රිය වෙමින් යන විදුලි මෝටර් රිය ද මේ රටට සැපත් වී ඇති බව පෙනෙන්නට තිබුණා. දැනගන්නට ලැබුණ තොරතුරු අනුව විදුලි මෝටර් රිය භාවිතය දිරිමත් කිරීම සදහා මේ මෝටර් රථ ආරෝපණය සදහා විදුලිය නොමිලයේ ම ලබා දෙනවා. බොරතෙල් බහුල රටක්‌ වුව ද මේ තීරණය ගෙන ඇත්තේ පාරිසරික සංරක්‌ෂණය උදෙසා ම බව ඉතා පැහැදිලි කරුණක්‌. අපේ රට හා සැසඳීමේ දී අප ඉන්නේ කොතැන ද යන්නත් පරිපාලනය කෙතරම් අවස්‌ථාවාදී ද යන්නත් ඔබට වැටහෙනු ඇති.

වසරේ මාස හයක්‌ පමණ ම සීත දේශගුණයකින් යුක්‌ත මේ රට එනිසා ම එම කාලය මුළුල්ලේ ම හිමෙන් වැසි තිබීම සුවීශේෂීත්වයක්‌. වසර 30කට පමණ පසු වාර්තා වූ අවම උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක Rණ 18 (-18) වාර්තා වූයේ අප එරටින් පිට වූ දවසේයි. ඔවුන් ගේ කාලගුණික අනාවැකි ඉතා ම සාර්ථක බව අප එහි වාසය කළ දින කිහිපයේ දී මනාව අත්විඳීමට ලැබුණා. ඔවුන් නවතම තාක්‌ෂණයන් භාවිත කරන අතර ඔවුන් හා සැසඳීමේ දී අප ගේ කාලගුණ අනාවැකි අන්ධයන් ගේ වැනි යෑයි අපට සිතුණා. ඉතා ම සතුටුදායක කාලයක්‌ ගත කරන්නත් ඒ වාගේ ම අපූරු අත්දැකීම් සම්භාරයක්‌ ලබාගන්නත් මේ චාරිකාවෙන් අපට අවස්‌ථාව ලැබුණා. අප බොහෝ දෙනකු මෙරට හා සම්බන්ධව නෝර්වේහි ක්‍රියා කලාපය අනුමත නො කෙරුවත් එරට අපට බොහෝ ආදර්ශ ගෙන එන බවයි අප ගේ හැඟීම වන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...