Thursday 30 January 2020



පුරාවිද්‍යා පර්යේෂණ සඳහා යාවත්කාලින භූ විද්‍යාත්මක දැනුම යොදා නොගැනීම

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3

කිරිගරුඬ පාෂාණය එහෙමත්  නැතිනම් ‘මාබල්’ (Marble or Crystalline limestone) ගැන අපි පසු ගියේ සතියේ කතා කළා. ඔබ මෙම පාෂාණය දැක ඇති බවට කිසිම සැකයක් නැහැ. අනුරාධපුරේ ගිහින් ඇත්නම්, ඔබ සමාධි බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගෙන ඇති. සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ කිරිගරුඬ පාෂාණයකින්. එපමණක් නොවෙයි බොහෝ ස්ථාන වල පඩි පෙළවල්, සඳ කඩ පහනවල් වැනි අලංකරණයක් අවැසි තැන්වලට මෙම කිරිගරුඬ පාෂාණය යොදා ගෙන තියෙනවා. ශ්‍රී ලංකවේ පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක මේ ආකාරයේ නිර්මාණ අපිට දැක ගන්නට පුළුවන්. මගේ හැඟීමේ හැටියට ධවල පැහැති මෙම පාෂාණය අතීතයේ ගෞරවනීය මෙන්ම උසස් තැන්වලට භාවිතා කල පාෂාණයක්.

කිරිගරුඬ වාගේම වූ තවත් පාෂාණයක් තමයි නීල ගරුඬ පාෂාණය. නිල්කොල පැහැයක් තමයි ඇත්තේ. කිරිගරුඬ වාගේම නීල ගරුඬ පාෂාණයත් අතීතයේ උසස් සහ ගෞරවනීය නිර්මාණ සඳහා යොදාගෙන තියෙනවා. නමුත් මෙම පාෂාණය බහුලව භූ පරිසරයේ මුණු ගැහෙන්නේ නැහැ. බොහොම දුර්ලභ පාෂාණයක්. මෙවැනි පාෂාණයක් නිල්දන්ඩාහින්න රූපහ ප්‍රදේශයේ තියෙනවා. අදටත් ප්‍රදේශයේ ජනතාව එහි ඖෂධීය වටිනාකමක් ඇතැයි සලකා භාවිතා කරනවා. මේ ස්ථානයේ ඇති පාෂාණ උද්ගතය සුළු ප්‍රදේශයක තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. නමුත් පොළොව අභ්‍යන්තරයට විහිදිලා ඇති. කිරිගරුඬ පාෂාණයේ ඇති කැල්සයිට් නමැති ඛණිජයට අමතරව සර්පන්ටීන් (Serpantine) නැමති ඛණිජයත් මෙහි අඩංගු වෙනවා. එනිසා තමයි නිලකොල පැහැයක් පාෂණයට ලැබෙන්නේ. සර්පන්ටීකරණයට ලක් වූ කිරිගරුඬ පාෂාණය ලෙස ද මෙය හඳුන්වා දිය හැකියි. ඔබ වලපනේ ප්‍රදේශයේ සංචාරය කරනවා නම් මෙතනට ගොස් මෙම අපූරු පාෂාණ උද්ගතය දැකබලා ගන්නට අමතක කරන්න එපා.  

දුර්ලභ පාෂාණ සහ ඛණිජ වලින් නිර්මාණ කිරීම එකල බොහෝ වටිනා දෙයක් වෙන්නට ඇති. ඔබ ජේතවනය කෞතුකාගාරයට ගොස් ඇත්නම් එහි මෙමගින් කරන ලද නිර්මාණ කිහිපයක් දැක ගන්නට පුළුවන්. හැබැයි එහි සඳහන්ව ඇත්තේනම් මේ නිර්මාණ ඉන්දියාවේ කඩප්පා ප්‍රදේශයෙන් ගෙනෙන ලද ඒවා ලෙසයි. හඳුනාගෙන ඇත්තේ කඩප්පා ප්‍රදේශයේ ඇති අවසාදිත පාෂාණයකින් කරන ලද බවයි. නමුත් මවිසින් සිදුකරන ලද භූ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වනුයේ එම පිළිම නිර්මාණය කරන ලද්දේ විපරීත පාෂාණයකින් බව. කෙසේ නමුත් මෙම නිර්මාණවල නිල්කොල පැහැයක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ කාලාන්තරයක් තිස්සේ වැළලී තිබීම නිසා දිරාපත් වීමට ලක්වෙලා. පාෂාණයේ දිරාපත් වූ බාහිරය පෙනෙන්නේ සුදු පැහැයෙන්. නමුත් බොහොම අපූරුවට විපරිත පාෂාණයක දක්නට ලැබෙන ව්‍යුහයන් දක්නට ලැබෙනවා. ඒ වාගේම කැබලි වූ පිළිම කොටස් වලින් අභ්‍යන්තරයේ නිල්කොල පැහැය අපූරුවට හඳුනාගන්නට පුළුවන්.

මෙම පාෂාණ වලින් කරන ලද ඉතා අලංකාර බුද්ධ ප්‍රතිමා දෙකක් තිස්සමහාරාම පන්සලේ දැක ගන්නට පුළුවන්. ඒවා කැණීමකින් ලැබුන පුරාවස්තු ලෙසයි සඳහන් වන්නේ. මෙම පිළිම දෙකහිත් ඉතාම කදිමට විපරීත පාෂාණ වල ලක්ෂණ සටහන් වෙනවා. නමුත් බාහිරයෙන් සුදු පැහැති ජීර්ණිත කොටස දැකගන්නට පුළුවන්. නීල ගරුඬ පාෂාණය භාවිතයට ගත් කාලවකවානු ගැන නම් නිශ්චිත අවබෝධයක් නැහැ. බොහෝ විට පාෂාණ තාක්ෂණය ඉතා දියුණු මට්ටමක තිබු අනුරාධපුර යුගයේම වෙන්නත් ඇති. අනුරාධපුර පූජා නගරය එහෙමත් නැතිනං පැරණි රාජධානි පුරවරය ආසන්නයේ කොතනකවත් කිරිගරුඬ හෝ නීල ගරුඬ පාෂාණය දැක ගන්නට නැහැ. තිබෙන සාක්ෂි අනුව පිට ප්‍රදේශයකින් ගෙන එන්නට ඇති.

මෙමගින් පැහැදිලිවන්නේ සුළු සුළු සහ විශේෂ නිර්මාණ සඳහා පමණක් මෙම සුවිශේෂී පාෂාණ වර්ග ගෙන එන්නට ඇති බවයි.  නමුත් අනුරාධපුරයේ ඇති නයිස් පාෂාණ වලින් කරන ලද මහා විසල් නිර්මාණ සහ ගොඩනැගිලි සදහා නම් කිසි ලෙසකත් පිටතින් පාෂාණ නොගෙනාව බවයි මගේ තර්කය. ඒ සඳහා බොහෝ සාධක එම භූමියේම විවිධ ස්ථානවල හමු වෙනවා. විශේෂයෙන්ම පාෂාණ නෙලාගත් තැන්. එවැනි තැනක් තමයි වෙස්සගිරිය. මෙහි පාෂාණ නෙලාගත් ස්ථාන ගණනාවක් ම හමුවෙනවා. එමගින් අපට පාෂාණ නෙලීමේ තාක්ෂණය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. කොහොම වුනත් මා කරන ලද පර්යේෂණ වලින් එළිවූයේ අනුරාධපුරයේ භාවිත තාක්ෂණයට වඩා වෙනස් තාක්ෂණයක් පොලොන්නරු යුගයේ දී පාෂාණ නෙලීම සඳහා භාවිත කල බවයි. පොළොන්නරු යුගයේ තාක්ෂණය බොහෝවිට පාෂාණ නෙලීම සඳහා රසායනික භාවිතය පිළිබඳව යම් ඉඟියක් දෙන බවයි මට සිතෙන්නේ. මේ පිළිබඳව තව දුරටත් භූ විද්‍යත්මක පර්යේෂණ සිදුකල යුතුයි.

ශ්‍රී ලංකව තුල පුරාවිද්‍යාවේ පර්යේෂණ සඳහා භූ විද්‍යාවේ ආධාර උපකාර ලබා ගන්නේ ඉතාම අඩුවෙන්. එනිසා සමහර අර්ථකතන සහ පැහැදිලි කිරීම් නිවැරදි නැහැ. ඉහත දැක් වූ දේ උදාහරණයකට ගන්නට පුළුවන්. පුරාවිද්‍යාඥයින් බොහෝ දෙනෙකු තාමත් භාවිතා කරන්නේ ඉතාම පැරණි භූ විද්‍යා ලිපි ලේඛන. ඒවා බොහොමයක් අද වෙනවිට වෙනස් වෙලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකවේ භූ විද්‍යත්මක පසුබිම වාගේ කරුණු. ඒ දවස්වල භාවිතා කල ‘ශ්‍රේණි’ අද ‘සංකීර්ණ’ බවට පත් වෙලා. වන්නි සංකීර්ණය, විජයානු සංකීර්ණය ආදී ලෙසයි දැන් රටේ භූ බෙදුම් කලාප හඳුන්වන්නේ. ඒ නවතම අධ්‍යනයන් නිසා. ඒ වාගේම බොහෝ දෙනෙකු සිතන්නේ පුරාවිද්‍යා ස්ථාන වල හමුවන බොහොමයක් ශිලා නිර්මාණ ග්‍රැනයිට් නම් පාෂාණයෙන් කරන ලද බවයි. ග්‍රැනයිට් යනුවෙන් හඳුන්වන්නේ ආගනේය පාෂාණ වර්ගයකට. නමුත් ශ්‍රී ලංකවේ පාෂාණ බහුතරයක් විපරීත පාෂාණ. අනුරාධපුරය ප්‍රදේශයේ ඇත්තෙත් විපරීත පාෂාණ ව්‍යාප්තියක්. ග්‍රැනයිට් පාෂාණ යොදාගත් බවට සාක්ෂි හමුවන්නේ නැහැ.

වැරදි හඳුනාගැනීම් වැරදි අර්ථකතන වලට හේතුවක්. එමගින් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් සිදුවන්නේ නැහැ. අද වන විට ලෝකයේ බොහෝ රටවල ඉතා ගැඹුරෙන්ම භූ විද්‍යා විෂය පුරාවිද්‍යාව සඳහා යොදාගන්නවා. ඒ සඳහා වෙනම විෂය ක්ෂේත්‍රයක් ලෝකයේ සකස් වී අවසන්. එය හඳුන්වන්නේ භූ පුරාවිද්‍යාව (Geoarchaeology) නමින්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Wednesday 29 January 2020

වෛවාරණ කුරුවින්ද මැණික්‌... 
This article was originally published on Divaina, 29.01.2020.
 
රතු මැණික්‌, නිල් මැණික්‌, කහ මැණික්‌ විතරක්‌ නොවෙයි අපූරු තාරුකා රටා මවන්නත් ශ්‍රී ලංකාවේ තියෙන එක්‌ වර්ගයක මැණික්‌ වලට පුළුවන්. ඔය කියන විවිධ පැහැයන් පමණක්‌ නොවෙයි විවිධ රටා මවන මැණික්‌ වර්ග බිහිවන්නේ එක මැණික්‌ කුලයකින්. ඒ කුලය අපි හඳුන්වන්නේ 'කොරන්ඩම්' (කුරුවින්ද) කුලය කියලා. මේ කුලයෙන් ඉහත කී එක්‌ එක්‌ වර්ගවල මැණික්‌ බිහිකරනවා. එනිසා ඉතා අපූරු විවිධත්වයක්‌ ඒ තුළින් දැක ගත හැකියි.
 
 කුරුවින්ද වල රසායනය වෙන්නේ ඇලුමිනියම් ඔක්‌සයිඩ් (Al2O3). කුරුවින්ද කියන්නෙත් භූ විද්‍යාත්මකව ඛනිජයක්‌. කුරුවින්ද කුඩුවල වර්ණය (ලේඛාව) සුදු. දැඩියාව 9ක්‌. ලොව දෙවැනියාට වැඩිම දැඩියාවක්‌ ඇත්තේ කොරන්ඩම් වලට. විශිෂ්ට ගුරුත්වය 4ක්‌ පමණ වෙනවා. ද්‍රව වීමේ උෂ්ණත්වය සෙන්ටිගේ්‍රඩ් අංශක 2044 ක්‌ පමණ වෙනවා. එනිසා බොහොම අධික උෂ්ණත්ව වලට ලක්‌වුණාට ස්‌ඵටිකයේ වෙනස්‌කම් සිදුවෙන්නේ නැහැ. කොරන්ඩම් වල පැති හයකින් යුක්‌ත ස්‌ඵටික හැඩය හරිම සුවිශේෂී.
 
 කුරුවින්ද කුලයේ මැණික්‌ වල වර්ණය ගෙන එන්නේ ඒවායේ තියෙන අපද්‍රව්‍ය. එක්‌ එක්‌ අපද්‍රව්‍ය එක්‌ එක්‌ වර්ණයන් ගෙන එනවා. අපද්‍රව්‍ය වෙන්නේ බොහෝ විට යකඩ, ටයිටේනියම්, වැනේඩියම් සහ ක්‍රෝමියම් වැනි බර ලෝහ. ඊට අමතරව රූටයිල් කියන ඛනිජය කොරන්ඩම් ස්‌ඵටික තුල වර්ධනය වීමේ ප්‍රවණතාවය ඉතා බහුලව දැකගත හැකියි.
 
 කුරුවින්ද මැණික්‌ වලට රතු පැහැය ගෙන එන්නේ ක්‍රෝමියම් ලෝහය අපද්‍රව්‍යක්‌ ලෙස ඇතිවිට. කුරුවින්ද කුලයේ ජනප්‍රියම මැණික්‌ වර්ගය තමයි නිල් මැණික්‌. කුරුවින්දයේ නිල හදන්නේ අපද්‍රව්‍ය දෙකක මිශ්‍රණයෙන්. ඒ තමයි යකඩ සහ ටයිටේනියම් ලෝහය. මේ අපද්‍රව්‍ය දෙක මිශ්‍ර නොවුණොත් අපට ගෙවුඩ මැණික්‌ තමයි ලැබෙන්නේ. ගෙවුඩ වර්ග ගණනාවක්‌ තියෙනවා. ඩිසල් ගෙවුඩ, සිල්කි ගෙවුඩ, මිල්කි ගෙවුඩ යනාදී වශයෙන්. මෙවැනි විවිධත්වයක්‌ ඇතිකරන්නෙත් ඒවායේ තියෙන අපද්‍රව්‍ය නිසා. ගෙවුඩ වල තියෙන දුඹුරු පැහැති පැල්ලම් හැදෙන්නේ යකඩ ඔක්‌සයිඩය (මලකඩ) නිසා. කුරුවින්ද ස්‌ඵටිකයේ කෙලින් අතට සිටවූ විට එම අක්‌ෂයට ලම්බාකාරව ටයිටේනියම් ඇති රූටයිල් ඛනිජ ස්‌ඵටික පිහිටි විටයි කුරුවින්දයේ තාරුකා රටා මැවෙන්නේ. කහ මැණික්‌ වලට කියන්නේ පුෂ්පරාග කියලා. පුෂ්පරාගවල පැහැය නිර්ණය කරන්නේ ඒ තුළ ඇති යකඩ ඔක්‌සයිඩය.
 
 ගෙවුඩ වල ඇති මිශ්‍ර නොවූ අපද්‍රව්‍ය කෘත්‍රිමව මිශ්‍ර කිරීමේ ක්‍රමයක්‌ හොයාගෙන තියෙන නිසා ගෙවුඩ නිල් කිරීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ ක්‍රියාවලිය බොහොම සාර්ථකව සිදුවෙනවා. රූටයිල් ඇතුලේ තියෙන ටයිටේනියම් කුරුවින්ද ස්‌ඵටිකයේ ඇති යකඩ සමග මිශ්‍ර කරන්න අවශ්‍යයි. එවිටයි නිල් පැහැය ඇතිවෙන්නේ. ඒ සඳහා රූටයිල් ස්‌ඵටික ද්‍රව කරන්නට ඕනේ. රූටයිල් වල ද්‍රවාංකය සෙන්ටිගේ්‍රඩ් අංශක 1800ක්‌ පමණ වෙනවා. එනිසා කුරුවින්ද ස්‌ඵටිකය විනාශ නොකර මේ රසායනික ප්‍රතික්‍රියාව පහසුවෙන් කරගන්නට පුළුවන්. ගෙවුඩ පුච්චනවා (heat treatment) කියන්නේ මේ ක්‍රියාවලියට තමයි. මේ ක්‍රියාවලිය තරමක්‌ සංකීර්ණ ක්‍රියාදාමයක්‌. වැඩිපුර මිශ්‍රණය ඇතිවුණොත් නිල් පැහැය වැඩිවෙලා කළු පැහැයක්‌ තමයි ලැබෙන්නේ. එතකොට ඒක කාක නිලක්‌, බවට පත්වෙනවා. කාක නිල් වැඩිපුරම පළඳින්නේ අපල උපද්‍රව නැති කරගන්න.
 
 කුරුවින්ද ඛනිජය ප්‍රධන වශයෙන් ආග්නේය පාෂාණ සහ විපරිත පාෂාණවල දක්‌නට ලබෙන අතර ඒවා ප්‍රාථමික නිධි ලෙස හඳුන්වයි. අවසාදිත සමග එකතුවන කුරුවින්ද ගොනු ද්විතියික තැන්පතු ලෙස හැඳින්වෙයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් කැණීම් කටයුතු කරන්නේ ද්විතියික තැන්පතු වලයි.
 
 මැණික්‌ ලෙස කරන භාවිතයට අමතරව කුරුවින්ද වල තියෙන තද ගතියත් ද්‍රවාංකය ඉහළ වීමත් නිසා විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. කුරුවින්ද උල්ලේඛයක්‌ ලෙස යොදාගැනීමේ හැකියාව ඇත. මේ ගුණය නිසා වීදුරු සහ යකඩ ඔප දැමීමේ කාර්යයන් සඳහා යොදාගන්න අතර වැලි කඩදාසි නිෂ්පාදනයට ද යොදාගන්නා බව වාර්තා වෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 28 January 2020

භූ පැල්මවල් සහ ගිලා බැසීම්....!!!

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3.

Orginally publlished on Vidusara, 22.01.2020.


මෙවර අපේ සංචාරය යාපනයට. යාපනේ අච්චුවේලි ප්‍රදේශයේ සිදු වූ භූ අස්ථාවරත්වයක් නිරීක්ෂණය කිරීමයි අපේ අරමුණ වුනේ. අච්චුවේලි ප්‍රදේශයේ කුඹුරක කොටසක් ගිලා බැහැලා. ඒ අසල වූ ගෙයක් මැදින් තමයි පැල්ම ඇතිවෙලා තිබුනේ. ඒක හින්දා ගේ දෙකට මැදින් කැඩිලා. අඟල් කිහිපයක් ඈත් වෙලා. රතු පාට පස් පිරුණ කුඹුරේ මීටර් 70 ක විතර ලොකුවට රවුමට පැල්මක් වැටිලා. අඟල් කිහිපයක් පැල්ම ආසන්නයේ ගිලා බැහැලා. 

භූ පැල්මවල් සහ ගිලා බැසීම් වෙන්නේ කොහොමද කියලා ගොඩ දෙනෙකුට පැහැදිළි නැහැ, විශේෂයෙන්ම යාපනේ. යාපනය අර්ධ ද්වීපය නිර්මාණය වෙලා තියෙන්නේ හුණු ගල් වලින්. මේ හුණුගල් භූ විද්‍යාත්මකව අවසාදිත පාෂාණ වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. හුණුගල් රසායනිකව කැල්සියම් සහ මැග්නීසියම් සහිත කාබොනේටයක් ලෙසයි ගැනෙන්නේ. යාපනයේ හුණුගල් හදුන්වන්නේ මයෝසීන හුණුගල් ලෙසයි. ඒ මොකුත් නිසා නෙවෙයි, මේ හුණු ගල නිර්මාණය වෙන්නේ මයෝසීන කාලයේ හින්දා. 
  
මයෝසීන කාලය දිග්ගැහැන්නේ වසර මිලියන 23 විතර ඉඳලා වසර මිලියන 5 පමණ කාලය වෙනකම්. ඔය කාලය තුල දී අවසාදනය වන්නට ඇතැයි සිතන මේ හුණුගල් ව්‍යාප්තිය යාපනයේ සිට පුත්තලම් ප්‍රදේශය දක්වාම බටහිර වෙරළ තීරය දිගේ හීනි පටියක් වගේ දැක ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවුන අපසාරී තල මායිම හරහා දෙපසට මේ භුමි භාගයන් වෙන් වෙන්නට පටන් ගත්තට පස්සේ ඇතිවුන මුහුදු කලාපය හඳුන්වන්නේ කාවරී ද්‍රෝණිය කියලා. කාවරී ද්‍රෝණියේ තමයි මුලින්ම මේ හුණුගල් අවසාදනය වන්නට ඇත්තේ. මෙහි සිදු වූ අවසාදනය බොහෝ විට රසායනික ක්‍රියාවලියක්. අධික උෂ්ණත්වය නිසා කාවරි ද්‍රෝණියේ සාගර ජලයෙහි කාබොනේට සාන්ද්‍රණය වැඩි වීම නිසා මුහුදු පත්ලේ හුණු තැන්පත්වන්නට ඇති. ඒ සමග මුහුදු ජිවින්ගේ කවච මිශ්‍ර වන්නට ඇති. ඒ හින්දා තමයි යාපනේ හුණුගල් වල මුහුදු බෙල්ලන්ගේ කවච බහුලව දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ කවචත් මයොසීන කාලයට ම අයිති ඒවා. ඒ කියන්නේ අඩුම තරමින් වසර මිලියන පහක්වත් පරණයි. පැරණිම ඒවා නම් වසර මිලියන 23ක් වත් පරණ වෙන්න ඕනෙනේ.
මයෝසීන කාලයේ තමයි මුලින්ම සුනඛයන්, හයිනාවන්, මුවන්, ජිරාෆයන් සහ වලසුන් ලෝකයට බිහිවන්නේ. අශ්වයන්ගේ පරිණාමය සිදුවන්නේත් මේ කාලයේමයි. ඒ වගේම නූතන අලින්ගේ මුතුන් මිත්තන් බිහිවන්නේත් මයෝසීන කාලයේ දීම තමයි. උකුස්සන්, කොකුන්, කපුටන්, ගේ කුරල්ලන් පමණක් නොවෙයි බකමූනොත් මේ කාලයේ තමයි එලි බහින්නේ. උසස් රුක්වාසීන්ගේ පරිණාමයත් මේ කාලයේ සිදුවන අතර මයෝසීන කාලයේ අවසානය වන විට මානවයන්ගේ ආදීතමයන් බිහිවන්නට ඇති බව සිතිය හැක. මේ හා බැඳුන අනේක වර්ග වල ප්‍රාග් ජීව ධාතුන් (fossil) ලෝකයේ විවිධ රටවලින් වාර්තා වේ. 

යාපනයේ ප්‍රදේශය ගොඩනැගුන මේ හුණුගල් පාෂාණයේ විවිධ වර්ගවල මුහුදු බෙල්ලන් දක්නට ලැබෙනවා. ඔවුන්ගේ කවච අද වෙනකොට අපිට දක්නට ලැබෙන්නේ ඒවා ඉතා හොඳින් සංරක්ෂණය වුන හින්දා. ජෛව විශේෂ සංරක්ෂණය, එහෙම නැත්තන් ප්‍රාග් ජීව ධාතුකාරණය, ඉතා අපූරු ක්‍රියාදාමයක්. දිගු කාලයක් ගතවන භූ රසායනික ක්‍රියාදාමයක්. මල සතුන් මුහුදු පත්ලේ වැලලුන විට ඒ මත ගොඩ ගැහෙන මුහුදු කලිල (මඩ) නිසා තමයි සංරක්ෂණ ක්‍රියාදාමය සිදුවන්නේ. සුමට මාංශමය කොටස් කුණු වී යද්දී විවිධ රසායන්ගෙන් සපිරි කලිල කුහරය තුලට රිංගා ස්ඵටීකීකරණය වෙනවා. මුහුදු කලිල වල හුණු බහුල අවස්තාවලදී එමගින් ප්‍රතිඛණිජකරණය සිදුවන අතර සිලිකා  බහුල අවස්තාවලදී සිලිකා මගින් ප්‍රතිඛණිජකරණය සිදුවෙයි. හුණුගල් නිර්මාණය වීමේදී මුහුදු පත්ලේ ඇති හුණු සහ සිලිකා කලිලත් මුහුදු සතුන්ගේ කවචත් මිශ්‍රව පාෂාණීභූත වී තමයි මෙම අවසාදිත පාෂාණය බිහිවෙන්නේ. 

යාපනයේ හුණුගල් උද්ගතයන් යම් යම් ස්ථාන වල ඉතා හොඳින් දැක බලා ගැනීමට පුළුවන. නමුත් හුණුගල් ඉතා ඉක්මනට ජීර්ණයට සහ ඛාදනයට ලක් වෙන අතර පාෂාණයේ සංයුතියේ ඇති වෙනස්කම් මේ සඳහා හේතු වෙනවා. සිලිකා වැඩි ස්ථාන ජීර්ණයට යම් ප්‍රතිරෝධී තත්වයක් දක්වන නිසා උද්ගතයන් ඇති කරන්නට හේතුවෙනවා. හුණු වැඩි තැන් ඉතා වේගයෙන් ජීර්ණයට ලක්වන්නේ (වර්ෂා ජලය තරමක් ආම්ලික) ජලයේ ඉතා පහසුවෙන් දියවෙන නිසා. පාෂාණයේ ඇති කුස්තූර සහ පැලුම් අතරින් රිංගන මතුපිට ගලායන වතුර හුණු දිය කරන නිසා අභ්‍යන්තරයේ කුහර ඇති කරන්නට හේතුවෙනවා. මේ කුහර ක්‍රමයෙන් විශාල වෙමින් මතුපිටට ලං වූ විට, ඉහලින් වූ බර දරාගන්නට නොහැකි වී මතුපිට ගිලා බහිනවා. අච්චුවේලි සිදුවීමට හේතු වී ඇත්තේ ද මෙයමයි. සිදුකරනු ලැබූ භූ භෞතික පරීක්ෂණ වලින් ද අභ්‍යන්තරයේ කුහර ඇති බව තහවුරු වෙලයි තියෙන්න. මේ ප්‍රදේශයේම තියෙන ‘මංඩපායි’ ගල් ගුහාව එලෙස නිර්මාණය වූවක්.    

කෙසේනමුත් යාපනයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී භූ ස්ථාවරත්වය පිළිබඳව ඉතා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රථම භූ අභ්‍යන්තයේ ස්ථායිතාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක්. මේ තත්වය භයානක වෙන්නේ ක්‍රමයෙන් ඉදිකරන ගොඩනැගිලි ප්‍රමාණය වැඩි වෙනකොට. ශ්‍රී ලංකවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් භූ අභ්‍යන්තරයේ ස්ථායිතාවය පිලිබඳ එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ සඳහා යන වියදම අනවශ්‍ය වියදමක් ලෙසයි බොහෝ දෙනා සිතන්නේ. නමුත් මේ පරීක්ෂණ ඉතා වැදගත්. විශේෂයෙන්ම හුණුගල් ඇති ප්‍රදේශ වලට. 

හුණුගල් විපරීතකරණයෙන් තමයි කිරිගරුඬ (මාබල්) පාෂාණය හැදෙන්නේ. ඒත් රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. දෙකේම තියෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් කාබොනේට ය. ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රදේශයක් පුරා පැතිරී තියෙන්නේ විපරීත පාෂාණ. ඒඅතර කිරිගරුඬ පාෂාණයත් බොහොමයක් අවස්තාවලදී හමුවෙනවා. මාතලේ, දිගන, නිල්දන්ඩාහින්න, ඇලහැර, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවලින් යම් යම් ගිලා බැහීම් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ඇති බොහොමයක් ගල්ගුහා නිර්මාණය වන්නටත් මූලික හේතුව වෙන්නේ මෙම විපරීත හුණුගල් පාෂාණ දියවී සෑදෙන භූ අභ්‍යන්තර කුහර. 

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 24 January 2020

රන් නොවන මිනිරන්.... 
This article was originally published on Divaina (22.01.2020)

භූ විද්‍යාත්මක පර්යේෂණ වලදී ඛණිජ හඳුනාගැනීම සඳහා ඛණිජ සතු භෞතික ගුණාංග අධ්‍යනය කරන අතර ඒ අතුරින් ඛණිජයක ලේඛාව (streake) පරීක්‌ෂා කිරීම වැදගත් වෙයි. ලේඛාව යනු ඛණිජයක කුඩුවල පැහැයයි. කුඩුවල පැහැය බොහෝවිට ඛණිජයේ පැහැයම වන්නේ නැහැ. ලේඛාවේ පැහැය මගින් ඉතා පහසුවෙන් සමහර ඛණිජ හඳුනා ගත හැකියි. ලේඛාව බැලීම සඳහා ඛණිජය කුඩු නොකර දැඩියාවෙන් තරමක්‌ වැඩි සෙරමික්‌ වැනි දෙයක ඇතිල්ලීමෙන් පහසුවෙන් කුඩුවල වර්ණය ලබා ගත හැක.
 
 අපට අපගේ කුඩා කල සිටම මෙවැනි එක්‌ ඛණිජ වර්ගයක කුඩුවල වර්ණය ඉතා සමීප බව කිව යුතුය. ඒ කුමන ඛණිජය දැයි ඔබට කිව හැකිද? අප කුඩා කල අකුරු ලියන්නට භාවිතා කළේ පැන්සලය. පැන්සලෙන් ලියනවා යනු පොතෙහි එය අතුල්ලනවා යන්නයි. එමගින් පැන්සලෙහි ඇති ඛනිජයේ වර්ණය පොතෙහි ඇතිල්ලෙන අතර එමගින් අපට අකුරු රටා මැවීමට හැකියාව ලැබී ඇත. දැන්නම් ඔන්න ඔබට මේ ඛණිජය කුමක්‌දැයි මතකයට නැගේවි. ඒ තමයි මිනිරන්.
 
 මිනිරන් භූ විද්‍යාත්මකව සැලකු කල ඛණිජයකි. ඛණිජයක්‌ සතු ලක්‌ෂණ සියල්ලම මෙහි ඇති අතර රසායනය වන්නේ අප කවුරුත් හොඳින් දන්නා කාබන් වෙයි. ස්‌ඵටිකමය ස්‌වරූපයක්‌ ඇති අතර දැඩියාව එකත් දෙකත් අතර වෙයි. ඒ කියන්නේ මිනිරන් කැල්ලක්‌ අපේ නිය පොත්තෙනුත් හූරන්න පුළුවන් කියන එක. ලේඛාවේ පැහැය වෙන්නේ කළු පැහැය.
 
 මිනිරන් නිර්මාණය වීමේ භූ විද්‍යාත්මක පසුබිම කුමක්‌ද යන්න අප සොයා බලමු. කාබන් රසායනය මූලික කරගත් මේ අපූරු ඛණිජය බිහිවෙන්නේ ආකාර කිහිපයකට. මිනිරන් බොහොමයක්‌ විපරීත පාෂාණ වල අමතර ඛණිජයක්‌ ලෙස හමුවෙනවා. ඒ බොහෝ වෙලාවට අවසාධිත වල පවතින කාබනික ද්‍රව්‍යය විපරීතකරණයේ දී ඔක්‌සිහරණයට පත් වීමෙන්. නමුත් මිනිරන් නිධි ලෙස අපට මේ පාෂාණ වල දක්‌නට ලැබෙන්නේ නැහැ. පාෂාණය පුරා මිනිරන් විසිරිලා තමයි තියෙන්නේ.
 
 බෝගල වැනි මිනිරන් නිධි නිර්මාණය වීම වෙන්නේ මෙලෙසයි. අපි දන්නවා නේ පොළොවේ ඇති පාෂාණවල කුස්‌තුර සහ පැලුම් තියෙනවා කියලා. මේ පොළොවේ ඇති කුස්‌තුර සහ දැදුරු ඔස්‌සේ භූ අභ්‍යන්තරයේ වූ අධිකව උණුසුම් වූ කාබන් ඩයොක්‌සයිඩ් සහිත ජලය වාෂ්ප ඉහළට පැමිණ ඔක්‌සිහරණයෙන් පසු එම කුස්‌තුර සහ දැදුරු තුළම ස්‌ඵටිකිකර්ණය වී ධමනි මිනිරන් නිර්මාණය වෙයි. මේ එක්‌තරා ආකාරයකට ආග්නේය ක්‍රියාවලියක්‌ කියලා කියන්නත් පුළුවන්.
 
 ශ්‍රී ලංකාවේ නම් අප දන්නා පරිදි බෝගල තමයි විශාලතම මිනිරන් නිධිය මුණ ගැහෙන්නේ. කාබන් ප්‍රතිශතය සලකා බැලූ විට සාපේක්‌ෂව ඉතා ඉහළ මට්‌ටමක ඇති සුපිරිසිදු මිනිරන් තමයි මේ පතලෙන් ලැබෙන්නේ. එය බොහෝවිට 99.5% කියලා තමයි සඳහන් වෙන්නේ. එනිසා තමයි ලෝකේ පුරාම ශ්‍රී ලංකාවේ මිනිරන් ප්‍රචලිත වෙලා තියෙන්නේ. බෝගලට අමතරව කහටගහ සහ කොලොන්ගහ කියලා තවත් පතල් දෙකක්‌ අපට තියෙනවා. එයට අමතරව වරකාපොල අත්තනගල්ල ප්‍රදේශයේ තැනින් තැන පැරණි මිනිරන් පතල් දැක ගන්නට පුළුවන්. එවැනි පතල් කළුතර ප්‍රදේශයෙනුත් වාර්තා වෙනවා.
 
 ලෝකේ මිනිරන් නිෂ්පාදනය කරන්නේ අපි විතරක්‌ නොවෙයි. එවැනි රටවල් අතර ලෝකේ ප්‍රමුඛම නිෂ්පාදකයා වෙන්නේ චීනය. ඉන්දියාව දෙවැනි තැන ඉන්නවා. බ්‍රසීලය, කැනඩාව, මොසැම්බික්‌ රාජ්‍යය සහ රුසියාවත් ප්‍රධාන පෙලේ නිෂ්පාදකයෝ.
 
 මිනිරන් භාවිතය ඈත අතීතයටම ඇදිලා යන දෙයක්‌. ක්‍රිස්‌තුපූර්ව හතරවෙනි සියවසේ ගිනිකොණ දිග යුරෝපයේ නියෝතිලික යුගයේ මරිටා සංස්‌කෘතිය තුළ සෙරමික්‌ වර්ණ ගැන්වීම සඳහා භාවිත කළ බවට සාක්‌ෂි තියෙනවා. ශ්‍රී ලංකාවේත් අතීත මානවයා මිනිරන් භාවිත කළ බවට අලවල ගල් ගුහාවේ සිදුකළ කැණීමෙන් සාක්‌ෂි ලැබෙනවා. ඒ අවම වශයෙන් අදින් අවුරුදු හත්දාහකට පමණ පෙර මිනිරන් භාවිත කළ බවට යි. බොහෝවිට ඔවුන් ශරීර වර්ණ ගැන්වීම වාගේම යාග හෝම වලදී හිස්‌කබල් වර්ණ ගැන්වීම උදෙසා වෙන්න පුළුවන්.
 
 මිනිරන් කියන්නේ ඉතා හොඳ තාප සහ විදුලි සන්නායකයක්‌. ඒ වාගේම මිනිරන් වල ස්‌ඵටිකමය ස්‌වරූපය නිසා ඉතා හොඳ ලිහිස්‌සි ද්‍රව්‍යයක්‌ ලෙස යොදා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වාගේම ඉතා අධික තාපයක්‌ දරා ගැනීමේ හැකියාව ඇති නිසා අධිකව තාපය භාවිතා වන උඳුන් නිෂ්පාදනයේ දී යොදා ගන්නවා. එයට අමතරව ප්‍රධාන වශයෙන් බැටරි වර්ග නිෂ්පාදනයේ දී ප්‍රධාන අමුද්‍රවයක්‌ ලෙස යොදා ගන්නා බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. යකඩ නිෂ්පාදනයේදී ද යොදාගන්නා බව සඳහන් වෙනවා. මේ අතර ග්‍රැෆීන් (graphene) නම් වූ නැනෝ තාක්‌ෂණයෙන් බිහිවන නවතම කාබන් නිෂ්පාදනය සඳහාද යොදා ගත හැකියි. කෙසේ වුවත් ශ්‍රී ලංකව තුළදී නම් මෙමගින් නිසි ප්‍රයෝජන නොගන්නා බවයි මාගේ අදහස වන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 20 January 2020


ඔබගේ අංගාර පා සටහන

ඔබත් පරිසරයට ආදරය කරන්නෙක් ද ? එහෙනං ඔබ මේ ගැන දැනුවත්ද ? අංගාර පා සටහන (carbon foot print)  යනු අපගේ ක්‍රියාකාරකම් නිසා කොපමණ ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහරින්නේ ද යන්න පිලිබඳ මිනුමකි. උදාහරණයක් ලෙස ගතහොත් දර කිලෝ එකක් දැවිමේදී කොපමණ ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමණයක් පිටවන්නේ ද යන්නයි. එමගින් අප විසින් පිටකරන හරිතාගාර ආචරණය ඇති කරන ප්‍රධාන වායුව වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි වේ. එමගින් පාරිසරික අවබලපෑම් අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව තීන්දු තීරණ ලබා ගැනීමට අපට හැකි වේ. හරිතාගාර ආචරණය නිසා මේ වන විට කාලගුණික විපරියාසයන් මෙන්ම මුහුදු මට්ටම වැඩිවීම, එනිසා දුපත් යටවීම, ග්ලැසියර දියවීම, ජෛව විවිධත්වයට තර්ජන  ඇතිවීම මගින් ජීවන් වඳ වී යාම වැනි තත්වයන් මේ වන විට ලෝකයේ නිර්මාණය වී ඇත. මෙහෙදී වැඩ වැදගත් වන්නේ ඒක පුද්ගල අංගාර පා සටහන අවම කර ගැනීමයි. එමගින් සමස්ථ ලෝකයෙන්ම මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමණය අවම කර ගැනීමට පිටිවහලක් වේ. මෙම හරිතාගාර වායුන් මුදා හැරීමට ප්‍රධන හේතුව වී ඇත්තේ පොසිල් ඉන්ධන දහනයයි. කලෙක භූ අභ්‍යන්තරයේ ගබඩා වූ කාබන් මිනිසා සුඛ විහරණය සඳහා ඉවක් බවක් නොමැතිව යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්වය උද්ගත වී ඇති බව සැලකිය හැක.     

අප කොතරම් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමණයක් වායුගෝලයට මුදා හරිදැයි යන්න දන ගැනීම සඳහා හොඳම උදාහරණය වන්නේ විදුලි නිෂ්පාදනය වෙත අවධානය යොමු කිරීමයි. අප රටේ විදුලි නිෂ්පාදනයේ හතරෙන් තුනක් ම ලබා ගනුයේ පොසිල ඉන්ධන දහනයෙන්. ඒ ගල් අඟුරු සහ ඩිසල් වැනි ඉන්ධන දහනයෙන්. එනම් අප පාවිච්චි කරන සෑම විදුලි ඒකක හතරෙන් තුනක්ම නිපදවනුයේ පොසිල ඉන්ධන දහනයෙන් බවයි. වැඩි වැඩියෙන් විදුලි පරිබෝජනය තුලින් සිදුවනුයේ වැඩිපුර පොසිල ඉන්ධන දහනය සිදුවීමයි. එමගින් සිදුවනුයේ වැඩි වැඩියෙන් වායුගෝලයට කාබන් ඩයොක්යිඩ් එකතු වීමයි. 2018 වසරේදී අප භාවිතා කල සමස්ත විදුලිය ප්‍රමාණය කිලෝවොට් පැය බිලියන 12.67කි. 2016 වර්ෂයේ දී ගෘහාශ්‍රිත ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 250 කට ආසන්නය. එම වනවිට එය තවත් වැඩි වී ඇතුවාට කිසිම සැකයක් නැහැ.

කිලෝවොට් පැයක් නිපදවීම සඳහා ගල් අඟුරු අසන්න වශයෙන් ග්‍රෑම් 500ක් පමණ වැය වනු ඇත. එනම් ගල් අඟුරු කිලෝ එකකින් නිපදවිය හැක්කේ කිලෝවොට් පැය දෙකක් පමණි. ශ්‍රී ලංකවේ නිපදවෙන විදුලියෙන් 40% නිපදවන්නේ ගල් අඟුරු වලිනි. එනම් සමස්ථ වාර්ෂික නිෂ්පාදනයෙන් 40% වනුයේ කිලෝවොට් පැය බිලියන 5.068 කි. ඒ සඳහා වැය වන ගල් අඟුරු ප්‍රමාණය ගණනය කළහොත් එය ගල් අඟුරු කිලෝ බිලියන 2.534 අවශ්‍ය වනු අත. එනම් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2534 මෙරටට ආනයනය කල යුතුය. ඒ අනුව ඒක පුද්ගල පරිභෝජනය සලකු විට අයෙක් පරිභෝජනය කරන කිලෝවොට් පැය 250 න් 40% නිපදවෙන්නේ ගල් අඟුරු වලින් නිසා එක පුද්ගලයෙක් සඳහා වැය වන ගල් අඟුරු ප්‍රමාණය වන්නේ කිලෝ 50කි. ගල් අඟුරු දහනයෙන් විදුලිය කිලෝවොට් පැය එකක් නිපදවීමේ දී කාබන් ඩයොක්සයිඩ් කිලෝ 0.34 ක් නිපදවෙනු ඇත. එනම් ගල් අඟුරු කිලෝ එකක් දහනය වනවිට අසන්න වශයෙන් විදුලිය කිලෝවොට පැය දෙකක් ලබා ගත හැකි අතර එනිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් කිලෝ 0.68ක් නිපදවෙනු ඇත. ඒ අනුව ගල් අඟුරු දහනයෙන් විදුලි උත්පාදනය කිරීමේදී වාර්ෂිකව ශ්‍රී ලංකව වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කිලෝ මිලියන (2534 x 0.68), 1723.12 ක් පමණ වනු ඇත. එක පුද්ගලයෙක් වෙනුවෙන් ගල් අඟුරු කිලෝ 50 ක් දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් කිලෝ 34ක් නිපදවනු ඇත.


සමස්ත විදුලි නිෂ්පාදනයෙන් අසන්න වශයෙන් 75% කට වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ පොසිල ඉන්ධන දහනයෙන් බව අප හොඳින්ම දනී. ගල් අඟුරු භාවිතයෙන් 40% ලබා ගන්න අතර ඉතිරි 35% ලබා ගනුයේ බොහෝ විට ඩීසල් බලාගාර ඇසුරෙන් විය යුතුය. එනම් කිලෝවොට් බිලියන 4.43 විදුලිය ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා ඩිසල් භාවිතා කරනු ඇත. ඩිසල් ලීටරයකින් විදුලිය කිලෝවොට පැය 11.1 නිපදවිය හැක. ඩිසල් මගින් කිලෝවොට් පැයක් විදුලිය නිපදවීමේදී කාබන්ඩයොක්සයිඩ් කිලෝ ග්‍රෑම් 0.27 වායුගෝලයට නිදහස් වෙයි. ඒ අනුව ඩිසල් ලීටරයක් දහනය කිරීමේදී අසන්න වශයෙන් කාබන් ඩයොක්සයිඩ් කිලෝ 3ක් පමණ වායුගෝලයට මුදා හැරෙයි. සමස්ත විදුලි පාරිභෝජනය සැලකීමේදී කිලෝවොට් බිලියන 4.43 ක් නිපදවීම සඳහා ඩිසල් ලීටර මිලියන 400ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වේ.  මේ සියල්ල දහනයෙන් ඒ අනුව වායුගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වන්නේ කිලෝ ග්‍රෑම් මිලියන 1212 පමණ වෙයි. ඒ අනුව සැලකීමේදී පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී වායුගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් මිලියන (1723000 +1212) 1,724,212 ක් පමණ වනු ඇත.

2018 වසරේදී මෙරටට ගෙන්වන බොර තෙල් ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් මිලියන 1.5 ක පමණ වේ. බොරතෙල්  මගින් විදුලිය කිලෝවොට එකක් නිපදවීමේදී කාබන්ඩයොක්සයිඩ් කිලෝ ග්‍රෑම් 0.27 ක් වායුගෝලයට නිදහස් කරයි.  බොරතෙල් ටොන් එකක් දහනය කිරීමෙන් කාබන්ඩයොක්සයිඩ් කිලෝ ග්‍රෑම් 2869 ක් පමණ වායුගෝලයට නිදහස් වෙයි.  ඒ අනුව , මෙරටට ගෙන්වන ලද බොරතෙල් සියල්ලම 100% දහනය කරේ යැයි උපකල්පනය කල හොත් 2018 වසරේ දී වායුගෝලයට මුදා හැර ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වන්නේ කිලෝ බිලියන 4.2 ක් පමණ වේ.

අපගේ දෛනික ක්‍රියාකාරකම් වලදී බොහොමයක් අවස්ථාවල විදුලිය භාවිතා කිරීමට අවශ්‍ය වෙයි. එනිසා ඒ ක්‍රියාකාරකම් පිළිබඳව යම් විමසිලිමත් භාවයකින් කියා කරන්නට හැකි නම් අපගේ අංගාර පා සටහන අවම කරගැනීමට හැකි වේවි. එනිසා හැකි පමණ විදුලි පරි පරිභෝජනය අඩුකිරීම සඳහා අනවශ්‍ය ලෙස විදුලිය භාවිතා කිරීම නවතා දමා විදුලි සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම කල යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 17 January 2020



උණුවතුර ලිං බිහිවන්නේ කොහොමද ?

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 2
This article was originally published on Vidusara 15.01.2020.

එක් දහස් නවසිය අනු අටේ ජනේරුව ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන වර්ෂයක ආරම්භය වුනා. දළදා මාලිගාවට එල්ලකල කුරිරු ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාරය අප සියල්ලම කැළඹීමට ලක්කලා. ඒ දිනය භූ විද්‍යාඥයින්ගේ ලෝකයටත් අඳුරු දිනයක් වූවා කිව්වොත් නිවැරදියි. ශ්‍රී ලාංකික භූ විද්‍යාවේ නියමුවා, ආරම්භකයා මේ සිදුවීම හේතුකොටගෙන ඇති වූ කම්පනයෙන් මෙලොව හැර ගියා. අපගේ නිර්මාපකයා,  මහාචාර්ය විතානගේ ශූරීන් කලෙක පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති දූරය ද හෙබවූවෙක්. එකල අප පළමු වසර අවසානයේ වූ විභාගයට සුදානම් වෙමිනුයි සිටියේ. කොහොමින් කොහොමින් හරි මහාචාර්ය විතානගේ මහතා සකසා දුන් විෂය ක්ෂේත්‍රය අද වන විට ශ්‍රී ලංකාවට අත්‍යවශය වී හමාරයි.
  

භූ විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගැනීමට අවස්තාව හිමිවීමම අපූරු අත්දැකීම් රාශියක් විඳගැනීමට මග සැලසූවා කිව්වොත් නිවැරදියි. ඛණිජ සහ පාෂාණ පිළිබඳව ආරම්භයේ ලබාගත් දැනුම ඉතා ක්‍රියාශීලිව භූ විද්‍යාව උගැන්මට කදිම ප්‍රවේශයක් වූවා. එය යන යන සෑම තැනකින්ම ඛණිජ සහ පාෂාණ එකතු කර ගැනීමට අප පොළඹවනු ලැබූවා. එමගින් විවිධ ඛණිජ වර්ග සහ පාෂාණ පිළිබඳව වූ දැනුම පුළුල් කරන්නට අවකාශය සැලසුන බව කිව යුතුය. ශ්‍රී ලාංකේය භුමි භාගයෙන් බහුතර ප්‍රදේශයක් පුරාවට පැතිරී ඇත්තේ විපරීත පාෂාණ වූවත් තැනින් තැන දක්නට ලැබෙන ආග්නේය සහ අවසාදිත පාෂාණ උද්ගතයන් නිසා තරමක විවිධත්වයක් අත්විඳින්නට අපට හැකිය. 


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් පළමු වසරේ අවසාන භාගයේ දී මෙරටේ දකුණු ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදෙන්නට අප සියල්ලන්ට ම අවකාශ හිමිවිය. විවිධ භූ විද්‍යාත්මක සංසිද්දීන් නිරීක්ෂණය කරමින් ද විනෝදජනක අත්දැකීම් ද සහිත වූ එය භූ විද්‍යාව නිසා කුල්මත් වී සිටි අපට අපූරු චාරිකාවක් වුනා. උස්සන්ගොඩ රක්ත පාංශු නිධි ඒ අතර වූ මනරම් ස්ථානයක්. එයින් ඔබ්බට වූ රට අභ්‍යන්තරයේ පිහිටි උණු වතුර ළිං අප කාගේත් අවධානය යොමු වූ භූ විද්‍යාත්මක සංසිද්දියක්. මදුනාගල, මහපැලැස්ස ප්‍රදේශයේ පිහිටා ඇති උල්පතෙන් වතුර පිරී ඉතිරී යන්නේ කෙලෙසද යන්න අපට ගැටළුවක් වුනා. එපමණක් නොවෙයි මෙලෙස පිරී ඉතිරී යන්නේ උණුවතුර. උණුවතුර උල්පත් බිහිවන්නේ කොහොමද යන්න ඔබටත් ගැටළුවක් වන්නට ඇති. 


ශ්‍රී ලාංකේය භූ තලය සකස් වී ඇත්තේ ප්රෝටෙරෝසොයික් යුගයේ නිර්මාණය වූ ලොව පැරණිම පාෂාණ ගොනුවකින්. භූ විද්‍යාත්මකව ප්‍රධාන ප්‍රදේශ තුනකට බෙදා වෙන් කරන්නේ එම පාෂාණ වල වයස පදනම් කරගෙන. මෙම පාෂාණ ගොනු අතර උස්බිම් සංකීර්ණය සහ ඊට නැගෙනහිරින් ඇති විජයානු සංකීර්ණය වෙන්වන මායිම උණුවතුර ළිං ඇති කිරීමෙහි ලා හරිම වැදගත්. මෙම මායිම එක්තරා ආකාරයක කුඩා භූ තල මායිමක් යනුවෙන් හඳුන්වන්නත් පුළුවන්. ඒ වාගේම මෙය භූ තලයේ ඉතා ගැඹුරට විහිදෙන පැල්මක්. මේවාගේම නොවුනත් විවිධ දිශානතීන් ඔස්සේ විහිදෙන පැලුම්, දැදුරු සහ කුස්තුර මෙම පාෂාණ කලාපවල දැකගන්නට පුළුවන්. මේ මායිම උස්සන්ගොඩ සිට ත්‍රිකුණාමලය දක්වාම විහිදී යනවා. ලංකවේ වාර්තා වන බොහොමයක් උණුවතුර ළිං පිහිටා ඇත්තේ මෙම මායිම ඔස්සේ. එහෙමත් නැතිනම් මායිමට ඉතාම ආසන්නයේ. 


තල මායිමේ එහෙම නැතිනං මේ පැල්මේ ගැඹුරට යත්ම යත්ම උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවෙයි. මේ තත්වය ලෝකයේ සෑම තැනකම එක සමානව සිදුවෙන්නේ නැහැ. බොහොමයක් වෙලාවට මීටර සියයක් ගැඹුරට යද්දී සෙන්ටිග්‍රේඩ් අංශක එකක් දෙකක් පමණ වැඩිවෙනවා. සමහර තැන්වල සෙන්ටිග්‍රේඩ් අංශක පහක් පමණ වෙන්නත් පුළුවන්. සාමන්‍යයෙන් භූ අභ්‍යන්තරයේ උණුසුම් වැඩිකරන්නට හේතුවන්නේ ප්‍රවරණයේ (mantle) ඇති විකිරණශීලි මුලද්‍රව්‍ය. මෙම මුලද්‍රව්‍ය නිකුත් කරන විකිරණ නිසා  තමයි ප්‍රවරණයේ  තාපය වැඩිවන්නේ. මෙම තාපය ඉහළට ගමන් කිරීම හේතුවෙන් ඊට ඉහලින් වූ භූ කලාප රත් වෙනවා. මේ නිසා ගැඹුරේ ඇති ජලය උණුසුම් වී ඒවායේ ඝනත්වය ක්‍රමයෙන් අඩුවෙයි. අඩු ඝනත්වයෙන් යුක්ත ජලය පාෂාණ වල ඇති දැදුරු සහ කුස්තුර ඔස්සේ යම් පිඩනයකින් ඉහලට ගමන් කරයි. පිඩනයකින් ජලය ගමන් කරන නිසා මතුපිටට පැමිණෙන්නේ ජල උල්පතක් ලෙසයි. ඒ වාගේම ගැඹුරේ දී රත් වීම නිසා ඉහලට එන ජලය උණුසුම්. මේ තත්වය ගිනිකඳු නිසා භූ අභ්‍යන්තර ජලය රත් වීම නොවෙයි. ඒක නිසා අපේ රටේ ගිනිකඳු ඇතිවෙන්නත් පුළුවන් නේද කියලා බය වෙන්න අවශ්‍ය නැහැ. එහෙම තත්වයක් මේ මායිම ආසන්නයේ වෙන්නේ නැහැ.

“උණුවතුර උල්පත්” කියලා හඳුන්වන්න නිශ්චිත අර්ථකතනයක් මේ දක්වා ඉදරිපත් වෙලා නැහැ. එක් එක් පැහැදිලි කිරීම් තියෙනවා. සමහරු කියන ආකාරයට අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි වෙන්නට ඕනේ කියලා. ඒ තත්වය පරිසරය අනුව වෙනස් වෙනවා නේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මිනිස් සිරුරේ උෂ්ණත්වයට වැඩි වැඩිවෙන්න ඕනේ කියලත් සමහරු කියනවා. කොහොම උනත් අපට තියෙන උණුවතුර උල්පත්වල උෂ්ණත්වය එකිනෙකට වෙනස්. මේ වෙනකොට උණුවතුර උල්පත් දහයක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ අතර මදුනාගල, කින්නියා, මහඔය ඇති උණුවතුර ළිං බොහොම ප්‍රසිද්ධයි.  සමහරු උණුවතුර ළිං වලින් ස්නානය කිරීමෙන් ලෙඩ සුවවෙනවා යයි මතයක් දරනවා. 


ගැඹුරේ සිට උණුවතුර ඉහළට එන විට ජලය උණුසුම් නිසා නොයෙකුත් රසායනයන් එකතු කරගන්නවා. සමහර රසායනයන් සාමාන්‍ය ජලයේ ඒ කියන්නේ මතුපිට ඇති ජලයේ දියවෙන්නේ නැහැ. ඒ උණුසුම් මදි නිසා. නමුත් භූ අභ්‍යන්තරයේ දී ජලය රත් වීම නිසා ඉතා පහසුවෙන් යම් යම් රසායනයන් දිය කරගන්නට හැකි වෙනවා. මේ නිසා යම් යම් රෝග සුව වෙනවා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම සමේ ඇතිවන් රෝග. කොහොමත් උණුවතුර ස්නානය නම් ගත සිත දෙක ප්‍රබෝධ කරවන්නක්.


මේ ස්ථාන නරඹන්නට යෑම ඉතාම අගනේයි. භූ විශ්මයන් මොනවාදැයි ඉගෙන ගන්නට එය අපූරු ප්‍රස්ථාවක් වේවි. එනමුත් මේ ස්ථාන ආරක්ෂා කර ගැනීම අපේම වගකීමක්. මොකද අනාගතයේ අපේ දුවා දරුවන්ටත් මේවායේ සුන්දරත්වය ඇත විඳින්නට අවස්ථාව ලබා දීම අපේ යුතුකමක්.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 15 January 2020

 ඇයි රත්තරන් මෙච්චර ගණන්..?
 
This article was orginally published in Divaina, 15.01.2020. 
http://divaina.com/daily/index.php/visheshanga3/38026-2020-01-14-13-58-60

ඉපැරණි ලෝකයේ වටිනාම ලෝහය වූයේ රත්තරන්. කලෙක වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරුව සඳහා වූ මුදලක්‌ ලෙසද භාවිතා කළා. අදවන විටත් බ්‍රිතාන්‍යයේ මුදල් ඒකකය වෙන්නේ රන් පවුම්. රත්තරන් මෙලෙස වටිනා ද්‍රව්‍යයක්‌ බවට පත් වුණේ කොහොමද?
 
 භූ විද්‍යාත්මකව රත්තරන් කියන්නේ ඛණිජයක්‌. සොබාවිකව හමුවන මුලද්‍රව්‍යමය ඛණිජයක්‌ කියලා හඳුන්වන්න පුළුවන්. බොහොමයක්‌ ඛණිජ පරිසරයේ මුණ ගැහෙන්නේ සංයෝග ලෙස. නමුත් රත්තරන් ඇතුළු ඛණිජ කිහිපයක්‌ එලෙස සංයෝග සාදන්නේ නැහැ. ඒ කියන්නේ වෙනත් මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔක්‌සිජන් සහ ජලය සමග. එහෙම නැතිනං බොහොම අඩුවෙන් තමයි ප්‍රතික්‍රියා කර සංයෝග සාදන්නේ. හැබැයි රත්තරන් ගෙන්දගම් (S) හමුවේ නම් කළු පැහැති සල්ෆයිඩය සදනවා. ඒක නිසා තමයි ගෙන්දගම්වලට රත්තරන්වල සතුරා කියලා කියන්නේ. ඒ වාගෙම රත්තරන්වලට ගඳක්‌ සුවඳක්‌ ඇත්තෙත් නැහැ.
 
 ඉතා අඩුවෙන් ප්‍රතික්‍රියා දැක්‌වීම පමණක්‌ නොවෙයි රත්තරන්වල තියෙන සුවිශේෂී ගුණ වන්නේ. මුලද්‍රව්‍යමය රත්තරන් කහ පැහැතියි. එය ඉතා අලංකාර ලෙස දිලිසීමට හේතුවක්‌. රත්තරන් ඉතා අඩුවෙන් ගෙවීමට ලක්‌ වීමත් මෙහි ඇති අපූරු ගුණාංගයක්‌. ඒ වාගේම කැඩී බිඳී වෙන් වී යන්නේ නැතුව ඉතාම තුනී තහඩු නිර්මාණය කිරීමේ හැකියාව ද පවතිනවා. ඒ වාගේම ඉතාම තුනී නූල් නිර්මාණය කිරීමේ හැකියාව ද නැතුවා නොවේ. රත්තරන් අවුන්සයක්‌ (28 g) කිලෝ මීටර අටක්‌ පමණ දුරකට ඉතා තුනී නූලක්‌ ලෙස අදින්ට පුළුවන් බවයි පැවසෙන්නේ.
 
 කැරට්‌ 24 රත්තරන් කියන්නේ සුපිරිසිදු රත්තරන්. පොළොවෙන් කණිනකොටම ලැබෙන්නේ කැරට්‌ 24 රත්තරන්. එවැනි රත්තරන් විෂ සහිත නොවෙයි. රත්තරන් මිශ්‍රිත ආහාර සහ බීම භාවිතය ගැන අතීතයේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවෙත් කුඩා දරුවන්හට ඉඳුල් කට ගෑමේ චාරිත්‍රයේ දී රත්තරන් කට ගාන (රන්කිරි කට ගෑම) බවයි පැරැන්නන් පවසන්නේ. රන් භාවිතය අවුරුදු 6000ක්‌ පමණ ඈත අතීතයකට හිමිකම් කියනවා. පැරණි ඊශ්‍රායලය ඒ සඳහා සාක්‌ෂි සපයනවා. ඒ විතරක්‌ නොවෙයි පැරණි ඊජිප්තුවත් අවුරුදු 5000 කට පමණ පෙර රන් භාවිත කළ බවට සාක්‌ෂි ලබා දෙනවා.
 
 රත්තරන්වලට ඉතා හොඳින් විදුලිය සන්නයනය කළ හැකියි. නමුත් මිල අධික නිසා ඒ සඳහා භාවිතය අපහසුයි, හැබැයි සමහර විශේෂිත තත්ත්ව යටතේ භාවිත කළ යුතු අවස්‌ථාවල පමණක්‌ රත්තරන් සන්නායකයක්‌ ලෙස යොදාගන්නවා. විශේෂයෙන්ම සුපිරි පරිගණක නිෂ්පාදනයේ දී වගේ.
 
 රත්තරන් භාවිතය කලාවක්‌, එහෙම නැතිනං මෝස්‌තරයක්‌ කියලා හඳුන්වන්නත් පුළුවන්. සමහර ජාතින් අතර ඒ පිස්‌සුවක්‌ වාගේ ජනප්‍රිය වෙලා. සමහරු සතු ධනය පෙන්නීමට එය ආයුධයක්‌ කර ගෙන තියෙන්නේ. රටවල ආර්ථික ශක්‌තිය පෙන්නන්නෙත් එහි ඇති රන් තැන්පතු ප්‍රමාණය අනුව.
 
 ලෝකයේ රත්තරන් නිධි නිර්මාණය වන්නේ කොහොමද කියලා අපි බලමු. භූ විද්‍යාත්මකව රන් නිධි ආකාර කිහිපයක්‌ තියෙනවා. ඒ ප්‍රාථමික නිධි, ද්විතියික නිධි සහ ස්‌ථානීය නිධි කියලා. ප්‍රාථමික නිධි කියන්නේ මවු පාෂාණයේ පිහිටා ඇති රන් නිධි. ඒවා ජීර්නයෙන් ස්‌ථානීය නිධි බවටත් ස්‌ථානීය නිධි ඛාදනය නිසා ද්විතියික නිධි නිර්මාණය වෙනවා. එනිසා ඒවා බොහෝ විට හමුවන්නේ අවසාදිතත් එක්‌ක. විශේෂයෙන්ම ගංගා තැන්පතු ආශ්‍රිතව. ප්‍රාථමික නිධි නිර්මාණය වන්නේ අපූරු ආකාරයකට. භූ විද්‍යාඥයින් පවසන අන්දමට භූ පරිසරයේ ගැඹුරට කිඳා බහින ජලය ගැඹුරේ දී ඇතිවන අධික තාපය හමුවේ රත්වන අතර ඒ හා සමග රන් මිශ්‍රිත භූ තරලයන් (ලෝදිය) සමග මිශ්‍රව භූමියේ ඉහළට රැගෙන එන අතර යම් ගැඹුරකදී එම තරලය රන් නිධි බවට පෙරළයි. තවත් කතිකාවකට අනුව භූ ගැඹුරේ වූ රන් මිශ්‍රිත භූ තරලය ඇතිවන අධික උෂ්ණත්වය නිසා ඉහළට පැමිණි යම් ගැඹුරකදී මේවා නිධිගත කරයි. මෙලෙස රන් නිධි නිර්මාණය වන්නේ ගිනිකඳු ක්‍රියාකාරකම් ආශ්‍රිතව වන අතර මෙවැනි ක්‍රියාකාරකම් භූ තල මායිම් අසල දී සිදුවන බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙයි.
 
 ලෝකයේ විශාලතම රත්තරන් නිෂ්පාදකයා වන්නේ චීනය වන අතර 2018 වසරේදී පමණක්‌ ටොන් 404 ක්‌ නිපදවා ඇත. ඒ අතර ඔස්‌ටේ්‍රලියාව, රුසියාව, ඇමෙරිකාව, කැනඩාව සහ පේරු රාජ්‍යය පෙරමුණේ ඉන්නා රටවල් වෙයි. 

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 9 January 2020




පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 

This article was published in Vidusara 09.01.2020


භූ විද්‍යාව හරිම අපූරු විෂය ක්ෂේත්‍රයක්. ලෝකේ තියෙන සුන්දරම, ඒ වාගේම විශ්මිත දේවල් ගැන ඉගෙන ගන්න, දැක බලා ගන්න මේ හින්දා අවස්ථාව ලැබෙනවා. පසුගිය දශක දෙකක පමණ කාලය තුල බොහොම අපූරු අත්දැකීම් ඒ හින්දා මට ලැබුනා. මේ වතාවේ ඉදිරිපත් කරන ලිපි මාලාවෙන් මම ඔයාලට කියන්න හදන්න ශ්‍රී ලංකාවේ එවැනි භූ විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් පිළිබඳව. ඒ ගොඩක් තැන් මම ගිහින් තියෙන තැන්. මාගේ ඒ සංචාර වල දී ලත් අත්දැකීම් පමණක් නොවෙයි ඒ හා බැඳුන අපුරු භූ විද්‍යාත්මක රහස් මේ ලිපි වලින් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. ඔයාලත් ඒ තැන් බලන්න යනවානම් ඒ තැන්වල භූ විද්‍යාත්මක පසුබිම ගැන දැනගෙනම යන එකේ යම් වටිනාකමක් තියේවි. භූ විද්‍යාත්මකව වැදගත් වෙන ස්ථාන නැරඹීමට මේ වෙනකොට ලෝකේ සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා. ඒක “භූ සංචාරිතය’ (Geo Tourism) කියලා හඳුන්වන්නත් පුළුවන්.


කුඩා දිවයිනක් වෙන ශ්‍රී ලංකවේ වර්ගඵලය වර්ග කිලෝමිටර 65610 ක් පමණ වෙනවානෙ. සමහරු කියනවා 2004 ආපු සුනාමියට පස්සේ ශ්‍රී ලංකවේ හැඩය වගේම වර්ගඵලයත් වෙනස් වෙලා කියලා. ඒ කොහොම උනත් හැඩය වෙනස් වෙන්නතත් ඒ හින්දාම වර්ගඵලය වෙනස් වෙන්නත් තව කරුණු බලපානවා. නිරන්තරයෙන්ම සිදුවන මුහුදු රළවල බලපෑම ඒ අතුරින් විශේෂයි. මෝසම් සුළං  නිසා ඇතිවෙන මුහුදු රළ මගින් සිදුවෙන වෙරළ ඛාදනය, දකුණු සහ නිරිත දිගින් වූ ගොඩබිම අපට අහිමි කරනවා. ඒ වාගේම ඊසාන දිගින් පිහිටි යාපන අර්ධද්වීපයේ වෙරළත් මෙලෙසම ඛාදනය වෙනවා. ඒ ඊසාන දිග මෝසම් සුළං නිසා.

නිරිත සහ ඊසාන දිග මෝසම් සුළං නිසා ඇතිවන “දිගුදුර දියවැල්” (longshore currents) නිසා අලුතින් වෙරළ නිර්මාණය සිදුවෙනවා. අපේ රටේ බටහිර වෙරළ ඔස්සේ දකුණේ සිට උතුරට ඇදී යන මේ දිගුදුර දියවැල් එකතුකරගෙන යන මුහුදු වැලි, බාධකයක් හමුවේ ගොඩ ගැහෙන්නට පටන් ගන්නවා. එහෙම ගොඩ ගැහුන වැලි නිසා තමයි අද වෙනකොට කල්පිටිය වැලිපරය නිර්මාණය වෙලා විශාල ගොඩබිම් කලාපයක් බවට පත් වෙලා තියෙන්න. හලාවත සහ මිගමුව කලපුව පමණක් නොවෙයි, කොළඹ ප්‍රදේශය ගොඩනැගිලා තියෙන්නෙත් මේ ආකාරයේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදියට. ඒ විතරක් නෙවෙයි ඒ කාලයේ රට අභ්‍යන්තරයේ තිබුන ගංගා වල දායකත්වයත් ලැබිලා තියෙනවා. ගංගා වලින් ගෙනාපු වැලි සහ මැටි (අවසාදිත) වලින් තමයි වැලිපර වලින් වටකෙරුන කලපු පිරවිලා තියෙන්නේ. මුහුදු වෙරළේ ගතික බවත් මෙහිදී යම් දායකත්වයක් ලබලා දීලා තියෙනවා. 


ඔබ බූන්දල ජාතික වනෝද්‍යානය බලන්නට ගිහින් ඇති. මුහුද ආසන්නයටම ගියානම් වෙරළ ආසන්නයේ පිහිටි විසල් වැලිකඳු දැක ඇතුවා නිසැකයි. ශ්‍රී ලංකවේ වෙරළෙහි යම් යම් ස්ථාන වල ඇති මෙවැනි වැලිකඳු භූ විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට ලෝකයේ ප්‍රමුඛ කාලගුණික විපර්යාසයක් පිළිබිඹු කරනවා. භූ කාලවකවානු අනුව අප මේ ගත කරන්නේ චාතුර්ථ අවධියේ. එය වසර මිලියන 2.5 කට පමණ පෙර ආරම්භ වූ බව භූ විද්‍යාඥයින් ගණනය කරලයි තියෙන්නේ. මේ කාලය තුල විවිධ අවස්ථාවන් වල දී ලෝක කාලගුණයේ පෙරළියන් සිදු වී ඇති බව පෙනී යන දෙයක්. එක් කාලයකදී අධික ශීත සමයන් හමුවන අතර තවත් කලකදී උණුසුම් සමයන් ද ඒ අතර හමුවෙනවා. ශීත සමයන් හැමවිටම ඇතිකරනුයේ වියළි තත්වයන්. උණුසුම් සමයන් වලදී අධික වර්ෂාපතනය සමග තෙතබරිත පරිසරයක් නිර්මාණය කරනවා. 


මෑත කාලීනව ඇති වූ ශීත සමය ආරම්භ වන්නේ වසර 115,000 කට පමණ පෙර. ඒ ශීත සමය අවසන් වන්නේ මින් වසර 11,700 කට පමණ පෙර බව පර්යේෂණ සොයාගැනීම් වල සඳහන් වෙනවා. ශීත සමය අවසන් වන්නට හේතුව වන්නේ ලෝකය කරන් උණුසුම් වීම. ඒ පිළිබඳව අපි වෙනම දවසක කතා කරමු. ශීත සමයේ දී මුහුදු මට්ටම පහල යන්නට හේතුවන්නේ සාගර ජලය බොහොමයක් අයිස් බවට පත් වී ග්ලැසියර නිර්මාණය වීමයි. ඒ කොහොම වුනත්, අයිස් යුගයේ දරුණුතම කාලය සටහන් වන්නේ වසර මිලියන 26, 500 කට පමණ පෙරයි. භූ විද්‍යාඥයින් පවසන අන්දමට එකල ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්ව පැවතිලා තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 9 ක පමණ. ගොඩබිම් කලාප වලින් හතරෙන් එකක් පමණම අයිස් වලින් යටවෙලා තමයි තිබිලා තියෙන්නේ. එකල මුහුදු මට්ටම අදට වඩා මීටර 125ක් පමණ පහලින් තමයි පිහිටන්නේ. ඒ කියන්නේ  අපේ රට ජුරාසික කාලයේ දී ඉන්දියාවෙන් වෙන් වුනත් නැවත එක් ගොඩබිමක් බවට පත් වෙන්නට ඇති. මේ සම්බන්ධය දෙරටේ ජීවි විශේෂ වල ව්‍යාප්තියට, ඒ කියන්නේ ජාන මුසුවට බොහොම වැදගත්. 


ශිත බවේ දරුණු බව ලෝකය වියළි තත්වයෙන් අසීරු කරන්නට ඇති. ඒ නිසාම අධික සුළං නිර්මාණය වීමත් එම කාලයේ කැපී පෙනෙන ලක්ෂණයක්. නිරිත දිගින් හැමූ ඒ සිතල වියළි සුළං වෙරළබඩ නිර්මාණය කරන්නේ වැලි කඳු. ඒ ඔබ අද දකින බූන්දල වැලි කඳු. සුළගින් ගසා ගෙන යන්නට තරම් වූ සැහැල්ලු සියුම් වැල්ලකින් තමයි මේ වැලි කඳු නිර්මාණය වෙලා තියෙන්නේ. දැනට සිදුකර ඇති කාලනිර්ණයන් අනුව මේ වැලි කඳු ගොඩනැගී ඇත්තේ වසර 80,000 කට පමණ පෙර. මෙවැනි වැලි කඳු ඊසාන දිග වෙරළෙත් හමුවෙනවා. නමුත්, කල්පිටිය මුහුදු තීරයේත්, මන්නාරම් දූපතෙත් වැලි කඳු දැකගන්නට පුළුවන්. කොපමණ කාලයකට පෙර මෙම වැලි කඳු නිර්මාණය වුවාදැයි තවම නිශ්චිතව ප්‍රකාශයට පත් වෙලා නැති වුනත් ඒවා බොහෝවිට මෙම අවසන් ශිත සමයේ ඇතිවන්නට ඇතැයි විශ්වාස කල හැකියි. ඔන්න මේ ගමන ඔබත් බූන්දල යනවනං වැලිකඳු බලන්න යන්න අමතක කරන්න එපා. වෙරළබඩ නිර්මිත තවත් බොහෝ භූ නිර්මාණ ගැන අපට අක්තා කරන්න පුළුවන්, ඉදිරියේදී ඒ ගැනත් වරින් වර ඔබට ඉදිරිපත් කරන්න තමයි මගේ අදහස.  



ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...