Wednesday 25 December 2019

වායු ගෝලීය දූවිලි අංශු 

This aticle was originally published in Divaina 25th December, 2019
 https://divaina.com/daily/index.php/visheshanga3/37204-20-25

පසුගිය දිනවල ඔබට මතක ඇති අපේ රටේ වායු දූෂණය සම්බන්ධ යම් යම් ගැටලු පැන නැගුණා. ඒකට හේතු වුණා කියලා කිව්වේ ඉන්දියාවේ සිට මෙරටට පා වුණ ඉතා කුඩා අංශු. මේ අංශු එරට වායුගෝලයේ කැළඹීමත් සමගම ඇතිවුණ සුළං ධාරා මගින් මෙරටට ගෙන ආ බවයි නිගමනය වුණේ. මේවා වායුගෝලීය ක්‌ෂුද්‍ර අංශු එහෙම නැතිනම් අපිට පුළුවන් වායුගෝලීය දූවිලි අංශු කියලත් හඳුන්වන්න.
 
 දිනකට සුළං ගැලුන් 3000ක්‌ නොසිතාම පෙනහැල්ලට යවන ඔබ මේ පිළිබඳව දැනුවත්ද? මොනවද මේ වායු ගෝලීය දූවිලි අංශු? බොහොම සරලව හඳුන්වනවා නම් වායු ගෝලයේ පාවෙන ඉතා කුඩා අංශුමය ද්‍රව්‍යය මෙලෙස හඳුන්වන්න පුළුවන්. මේවා ඝන ද්‍රව්‍යය වාගේම දියරමය ස්‌වරුපයෙන් හෝ මිශ්‍රණයක්‌ ලෙස ද වායුගෝලයේ පා විය හැක. ප්‍රමාණය මනින්නේ මයික්‍රෝ මීටර ප්‍රමාණයෙන්. මයික්‍රෝ මීටරයක්‌ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවක්‌. සෙන්ටිමීටරයකින් දස දහසකින් පංගුවක්‌. එතකොට හිතා ගන්නකො අංශුවල ප්‍රමාණය කොපමණ ද කියලා. උදෑසන හිරුඑළියට ඇතිවන හිරුකිරණ ඔබ දැක ඇතිවාට සැකයක්‌ නැහැ. ඒ ආලෝක ධාරා තුළ චලනය වන්නේ මෙවැනි කුඩා අංශු.
 
 ඇහැට නොපෙනෙන මෙවැනි අංශු උත්පාදනය වෙන්නේ කොහොමද කියලා දැන ගන්න එක වැදගත්. බොහෝ විට පස්‌ කැපීම වැනි සිද්ධීන් වලින් වාගේම, ගිනි තැබීම වැනි සිද්ධි නිසාත් ඉතා අධිකව වායුගෝලයට මෙවැනි අංශු එකතුවීමේ සම්භාවිතාවය වැඩියි. ඒ වගේම ගල් අඟුරු බලාගාර මෙන්ම වාහන ධාවනය නිසාත් මෙවැනි ඉතා කුඩා අංශුමය ද්‍රව්‍යය වායුගෝලයට එකතූ වෙන්නේ පුළුවන්. නග්න පාරවල් වාගේම, පිට්‌ටනි සහ ඉවත දමන පස්‌ වැනි ද්‍රව්‍යය නිසාත් වායුගෝලයේ මෙවැනි ක්‌ෂුද්‍ර අංශු සැරිසරන්නට පුළුවන්. ඒ විතරක්‌ නොවෙයි වඩුමඩු, ගරාæ (තීන්ත ස්‌ප්‍රේ) වැනි කර්මාන්ත නිසාත් වායුගෝලයට මේ ක්‌ෂුද්‍ර අංශු එකතු වීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය වියළි කාලයේදී වර්ධනය වීම විශේෂත්වයක්‌.
 
 අපි ඒ කතා කළේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා දූවිලි අංශු ඇතිවන ආකාරයනේ. සොබාවිකවත් මෙවැනි අංශු බිහිවීමේ හැකියාව තියෙනවා. බොහෝ විට ශාක පුෂ්පයන්ගෙන් නිකුත්වන පාරග ඉතා සියුම් සහ ක්‌ෂුද්‍ර නිසා ඒවාත් මේ කාණ්‌ඩයටම ඇතුළත් කරන්න පුළුවන්. එපමණක්‌ නොවෙයි වැලි කුණාටු නිසාත්, ගිනිකඳු පිපිරීම් නිසාත්, මුහුදු සුළං නිසාත් වායු ගෝලයට ක්‌ෂුද්‍ර අංශු එකතු වීමේ අවදානමක්‌ තියෙනවා. පස්‌ මගින් බිහිවන දූවිළි අංශු වල නම් බොහෝ වැටි මැටි ඛණිජ අඩංගු අතර ගිනි ගැනීම නිසා වායුගෝලයට එකතුවන අංශු බොහෝවිට බාගෙට පිළිස්‌සුන කාබන් අංශු වෙයි. කොහොම වුණත් මේවායේ සංයුතිය නම් එකිනෙකට වෙනස්‌ වෙනවා. වායුගෝලීය පාවෙන අංශු උත්පාදනය වන ක්‍රමවේදය සහ ස්‌ථානය අනුව එලෙස වෙනස්‌ විය හැකියි.
 
 දැනට විද්‍යාඥයින් අධ්‍යනයේ පහසුව සඳහා ක්‌ෂුද්‍ර අංශු වර්ගීකරණය කරලා තියෙනවා. ඒ අනුව PM10 යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රමාණයෙන් මයික්‌රෝමීටර 10ට අඩු අංශු ලෙසයි. ඒ වාගේම PM2.5 යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රමාණයෙන් මයික්‌රෝ මීටර 2.5 ට වඩා අඩු අංශු ලෙසයි. දෙවැනි ආකාරය වඩා කුඩා වන අතර වායුගෝලයේ පහසුවෙන් පා වීමේ හැකියාව සතුයි. ලෝකයේ දකුණු භාගයේ වායුගෝලයේ විශාල අංශු වාර්තා වන අතර ඒ සඳහා හේතුවන්නේ දකුණු අර්ධය බොහොමයක්‌ වැසී පවත්නේ මුහුදු කලාපයයි. නමුත් උතුර අර්ධයේ වැඩිපුර වාර්තා වන්නේ සියුම් අංශු වන අතර ඒ සඳහා හේතුවන්නේ මේ ප්‍රදේශය සමන්විත වන්නේ ගොඩබිම කලාපයයි.
 
 වායුගෝලය දූවිලි අංශු වලින් වැසී යැම නිසා විවිධ බලපෑම් එල්ල විය හැක. ප්‍රධාන වශයෙන්ම සුර්යාලෝකය පතිත වීම අඩපණ කරන අතර දූවිලි අංශු මගින් හිරු කිරණ විමසීම සිදුකරයි. වායුගෝලයේ ඇති ක්‌ෂුද්‍ර අංශු ජල වාෂ්ප එකතු කරන න්‍යෂ්ටි ලෙස ක්‍රියාකිරීම නිසා සාමාන්‍ය ලෙස වර්ෂාව ඇතිවීමට බාධා පමුණුවන බව සඳහන් වෙනවා. එපමණක්‌ නොවේ වායුගෝලයේ මෙවැනි අංශු සාන්ද්‍රගතවිම නිසා දිගු දුර දැක්‌මට බාධා පමණුවයි. ඒ වාගේම මෙම ක්‌ෂුද්‍ර අංශු පතිත වීම නිසා මතුපිට ජලය ආම්ලික වීමේ වැඩි ප්‍රවණතාවයක්‌ නිර්මාණය විය හැක. ජල දූෂණය වාගේම පාංශු දූෂණය ද එනිසාම කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම ද මේ අනුව සිදුවිය හැක. ඒ වාගේම අවසානයේදී ජෛව විවිධත්වය අඩුකරලීමෙහිලා බලපෑම් එල්ල කිරීමට සමත් බව පැහැදිලි වේ. මෙම ක්‌ෂුද්‍ර අංශු එලෙස පරිසරයට බලපාන අතර මානව සහ සත්ත්ව සෞඛ්‍ය සඳහා ද ප්‍රබල ලෙස බලපාන බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ.
 
 PM10 සහ PM2.5 යන නිර්මිත මගින් මනිනු ලබන අංශු ප්‍රමාණයන් මානව සෞඛ්‍ය සඳහා ඉතා තදින්ම බලපාන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ඔවුනට අනුව අකල් මරණ සඳහා වැඩි සම්භාවිතාවක්‌ මේ නිසා ඇති වේ. බොහෝවිට ස්‌වසනයෙන් ඒ සමග පෙනහළු ගතවන අංශු නිසා ඇඳුම වැනි තත්වයන් පමණක්‌ නොව පිළිකා තත්වයන් ද වර්ධනය විය හැක. ඒ වගේම නොයෙකුත් අසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවක්‌ ද නැතුවා නොවේ. එය ස්‌වසන මාර්ගය ආශ්‍රිත නොයෙකුත් ලෙඩ රෝග ඇති කිරීමටද හේතුවෙයි. එමෙන්ම හෘදයා බාධ ඇතිකිරීමටද හේතුවන බව සොයාගෙන තිබේ. විද්‍යාඥයින් පවසන පරිදි ඉතා කුඩා අංශු ( PM2.5) පෙනහළු ගතවීම පමණක්‌ නොව අවසානයේදී රුධිරගත වීමේ හැකියාවක්‌ ඇති බව පැහැදිලි වේ.
 
 අනෙකුත් විශේෂත්වය වන්නේ, මෙම වායුගෝලීය අංශු සමග විවිධ ලෙඩ රෝග පැතිරීමේ අවදානමයි. සමහරවිටෙක මෙවැනි පවෙන අංශු සමග විවිධ බැක්‌ටීරියා වර්ග සහ දිලිර වර්ග සහ ඒවායේ බීජානු පැතිරීමේ සම්භාවිතාවක්‌ ඇත. එනිසා ඒ සමග ඉතා පහසුවෙන් ලෙඩ රෝග පැතිරිමේ හැකියාව ඇති බව පෙනී යයි.
 
 මානව ගහනයේ වැඩිපුරම බලපෑමට ලක්‌වෙන කාණ්‌ඩය වන්නේ කුඩා ළමුන්. ඔවුන්ගේ දේහ ප්‍රමාණයට සාපේක්‌ෂව වැඩි වායු ප්‍රමාණයක්‌ ස්‌වසනය කරන නිසා ඔවුන් දූෂකවලට වැඩිපුර නිරාවරණය වෙයි. ඊට අමතරව මේ තත්වය අසනීප තත්ත්වයේ පසුවන අයවලුන් සඳහා ඉතා නොසුදුසු වේ. විශේෂයෙන්ම පෙනහළු සහ ස්‌වසන මාර්ගය ආශ්‍රිත රෝගාබාධ වලින් පෙලෙන අය සඳහා ද වයසක අය සඳහා ද මෙම අහිතකර වායුගෝලීය තත්වය ප්‍රබලව බලපායි.
 
 වර්තමායේ පවතින වායුගෝලීය දූෂක තත්ත්වය මග හැරීම සඳහා නාසාවරණ පැළඳීම උචිත වන අතර ගෙවලවල දොර ජනෙල් වසා තැබීම වඩා උචිත වේ. කෙසේ වෙතත්, මෙයින් මිදීම සඳහා ඒක පුද්ගල මෙන්ම සමාජීය සාමුහික සහයෝගය ද ඉතා වැදගත් වේ.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 12 December 2019


එදිනෙදා ජිවිතයට භූ විද්‍යාව

කපන, කැපෙන දියමන්ති

The article was originally published in Divaina on 11.12.2019.


වීදුරු කපන්නේ දියමන්ති වලින්. ඒ විතරක් නොවෙයි දියමන්ති කපන්නේත් දියමන්ති වලින්මයි. දියමන්ති ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මැණික් වර්ගයක් ලෙස. ලංකාවේ නම් දියමන්ති ලැබෙන්නේ නැහැ. හැබෑටම කොහෙන්ද දියමන්ති හම්බවෙන්නේ? හැබැයි ඊට කලින් අපි දැනගත්තොත් හොඳයි දියමන්ති වල ඛණිජ සහ භූ විද්‍යත්මක පසුබිම මොකක්ද කියලා.


දියමන්ති වල රසායනය සකස්වෙන්නේ කාබන් වලින්. තනිකරම කාබන් වලින් තැනුණු දියමන්ති තමයි ලෝකේ දැඩියාවෙන් වැඩිම ඛණිජය වෙන්නේ. අගය වෙන්නේ දහය. දැඩියාව වැඩිම ද්‍රව්‍යය නිසා ඒකෙන් අනෙකුත් ඛණිජ වර්ග හැම එකක්ම වගේ කපන්න භාවිතා කරන්න පුළුවන්. දැඩියාව වැඩිම නිසා තමයි මැණික් වර්ගයක් ලෙසත් දියමන්ති වැදගත් වෙන්නේ. දැඩියාව වැඩි ද්‍රව්‍යය පහසුවෙන් සීරීමට ලක්වෙන්නේ නැහැ. ඒ නිසා දිගු කාලයක් එහි මතුපිට දීප්තිය පවත්වා ගන්නට පුළුවන්. ත්‍රිමාණියව සකස්වුණ කාබන් දැලිස නිසා තමයි එවැනි දැඩියාවකින් යුක්ත වූ දියමන්ති ස්ඵටික බිහිවෙන්නේ. 


දියමන්ති බොහොමයක් පැහැයෙන් වීදුරු වගේ. පැහැයෙන් ගතහොත් දියමන්ති විවිධ පැහැයෙන් යුක්ත වෙන්න පුළුවන්. සුදු, කහ, නිල්, තැඹිලි, දුඹුරු විතරක් නොවෙයි කළු පැහැයෙන් යුක්ත දියමන්තිත් ලෝකේ විවිධ රටවලින් ලැබෙනවා. මෙවැනි පැහැයන් ඇති කරන්නේ දියමන්ති වල තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් සහ විවිධ අපද්‍රවය නිසා. හැබැයි එහි දිලිසීම නම් ලෝකේ තියෙන අපුරුම දිලිසීම කියලා හඳුන්වන්න පුළුවන්.

දියමන්ති බිහිවෙන්නේ අධික උෂ්ණත්වයට සහ අධික පීඩනයට කාබන් ලක් වුනහම. බොහෝ විට කිලෝමිටර 150 ක් 250 ක් පමණ ගැඹුරේ තමයි දියමන්ති බිහිවෙන්නේ. කාබන් රසායනය මිශ්‍රිත දියරය ලැබෙන්නේ පෘථිවි ප්‍රාවරණයෙන් (Mantle). සමහර විටක කිලෝමිටර 800ක් 900ක් ගැඹුරේ තමයි දියමන්ති බිහි කරන්නේ. උෂ්ණත්වය බොහෝ විට සෙල්සියක් අංශක 1000කට වැඩියි. එහිදී බිහිවන දියමන්ති පෘථිවි මතුපිටට රැගෙන් එන ක්‍රියාවලිය තමයි ගිනිකඳු පිපිරිම කියන්නේ. කිම්බලයිට් සහ ලම්ප්රෝයිටිස් වැනි පාෂාණ සමග තැන්පත්වන දියමන්ති ජීර්ණය සහ ඛාදනය නිසා පසට එකතු වූ පසු ක්‍රමයෙන් නිධිගත වෙනවා. එයට අමතරව භූ තල මායිම් ආශ්‍රිත පරිසරය ද දියමන්ති බිහි වීමට හේතු වෙනවා. භූ තල ක්‍රියාකාරිත්වය නිසා භූ තල මගින් ඇතිකරන පීඩනය සහ අධික උණුසුම ප්‍රාවරණයෙන් ලැබෙන කාබන් මිශ්‍රිත දියරය දියමන්ති බවට පත් කරන්නට සමත් වෙනවා. 


ලෝකයේ බිහිව ඇති සොබාවික දියමන්ති වසර බිලියනයේ සිට වසර බිලියන 3.5 ක් පමණ වයසැති ඒවා. ආසන්නතම කාලයේ බිහි වූ දියමන්ති වසර මිලියනක පමණ පැරණි බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. ලෝකයේ බොහෝවිට ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශවල මේ දියමන්ති හමුවෙනවා. මුලින්ම දියළු තැන්පතු ලෙස තමයි දියමන්ති ලැබෙන්නේ. ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ඉන්දියාව, කැනඩාව, රුසියාව, කොන්ගෝව, බොස්ට්වානාව යන රටවලින් තමයි වැඩිපුරම දියමන්ති ලැබෙන්නේ. 


දියමන්ති මැණික් වර්ගයක් ලෙස භාවිතා කිරීමට අමතරව තවත් දෑ සඳහා යොදා ගන්නවා. දත් වල ඉතා සියුම් කැපුම් සහ හෑරීම් සිදුකිරීම සදහා දියමන්ති ආලේපිත කැපුම් තල තමයි යොදාගන්නේ. එයට අමතරව පිළිකා සෛයිල නැසීම සඳහාත් යොදා ගැනීමට නියමිත බව විද්‍යාඥයින් සඳහන් කරනවා. ප්‍රධාන කොටම ඉදිකිරීම් ක්ෂේතර්යේදී බිහි විදුම් සිදුකරන උපකරණ සඳහා ඉතා බහුලව යොද ගන්නවා. එමගින් ඉතා පහසුවෙන් පොළොව සිදුරුකිරීමට හැකියාව ලබී තිබෙනවා. එපමණක් නොවෙයි අර්ධ සන්නායකයක් ලෙසද සිලිකන් වෙනුවට යොදා ගන්නා බව සඳහන් වෙනවා. හැබැයි මේවයින් හදන පරිඝණක නම් ඉතා මිළයි. විවිධ උපකරණ වල භාවිතා වන ලේසර වැනි කිරණ එලි පහළියට විසිරීම නැවත්වීම සඳහා යොදා ගන්නා අතර එමගින් පහසුවෙන් නිරීක්ෂණයට හැකි කවුළු නිර්මාණය කරනවා. 


දියමන්ති ඉතා මිල අධික මැණික් ඛණිජයක්.  සාමන්‍යයෙන් කැරට් එකක මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක් පමණ වෙනවා. කොහොම උනත් ස්ඵටිකයේ බර වැඩිවන විට කැරට් එකක මල තවත් වැඩිවෙනවා. කොහි නූර් දියමන්ති වල ට වැඩිම ඉල්ලමික් සහ වැඩිම මිලක් ලැබිලා තියෙන්නේ.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ 

Tuesday 10 December 2019

කණ්ඩි කඩා වැටීම පිළිබඳව ඔබ සැලකිලිමත් ද..???

මේ දිනවල පව්පවතින අධික වර්ෂාව අපගේ එදිනෙදා ජීවිතය අවුල් කරන බව පුදුමයට කාරණයක් නොවෙයි. ඉස්සන් දින මෝසම නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශයට වර්ෂාව ලැබෙමින් තිබේ. එනිසාම උතුරු නැගෙනහිර මුහුණතේ තියෙන කඳුකර ප්‍රදේශවලට ආපදා තත්වයක් උද්ගතවෙලා තියෙනවා. එහෙම නැතිනං ඉදිරියේදී එවැනි තත්වයක් උද්ගත් වීමට පහැකියාව තිබේ. තත්වය මෙසේ තිබියදී දිනයේ සැම පැයකම (පැය 24 පුරා) අවදියෙන් සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය පූර්ව අනතුරු ඇඟවීම් සිදුකරමින් සිටි. නිකුත් කරන අනතුරු ඇඟවීම් වලට ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් කාරණයක්. 

කොහොම වුනත් කාලගුණ අනාවැකි පැවසීම නම් ඉතා අසීරු කරුණක් බව පැහැදිලියි. ඉතා සිඝ්‍රයෙන් ක්ෂණයකින් වෙනස්වන සුළං සහ වැසි තත්වයන් පුරෝකථනය ඉතා උගහටයි. මධ්‍ය කඳුකරය පුරා සවිකර ඇති ස්වයංක්‍රිය වර්ෂාමාන දෙසියපනහකට ආසන්න ප්‍රමාණයක් මගින් ලෑබෙන තත්කාලීන වර්ෂා දත්ත පදනම් කරගෙන  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය අනාවැකි පවසන අතර කඳුකරයේ වෙසෙන නාය අධි අවදානම් කලාප වල වෙසෙන ජනතාවගේ අවධානය පිණිස වෙයි. 

මේ තාක් සිදුකර ඇති භුමි පරිහරණ රටාවේ වෙනස්කම් නිසා මධ්‍ය අවදානම් කලාප පවා අධි අවදානම් තත්වයට පත් විය හැක. වාර්තා වන බොහොමයක් අනතුරු ඇති වී ඇත්තේ සොබාවික නාය යාම් නිසා නොවන අතර ඒ කණ්ඩි කඩා වැටීම් මගින් සිදුව ඇති බව දැනගැනීම කණගාටුවට කරුණක්. මන්ද යත් මේ තත්වයට තම භුමිය පත් කර ඇත්තේ මහජනතාවම වීමයි. දුරදින නොබලා සිදුකර ඇති යම් යම් සංවර්ධන කටයුතු නිසා සංවර්ධනයේ ඉදිරියට නොව අප පසුපසට ගමන් කරන බවයි තේරුම් යන්නේ. එනිසා අස්ථාවර කණ්ඩි ආසන්නයේ නිවාස තනා ඇති ජනතාව වඩා සැලකිලිමත් විය යුතුය. එනිසා වර්ෂා කාලයේදී තම නිවාස අසාන්නයේ ඇති කණ්ඩි පිලිබඳ වඩා වැඩි අවධානයකින් සිටීම ඉතා වැදගත් සහ කාලෝචිත තීරණයකි. 

අස්ථාවර කණ්ඩි ආසන්නයේ ජිවත්වන්නන් තම ස්ථානය අනතුරුදයකදැයි දැනබලා ගැනීම කාලින අවශ්‍යතාවයක් බව අප තේරුම් ගත යුතුය. ඒ සඳහා ජාතික ගොඩනැගිලි සංවිධනයේ භූ විද්‍යාඥයින්ගේ සහය ඔබට ලබා ගත හැකියි. මෙය ආකාර දෙකකින් සිදුකළ හැකියි. පළමුවැන්න කෙලින්ම තමන්ගේම ඉල්ලීමක් ලෙසා මෙය සිදුකළ හැක. ඔබගේ ඉල්ලීම ඔබ වෙසෙන දිස්ත්‍රික්කය නියෝජනය කරන ජාතික ගොඩනැගිලි සංවිධානයේ දිස්ත්‍රික්ක කාර්යාලයකට ලබා දිය හැක. නැතහොත් ප්‍රධන කාර්යාලයට යොමුකළ හැක. එවිට විද්‍යාඥවරුන් පැමිණ තත්ත්වය් විමර්ශනයක් සිදුකර අනතුරුදායක තත්වය පිලිබඳ වාර්තා ලබා දෙනු ඇත. මේ ආකාරයේදී ඉල්ලීම් කරන්නට යම් කිසි මුදලක් ගෙවිය යුතුය.

දෙවෙනි ක්‍රමවේදය වන්නේ තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලවා මෙවැනි කාර්යයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව දැනුම් දීමයි. මෙහිදී ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර එම ඉල්ලීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිල් ජාතික ගොඩනැගිලි සංවිධනයට යොමු කරනු ඇත. බොහෝ දෙනකු මේ පිළිබඳව දැනුවත් නොවන බව පැහැදිලිය.
මේ ආකාරයේ පරික්ෂා කරගැනීමක් අයෙකුට තම නිවස සැදීමට පෙරද සිදුකරවාගත ගත හැක. පූර්වයෙන් එවැනි තත්ත්ව පරික්ෂාව කරගැනීම තම මුදල් පමණක් නොව තම ජිවිත ද ආරක්ෂාකර ගැනීමට ගන්නා ඉතා නුවනක්කාර තීරණයකි. එපමණක් නොව ඉඩම් මිලදී ගැනීමක දී තමා මිලදී ගන්නා ඉඩම නාය අනතුරට ලක්වන්නේ දැයි ද මෙවැනි පරික්ෂා මගින් අවබෝධකර ගත හැක. එමෙන්ම බලාපොරොත්තු වන යම් යම් සංවර්ධන කටයුතු වලට මෙන්ම එමගින් ද යම් ආකාරයකට තීව්ර වන්නේ දැයි පවා දැනගත හැකිය.
පුරෝකතන වලට ප්‍රතිචාර දැක්වීම මෙන්ම අවට පරිසරය පිළිබද ඉතා සුපරික්ෂාකාරිව සිටීම මෙන්ම ගමන් බිමන් යද්දී විශේෂයෙන්ම අලුතින් නිර්මාණය කල හෝ අලුතින් පුළුල් කල මාර්ග වල දී ඉතා සුපරීක්ෂා කාරී වීම වැදගත් කරුණකි. 

එනිසා ඔබ දුරදිග කලපනා කරන්නෙක් නම් මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇත. මේ පිළිබඳව තම අවට මිතුරු මිතුරියන් දැනුවත් කරනු ඇත. මෙරටේ හදවත බඳු මධ්‍ය කඳුකරය නාය අවදානමෙන් මුක්ත ප්‍රදේශයක් බවට පත්කර ගැනීම අප සියලු දෙනාගේම අනාගත සුභ සාධනය උදෙසා අත්‍යවශ්‍ය කරුණකි. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...