Thursday 26 March 2020



කොරෝනා ගෙට ගත්තද නැතිනං ගෙට ආවද..?

An edited verision of this article has been piblished on Vidusara, 25th March, 2020.



මේ සංචාරය කරන්න කොහොමවත් සුදුසු කාලය නොවෙයි. සංචාරය කරන්න නොවෙයි ඒ ගැන කතා කරන එකත් තේරුමක් නැහැ. මිනිසුන්ගේ සිත් තුල කරන්න බැරි දේවල් සඳහා උන්නන්දුව ඇතිකරන එක වැරදියි. ඒ නිසා මම කල්පනා කළා භූ සංචරිතයෙන් මේ සතියේ සංචාරක සටහන් ලියන එක නවත්තලා මේ දිනවල රටට වෙලා තියෙන සංගදිය ගැන කතා කරන එක හොඳයි කියලා. 

කොරෝනා වෛරසය නිසා ඇතිවෙලා තියෙන රෝගී තත්වයෙන් රටම බැට කන මොහොතක සිදුවෙන සහ සිදුවෙලා තියෙන දේවල් වලින් අපේ සමාජයට බලපාන්නේ කොහොමද යන්න විමර්ශනය ඉතාම වැදගත්. මොකද එමගින් ඇතිවෙලා තියෙන තත්වය සමනය කරගන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට ඇත්නම් ඒ සඳහා මෙවැනි විමර්ශන, විවේචන වැදගත් වේවි. 

වසර දහස් ගනනාවක් තිස්සේ ප්‍රත්‍යක්ෂය මගින් තහවුරු කරගත් ඉතා වටිනා කියනා සිරිත් විරිත් රාශියක් නිර්මාණය කර ගනිමින් ස්ථාවර සමාජ සංස්කෘතියක් හිමිව තිබු ශ්‍රී ලංකික ජන සමාජය බටහිර විද්‍යාවත් ඉන් උත්පාදනය වූ තාක්ෂණයත් නිසා මේ වන විට වල්මත් වූත් අතරමං වූත් ජන කොටසක් බවට පත් වී ඇති බව පැහැදිලි කරුණකි. ආපදා කළමනාකරණ සහ ආපදා අවදානම අවම කිරීම සඳහා අපටම ආවේනික වූ ක්‍රමවේද සකස් කර තිබු මෙවන් වූ ජන සමාජයක් මෙතරම් පසු ගාමී බුද්ධිහීන ජන කොට්ටාශයක් බවට පත් වූයේ කෙසේද. යටත්විජිත සමයේදී අකර්මන්‍ය කරන ලද මෙරට ජන සමාජය අසරණ වූයේ පාරිසරික සම්පත් පරිබෝජනය සිමාකාරී වීම නිසාම නොවන බවත් ඒ සඳහා ප්‍රධානම හේතුව වූයේ මෙරට වටිනා කියනා පාරම්පරික දැනුම් සම්භාරය හිමි මානව සම්පත සමූල ඝාතනයෙන් මෙරටින් තුරන් කිරීම නිසා බවත් මෙහි ලා සඳහන් කල යුතුය. එය මෙරට ජනතාවගේ අක්මුල් ගලවා අන්ත අසරණ අතරමං වූ නිහීන ජන කොටසක් බවට පත් කරන්නට තරම් හේතු වූ බව ඉතා පැහැදිළිය. එවැනි වාතාවරණයක් යටතේ මෙරට වැජබෙන්නට අවස්තාව සැලසෙන්නේ ආත්මාර්තකාමී ලෙස තම ලාභය පසු පසම හඹා ගිය ජන කොටසක් මෙරට මතුවන්නට බවත් ඔවුන්ගේ දිගුව මේ සමාජයේ අද වන විට මෙරට පොරවල් වී ඇති බවත් අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. 

එවන් වූ පරිසරයක් පරිණාමය වෙද්දී ඇතිවන තත්වයට දැන් දැන් අප සියල්ලන්ම මුහුණ දෙමින් සිටන බව තේරුම් ගත යුතුව ඇත. උදාරතර සංකල්ප තුට්ටුවකටවත් මායිම් නොකර හිතුමනාපේ වැඩකරන්නට අවැසි පරිසරයක් නිර්මාණය වී ඇති තත්වයක් තුල කොරෝනා රෝග ආපදා කළමනාකරණය ගැන කතා කරන්නටත් එම ආපදා අවදානම අඩුකරන්නටත් කුමක් කල යුතුදැයි විමර්ශනය කරන්නට සිදු වීම අප ලද මහත් අභාග්‍යයක් බව සිත්හි තබා ගත යුතුය. 

යුද්දෙට නං යුද්දෙට මෙන්ම රෝගෙට නං රෝගෙට අදාල දේ  අවැසි තැන නිසි කල නිසි කළමනාකරණය කරන්නට තිබු හැකියාව පරවී යාමම අප ලද මහත් පරාජයක් බව අමතක නොකළ යුතුය. නැවත එවන් පසුබිමක් නිර්මාණය කරන්නේ කෙසේද මෙවන් පසුබිමක් තුල එවන් පරිසරයක් ගොඩනැගිය හැකිද යන්න කතා කිරීමම FB උගත්තු ඉන්නා වටපිටාවක අභියෝගාත්මක කාරියකි. මේ විමර්ශනය සැමට සුව දෙන තිරසාර ආපදා කළමනාකරණ වැඩසටහනක් මගින් ආරක්ෂාකාරී ක්‍රමවේදයන් ස්ථාපනය කරන්නට අත්වැලක් වනු ඇතැයි සිතමි. 

බටහිර විද්‍යාත්මක අනුකරණයෙන් මෙරට ආපදා කළමනාකරණය සඳහා නව වැඩපිළිවෙලක් ස්ථාපනයට 2004 දී නොකියාම ආ සුනාමිය හේතුවිය. දැන් අණබෙර ද ගස ගසා කොරෝනා මෙරටට පැමිණ ඇත. පෙරහැර එන බව පවසන්නට කසකාරයන් මුලින්ම මතු වූයේ චීනයෙනි. චීනයේ කසකාරයන් හතර දිග්භාගයටම කසය වනමින් පවසා සිටියේ කොරෝනා පෙරහැරේ භයානකකමයි. පැන පැන සපාකන පොළොන් පැටික්කෙක් සේ ඇසිපියලන මොහොතින් සමස්ථ රටක් සමස්ථ ලෝකයක් බියට පත් කරන්නට හිටිගමන් මතු වූ කොරෝනා අමුතු බිය මාරකැට්ටු හිස් කොරෝනා වූ තත්වයට මෙරට ජනතාව පත් කරන්නට හේතුවිය හැකි බව පෙර සූදානමක් සකස් කල කිසිවෙක් නොසිතන්නට ඇත. ශ්‍රී ලංකික ජනතාවගේ හැසිරීම මෙරට ආපදා කළමනාකරණය තාම අවබෝධ කරගෙන නොමැති බව ඉන් ඉතා හොඳින් තේරුම් යයි.

ආපදා කළමනාකරණයේ මූලික සිද්ධාන්ත අනුව “පෙර සූදානම” අනිවාර්ය අංගයකි. ආපදාවට පෙරසූදානම නම් ඇත්තෙන්ම විහිළුවක් බව ක්ෂේත්‍රයේ දැනමුත්තන් පවසන්නේ ආපදාවේ බලපෑම නිසි පරිදි කල් තබා හඳුනාගැනීමට නොහැකි නිසා විය යුතුය. නමුත් සෑම ආපදාවක්ම සතු මූලික ලක්ෂණ බොහෝවිට සමාන විය හැක. එක සමාන ආපදා තත්වයන් කළමනාකරණය අපට ඉතා හොඳ උගත් පාඩම් ය. එනිසා එවැනි ලක්ෂණ ද ඒ සඳහා අදාළ ජනසමාජය ගත්තාවූ ක්‍රියාමාර්ග මනාව අධ්‍යනය කිරීමෙන් ද අපට යම් යම් පුරෝකථනවලට එළඹීමෙන් යම් කිසි ආකාරයක සාර්ථක පෙරසූදානම් වැඩපිළිවෙලක් සකස්කර ගත හැකිය. සෑම ආපාදවකදීම එයට ගොදුරුවන්නාවූ ජනතා පිරිසක් ඇත. ආපදාවට ලක් වූ ජන කොටස්  නිසා සමස්ථ ආර්ථිකයට බලපාන ආකාරයක් ඇත. ආපාදාවේ ස්වරූපය අනුව එහි බලපෑම කුමක්දැයි අනුමාන කල යුතුය. නමුත් සැමවිටම එය සියයට සියයක් සාර්ථක වන්නේ ද නැත. එනිසා සැමවිටම “plan B, C පමණක් නොව D ද මේ පෙර සූදානමේ තිබිය යුතුය.

මෑත කාලිනව මෙවැනි හදිසි සෞඛ්‍ය ආපදා තත්වයක් මෙරට පැන නැගුනේ නැත. ඩෙංගු රෝගය මාරාන්තික වූවද මෙවැනි පසුබිමක් නිර්මාණය වූයේ නැත. පසුගිය දෙසැම්බරයේ සිට “සංචාරක කොරෝනාවේ හැසිරීම” පිලිබඳ උදාහරණ චීනය ප්‍රමුඛ යුරෝපා රටවල් මනාව ලෝකයට ලබා දෙන්නට විය. කොරෝනා වෛරසය හැසිරීම අධ්‍යනය සඳහා “ගෝලීය සජීවී පර්යේෂණාගාරය” ලෙස චීනය පත්විය. එමගින් කොරෝනා වයිරසයේ ලාක්ෂණිකතා, එහි හැසිරීම සහ පැතිරීම පිලිබඳ විස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට අවශ්‍යතාව තිබු ලොව සෑම රටකටම හැකියාව තිබුණි. නොදන්නා රෝගය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග වල සාර්ථක අසාර්ථක බව ඒවායේ අඩුලුහුඩුකම් වාර්තා විය. මේ වනවිට චීනය යම් කිසි ආකාරයක සාර්ථක බාවයකට පත් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි. එයට වෛරසයේ සොබාවික ව්‍යාප්තියත් ඔවුන්ගේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙලත්  හේතුවන්නට ඇත.   

මෙලෙස ගෝලීය තත්වය වර්ධනය වෙමින් පවතින වකවානුවක අප සිදුකලේ කුමක්දැයි විග්‍රහ කළයුතුව තිබේ. උගත් පාඩම් නිසිලෙස අධ්‍යනය කර ඒවා භාවිතයේ යෙද වුයේ ද යන්නත් සොයා බැලිය යුතුය. සමහර මිත්‍යාමත පුරෝකථන මගින් මෙරට යම් අයහපත් තත්වයක් අප විසින් වර්ධනය කර නොගත්තේ ද යන්නත් පසුවිපරමට ලක් විය යුතුව ඇත. පසු විපරමට තාමත් කල් වැඩි බවද වසංගතය ආරම්භ වූවා පමණක් යන්න බව ද අප අමතක නොකළ යුතුය. තවත් සතියකින් හෝ සති කිහිපයකින් මෙය අවසාන වේයැයි කල්පනා කිරීම ද මෝඩකමකි. නායයාම් ගංවතුර වැනි සොබාවික ව්‍යවසනයක් නිසා ඇති වූ ආපදා තත්වයක් නොවන බව අප හොඳින් මතක තබා ගත යුතුය. මෙහි නිවාරණය තනිකරම රැඳී ඇත්තේ මහජනතාවගේ ක්‍රියාකලාපය මත බව මේ වන විටත් ඔබ අප සැමට ඉතා හොඳින් තේරුම් ගොස් ඇති බව ඉතා පැහැදිළිය. 

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අතීතකාමයෙන් ඔලුව කුරුවල් කරගත් පිරිස් ද දේශපාලනික වහල්භාවයෙන් උපරිමයට පත් වූවන්ද ජනතාව නොමඟ යවන්නට හේතු වූ බව ද මෙහිලා මා තරයේ ප්‍රකාශ කරන අතර වඳුරන්ට දැලි පිහි දීම මෙතැන් සිටවත් නතර කල යුතුව ඇත. සීතලෙන් ප්‍රයෝජනගත් කොරෝනා උණුසුම් හමුවේ නිරුත්තර වන බව බොහෝ දෙනා ගේ මතය විය. නමුත් එය අමූලික බොරුවක් බව වයිරසය ඉන්දියාව ඇතුළු ඝර්ම කලාපීය රටවලට අසාදනය වන විට අප තේරුම් ගත යුතුව තිබුණි. 

එවැනි තත්වයක් හමුවේ අපගේ පෙරසූදානම ගැන සෑහීමකට පත් විය හැකිද. ඉතා පැහැදිළිව කොරෝනාව පෙන්නු ලක්ෂණය නම් මිනිසුන්ගෙන් මිනිසුන්ට ඉතා සීග්‍රයෙන් පැතිර යන බවයි. එවැනි තත්වයක් හමුවේ රෝගය වලක්වාගැනීමට සහ මැඩපවත්වා ගැනීමට කල යුත්තේ ජනතාව එක්රැස් වීම වහාම නවතා දැමීමයි. පසුගිය ජනවාරි මාසයේ සිටම අපගේ පෙර සුදානම ක්‍රියාවේ යෙදවූවත් පරිපාලනයේ නිසිකල නිසි තීන්දු තීරණ ගැනීමේ දුබලතා නිසාත් සහ ජනතාවගේ අමන මරි මෝඩ ක්‍රියාකාරකම් නිසාත් අප මේ ආගාධයට වැටුනා නොවේද යන්න ඔබගේ ඔය කුඩා මොලයට තේරුම් යනු ඇතැයි මම කල්පනා කරමි. මෙතරම් හොඳින් මෙරට ආපදා පෙර සූදානම සකස් වෙද්දී මෙරට හමු වූ චීන ජාතික කාන්තාව මගින් කොරෝනා රෝගය මෙරට ජනතාවට බෝ නොවී පාලනය කරගන්නට මෙරට සෞඛ්‍ය අංශ සමත් වෙද්ද්දීත් මෙතරම් ව්‍යවසනයක් ඇති කරගන්නට තරම් වූ සිදුරු එම ආපදා කළමනකරණ සැලැස්මේම ඇති වූයේ කෙසේද යන්න සොයා බැලීම ඉතා වටී. 

දූපතක් වූ අපේ රට එනිසාම බොහෝ මෙවැනි රෝග වසංගත තත්වයන් හමුවේ ආරක්ෂාකාරී වූ බව අමතක නොකළ යුතුය. මේ අවස්තාවේ දී ඒ වාසිය අප නොගත්තා පමණක් නොව මානුෂිකත්වයේ උපරිමයට ගොස් කැලේ සිටි නයි රෙද්ද අස්සේ දමා ගත් බව ද හොඳින් පැහැදිලි වන්නේ ඉතාලි ආසාදිතයින් මෙරට සමස්ථ ජනතාවට කොකා පෙන්නා නිරෝධායන ක්‍රියා දාමයට සහය නොදක්වා පැ ගොස් සැඟ වෙද්දීය.  

ඇත්තෙන්ම කොරෝනාව ශ්‍රී ලංකාව ගිලගන්නට පෙර වැට කඩොළු බඳින්නට නොහැකි වූයේ ඇයි. ඒ සඳහා කල යුතුව තිබුනේ දූපතක් වූ අප රට හා වූ බාහිර සම්බන්ධකම් තාවකාලිකව නවතා දමන්නට නොවේ ද. ගුවන් තොටුපල නිසිකල වසා නොදමා සිදුකරගත්තේ මෙරට අහිංසක ජනතාව අමාරුවේ දැමීම නොවේද. එලෙස නොකළ හැකි වන්නට හේතු භූත වූ කරුනු කාරනා මොනවාද යන්න සොය බැලිය යුතුය. ඒ පිලිබඳ සර්ව සාධාරණ පැහැදිලි කිරීමක් මේ රජය විසින් මෙරට ජනතාවට සිදුකල යුතු බව මම කල්පනා කරමි. ඒ නැවත වරක් එසේ නොවන්නටය. නමුත් ගුවන් තොටුපල වසා දමන්නේ පසුගිය බ්‍රහස්පතින්දා වන අතර එවැනි තීරණයක් ගන්නට අප ප්‍රමාද වුවා නොවේදැයි ලියුම් කරුට සිතේ. අශ්වයා පැන ගොස් ය. දැන් ස්තාලය වැසීමෙන් පලක් වේද යන්න අයෙකුට ඇසිය හැකිය. ඔවු... එය වඩාත් ප්‍රයෝජනවත් ය. මන්දයත් ස්ථාලයේ තවත් අශ්වයන් ඇති හෙයිනි. ඔවුන්ද පැන යා හැක. ඔවුන්ගේ පැන යාමද බලපාන්නේ මේ රෝගය උත්සන්න කරන්නටය. ප්‍රමාද වී හෝ ගත් මේ තීරණය අප අගය කල යුතුය. 

ඉතා පැහැදිළිව අප තේරුම් ගත යුත්තේ කොරොනා මෙරට පැතිරවන්නට මෙතරම් ව්‍යවසනයක් රට තුල ඇතිකරන්නට හේතුවූයේ මෙරටට ඩොලර්ගෙන එන බව පවසන අපගේ විදේශ ශ්‍රමිකයන්ගෙනි. ඉතාලියේ වසංගතය පැතිරෙද්දී ඒ බව නිසි අවබෝධයෙන් පසු වූයේ නම් අපගේ විදෙස් ශ්‍රමිකයන් ද බේරා ගෙන රට ද බේරා ගන්නට හැකියාව තිබුන බව කරුණු කාරණා සියුම් අධ්‍යනයෙන් අපට තේරුම් යයි. කුලප්පු වූ ගව රෑනක් සේ ඔවුනට පැන යන්නට ඉඩ නොතැබුවේ නම් වසංගත පාලනය මිට වඩා පහසු වන්නට තිබුණි. විදේශ ශ්‍රමිකයන් ගේ ආගමනය හොඳින් කළමනාකරණය කර ඔවුන් නිරෝධායනයට ලක් කලේ නම් වසංගතය පැතිරීයාම තවත් අඩුවන්නට තිබුණි. විදේශ ශ්‍රමිකයන් සියල්ල මනාව හඳුනාගෙන ඔවුන්ගේ පැවැත්මද ඔවුන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව සහ දෛනික ජිවීතය සුරක්ෂිත කරන්නට ද වැඩපිළිවෙලක් සකස් වූයේ නම් මේ ව්‍යවසනය වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නට හැකිව තිබු බව පැහැදිළිය. ඒ සඳහා තවමත් අවකාශ ඇති බව අමතක නොකළ යුතුය. ඒ කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් පිළිබඳව කුහකත්වයෙන් තොරව අප අගය කල යුතුය.   

එමෙන්ම එවැනිම වූ තර්ජනයක් විදේශ සංචාරකයන්ගෙන් ද ඇත. ඔවුන්ගේ අතීත හැසිරීම් සහ ගමන් බිමන් හඹා යාම තරමක් අසීරු වූවත් කොරෝනා වයිරසයේ පැතිරීමේ රටාව මනාව තේරුම් ගත්තේ නම් සංචාරකයන්ගේ පැමිණීම මෙයට සති දෙකකට තුනකට පෙරම නවතන්නට හැකියාව තිබුනි.  වාසනාවකට සංචාරක මග පෙන්වන්නා ඉතාලි දඩබ්බරයන් මෙන් වහන් නොවී සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් මෙහි පැතිරී යාම යම් කිසි ප්‍රමාණයකට හෝ අඩුකරගත හැකි වූ බවයි. ඔවුන්ගේ මහත්මා ගතිගුණ අප අගය කල යුත්තේ එහෙයෙනි. ගුවන් තොටුපල මේ සඳහා ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවූ බව සමහරු චෝදනා කරද්දී මා හට පෙනී යන්නේ නිරෝධායනය සඳහා සවිකළ නිනිති තාක්ෂණයෙන් උපන් උපකරණය ද අසාර්ථක වී ඇති බවයි. සමහර විටෙක එනිසා ඉන් ඔබ්බට ගතයුතු වූ ක්‍රියාමාර්ග නොගන්නට එම උපකරණය මත තැබූ විශ්වාසයද හේතු වන්නට ද ඇත. 

ආඳා යවා තබා වල්පත ගැනීමෙන් පලක් නොවේ. ආඳා දැන් ජනතාව අතරට ගොස් අහවරය. එනිසා තව දුරටත් පෙර සූදානම ගැන කතා කිරීම පලක් නොවේ. ආපදා කළමනාකරණයේ අප ලද අත්දැකීම් අනුව දැන් කල යුත්තේ පැමිණි ආපදාව කළමනාකරණය කර ගැනීමයි. ආසාදිතයින් හඳුනාගැනීම යුහුසුළුව කල යුතුය. එනිසා ඔවුන් සිටින ස්ථාන සොයාගතයුතුය. ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ ආසාදිතයින් නිසි ලෙස නිරෝධායනයට ලක් කල යුතුය. අසාදිතයින් හරහා තව දුරටත් රෝගය පැතිරවීම නවතා ගත යුතුය. 

කාලීනව ගත් ඉතාමත් වැදගත් තීරණය වන්නේ පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර මහජනගේ භෞතික ගට්ටනය නවතා දැමීමයි. එමගින් සෑහෙන ප්‍රමාණයකට වෛරසය පැතිරීම වලක්වා ගන්නට හැකි වී ඇති බව මේ වන විට ඉතා පැහැදිළිය. කෙසේ වෙතත් ඉතා ක්ෂණයකින්ම පාසල් වසා දැමීමට ගත් තීරණය අතිශය අගය කල යුතුය. එමගින් මෙම රෝගය පැතිරීම බොහෝ දුරට පාලනය වූ බව අප පිළිගත යුතය. මන්දයත් මේ කාලය බොහෝ පාසල් වල ක්‍රීඩා උත්සව සහ ක්‍රිකට් තරඟ පැවැත්වීමට තිබු කාලය වන බැවිනි. පසු වී හෝ කාර්යාල වසා දැමීමට ගත් තීරණය ද පැසසුමට ලක් කල යුතුය.  නමුත් ක්‍රමවත් ප්‍රවාහන සේවයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ජනතාවට ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් විය යුතු බව මෙවන් වූ ආපදා කළමනාකරණයේදී අප සිහි තබා ගත යුතුය. එවැනි ක්‍රම වේදයක් නොතිබීම ජනතාව තව තවත් රැස් කරවන්නට හේතු වූ බව බොහෝ දෙනෙකුගේ මතය විය. අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත වූවන්ගේ ගමන් බිමන් පහසුකම් වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සැපිරිමටද වැඩපිළිවෙලක් තිබෙන්නේ නම් ඔවුන්ටද සිතේ බරක් නොමැතිව රාජකාරි කරන්නට හැකියාව ලැබේ. මෙසේ සේවය් කරන්නන්හට ප්‍රසිද්ධ ස්ථාන හා ගැටීම නිරන්තරයෙන්ම සිදුවන් බැවින් ක්ෂණිකව නිරෝධායනය වීම සඳහා ජංගම කුටි වැනි අවශ්‍යතා සැකක කල යුතුය.

ඇඳිරි නිතිය නිසා අසරණ වන්නේ දෛනික වේතනයක් ලබන්න බව අමතක නොකළ යුතුය. ඔවුන් සඳහා ද යම් වැඩපිළිවෙලක් දියත් වූයේ නම් මෙම ක්‍රියාවලිය තවත් මානුෂික වන්නට ඉඩ තිබුණි. නමුත් එතෙර සිටින්නන්ගේ විවේචන අනුව පෙනී යන්නේ මෙරට ගෙන ඇති වැඩ පිළිවෙල අනෙකුත් රටවලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බව සහ සාර්ථක බවත්ය. ඒ සම්බන්ධයෙන් මෙරට පාලන තන්ත්‍රයටත්,  දිවා රෑ නොබලා සේවය කරන සෞඛ්‍ය අංශවලටත්, ආරක්ෂක අංශවලටත් ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටිය යුතුය. 

අකර්මන්‍ය වූ දෛනික ක්‍රියකාරකම් හේතුවෙන් ඉදිරි කාලයේදී රට හමුවේ ඇති අභියෝග මොනවාදැයි යන්න සලකා බැලිය යුතුය. ප්‍රධාන වශයෙන්ම පවතින මෙම වසංගත තත්වය සමනය කරගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය යුතුය. එනම් රෝග පාලනය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, අවශ්‍ය බෙහෙත් හේත් සඳහා පර්යේෂණ සිදු කිරීම, වෛරසය පාලනය කිරීම සඳහා ක්‍රම වේද සොයාබැලීම වැනි වැඩකටයුතු වහාම ආරම්භ කල යුතු අතර මේ සඳහා රට පුරා ඇති විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වෙත රජය බලකළ යුතුය. එමෙන්ම බටහිර මෙන්ම දේශීය වෙදකමේද බණ භාවනා මගින් සිත දියුණු කරගත් විද්වතුන්ගේද සහය ගැනීම අතවශ්‍ය බව මෙහි දී මා තරයේම ප්‍රකාශ කර සිටිමි. 

බොහොමයක් කර්මාන්ත සහ කාර්යාල සේවවාන් අඩපන වීම මෙරට ආර්ථිකය පසුගාමී තත්වයකට ඇද දමන්නට හේතු වන බව පැවසිය යුතුය. දෛනික නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටීම සහ කුඩා කුඩා කර්මාන්ත අඩපන වීම් මත ඇතිවන සමාජීය ගැටළු පිළිබඳව මෙහිදී අතිශයින්ම අවධානය කල යුතුව ඇත. දෛනික අවශ්‍යතා සියල්ල ආනයනය කරන තත්වයකට මෙරට පත්වීම හේතුවෙන් ලෝක වසංගත තත්වය හමුවේ අප අන්ත අසරණ බව අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. කොතරම් ආර්ථික ශක්තියකින් හෙබි රටකට වුවද නිෂ්පාදන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා ගැනීමට ස්ථානයක් නොමැති වූ විට සිදුවන්නේ කුමක්දැයි හොඳින් තේරුම් යයි. එනිසා මේ වසංගත තත්වය කදිම අවස්තාවක් කරගෙන අත්‍යවශ්‍ය භාන්ඩ සහ අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කලයුතු බව අප වටහා ගත යුතුය. විශේෂයෙන්ම මේ අවස්තාවේ ඇතිවන බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන්නේ කෙසේද යන්නත් එවැනි ද්‍රව්‍ය අඩුම තරමින් මාස හයකටවත් ගබඩා කර තබා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් විය යුතුය.  

අත්‍යවශ්‍ය සේවාවන් බල ගැන්වීම පිලිබඳ මෙහිදී අවධනය යොමුකර විය යුතු අතර නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කාර්යාලීය කටයුතු සිදුකිරීම සඳහාද අවධානය යොමු විය යුතුය. හැකි සෑම අවස්ථාවකම ඉතා කෙටි කලකින් නැතහොත් කාර්යාලයට නොගොස්ම තමාගේ කාර්යය කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි අවධානය ඉතා තදින්ම යොමුවිය යුතුය. ඇතිවූ වසංගත තත්වය ධනාත්මකව පිළිගන්නේ නම් ඉහත කී කිසිවක් අමාරු අභියෝග වන්නේ නැති බව නිසැකය. තවත් බොහෝ කරුණ කාරණා සාකච්චාවට බදුන් විය යුතු මුත් ලිපිය ඉතා දිග වන බැවින් එය මෙතනින් අවසාන කරන්නට සිදුවෙයි. 


අසංක්ෂිප්ත සටහන

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...