Saturday 6 February 2021

 භූ සංචාරිතයේ අනාගත අභිවෘධිය...!!!

භූ සංචාරිතය 44

This article is originally published on Vidusara 06.02.2021.

දැන් ඔබ වසරක පමණ කාලයක සිට මා සමග භූ සංචාරිතයේ යෙදෙනවා නේ. ඉතින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අපි ඇවිදින නිසා සංචාරයේ දී සැලකිය යුතු කරුණු සමූහයක් ඇති බව අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම කඳුකරයේ සංචාරය කරද්දී මේ පිළිබඳව අප වඩාත් සැලකිය යුතුයි.

කඳුකරය සුන්දර පරිසරයක් බව අප හොඳින්ම දන්නා දෙයක්. විවිධාකාරයේ භූ රූපණ සමග එකතු වූ අපූරු ගහකොළ ද ගෙන එන්නේ චමත්කාරජනක බවක්. කඳුකරයේ ඉහලටම යද්දී සුන්දර වලාකුළු අපගේ වතකමල සිප ගැනීම විටෙක අපව විස්මයට පත්කරන්නක්.  කලකදී කඳු තරණය පුරුද්දක් කර ගත්තේත් එවන් වූ සුන්දරත්වයක් අත් විඳීමේ පරම ආශාවෙන්.

සංචාරය සාර්ථක කරගන්නට නම් අතරමගදී සිදුවිය හැකි ආපදාවන් ගැන අප සැලකිලිමත් විය යුතුය. කඳුකරයේ සංචාරය කරද්දී නම් ඇතිවන්නේ බොහෝ විට නාය යාම් වැනි ආපදා වන අතර සමහර විටෙක භූ කම්පා තර්ජනයට ද ලක් වීමේ සම්භාවිතාවක් ඇතිවා නොවේ. දැන් දැන් වර්ධනය වන භූ කම්පා අවදානම භූ තලවල බලපෑම  නිසා බව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ නැත. නමුත් එය එසේ වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ බව අප වටහා ගත යුතුය. ඒ කෙසේ වෙතත් භූ උපද්‍රව නිසා කඳුකර ජනයාට වන්නා වූ ආපදා කුලකයට භූ කම්පා අවදානම ද ඉදිරියේදී එක් විය හැකි බවයි මාගේ අදහස වන්නේ.

කඳුකරයේ සංචාරය කරන්නේ කඳුකර මාර්ග වලය. මෙම කඳුකර මාර්ග පමණක් නොවේ, කඳුකර සංචාරක ස්ථාන ද බොහොමයක් එවන් වූ දුෂ්කර සහ සුන්දර පරිසර සමග බද්ධව පැවතීම සංචාරය තරමක අසීරු කාරියක් බවට පත්කරන්නේ නිතැතින්මය. එනිසා සියල්ලටම මතතෙන් අපගේ ප්‍රවේශම සහ ආරක්ෂාව තහවුරු කරගත යුතුය.

කඳුකරයේ ඔබ සංචාරය කරද්දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ නාය අනතුර පිලිබඳවය. මන්ද යත් බොහෝ කඳුකර බිම් මේ වන විට වඩා අස්ථාවර තත්වයට පත් වී ඇති බව සිහියේ තබා ගත යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා බව අප හොඳින්ම දනී. එවන් වූ අස්ථාවර ස්ථාන ගෙන එන්නේ ආපදාවකි. එවන් වූ ස්ථාන පෙන්නුම් කිරීමට නැතහොත් ඔබගේ අවධානයට ලක් කරන්නට සංඥා පුවරු සවිකර ඇත. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වේ. ඒ වාගේම විශේෂයෙන්ම වර්ෂාපතනය සිදුවන අවධිවල දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරනා නිවේදන පිළිබඳව ඔබගේ අවධානය යොමු විය යුතුය. එමගින් ඔබ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ස්ථාන සහ ප්‍රදේශ වල තත්වය එමගින් තහවුරු කර ගත හැකි වේ.  

වඩා හොඳින්, තරයේම ඔබ මතක තබා ගත යුතු කාරණය වන්නේ එවන් වර්ෂාපතනය අධික කාල වල දී ගල්ගුහා සංචරණය නොකළ යුතු බවයි. එයට හේතුව වන්නේ මේවයේ පවතින පාෂාණ සහ පාංශු දේහයන් අස්ථාවර වීමේ අවදානමක් ඇති විය හැකි බැවිනි.

ඒ වාගේම භූ සංචාරයේ දී අප සැලකිය යුතු තවත් කාරණා ගණනාවකි. පළමුවැන්න නම් සංචාරකයන්ගේ පමණක් නොව ප්‍රාදේශීය ජනතාවගේ ද ආරක්ෂාව තහවුරු විය යුතුය. එනිසා සැමවිටම අති දුෂ්කර සංචාරක ස්ථාන පරිහරණය කිරීම ගැන දෙවරක් සැලකිය යුතුය. එවන් වූ ස්ථාන නිරීක්ෂණයේදී ඇතිවිය හැක ආපදා පිළිබඳව පළමුව සැලකිලිමත් විය යුතුය. එපමණක් නොව ඒ සඳහා ආරක්ෂාකාරි පියවර ගත යුතුය.

දෙවැන්න වන්නේ සංචාරක ස්ථාන වල කල් පැවැත්ම සහ ආරක්ෂාවයි. එය සොබාවික පරිසරයක් නම් දූෂණකාරක නිදහස් නොකරන්නට වග බලා ගත යුතුය. එමෙන්ම අදාළ පරිසරයේ ඔබ දකින භූ ව්‍යුහයන් විනාශ නොකළ යුතුය. එමෙන්ම එම පරිසරයේ විවිධ කොටස් (පස්, පාෂාණ, ඛණිජ සහ ගහකොළ)  ගෙදර රැගෙන යාම සඳහා එකතු නොකළ යුතුය.

මෙරට සමහර ගල්ගුහා පරිසර තුරිතයන් සඳහා කදිම නැවතුම් බවට පත් වී ඇත. එනිසා බොහොමයක් ස්ථාන වල මෙම කුරුල්ලන්ගේ වාසස්ථාන සහ ඒවායේ ඔවුන්ගේ පැටවුන් දක්නට ලැබේ. සාමකාමී පරිසරයක දිවි ගෙවීමට පුරුදු වූ ඔවුනට සංචාරකයන්ගේ ගෝෂාව කරදරයක් විය හැක. එනිසා ඔවුන් ඔවුන්ගේ වාසස්ථාන අත්හරින්නට ද හැකිය.

එවන් වූ ස්ථාන සංචාරක නැවතුම් බවට පත්කරන්නට මත්තෙන් ඒ පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. ජෛව විවිධත්වයෙන් අනූන අපේ රටේ මෙවන් වූ ජිවී විශේෂ මේ නිසාම ක්ෂණයකින් අතුරුදහන් විය හැක. එය ඔවුන්ගේ වඳ වී යාම දා විය හැක. එනිසා මෙවන් වූ භූ සංචාරක ස්ථාන ඒවායේ සංවේදී බාවය අනුව යම් වර්ග කිරීමකට ලක්කර ආරක්ෂාව තහවුරු කල යුතුය.  

ඔබගේ භූ සංචාරක ව්‍යාපාරය සැමවිටම සකස් විය යුතු යුත්තේ මෙරටට සාධාරණ ලෙස ආර්ථික ලාභයක් ගෙන දීමටයි.  එමගින් විශාල හෝටල් සඳහා පමණක් නොවේ අදාළ ප්‍රදේශයේ ජනතාවට ද යම් මුදලක් සොයාගැනීම සඳහා විවෘත විය යුතුය. අන්තර්ජාතික සංචාරකයන්ට මෙරට සංස්කෘතිය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීමට හැකි විය යුතුය. එනිසා ග්‍රාමීයව පිහිටි සංචාරක ස්ථාන වලදී යම් යම් සංකෘතික වැඩසටහන් පමණක් නොව අදාළ කාලයට ආවේනික පෙරහැර වැනි වැඩසටහන් ද ප්‍රචලිත කිරීමට අවකාශය ලැබේ.

ඔබගේ භූ සංචාරිත ස්ථාන පිලිබඳ මනා දැනුමක් ලබා තිබීම වඩා උචිතය. එමගින් සංචාරකයන් ගේ දැනුම වර්ධනය කිරීමත් එවන් වූ ස්ථාන කෙරෙහි කැමැත්තක් ඇති කිරීමත් මගින් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් සමග වැඩි ප්‍රතිලාභයක් ලද හැකි වේ. භූ විද්‍යත්මක දැනුම වර්ධනය කරගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු විය යුතු අතර ඒ සඳහා වැදගත් වන පාටමාල මෙරට ආරම්භ කල යුතුය.

භූ සංචාරිත ස්ථාන වල භූ විද්‍යාත්මක වැදගත්කම පමණක් නොව පුරාවිද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳව ද අප උගෙන ගත යුතුය. බහුවිෂයාත්මක ප්‍රවේශයන් සහිත එවන් ස්ථාන භූ සංචාරිත කලාප හෝ උයන් බවට පත්කළ හැක. ඒ සඳහා කදිම උදාහරණයක් වන්නේ උස්සන්ගොඩයි.

මෙවන් වූ තවත් කරුණු කාරණා ඇති අතර භූ සංචාරිතය සාර්ථක කර ගැනීමට එවන් වූ චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් මෙම කර්මාන්තයේ අභිවෘධිය සඳහා සහ දිගු කාලින පැවැත්ම උදෙසා සකස් විය යුතුය, මෙරට ස්ථාපිත විය යුතුයි.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...