Thursday 17 December 2020

........ඒ පිළිමය පරාක්‍රමබාහු රජුගේ නම් නොවේ.....!!!

භූ සංචාරිතය 36

This article is originally published on Vidusara 16.12.2020

 පළමුවන පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ රජු වූයේය. ඔහු ජලාශ ගණනාවක් එක්කොට සමුද්‍රයක් බඳු මහා ජලාශය ඔහුගේ නමින් ඉදිකළේය. රජරට සශ්‍රිකාභාවයට පත් කළේය. බෞද්ධාගම ප්‍රචලිත කළේය. එහි අභිවෘධිය සඳහා වැඩකටයුතු කළේය.

මෙතුමා ඉදිකළ මහා ජලාශයට ඔබ්බෙන් තවත් ගොඩනැගිලි සංකීර්ණයක් වෙයි. වර්තමානයේ එය හඳුන්වන්නේ පොතුගුල් වෙහෙර යනුවෙනි. ගොඩනැගිලි සංකීර්ණය පුස්තකාලයක් විය හැකි බවටයි පුරවිද්‍ය්ඥයින් හඳුනාගෙන ඇත්තේ.

ඒවාගේම එහි ඇත්තාවූ විශාල මානව ප්‍රතිමාව බොහෝ අය හඳුන්වන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ බවයි. සමහරු එය ඍෂිවරයෙකුගේ බවත් විශ්වාස කරයි. නමුත් මේ පිළිබඳව පැහැදිලි මතයක් මේ වනතෙක් ඉදිරිපත් වී නැති බවයි පෙනී යන්නේ. එනිසා මෙවර භූ සංචාරිතයෙන් මේ ගැටලුව නිරාකරණය කල යුතුයැයි සිතුවෙමි.

ශ්‍රී ලංකවේ ඉතිහාසය මෙරට ජනතාවගේ ශෛල තාක්ෂණය ඉතා ඉහල මට්ටම තිබු බවට ඕනා තරම් සාක්ෂි ගෙන එයි. අනුරාධපුරයේ මෙන්ම පොළොන්නරුවේ ද ඇත්තාවූ මේ ශෛලමය ප්‍රතිමා සහ ගෘහ නිර්මාණ ඉතා විශිෂ්ට නිර්මාණ බව කිව යුතුය. ඉතා සියුම් සහ සුමට පෘෂ්ට සහිත මෙවැනි නිර්මාණ සංචාරයකයන් විශ්මයට පත්කරන බව අප කවුරුත් හොඳින්ම දන්නා කාරණයකි. හැඩි දැඩි කළුගල් දමනය කරමින් ඉතා සියුම් මූර්ති සහ කැටයම් නිර්මාණය සඳහා මෙරට අතීත ජනයා මෙතරම් හපන්කම් දැක්වූයේ කෙසේද යන්නත් මේ සමගම අපට පැමිණෙන ගැටළුවකි.

පාෂාණ දමනය කරමින් බටර් වැනි මෘදු දෙයක් කපනවා සේ පහසුවෙන් මුර්ති සහ කැටයම් සිදුකරන ලද තාක්ෂණය සොයා වසර දහයකට පමණ පෙර මවිසින් ගවේෂණ පර්යේෂණයක් සිදුකරන ලදී. එහිදී අනුරාධපුරයත් පොලොන්නරුවත් ප්‍රධාන වශයෙන් මාගේ  නිරීක්ෂණයට භාජනය විය. එයට අමතරව මහනුවර, සිගිරිය, තිස්සමහාරාමය වැනි පුරවිද්‍ය්ත්මක සහ බෞද්ධ සිද්ධස්ථාන ද මාගේ ගවේෂණයේ අධ්‍යන ප්‍රදේශ විය. මෙම ස්ථාන වල ඉතා සියුම්ව කරන ලද අධ්‍යනයන් සඳහා පාෂාණ නෙලා ගත් ස්ථාන ගණනාවක් මාගේ ඇස ගැටුනු අතර ඒවායේ දක්නට ලැබුන ප්‍රධාන ලක්ෂණ ඉතා කදිම ඉතා අපූරු කරුණු කාරනා ගණනාවක් අනාවරණය කර ගන්නට මාහට හැකි විය.

අනුරාධපුර යුගයේ සහ පොලොන්නරු යුගයේ ශෛල තාක්ෂණයේ බොහෝ වෙනස්කම් ඇති බව හඳුනාගන්නට ලැබුණි.  මෙහිදී ක්‍රම වේද දෙකක් විය හැකි බව අවසානයේ දී කරුණ අනාවරණය වෙයි. අනුරාධපුරයේ බොහෝවිට භාවිතාකරන්නට ඇත්තේ භෞතික ක්‍රමවේදයක් බවත් එය පොළොන්නරු රාජධානි කාලය වන විට රසායනික ක්‍රමවේදයක් දක්වා වැඩි දියුණු වන්නට ඇති බව පහැදිලි වන කරුණකි.

අනුරාධපුරයේ ශෛල තාක්ෂණය විශේෂණය වන්නේ විදුම් කුහර තාක්ෂණය පදනම් කරගෙන බවයි මෙවැනි ස්ථාන නිරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ. එහි දී ඕවලාකාර විදුම් කුහර භාවිතාකරන ලද බවට සාක්ෂි හමුවේ. මෙම විදුම් කුහර පත්ලට යනවිට එකාකරිව කුඩාවන ඇත එතරම් ගැඹුරු බවක් නොපෙන්වයි. බොහොවිට සෙන්ටිමීටර පහක් හෝ හයක වැනි සාමාන්‍ය ගැඹුරක් සමස්තයේ දැකිය හැකිය. ඔවුන්ගේ තාක්ෂණය වූයේ මෙම විදුම් කුහර තුලට යකඩෙන් කරන ලද කුඥ්ඥ බහා මිටියකින් පහර දීමෙන් අවශ්‍ය පාෂාණ කුට්ටිය පලගන්නට ඇති බවයි. මේ කුඥ්ඥ බහා ලීම ද මිටියෙන් පහර දීම ද යම් කිසි රටාවක් අනුගමනය කරමින් සිදු කරන්නට ඇති බවයි ලැබුන සාක්ෂි අනුව පැහැදිලි වන්නේ. ඕවලාකාර විදුම් කුහර නිර්මාණය සඳහා යකඩ නියන් භාවිතා කරන්නට ඇති බවත් සමහර විට පාෂාණය විදීම සඳහා මෙරට බිහිවී තිබු විශිෂ්ට යකඩ තාක්ෂණයේ යම් යම් ක්‍රම වේද හඳුනාගන්නට ඇත.

තමාට අවැසි පරිදි පාෂාණ කුට්ටි වල දිග හා පළල තීරණය වී ඇති අතර පාෂාණවල සොබාවික පැලුම් තල පවතින්නා වූ දිශාවන් ද මේ සඳහා භාවිත කර ඇත. නමුත් එය සෑම අවස්ථාවකම අත්‍යන්තයෙන්ම අවශ්‍ය වී නොමැති වීම මේ අපූරු තාක්ෂණයේ සුවිශේෂී බාවයයි. සියුම් කැටයම් සඳහා විවිධාකාරයේ නියන් භාවිතයට ගන්නට ඇති අතර විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගවල වැලි භාවිතා කරමින් මතුපිට පෘෂ්ට සුමට කරන්නට ඇත. වෙස්සගිරිය එකල තිබු පාෂාණ නෙලාගත් පතලකි. අනුරාධපුරයේ බොහෝ ස්ථාන වල එවන් වූ පාෂාණ පතල් හමුවේ.

පොළොන්නරු යුගයට සපැමිණි විට මේ තාක්ෂණයේ යම් දියුණුවක් වෙනස්කමක් ඇති වූ බවට කදිම සාක්ෂි හමුවේ. විදුම්වලවල් වල හැඩය ඍජුකෝණාශ්‍රාකාර බවට පෙරලි ඇත. පතල ද එලෙසම වූ පතලකි. ඕවලාකාර විදුම් වලවල් සේ කෝණාකාර වන්නේ නැත. ඍජුකෝණාශ්‍රාකාර කුඩා පෙට්ටියක් බඳු වූ මෙම වලවල් එතරම් ගැඹුරු නොවීම ද ඉතා සුවිශේෂිය. මේවා නම් සකස් කර ඇත්තේ යකඩ කුඥ්ඥ භාවිතයට නම් නොවන බවයි පෙනී යන්නේ. මේ වලවල් වඩා ප්‍රායෝගික වන්නේ යම් ද්‍රව්‍යයක් බහා ලීම සඳහා, බොහෝවිට ද්‍රවයක් වැනි දෙයක් විය හැක. විදුම් වලවල් වල සොබාවය වඩා ගැලපෙන්නේ එවැනි අවශ්‍යතාවයක් සඳහා විය හැකිය.

පොළොන්නරු යුගයේ දී යම් රසායනික ක්‍රමවේදයක් පාෂාණ නෙලීම සඳහා භාවිත කරන්නට ඇති බවට හොඳම සාක්ෂිය මෙය බව පෙනී යයි. ඒ අනුව අනුරාධපුරයේ තාක්ෂණයෙන් වෙනස්වන පොළොන්නරු තාක්ෂණය අපූරු පිම්මක් මෙන්ම නවෝත්පාදනයක් බවත් පැහැදිලි වෙයි. පාෂාණය මොලොක් කරනා මෙන්ම ඒක රේඛියව සකස්කරනලද විදුම් වලවල් ඔස්සේ පාෂාණය කුට්ටි කරන්නට ද මේ වලවල්වල බහාලු රසායනය සමත්වන්නට ඇති බවයි පෙන්නුම් කරන්නේ. රසායනයේ ක්‍රියාකාරිත්වය පාෂාණය ක්ෂණයකින් රත්කර දෙපලු කරන්නට තරම් ප්‍රභල දෙයක් වන්නට ඇත. එමෙන්ම රසායනයේ ක්‍රියකාරිත්වය කුඩා ප්‍රමාණයකින් ලබා ගන්නට තරම් අපගේ අතීත නවොත්පාදකයන් දක්ෂ වී ඇත.

පොතුගුල් වෙහරේ අවධි දෙකක සංවර්ධයන් දැකිය හැකිය. ඒ පොළොන්නරු යුගයේ සහ පොළොන්නරු යුගයට කලින් බොහෝ විට අනුරාධපුර යුගයේ විය හැක. එනිසා මේ ස්ථානයේ පාෂාණ නෙලා ගත ස්ථානවල ඉහත කි ආකාර දෙකේම විදුම් වලවල් හමු වේ. නමුත් මේ කියනා පිළිමය සකස් කර ඇති පාෂාණයේ දක්නට ලැබෙන්නේ අනුරාධපුර සමයේ භාවිතා කරන ලද තාක්ෂණයේ සාක්ෂි බවයි නිරීක්ෂණයෙන් කදිමට පැහැදිලි වන්නේ. ඒ අනුව මාගේ නිගමනය වන්නේ මේ ප්‍රතිමාව ඉදිකරන්නට ඇත්තේ පොළොන්නරු යුගයේ දී නොවන බවත් බොහෝ විය එම කාලයට පෙර බවත් එනම් අනුරාධපුර යුගයේ දී හෝ එයටත් ඔබ්බෙන් වූ කාලයක බවයි. අනුරාධපුර ශෛල තාක්ෂණය එයට පෙර සිටම පැවතීමේ හැකියාවක් ද නැත්තේ නොවේ.

පොත්ගුල් විහාරයේ දක්නට ඇති මේ සෛල ප්‍රතිමාව බොහෝ විට විය හැක්කේ පොළොන්නරු යුගයට පෙර විසුවෙකුගේ බවත් එහි ලක්ෂණ අනුව ද රජකුගේ ලක්ෂණ වලට වඩා ඇත්තේ ඍෂි කෙනෙකුගේ ලක්ෂණ බවත් ඉතා හොඳින් පැහැදිලි වන කරුණකි. එනිසා මෙවන් වූ කරුණු පාදක කරගෙන මාගේ නිගමනය වන්නේ නම් මෙම මූර්තිය කිසිසේත් පරාක්‍රමබාහු රජුගේ නොවන බවත් එය අනුරාධපුර යුගයේ සෝ එයට පෙර විසු යම් භාවනායෝගී යෝගිවරයෙකුගේ බවත් ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...