Friday 15 January 2021

 නිල් දිය පොකුණේ භූ විද්‍යා අන්දරය......!!!

භූ සංචාරිතය 41

This article is originally published on Vidusara 13.01.2021

නිල් දිය පොකුණ ඇල්ල ප්‍රදේශයේ පිහිටි ගල්ගුහාවකි. එලෙස නම ලැබෙන්නේ මේ විසල් ගල් ගුහාව තුල දියෙන් පිරි සොබාවික පොකුණක් ඇති හෙයින්. ගල් ගුහාවක් යැයි අප පවසන්නේ පාෂාණ තුල අභ්‍යන්තරයට නිර්මාණය වූ කුහරමය ව්‍යුහයකට බව අමතක නොකළ යුතුය. නමුත් පාංශු දේහයන් තුල නිර්මාණය වූ එවැනි ව්‍යුහයන් ලෝකයේ හමුවන මුත්  ශ්‍රී ලංකාවේ නම් එවනි ප්‍රමුඛ කුහරයන් මේ වනතෙක් අපහට හමු වී නැත.

ගල්ගුහාවන්අත්‍යන්ත ලෙසම භූ අභ්‍යන්තරික ව්‍යුහයන් ලෙස විද්‍යත්මකව පමණක් නොව බටහිර සංස්කෘතිය විසින් පවා හඳුනාගෙන ඇතිමුත් ශ්‍රී ලංකාවේ දී නම් ගල් ගුහා පොළොව මතුපිටත් හමුවන බව ඔබට මතකයට නැගේවි. ඒ පුරාණ ගල්ලෙන් විහාර වන්දනා මානයට යද්දී. ලෙන, ගුහාව, ආදී සිංහල භාෂාවේ වචන  මෙවන් ව්‍යුහයන් හඳුන්වා දීමට යොදාගන්නා බව සිංහල සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ඇත්තෙකුට පැහැදිලි වේවි. එනිසා ශ්‍රී ලංකවේ ගල්ගුහා සිංහල සංස්කෘතිය තුලදී වර්ගීකරණයකට භාජනය කරන්නේ නම් භූ අභ්‍යන්තරික සහ මතුපිට ගල්ගුහා ලෙස වර්ග කල හැක. භූ අභ්‍යන්තරිකව ගුහා (caves) හමුවන අතර මතුපිට හමුවන්නේ ලෙන් සහ ගල් පියැසි (rock shelters) බව එවිට ඔබට වැටහේවි.

කෙසේවෙතත් සිංහල සංස්කෘතිය තුලදී වඩා ප්‍රචලිත වන්නේ ලෙන් සහ ගල් පියැසි බවයි පැහැදිලි වන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොව මෙරට ඉතිහාසයේ වැඩිපුරම භාවිතයට ගෙන ඇත්තේ මෙවන් වූ පාෂාණමය ව්‍යුහයන් නිසාවෙනි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය තුල ලෙන් සහ ගල් පියැසි සඳහා ප්‍රමුඛස්ථානයක් ලැබී ඇත. ඒ බෞද්ධ භික්ෂුන්ගේ පරිහරණය සඳහා දිගු කලක් තිස්සේ භාවිතයට ගැනීමෙනි. පසුකාලීනව වුවද කොතරම් නවීන තාක්ෂණය උපයෝගයෙන් වෙහෙර විහාර නිර්මාණය වුවද විවිධ විකරණයන් මගින් යාවත්කාලින කරන ලද ලෙන් විහාර තවමත් සිංහල සංස්කෘතිය තුල අභාවයට නොගොස් පවතී.

නවීන ලෝකයේ ගල් ගුහා වාසස්ථාන සඳහා යොදා ගන්නේ නොමැති තරම්. නමුත් ගල් ගුහා, සංචාරක කර්මාන්තයේදී නම් ප්‍රචලිතව පැවති. ලෝකයේ බොහොමයක් එවන් ව්‍යුහයන් නිර්මාණය වී ඇත්තේ කිරිගරුඬ (marble) හෝ හුණුගල් (limestone) තුල බව ඉතා පැහැදිලිය. අති විශාල සංචරණය සඳහා සුදුසු ගුහා නිර්මාණය වී ඇත්තේ ඉහත සඳහන් කල පාෂාණ තුලයි. මෙම පාෂාණ ඉතා පහසුවෙන් ජීර්ණයට ලක් වී විශාල කුහර නිර්මාණය කරයි. ඒ තුල පාෂාණය දියවී ගලායන ජලය නැවත සාන්ද්‍රණය වී අවක්ෂේප වන හුණු නිසා විවිධ අලංකාර ව්‍යුහයන් නිර්මාණය වේ. මේවා හිරිළඹ සහ හිරිටැඹ ලෙස සරලව හැදින්විය හැකි මුත් තවත් බොහොමයක් අලංකාර ව්‍යුහයන් ඇති බව අමතක නොකළ යුතුය.

දිය වූ හුණු ගලා යාමේදී ඇතිවන  කදිම ව්‍යුහයන් වන “ගලිත හුණු ලඹ” (Flow stones) මෙන්ම “චක්‍ර පොකුණු” (Ring pools) ද මෙම හුණුගල් ගුහා තුල දැකිය හැක. නිරන්තරයෙන්ම ගලා යන්නා වූ හුණු මිශ්‍රිත ජලය කුඩා වැලි කට සමග ගැටීම නිසා වැලි කැටය වටා අවක්ෂේප වී නිර්මාණය වන්නා වූ “චුර්ණ මුතු” (cave pearls) ද හමු වේ. හුණු ගල් ගුහාවකට මෙවන් වූ ව්‍යුහයන් ඉතා අගනේය.

ශ්‍රී ලංකාව විපරීත පාෂාණ මුලික කරගත් භූ ස්කන්ධයකට හිමිකම් කියයි. නමුත් හුණුගල් විපරිතකරණයෙන් බිහි වූ කිරිගරුඬ පාෂාණය මෙම භූ ස්කන්ධයේ බහුලව හමු වේ. එනිසා ඇති විශාල නොවන මුත් තරමක් විශාල ගුහා නිර්මාණය සඳහා දායක වී ඇත. පසුගිය වසර දහයකට අධික කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණ අනුව මා හට පැහැදිලි වන කාරණය වන්නේ ශ්‍රී ලංකවේ සිලිකේට් පාෂාණ වල බිහිවන ගුහා සඳහා ආරම්භය ලබා දෙන්නට මෙම කිරිගරුඬ පාෂාණය ඇති විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි. මෙම කරුණ ඉතා පැහැදිළිව භූ විද්‍යත්මකව කදිමට ඔප්පු කල හැක්කකි.

කිරිගරුඬ පාෂාණය ජීර්ණයෙන් (dissolution) ඇතිවන කුඩා කුහරයන් පසු කාලීනව දිගුවන්නේ සිලිකේට් පාෂාණ වල පවතින කුස්තුර සහ පැලුම් වල සහයෙනි. විශාල වන්නා වූ කුහරය දුර්වල වූ ලිහිල් වූ පාෂාණ කුට්ටි කඩා වැටීම නිසා විශාල වෙයි. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වීමෙන් විශාල ගුහා නිර්මාණය වේ. භෞතික සහ රසායනික ජීරණයත් මෙහිදී ප්‍රමුඛ කාරියක් කරනා බව පැහැදිලිය. නිවර්තන කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ දී නම් මෙම ක්‍රියාවලි දෙකම ප්‍රමුඛ බව අමතක නොකළ යුතුය. නමුත් විශේෂයෙන් භූ විද්‍යාව පිළිබඳව මනා වැටහීමක් ඇති ඔබගේ අවධානය යොමු වන්නේ කෙලෙසක මෙම සිලිකේට් ඛණිජ ජීර්ණයට ලක්වන්නේ ද යන්නට බව මා හට තේරුම් යයි.

අප දන්නා පරිදි සිලිකේට් ඛණිජ අනෙකුත් ඛණිජ වලට සාපේක්ෂව ජීර්ණයට යම් තරමක් ප්‍රතිරෝධීතාවක් දක්වයි. එනිසා විශාල් ගල්ගුහා නිර්මාණය ගැටලුවකි. කෙසේ වෙතත් සමහර පාෂාණ වල පෙල්ඩ්ස්පාර් නම් වූ ජීර්ණයට පහසුවෙන් ලක්වන ඛණිජ සහිත පාෂාණ ද නැතුවා නොවේ. එනිසා එවන් වූ පාෂාණ පහසුවෙන් රසායනිකව ජීර්ණයට ලක්වන බව මතකයේ රඳවා ගත යුතුය. ඉහත සඳහන් කල ක්‍රියාවලින් තුනම එනම් කිරිගරුඬ පාෂාණය හෝ හුණු මිශ්‍රිත සිලිකේට් පාෂාණ දිය වීම නිසා ද, කුස්තුර සහ පැලුම් තල ඔස්සේ ඇතිවන විවර පුළුල් වීම නිසා ද පෙල්ඩ්ස්පාර් වැනි ජීර්ණයට පහසුවෙන් ලක්වන පාෂාණවල ජීර්ණය නිසා ද යන ක්‍රියා තුනේම සම්ප්‍රයුක්තය හේතුවෙන් ශ්‍රී ලංකවේ ගල්ගුහා නිර්මාණය වන බවයි මා හට සඳහන් කල හැක්කේ.

එලෙස නිර්මාණය වූ ගල් ගුහාවකි ඇල්ලේ පිහිටි නිල්දිය පොකුණ ගුහාව. මෙය ඉතා විශාල ගල්ගුහාවක් වන අතර මෙතෙක් මෙරට වාර්තා වන විශාලම ගුහාව බව අමතක නොකළ යුතුය. ප්‍රධාන කුටීර තුනකින් යුක්ත වන මෙම ගුහාව ඇති විශාල ප්‍රධාන කුටිරයකින් ද ඉතා පටු පැල්මකින් සම්බන්ධවන තවත් කුටීරයක් ද ජලය පිරි පොකුණකින් යුක්ත වූ කුටිර්යකින් ද සමන්විත වන බව මේ දක්වා කල පර්යේෂණ වලින් පැහැදිලි වී ඇත. පැල්මෙන් වෙන් වූ කුටීරයේ ඉතා අලංකාර හිරිළඹ සහ හිරිටැඹ වනාන්තරයක් ඇති අතර එම කුටීරය වවුලන්ගෙන් පිරි පවතී. ඉන් පැහැදිලිවන්නේ එම කුටීරය වෙනත් පසකින් බාහිර හා සම්බන්ධවන බවයි. මේ විසල් ගුහාව අඳුරුම අඳුරු ගුහාවකි.

සංචරණයට නම් එතරම්ම සාර්ථක නොවනමුත් ජවයක් ඇත්තන්ගේ විනෝදාස්වාදය සඳක කදිම තැනකි මෙම නිල්දිය පොකුණ ගුහාව. ඉතා දැඩි පරිස්සමකින් යුතුව මෙය නැරඹිය යුතු අතර ඇතුල්වන මාර්ගය පවා දුෂ්කරය. සංචරණයට යිද ගත්තද වැදගත් වන්නේ මෙවැනි භූ සම්පත් වැනසෙන්නට නොදී රැකගැනීමට යම් වැඩපිළිවෙලක් සකස් කිරීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...