Friday 1 June 2018

විදුපත්ඉරුව
2015.07.15

"ලුසී" මානව වංශකතාවේ ආන්දෝලනාත්මක චරිතයකි. මේ ඇටසැකිල්ල හිස්‌කබලත් සමග ම හමු වීම විද්‍යඥයන් ගේ අමන්දානන්දයට හේතු වූයේ ඉතා කලාතුරකින් එවැන්නක්‌ ලැබෙන නිසා ය. මීටරයක්‌ පමණ උසැති මේ මිත්තනිය 1974 දී ඉතියෝපියාවෙන් සොයාගන්නා ලද අතර ඈ ද්විපාද සංචාරණයේ යෙදුනියක ලෙස වාර්තා විය. අස්‌ථි පංජරයෙන් සියයට 40ක්‌ පමණ අස්‌ථි කොටස්‌ ඉතිරි වි තිබීම බොහොමයක්‌ කරුණු අනාවරණය කරගැනීමට මගපෑදිණි. මේ අනාවරණයට හේතු වන්නේ මෝරිස්‌ තෙයිබ් නම් වූ ප්‍රංශ භූ විද්‍යාඥයකු ගේ පර්යේෂණයකි. ඔහු එය තවත් පුළුල් කරමින් බහු විෂයාත්මක පර්යේෂණයක්‌ බවට පත් කරන්නේ පුරාවිද්‍යාඥයකු, මානව වංශ විද්‍යාඥයකු සහ ප්‍රාග් ජීවධාතු විද්‍යාඥයකු මෙයට සම්බන්ධ කරගනිමිනි. එම ප්‍රයත්නය හේතුවෙන් මානව පරිණාමයේ ඉතා වැදගත් කරුණු සමූහයක්‌ ලොවට හෙළි කරන්නට ඔවුනට හැකි විය. ලුසී අදින් වසර මිලියන 3.7කට පමණ පෙර ජීවත් වූ ඔස්‌ට්‍රෙලොපිතෙකස්‌ නම් වූ ගණයට අයත් වූවෙකි.

ශ්‍රී ලංකාවේ ද ප්‍රථම වතාවට මෙවැනි ම බහු විෂයාත්මක ප්‍රවේශයක්‌ ලබා දුන් පුරාවිද්‍යා පර්යේෂයණය මා දුටුවේ අලවල පොත්ගුල් ලෙනෙහි සිදු කරන ලද කැණීමෙනි. කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරි විසින් මෙහයවනු ලැබූ මේ පර්යේෂණය සඳහා පුරා විද්‍යායඥයනට අමතරව විවිධ විද්‍යා ක්‌ෂේත්‍ර ඔස්‌සේ පර්යේෂණ සිදු කරන විද්‍යාඥයෝ පිරිසක්‌ සහභාගී වූ හ. 2008 වසරේ දී ආරම්භ කළ මේ පර්යේෂණයේ ක්‌ෂේත්‍රයේ කටයුතු එයින් වසර දෙකකට පමණ පසු අවසාන කිරීමෙන් අනතුරුව විද්‍යාගාර විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී. නුදුරේ දී ම එහි අවසන් ප්‍රතිඵල එළිදැක්‌වීමට නියමිත ය. පුරාවිද්‍යාව එහි මුඛ්‍ය අර්ථයෙන් ම විද්‍යාවක්‌ වුව ද ශ්‍රී ලංකාවේ දී විද්‍යා ක්‍රමවේද ඒ සඳහා භාවිත වන්නේ අවමයෙනි. එනිසා මේ පර්යේෂණය සාම්ප්‍රදායියික බව බිඳහෙළා ඉන් ඔබ්බට පියමං කරමින් විද්‍යා ක්‍රමවේදවල සහ බහු විෂයාත්මක ප්‍රවේශයක කාලීන අවශ්‍යතාව මනාව පෙන්නුම් කෙරුවකි.

භූ විද්‍යා ක්‌ෂේත්‍රය නියෝජනය කරමින් මා හට ද එම පර්යේෂණ කටයුත්තට සහභාගී වීමට හැකි විය. එහි දී භූ විද්‍යාවේ විධි ක්‍රම භාවිත කරමින් පුරාවිද්‍යාව හා භූ විද්‍යාව සම්බන්ධ කරන නව විෂය ක්‌ෂේත්‍රයක්‌ වන භූ පුරා විද්‍යාවේ (geo-archaeology) වටිනාකම පෙන්වා දීමට මා හට හැකි වීම මහත් වූ සතුටට කරුණකි. එහි දී ප්‍රථම වතාවට නව විශ්ලේෂණ ක්‍රමවේද ගණනාවක්‌ ම භාවිත කිරීමටත් එමගsන් වඩාත් පලදායි තොරතුරු රැසක්‌ එක්‌ කරගැනීමටත් හැකි විය.

මේ වසරේ ගත වූ පසුගිය සතියට පුරා විද්‍යා දෙපාර්තමේතුව පිහිටුවා වසර 125ක්‌ ගත විය. එදා මෙදාතුර බොහෝ පුරා විද්‍යා පර්යේෂණ සිදු කර ශ්‍රී ලාංකේය සංස්‌කෘතියෙහි අනර්ඝ බව ලොවට කියා පෑමට හැකි විය. ඔවුන් සිදු කළ පර්යේෂණවල ඉතා වැදගත් සහ අපූර්ව කොටස වන්නේ ප්‍රාග් ඵෙතිහාසිකයන් ගැන සිදු කළ පර්යේෂණ ය. දැනට වාර්තා වී ඇති අන්දමට වසර 40000ක්‌ පමණ පැරැණි මානවයන් ගැන බුලත්සිංහල පාහියන් ලෙනෙන් හමු වන අතර මෙවැනි ම වූ සාධක කිතුල්ගල බෙලි ලෙනෙන් ද කුරුවිට බටදොඹ ලෙනෙන් ද හමු වීම සුවිශේෂී මානව පරිණාමයක තතු ලොවට හෙළි කරන බව මාගේ හැඟීමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් හමු වූ මානව ප්‍රාග් ජීව ධාතුන් (human fossils) එක්‌ ස්‌ථානයක දක්‌නට නො ලැබීම ඉතා කණගාටුවට කරුණකි. එය ශ්‍රී ලාංකේය මානව පරිණාමය හදාරන්නන් හට සිදු ව ඇති විශාල අසාධාරණයක්‌ බව ද අවධාරණයෙන් සදහන් කළ යුතු ය.

පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළ භූ විද්‍යාවේ යෙදීම අත්‍යවශ්‍ය වූවකි. මන්ද යත් බොහෝ විට ඔවුන් ගේ පර්යේෂණ Rජු ව ම ගොඩනැෙගන්නේ භූ පරිසරය තුළ ය. මවු පාෂණයට ඉහළින් වූ අවසාදිත තට්‌ටුව ඔවුන් ගේ ප්‍රමුඛ පර්යේෂණාගාරයයි. එනිසා මේ පර්යේෂණවල නියෑළෙන්නන් භූ පරිසරයෙහි වන අවසාදිත ද, ඛනිජ සහ පාෂාණ ද සහ එහි ක්‍රියාකාරකම් ද පිළිබඳව මනා අවබෝධයකින් යුක්‌ත වීම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හේතු වේ. පසුගිය දශකය තුළ මා ගේ බොහෝ පර්යේෂණ දියත් වූයේ ද ඉහත සදහන් "භූ පුරා විද්‍යා" ක්‌ෂේත්‍රය තුළ ය. එහි දී පර්යේෂණ කැණීම්වලට අමතරව සංස්‌කෘතික සහ උරුම සංරක්‌ෂණ කටයුතුවලට ද භූ විද්‍යාවේ යෙදීම්වල වැදගත්කම පෙන්වා දීමට හැකි විය. එනිසා ම ප්‍රථම වතාවට එම විෂය පුරාවිද්‍යා උපාධියෙහි එක්‌ විෂය ක්‌ෂේත්‍රක්‌ ලෙස එක්‌ කර ඇති අතර වත්මනෙහි රජරට විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා උපාධිය හදාරන සිසුනට එම භාග්‍යය ලැබී ඇත. එමෙන් ම පුරාවිද්‍යා පශ්චාත් උපාධි හදාරනන්ට ද මේ අවස්‌ථාව ඉතා ඉක්‌මනින් ලැබෙනු ඇති බව මගේ හැඟීමයි.

පුරා විද්‍යා කැණීම් සහ ගවේෂණවලින් මතු කරගන්නා පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යයන් සංරක්‌ෂණය ඉතා වැදගත් වේ. එමගින් සංස්‌කෘතියෙහි විකාශය පිළිබිඹු කරයි. බොහෝ විට අතීතයේ නිර්මිත පරිසරය දේශීය ඥානය සහ දේශීය තාක්‌ෂණය මත ගොඩනැගුණකි. එය වත්මන් පරිසරයෙහි කොටසක්‌ ව ඇත. විවෘත පරිසරයෙහි ඇත්තා වූ එවන් නිර්මාණ ස්‌වාභාවික ක්‍රියාදාමයන්ට හසු ව විනාශ වෙමින් පවතී. ඒවා ආරක්‌ෂා කිරීමට මහත් වෑයමක්‌ දැරිය යුතු ය. ලොව බොහෝ රටවල මේ සදහා සුවිශේෂී වැඩපිළිවෙළවල් සහ ක්‍රියාදාමයන් සිදු කරමින් පවතී. වසර 125ක්‌ ගත් වුවත් උරුම සංරක්‌ෂණ සහ කළමනාකරණය සදහා අප රටෙහි විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නොමැති බව මගේ හැඟීම ය. පුරා විද්‍යාත්මකව සහ සංස්‌කෘතිකමය වශයෙන් වැදගත් වන්නා වූ ලෝක උරුම ගණනාවක්‌ ම ඇති අප මේ පිළිබඳව සිතා ඉතා ඉක්‌මනින් ක්‍රමවත් ක්‍රියාදාමයක්‌ දියත් කළ යුතු ය. නැත හොත්, කැටපත් පවුර, බිතු සිතුවම්, සමාධි පිළිමය වැනි අගනා නිර්මාණ විනාශ වී යැම නොවැළැක්‌විය හැකි වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...