Saturday 3 August 2019

විදුපත්ඉරුව
30.11.2016

පශ්චාත් ආපදා කළමනාකරණය ගැන පහුගිය මැයි මාසේ සිට ඉතා පුළුල් ව සහ සංකීර්ණ ව බොහෝ අය කථා බහට ලක්‌ කළා. පසුගිය වාරවල මෙන්ම මෙවරත් නිසි ප්‍රතිපත්තියක්‌ සහ කාර්යක්‌ෂම වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නො තිබීම ඇත්තෙන් ම අප සැවොම කණගාටුවට පත් කරන කරුණක්‌. පසුගිය කාලය තුළ දී ම (පසුගිය දශක තුන ගනිමු) ස්‌වාභාවික සංසිද්ධීන් නිසා ආපදාවන් බොහොමයකට ශ්‍රී ලංකාව වරින් වර හසු වුණා කිව්වොත් නිවැරැදියි. ඒ අතර නාය යැම් ආපදා ප්‍රමුඛයි. එයට අමතරව ගංවතුර, සුළිසුළං පමණක්‌ නො වෙයි, නියඟය ද අප රට ඉතා දුෂ්කර තත්ත්වයකට අද දැම්මා කියන එකට ඔබ කවුරුත් එකඟ වේ වි. එක්‌ වරක්‌ පමණක්‌ සිදු වුණත් 2004 සිදු වූ සුනාමි ෙ€දවාචකය අප රටේ ආපදා කළමනාකරණය කෙරෙහි ගැඹුරෙන් සහ වගකීමෙන් යුතු ව බලන්නට සියලු පාර්ශ්වයන් පෙලඹවූ බව සත්‍යයක්‌. එහෙත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ සියල්ල කිසියම් ස්‌ථානයක නතර වී ඇති බවත් නැවත නැවත පසුපසට සහ ඉදිරියට යමින් හෝ එක තැනක කැරකෙමින් සිටින බවත් තමයි මට නම් හැඟෙන්නේ. කෙසේ වෙතත් මෙවර ලැබුණු අධික වර්ෂාපතනය නිසා, විශේෂයෙන් ම කෑගල්ල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට බලපෑ නාය අනතුර සහ ගංවතුර උවදුර, පශ්චාත් ආපදා කළමනාකරණය ගැන උනන්දුවෙන් සිතා බැලීමට අවස්‌ථාවක්‌ ලබා දුන්නා යෑයි කිවොත් නිවරැදියි.

අනෙකුත් ආපදා හා සැලකීමේ දී අධික වර්ෂාපතනය හේතු කොටගෙන නිතර නිතර සිදු වන නාය යැම් ආපදා මෙරටට සිදු කරන හානිය සුළුපටු නැහැ. එනිසා දෛනික රාජකාරිවලට මෙන්ම මෙරටෙහි ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්‌. සැම නාය යැමේ ආපදාවක්‌ සමග ම කිසියම් ප්‍රමාණයකට ජනතාව එම ස්‌ථානයෙන් ඉවත් කරන්නට සිදු වීම විශාල අභියෝගයක්‌ වාගේ ම මෙරට මුහුණපානා ක්‌ෂණික වූත් අවිනිශ්චිත වූත් එහෙත් අනිවාර්යයෙන් කළ යුත්තක්‌. මේ ඉවත් කිරීම්වල දී නාය උවදුරු ප්‍රබලව දැනෙනා ස්‌ථානවල පදිංචි ජනතාව ඔවුන් ගේ ආරක්‌ෂාව සදහා ස්‌ථිරව එම ස්‌ථානවලින් ඉවත් කිරීමට සිදු වනවා. ඒ වාගේ ම තාවකාලිකව කළ යුතු ඉවත් කිරීම් වුවත් අධික වියදම් සහිත කටයුත්තක්‌. එනිසා මේ සැම අවස්‌ථාවක දී ම ඉතා කල්පනාකාරීව සහ සුපරීක්‌ෂාකාරීව තීන්දු තීරණ ගැනීමට සිදු වන බව අප වටහාගත යුතුයි. පළමුව වැදගත් වන කරුණ වන්නේ ජනතාව ගේ ජීවිත ආරක්‌ෂා කිරීමයි. නාය යැම් ආපදාවල දී, නාය යැමේ අවදානම ඇතැයිs කිසියම් හෝ සැක සංකාවක්‌ පැනනගින්නේ නම් ඒ සදහා ගත හැකි සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ ජනතාව එම ස්‌ථානවලින් වහා ම ඉවත් කිරීමයි.

තාවකාලික ඉවත් කිරීම්වල දී කිසියම් ප්‍රමාණයකට පරිපාලනමය තීරණ ගැනීමේ පහසුවක්‌ වන්නේ නාය යැමේ අනතුර පහ ව ගිය පසු (මධ්‍ය අවදානම් අවස්‌ථාවල දී) නැවත ජනතාව ඔවුන් ගේ සුපුරුදු ස්‌ථානවලට යෑවිය හැකි බැවින්. එහෙත් මේ තත්ත්වය හාත්පසින් ම වෙනස්‌ වන්නේ ස්‌ථිර ඉවත් කිරීම්වලදී. මේ තත්ත්වයට ලක්‌ වන සැම අයකුට ම තමා ගේ සුපුරුදු වාසස්‌ථානවලින් සදහට ම ඉවත් වන්නට සිදු වීම එම ජනතාවට එක්‌තරා ආකාරයකට විශාල මානසික පීඩාවක්‌ ඇති කරන බව නොඅනුමානයි. විනාශ වූ හෝ නැවත පදිංචි වීමට නොහැකි වූ හෝ අවස්‌ථාවල දී නව වාසස්‌ථාන ලබා දෙන තෙක්‌ ඔවුනට සිදු වන්නේ තාවකාලික කඳවුරුවල ජීවත් වන්නටයි. පවුලක්‌ ලෙස තනි ව ජීවත් වූ ජන කොටසකට මහා පිරිසක්‌ සමග කිසියම් කාලයක්‌ හෝ එක්‌ ව ජීවත් වීමට සිදු වීම විවිධ සමාජමය ගැටලු ඇති කරන්නට හේතු වන බව අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නැහැ. එපමණක්‌ නො වේ. මේ කඳවුරු ජීවිතය නිසා ආපදාවට ලක්‌ වූවන් ගේ ආර්ථික ස්‌ථාවරත්වය කෙරෙහි විවධ ගැටලු පැනනගින බව අප වටහාගත යුතුයි. පශ්චාත් ආපදා කළමනාකරණය සදහා නිශ්චිත කඩිනම් ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක්‌ අවශ්‍ය වන්නේ මේ නිසයි. ස්‌වාභාවික සංසිද්ධියක්‌ නිසා මෙලෙස නාය ආපදාවන්ට ලක්‌ වීමේ ස්‌වරූපය දෙආකාර බව පිළිගත යුතුයි. කිසිත් නො දන්නා එමෙන් ම පරිසරයේ දීර්ඝකාලීන ස්‌වාභාවික ක්‍රියා නිසා ඇති වන නාය යැමේ ආපදාවන්ට ලක්‌ වීම ඉතා පැහැදිලිව සාධාරණීකරණය කළ හැකියි. එහෙත් අධි අවදානම් කලාපවල දැන දැන පදිංචි වූවන්, උපදෙස්‌ අවවාද නො තකා තම ඉදිකිරීම් කළ අය සහ උපදෙස්‌ සහ පරික්‌ෂා කිරීම් නො කරගෙන තම වාසස්‌ථාන ඉදි කළ අය කෙරෙහි කෙලෙසක ක්‍රියා කළ යුතු ද යන්න ගැන පැහැදිලි තීරණයක්‌ ගත යුතු ව තිබෙනවා. මන්ද යත් ඔවුන් ගේ නොමනා ක්‍රියා රටේ ආර්ථිකය සහ ජනජීවිතය අවුල් කරන්නට හේතු වන බැවිනි.

අප ලද අත්දැකීම් අනුව වර්තමානයේ සිදු වූ බොහොමයක්‌ නාය යැම් අනතුරුවලට හේතු වී ඇත්තේ මිනිසා ගේ නොමනා ක්‍රියාකලාපයන් බවත් ඒවා අතිශය ආත්මාර්ථකාමී බවත් කිව යුතුයි. බොහෝ විට තම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ස්‌වාභාවික පරිසරය තුට්‌ටුවකට වත් මායිම් නො කර ඇති බව සිදු ව ඇති සමහර ව්‍යසන අධ්‍යයනය කිරීමේ දී පෙනී යන කරුණක්‌. කඳුකර කලාපයේ, විශේෂයෙන් ම දැනට නාය යැම් ආපදා සිදු වේ යෑයි ප්‍රකාශිත කඳුකර දිස්‌ත්‍රික්‌කවල භුමි පරිහරණ රටාව කෙරෙහි ඉතා සුපරීක්‌ෂාකාරී විය යුතු බව මෙවර සිදු වූ ෙ€දවාචකයෙන් වත් ජනතාව සහ පාලකයන් ඉගෙනගත යුතුයි. (එහෙත් අප උගත් පාඩම් කිසිත් නැත). අඩි 3500කට වඩා ඉහළ කඳුකරය මිනිස්‌ බාධා කිරීම්වලට තහනම් වුවත් කඳුකරයේ විවිධ ස්‌ථාන සලකා බැලීමේ දී මේ ස්‌ථාවරය වෙනස්‌ කර වඩාත් සියුම් කරුණු සැලකිල්ලට ගෙන තහනම් කලාප නිශ්චය කළ යුතු ව තිබෙනවා. විශේෂයෙන් ම කඳුකරයේ පිහිටි යම් කන්දක්‌ හෝ කඳුවැටියක්‌ හෝ සැලකීමේ දී එම කන්දේ පහළ සිට කිසියම් උසකින් මෙවැනි සංවේදී කලාප සටහන් කළ යුතුයි. එමෙන් ම මෙවැනි කලාපවල වගා කරනා බව බෝග පිළිබඳව ද ඉතා සැලකිලිමත් විය යුතු අතර කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය හා එක්‌ ව නව නීති රීති මාලාවක්‌ සම්පාදනය කළ යුතු බව මෙහි ලා අවධාරණය කළ යුතු ව තිබෙනවා.

අවදානමට පෙර සූදානම ගැන වෙන ම කතා කළ යුතු වන්නේ එවැනි ලක ලැහැස්‌තිවීම්, ආපදා හේතුවෙන් සිදු වන රටෙහි ආර්ථිකයේ ක්‌ෂණික කඩාවැටීම් වළකාලන්නට මහඟු පිටිවහලක්‌ වන බැවින්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...