Tuesday 9 November 2021

 අනාගත විද්‍යා ප්‍රබන්ධ විකාශය කොයිබටද?

විදුසර 34 වැනි සංවත්සරය වෙනුවන් ලියන ලද ලිපිය. 

03.11.2021 දින පලවිය .

විද්‍යා සාහිත්‍ය අතර විද්‍යා ප්‍රබන්ධ වලට හිමිවන්නේ ප්‍රමුකස්ථානයක්, විද්‍යා ප්‍රබන්ධ විටෙක ලෝකයේ දිශානතිය වෙනස් කරන්නා වූ සන්ධිස්ථානයක් වන්නට ද පුළුවන. එවන් අවස්ථා ගණනාවක් ඇති බව වත්මන් ලෝකයේ විද්‍යා ප්‍රබන්ධ පදනම් කර ගත් තාක්ෂණය සහ විද්‍යාත්මක සොයා ගැනීම් සහ ඒවා නිසා සිදු වූ පෙරළීන් ගැන විමසා බැලීමේ දී අපට පෙනී යයි. උදාහරණයක් ලෙස ආචාර්ය ආතර් සී  ක්ලාර්ක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ වල වූ රැහැන් රහිත දුරකථන සහ චන්ද්‍රිකා තාක්ෂණය වැනි තාක්ෂණයන් නිසා ලෝකයේ දිශානතිය වෙනස් කල ආකාරය හොඳින් පැහැදිලි වේ.  

විද්‍යා ප්‍රබන්ධ අනාගතය දකින්නා වූ කැඩපතක් වන්නේ රචකයාගේ අනගත දැක්ම අනුව බව අප කවුරුත් හොඳින් දන්නෙමු. ඔහුගේ දැක්ම විකසිත වන්නේ වත්මන් ලෝකය පවතින ආකාරය සහ එහි බලපවත්නා විවිධ මානව ක්‍රියාකාරකම් සහ අවශ්‍යතා මත පදනම්ව බව පෙනී යයි. එනිසා අනාගත විද්‍යා ප්‍රබන්ධවල ස්වරුපය සහ අන්තර්ගතය විය හැක්කේ මොනවාද යන්නට පිළිතුරක් සොයන්නේ නම් ඒ සඳහා ඉහත කී කරුණු මේ සඳහා පදනම විය හැකි බව මෙහිදී පැවසිය යුතුය.

වත්මන් ලෝකයේ දිශානතිය කවරේද ඒ වාගේම මානව අවශ්‍යතා මොනාවාද යන්නත් මෙහිදී සැලකිල්ලට ගන්නේ නම් අපට පැහැදිලි වන්නේ ලෝකය බලය සහ ධනය මත පදනම්ව ඉදිරියට ඇදෙන බවයි. එනිසාම අද පරිසරය සහ මූලික මානව අයිතිවාසිකම් තුට්ටුවකට ගණන් නොගන්නා බව ද අපට අවබෝධ වේ. මේ කරුණු කෙරෙහි විද්‍යා ප්‍රබන්ධ රචකයන්ගේ අවධානය යොමු විය හැකි බවයි මාගේ හැඟීම වන්නේ.

පාරිසරික විනාශය පිටු දකින්නත්, ජෛව විවිධත්වය ආරක්ෂා කරන්නත් ගන්නා වෙහෙස සහ මහන්සිය විවිධ තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ කරළියට පැමිණිය හැක. ඒ වාගේම විවිධ සංරක්ෂණ ක්‍රම වේද භාවිතය පිළිබඳව ද එහිදී කතා බහට ලක් කෙරෙනු ඇත. දේශගුණික විපරියාසයන් සඳහා විසදුම් සෙවීම කෙරෙහිද එමගින් ඇතිවන බලපෑම් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ද ඔවුන්ගේ විද්‍යා ප්‍රබන්ධ සඳහා වස්තු බීජයන් වනු ඇතැයි මම සිතමි. මේ හා සබැඳි ආපදා තත්වයන් සහ මානව ක්‍රියා නිසා ඇතිවන අප නොසිතන ආපදා තත්වයන් සහ එහි බලපෑම ද විද්‍යා ප්‍රබන්ධ ලෙස ඉදිරියේ දී කරලියට එනු ඇත.

ඒ වාගේම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය යුතු කරුණක් වන ලෝක සාමය ඇති කිරීම සහ ඒ සඳහා විවිධ රටවල් විද්‍යාව සහ තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා ප්‍රවේශයන් ද මෙම විද්‍යා ප්‍රබන්ධවල තේමාවන් විය හැක. ලෝක දේශපාලනය උඩු යටිකුරු කරන විද්‍යාත්මක ලෝක පාලනයක් වාගේම එය විවිධ රටවල් සමුහයක් හෝ ජාතින් සමූහයක් හා එක්ව සිදුකරන්නා වූ පාලනයක් බවට පරිවර්තනය වන ආකරය මෙම ප්‍රබන්ධ වල විස්තර කෙරෙනු ඇති. මෙහි දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් හිමිවනු ඇත්තේ බුදුන්ගේ දහමින් සුපෝෂණය වූ අපූරු සංස්කෘතියක් හිමි රටක් බැවිනි. මෙරටේ විවිධ චාරිත්‍ර සහ වාරිත්‍ර සංස්කෘතිකාංග ලෝක සංස්කෘතියට අවශෝෂණය වන ආකාරයත් ලෝක සංස්කෘතිය එමගින් සුපෝෂණය වන අයුරුත් මෙම ප්‍රබන්ධ ඔස්සේ අනාගතයේදී අපට කියවිය හැකි වන්නේය.

 

බුදු දහම සර්ව ලෝකයම පිළිගන්නා එකම දහම බවත්, එහි විවිධ භාවනා ක්‍රම වේද සහ  අනෙකුත් කරුණු සමස්ත ලෝකයේ යහපත් ප්‍රගමණය වෙනුවෙන් යොදා ගන්නා අයුරු මෙම විද්‍යා ප්‍රබන්ධ වල කතා බහට ලක් කෙරෙනු ඇත. ඒ වාගේම විද්‍යාව සහ තාක්ෂණය ඔස්සේ ලෝකයේ සිදුවන භෞතික දියුණුව කණපිට පෙරලන්නේ බුදු දහම ප්‍රමුඛ කරගත් අධ්‍යාත්මික භාවිතයකින් බව මෙම ප්‍රබන්ධ අපට කියා දෙනු ඇත. එනිසා බොහෝ විද්‍යා පර්යේෂණ අධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගෙන සිදු කෙරෙන අයුරු විස්තර කෙරෙනු ඇත.

මෙම අධ්‍යාත්මික දියුණුව නිසා ක්‍රමයෙන් දුරකථන , වාහන වැනි භෞතික සම්පත් භාවිතය සපුරා අත්හැර ඒ සඳහා ඒක පුද්ගල අධ්‍යාත්මික වර්ධනය සඳහා යොමුවන ආකාරය විද්‍යා ප්‍රබන්ධකරුවාගේ  දැක්ම විය හැක. සංනිවේදනය සපුරා ටෙලිපති හෝ ඉන් ඔබ්බට වර්ධනය වූ සිතුවිලි තරංග භාවිතය සඳහා යොමු වූ ජන සමාජයක් පිළිබඳව මෙම ප්‍රබන්ධ වල කතා බහට ලක් කෙරෙනු ඇත. එනිසාම පිටසක්වල ජිවය හා තත්කාලීනව සම්බන්ධකම් ඇති කරගන්නට හැකි බවත් අප වැනිම හැඩරුව ඇති පිටසක්වලයන් මේ විශ්වයේ අන්නන්ත වූ ග්‍රහ මණ්ඩල අතර ඇති බවත් සමහරු අපට වඩා දියුණු තත්වයේද සමහර අපට වඩා දියුණුවෙන් අඩු බවත් මේ ලෝක අතර තාක්ෂණයේ සහ විද්‍යාවේ හුවමාරුව සිදුවන ආකාරයත් මෙම විද්‍යා ප්‍රබන්ධ සඳහා වස්තු බීජයන් විය හැකි බව සැලකිය හැකිය. විශ්වයේ සංචරණය සඳහා ඉතා පහසු අඩුම ශක්තියක් වැය වන කාලයට නොදැනෙන ක්‍රම වේද ගැන අනාගත ප්‍රබන්ධවල සඳහන් වේ. විද්‍යා ප්‍රබන්ධකරුවා විශ්වය තනිව නොපිහිටන බවත් සමාන්තර විශ්වයන් පවතින බවත් අපට කියා දෙනු ඇත.

සමස්ත පෘතුවිය සියලු ලෙසින් යහපත් වන නිසා පිටසක්වල අජීවී ග්‍රහලෝක වල ජනාවාසකරණය ගැන නොව විශ්වයේ අනෙකුත් සජීවී ලෝක හා සංචරණය කතා බහට ලක් කරනු ඇතැයි සිතේ. ඒ වාගේම  සංචරණය සඳහා භෞතික උපක්‍රමවලින් තොර නමුත් අධ්‍යාත්මික ශක්තිය භාවිතයෙන් ඇතිකරගත් තාක්ෂණයක් භාවිතා කිරීම ගැන එහි සඳහන් කරනු ඇතැයි ද සිතිය හැක.

අනාගතයේ දී විද්‍යාව විශ්ව භාෂාව ලෙස භාවිතා කරන අයුරුත් ශක්තිය තව දුරටත් ගැටළුවක් නොවන අයුරුත් මෙම ප්‍රබන්ධ වල සටහන් වනු ඇත. සුර්යය ශක්තිය පදනම් භෞතික ලෝකයේ ශක්ති අවශ්‍යතාවය සපුරගන්නා අයුරුත් ඒ සඳහා සිලිකන් මූලික ක්‍රමවේද භාවිතයට ගන්නා අයුරුත් අපට කියවිය හැකි වන්නේය. විශ්වතරණය සඳහා විශ්ව ශක්තිය උපයෝගී කරගනත හැකි තාක්ෂණයක් ගැන අනාගත විද්‍යා ප්‍රබන්ධ වල සඳහන් විය හැක.

පෘතුවියේ ආරක්ෂාව කෙරෙහි අධ්‍යාත්මික ශක්තිය භාවිතයෙන් ආරක්ෂක වළල්ලක් ඉදිවන අයුරුත් එමගින් උල්කාෂ්ම සහ ආක්‍රමණය වලින් ආරක්ෂාවන අයුරු ද මෙම ප්‍රබන්ධවලට වස්තු බිජ විය හැක. සාපේක්ෂව මිනීමැරීම් සහ හොරකම් වැනි අපරාධ අඩුවන අයුරුත් පොලීසිය වැනි ආයතන අභාවයට යන බවත් තවදුරටත් සඳහන් විය හැක. ස්වයං විනය පවත්වාගෙන යාමත් විනය කඩකිරීම් සඳහා ස්වාධින මෙන්ම තවත් අයෙකුට පාලනය කල නොහැකි දඩුවම් ක්‍රම වේද ගැන ද මෙම විද්‍යා ප්‍රබන්ධවල සදහන් විය හැක.

 

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන දියුණුව නිසා ආයු කාලය වැඩි වීමෙන් පෘතුවියේ පරිණත ජනගහනය වැඩි විය හැකි නිසා ඔවුන්ගේ අවශ්‍යතා කේන්ද්‍ර කර ගෙන ද විද්‍යා ප්‍රබන්ධ රචනා වනු ඇත. විශේෂයෙන්ම ස්වයංක්‍රිය යාන්ත්‍රික සහයකයන්ගේ වර්ධනය සහ ඒ ඇසුරු කරගෙන ඇතිවිය හැක සිද්ධිදාමයන් සහිත ප්‍රබන්ධවලට ද ඉඩකඩ බොහෝය. ඒ වාගේම වැඩිහිටියන් සිටිනා නිවාස මේ සඳහා වෙනම ඉදිවන බවත් යම් වයසකට පසු ලෝකය පාලනය කරන්නා වූ පාලකයන් වැඩිහිටියන් එම නිවාස වල නවත්වා ඔවුන්ගේ සුඛ විහරණය සඳහා වැඩ පිළිවෙලක් සකස්කිරීම වැනි කරුණු කාරණා මේ පිලිබඳ සිදුකරන රචනා වල සඳහන් විය හැක. ඒ වාගේම අසනීප වන්නන් හඳුනාගත හැකි සහ ඉතා ඉක්මනින් ඔවුනට ප්‍රතිකාර ලබා දිය හැකි ක්‍රමවේද ද මේ කතන්දර වල අඩංගු වනු ඇත.

වත්මනේ පවා ගැටළුවක් වි ඇති ආහාර සුරක්ෂිත බව සඳහා අතිනවීන ක්‍රමවේද වල භාවිතය පමණක් නොව සොබාවික ආහාර පාන සඳහා අධික ඉල්ලුමක් ඇතිවන බවත් ඒ සඳහා නාගරික කෘෂිකර්මය සහ සිරස් වගා බිම් භාවිතා කරන බවත් මේ ප්‍රබන්ධ වල සඳහන් විය හැකි බව මාගේ හැඟීමයි. මෙම බෝග නවීන තාක්ෂණය ඔස්සේ වැඩි දියුණු කර මානවයාට අවශ්‍ය බොහෝ ඛණිජ සහ විටමින් අඩංගු වන්නා වූ ඒ වාගේම තමාගේ සිරුරට අවශ්‍ය ප්‍රමාණ ඒ ලෙසම ලබා ගත හැකි ආකාරයට නිර්මාණය කරන ලද බෝග ගැන ද මෙහි සඳහන් විය හැක. මස් සහ මාළු ලබා ගැනීම සඳහා තව දුරටත් සත්ත්ව ඝාතනය සිදු නොවන අතර ඒ සඳහා විකල්ප ලෙස මස් මාළු කෘත්‍රිමව නිපදවන කර්මාන්තශාලා ඇති වි ඇති බවත් මෙම ප්‍රබන්ධ වලින් දැන ගත හැකි වේ.

මේ ලෙස අනාගතයේ දී විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ අසන්නට දකින්නට ලැබේ යයි සිතිය හැකි තව බොහෝ කරුණු කාරණා මෙහි ළා සඳහන් කල හැකිය. නමුත් මේ සියල්ල වත්මන් ලෝක ප්‍රගමනයේ දිශානතිය පිළිබඳව යම් සැලකිල්ලක් දක්වා ලියන ලද්දක් වන අතර විද්‍යා ප්‍රබන්ධයක් සේම මේ කරුණු කාරණා ද රචකයාගේ සිතෙහි උත්පාදනය වූ යම් සිතුවිලි දහරාවක් උපයෝගී කරගෙන ලියන ලද්දක් බව අමතක නොකළ යුතුය. මේවා මෙලෙස නොවිය හැකි බවට යම් අයෙකුට තර්ක කිරීමේ පූර්ණ නිදහස හිමිවන අතර ඒ වාගේම විවේචනය කිරීමේ අයිතිය ද පාටකයා සතු බව අමතක නොකළ යුතුය. ඒ වගේම ධනාත්මකව මේ ලිපිය කියවන්නෙකුට මේ තුල අනගතය උදෙසා යම් ආලෝකයක් දකී නම් ඒ වෙනුවෙන් යමක් කරන්නට ද අවස්තාව ඇති බව අමතක නොකළ යුතුය.

කෙසේ වෙතත් ලෝක වාසින් ලෙස අප බලාපොරොත්තු වන්නේ සාමයෙන් සහ සමගියෙන් ජිවත් වීමට වන අතර නිරෝගී සම්පත්තිය ලබා බොහෝ කාලයක් ආයුෂ විඳීමටයි. එනිසා ප්‍රබන්ධ ලෙසින් හෝ ඒ තත්වය මේ ලෝකය තුල ඇති කරන්නට විද්‍යා ප්‍රබන්ධ රචකයාට හැකි වන්නේ නම් එය බොහෝ වටිනා කාරණයක් වනු ඇත.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...