Thursday 13 April 2017

විදු පත් ඉරුව

2017 අප්‍රේල් 05 බදාදා


බක්‌ මහේ විශේෂත්වය ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන සිංහල අලුත් අවුරුද්දයි. කවරකු කෙසේ කීවත්, කවර අර්ථකතන දුන්නත් සිංහලයා ගේ නිර්මාණශීලිත්වය සහ අදීනත්වය හඬ ගා කියන්නේ මෙමගින් බව බොහෝ දෙනකු තේරුම් ගන්නේ නැත. ඉතා කදිම අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරිපුන් සිංහල අලුත් අවුරුද්ද ගෙවී යන වසරේ අවසානයත් එළඹෙන වසරේ ආරම්භයත් සනිටුහන් කරයි.

සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ජලයට ලැබෙන්නේ ද ඉහළ ප්‍රමුඛතාවකි. සැම සුබ කටයුත්තක්‌ ද පටන් ගැන්මේ දී ඉදිරියට එන ජලය පිරි කළය ගෙන එන්නේ සුබ පණිවිඩයකි. ජීවයේ අඛණ්‌ඩතාව රඳා පවත්නේ ජලය මත බව හොඳින් තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ජලයට ගෞරව කළ හ. එමෙන් ම එය රැකගැනීම සදහා කදිම සංරක්‌ෂණ ක්‍රමවේද නිර්මාණය කළ හ. ජලය රැස්‌ කර, නැති කල ප්‍රයෝජනයට ගැනීමට උපාය උපක්‍රම ලෙස ඉතා කදිම විස්‌මයජනක වාරි තාක්‌ෂණයක්‌ බිහි කළ හ. සැමට භාවිතයට ගත හැකි ලෙස දියුණු භෞතික මෙන්ම සමාජ ක්‍රමවේද ද ඇති කළ හ. ඒ එතරමට ජලයේ වටිනාකම හඳුනාගෙන තිබූ බැවිනි.

නා නා අයුරින් අපට පිහිට වන ජලයට ප්‍රතිඋපකාර කරන්නට සිංහලයාට වැදගත් වූ සිංහල අලුත් අවුරුද්දේ ඔවුන් අමතක කරන්නේ නැත. සිංහලයා, ඉතා වැදගත් චාරිත්‍රයක්‌ වූ සැමට පළමු සිදු කරන ගනුදෙනු චාරිත්‍රයේ, ප්‍රමුඛතාව දෙන්නේ ජලයත් සමග කරන ගනුදෙනුවට ය. කළයත් රැගෙන යන ගෘහ මූලික කාන්තාව (අම්මා) කළය ජලයෙන් පුරවා ගන්නේ ළිඳට කාසියක්‌ ද අඟුරු කැබැල්ලක්‌ ද එක්‌ කරමිනි. කාසිය මුදල් ගනුදෙනුව පිළිබිඹු කරන අතර අඟුරු කැබැල්ල ප්‍රතිඋපකාරය සංකේතවත් කරයි. අඟරු කදිමට විෂ උරා ජලයෙන් එම විෂ ඉවත් කරන බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කරන්නට අවැසි වන්නේ නැත.

එවැනි සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ අප අද ජලයට කෙතරම් කුරිරු ලෙස සලකන්නේ ද යන්න කතා කළ යුතු ය. අධිරාජ්‍යවාදී පාලන කාලයේ පටන් සිදු වූ සමාජ පෙරළිය මෙරට සංස්‌කෘතිය උඩු යටිකුරු කර ඇති අයුරු රුසියානු ලේඛකයකු වූ මෙරට සංචාරය කළ ඉවාන් බූනින් කදිමට සිය නිර්මාණවල සඳහන් කරයි. පළමුව සිදු වූ මෙරට නාගරික ජනතාව ගේ පෙරළිය ඔහු ගේ නිර්මාණවල පැහැදිලි කර ඇති අයුරු ආකර්ෂණීය ය. පරිසරය තම ජීවයේ කොටසක්‌ ලෙස සලකමින් තිබූ ජාතියක්‌ විනාශ මුඛයට ඇද දමා ඇති අයුරු දැන් දැන් සිදු කරන පාරිසරික දූෂණය අපට පසක්‌ කර දෙන බව පැවසිය යුතු ය.

එලෙස විකසනය වූ කොළඹ අද වන විට නාගරීකරණයේ උච්චතම අවස්‌ථාව පසු කරන බව හොඳින් පැහැදිලි වේ. මතුපිට ජල මූලාශ්‍ර සියල්ල නැවත භාවිතයට ගත නොහැකි ලෙස දරුණු ලෙස දූෂණයට ලක්‌ වී ඇති බව බේරේ වැව දෙස බැලීමේ දී පැහැදිලි වේ. කොළඹ ජනතාව ගේ සියලු කුණු කන්දල් කිසිදු වග විභාගයකින් තොර ව එක්‌ කිරීම නිසා අඳුරු පැහැති ජලයෙන් පිරි බේරේ වැව ද ඒ ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතිය ද අද අපට කියාපාන්නේ අපූරු ජලසංස්‌කෘතියක අවසානයයි. මෙතරම් වටිනාකමකින් යුක්‌ත ජල සම්පත භාවිතයට ගැනීමට නොහැකි වීම තුළ පිටස්‌තර ජල සැපයුම මත ම යෑපෙන්නට අද අපට සිදු වී ඇත. හදිසි ජල විසන්ධි වීම් නිසා නාගරික ජනතාව කෙතරම් අපහසුතාවට පත් වන්නේ ද බව කිව යුතු නො වේ.

දිනෙන් දින වර්ධනය වන ජල දූෂණය නවතාලිය නොහැකි වේ යෑයි අප සිතිය යුතු නැත. මේ සදහා අවැසි වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ පමණි. ඒ තුළ ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරගත යුතු ය. කොළඹ ඇල වේලි තුළින් ගලා යන ජලය සුපිරිසුදු විය යුතු බව ය අප ගේ හැඟීම.

මේ සදහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මෙහි දී නීතිරීති තදින් ක්‍රියාත්මක කළ යුතු ය. දූෂිත වූ ජලය එකතු කිරීම වහා නතර කළ යුතු ය. නිවෙස්‌වල මෙන්ම ආපන ශාලා ඇතුළු සියලු වෙළෙඳසල්වල එකතු වන අප ජලය පිරිපහදු නො කර බේරේ වැව සහ ඒ අවට ජල මූලාශ්‍රවලට එකතු කිරීම නො කළ යුතු ය. ඒ සදහා පිරිපහදු ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු ය. ඉතා පහසුවෙන් ක්‌ෂුද්‍ර පෙරහන් මගින් ජලයෙන් දූෂකකාරක පෙරා වෙන් කළ හැකි ය. නැත හොත් වෙනත් ක්‍රමවේදයක්‌ උත්පාදනය කළ යුතු ය. නාවෝත්පාදකයන්ට මෙය කදිම අවසථාවක්‌ මෙන්ම අභියෝගයක්‌ ද වනු ඇත.

නැවත නැවත දූෂිත ජලය එකතු වීම නැවැත්වීම තුළ තවදුරටත් මේ ජල නිධිවලට දූෂකකාරක එකතු වීම නවතිනු ඇත. දැන් කළ යුත්තේ එහි වූ දුෂිත ජලය පිරිසිදු කිරීමයි. මේ සදහා විවිධ ස්‌ථානවල සවි කළ හෝ පා වන ජල පෙරණයන් භාවිත කළ හැකි ය. මූලිකව කිසියම් ආකාරයකට බලශක්‌ති වැය වීමක්‌ සිදු වන මුත් එයට වඩා වැදගත් වන්නේ කොළඹ මතුපිට ජල නිධිවල සුපිරිසිදුභාවයයි. ජල පිරිපහදුව සදහා ජෛවීය ක්‍රමවේද වුව භාවිත කළ හැකි ය. මෙරට නවොත්පාදකයන් ගේ දෙවැනි අභියෝගය වන්නේ මෙයයි. දූෂිත මතුපිට ජලය පිරිසිදු කළ හැකි ක්‍රමවේදයක්‌ යෝජනා කර ක්‍රියාත්මක කිරීමයි.

කොළඹ මතුපිට ජල නිධි නැවත යථා තත්ත්වයට පත් වන දවස ගැන අදහසක්‌ නොමැති වුවත් එවැනි සිහිනයක්‌ ගැන වත් අප සිතිය යුතු ය. මෙරට විවිධ පර්යේෂණ ආයතනවල අයාලේ යන පර්යේෂණ සහ මෙරට මරි මෝඩ පාලකයන් ගේ කෙස්‌ පැලෙන තර්ක කිරුළු පළඳින තාක්‌ මෙන්ම මුදල ද, තම පෞද්ගලික අවශ්‍යතාවල ද පමණක්‌ ප්‍රමුඛ කරගත් මෝඩ ඡන්දදායකයන් ද සිටින තාක්‌ මෙය කළ නොහැකි බව පසු ගිය කාල වකවානුව පුරා ම ඉතා කදිම උදාහරණ දෙමින් නැවත නවතත් අප හට ඔප්පු කර ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...