Monday 28 May 2018

විදු පත් ඉරුව
2015  07.08 

අප කුඩා කල ඉගෙනගත් තේරවිල්ලක්‌ මාගේ මතකයට නැෙගයි. ඒ, "පුංචි ළිඳේ වතුර රසයි" යන්නයි. මා එය ඔබට පහදා දිය යුතු නො වේ. මන්ද අප සියල්ල ඒ කුමක්‌ දැයි හොඳින් ම දන්නා බැවිනි. පිපාසය නිවාලන්නට ද, ශක්‌තිය ලබා දෙන්නට ද "වෑවරය"කට හැකි ය. එමෙන් ම ඛනිජ ලවණවලින් ද එය පොහොසත් ය. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ එය සේලයින් වතුරට බොහෝ සමාන බවයි. ඒ ගස උඩ ඇත්තා වූ පුංචි ළිඳයි.

ගමේ ගස යට ද එවැනි ම වූ පුංචි ළිඳකි. ශක්‌තිය ලබා දෙන්නට නොහැකි වුවත් අප ගේ ගත සිත නිවාලන්නට මේ පුංචි ළිඳට හැකි ය. ඒ "කුඹුකේ ළිඳයි" (කුඹුක්‌ ගසක්‌ යට පිහිටි ළිඳයි). මා කුඩා කල ජීවත් වූ ගමෙහි ද කුඹුකේ ළිඳක්‌ විය. එහි වූ නිල් කැටේට පිරිසිදු සීතල වතුර බීමට බොහෝ ම කදිම ය. මද්දහනේ පවා වතුර සිසිල ය. ඒ අසලින් ම තවත් වඩා විශාල ළිඳකි. ඒ ස්‌නානයට ය. වැඩිහිටියන් අනුමත කරන්නේ එයින් මද්දහනට පෙර ස්‌නානය කිරීමයි. සවස්‌ කාලයේ නෑම ඔවුහු ප්‍රතික්‌ෂේප කරති. එය ඔවුන් ප්‍රත්‍යක්‌ෂයෙන් ම දැනගත්තකි. ගස උඩ පුංචි ළිඳේ වතුර බීමේ දී ද මෙලෙස ම වූ කතාවක්‌ ගැමියන් අතර වෙයි. ඒ මද්දහනට පෙර වෑවර බොන්නේ නම් රන් කාසියක්‌ දී වුව බීම හොඳ බවයි. එහෙත් මද්දහනෙන් පසු සවස්‌ කල රන් කාසියක්‌ සමග වෑවරය ලැබුණ ද නො බොන ලෙසයි. ඒ වෑවර ජලය ගත සිසිල් කරන නිසා සෙම ගතිය ඇවිස්‌සෙන බැවිනි. එය ද බොහෝ කලක සිට ඔවුනට ප්‍රත්‍යක්‌ෂ වූවකි.

මේ කුඹුකේ ළිඳේ දෙතුන් දෙනකුට වඩා එකවර නෑමට වතුර ප්‍රමාණවත් නො වේ. එහෙත් පැය භාගයක්‌ යන්නට මත්තෙන් නැවත හනික පිරිසිදු වතුරෙන් ළිඳ පිරේ. එතරම් ම අපූරුවට දිය උල්පත ප්‍රබල ය. ඒ ජල උල්පතහි මූලාශ්‍ර ප්‍රදේශයේ වූ පොහොසත් වන වැස්‌ම හේතුවෙනි. මෑතකාලීනව සිදු කරන ලද බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ කුඹුක්‌ ශාකයට ජලය පිරිසිදු කිරීමේ හැකියාව ඇති බවයි. කුඹුක්‌ ශාකයට අපූරු මූල පද්ධතියක්‌ වෙයි. ජාලයක්‌ සේ සකස්‌ වූ ද නිරන්තරයෙන් ම ජලය සොයා දිවෙන්නා වූ ද මේ මූලයන් ජලයේ ඇති බැර ලෝහ උරාගන්නා බව මේ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත. ජලාශ්‍රිතව වැඩෙන නිසා ගස ශක්‌තිමත්ව පොළොවට සවි කර තබන්නට කුඩා මුල්වලට රුකුලක්‌ වන්නේ ගසෙහි ඇති කඳන් පාලම් ය. අතුපතර විහිදී යැම මගින් ඇති කරන සෙවණ ළිඳේ සිසිලසට තවත් හේතු වේ.

පැරැණි ගම්වල කුඹුකේ ළිඳ සුපුරුදු දසුනකි. එමෙන් ම එය පිහිටන්නේ වෙල් යාය ඉස්‌මත්තේ ය. ළිඳ පිරී ඉතිරෙන ජලය වෙල ඉස්‌මත්තේ සිට කුඩා දිය කඳුරක්‌ නිර්මාණය කරයි. අවශ්‍ය විටෙක වෙලට ජලය සපයන්නේ මේ දිය කඳුරයි. දියකඳුරු පහළට ගලත් ම ක්‍රමයෙන් විසල් වෙයි. එවිට දෙපස ඉවුරු පිරෙන්නේ කුඹුක්‌ ගස්‌වලිනි. බොහෝ විට විශාල ඔයවල ද කුඩා ගංගාවල ද මෙවැනි ගස්‌ අතීතයේ නම් කදිමට තිබෙන්නට ඇත. එනිසා ම අතීතයේ මෙලෙස ගලා ගිය ජලය ස්‌වාභාවිකව ම පිරිසිදු වන්නට ඇත. ස්‌වාභාවිකත්වය ඉක්‌මවා එය ජය ගන්නට වැර දරන වර්තමානයේ ජල පිරිපහදු ගැන කතා කරන්නට වී ඇත්තේ කරුණු දෙකක්‌ නිසා ය. කෘත්‍රිම ද්‍රව්‍ය පරිසරයට එක්‌ කිරීමෙන් ජලය අපවිත්‍ර වීමත්, ස්‌වාභාවික ජල පිරිපහදු පරිසරයෙන් ඉවත් කිරීමත් ඒ ප්‍රධාන කරුණු වෙයි. අතීතයේ මුතුන් මිත්තන් විසින් ඉදි කරන ලද වාරිමාර්ගවල ද වැව් වටා ද වූයේ කුඹුක්‌ ගස්‌, මී ගස්‌ වැනි ස්‌වාභාවික ජලය පිරිසිදු කරන්නා වූ ශාක ය.

වත්මනෙහි අපි තාක්‌ෂණයෙන් සුපෝෂිත වී නවීන වාරිමාර්ග හා ජලාශ තැනුවෝ වෙමු. ජල කළමනාකරණය ගැන ඉහළින් ම කතා කරන්නෝ වෙමු. එහෙත් තවමත් රටෙහි ධන නිධානයක්‌ වන ජල සම්පත රැකගැනීමට කෙතරම් දුරට ක්‍රියාමාර්ග ගෙන ඇත් ද යන්න ප්‍රශ්නයකි. දිනෙන් දින ම සුපිරිසිදු ජල නිධි දූෂණය වෙමින් භාවිතයට ගත හැකි ප්‍රමාණය අඩු වෙමින් පවතී. ජලයට එක්‌ වන විෂ ද්‍රව්‍ය ගැන මතකයට නැෙගන්නේ ජනතාව රෝගී වන විට ය. එක්‌ උදාහරණයක්‌ වන්නේ රජරට ජනතාව පීඩා විඳින වකුගඩු රෝගයයි. තවමත් හරිහැටි හේතුවක්‌ සොයාගැනීමට නොහැකි ව සියල්ලන් ම අතරමං ව වාද පිට වාද පවත්වන්නේ ස්‌වාභාවිකත්වය ජයගන්නට ගත්තා වූ ද ගන්නා වූ ද ක්‍රියාමාර්ග ගැන දෙවරක්‌ නො සිතීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

බුද්ධිමත් අය නම් වත්මනෙහි සිදු කළ මහා පරිමාණ ජලාශ නිර්මාණයේ දී ද කොන්ක්‍රීට්‌ වාරිමාර්ග තැනීමේ දී ද මුතුන් මිත්තන් ගේ තාක්‌ෂණය අධ්‍යයනය කර එහි වූ පරිසර හිතකාමී ක්‍රියාමාර්ග හා තාක්‌ෂණයන් යොදාගන්නවා නිසැක ය. ගිණිය නොහැකි තරම් වූ මහා සහ කුඩා පරිමාණ වැව් පංතීන් නැවත සක්‍රිය කිරීමට උත්සාහ ගන්නවා නිසැක ය. අතීතයේ වියළි කලාපයේ ජනයා එහි ස්‌වභාවයෙන් ම සාන්ද්‍රගත වූ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ හේතුවෙන් කඨ§නත්වය වැඩි වූ භූගත ජලය වෙනුවට වැව් ජලය භාවිතයට ගත්තෝ ය. එහෙත් රසායනික පොහොර ඇතුළු අනෙකුත් කෘත්‍රිම රසායනයන් පරිසරයට එක්‌ කිරීමෙන් මතුපිට ගලායන ජලයෙන් පෝෂණය වූ වැව් දූෂණයට ලක්‌ වී ඇත. එනිසා අද වන විට පානය සඳහා වැව් ජලය පරිහරණය අත් හැර ඇත.

සුරක්‌ෂිත අනාගතයක්‌ සඳහා ජල කළමනාකරණය අත්‍යවශ්‍ය ය. එනිසා ජල විද්‍යාඥයන් එක්‌ වී ස්‌ථිර සහ පැහැදිලි වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු ය. ඒ අතරට ජල නිධිවල වර්තමාන තත්ත්වය කුමක්‌ ද යන්න වටහාගත යුතු ය. දැනට දූෂණය වී ඇති සහ පිරිසිදු ජල නිධි වෙන් කරගැනීම වැදගත් වේ. දූෂිත ජල නිධි නැවත යථා තත්ත්වයට පත් කළ හැකි දැයි බැලීම සඳහා පර්යේෂණ දියත් කළ යුතු ය. අපට ද මේ සඳහා යමක්‌ කළ හැකි ය. ජලය අපිරිසිදු කරන්නා වූ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය හැකි ය. ජල පිරිපහදු කරන්නා වූ කුඹුක්‌, මී වැනි ශාක වර්ග ජල මාර්ග සහ ළිං අසල වගා කිරීම ආරම්භ කළ හැකි ය. ඒ අතර, අප ගේ දරුවන් හට ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරවීම ඉතා වැදගත් කටයුත්තකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව
2018 මැයි 23 බදාදා

මෙවර තරු කඳවුර පැවැත්වූයේ බප/ජය/ ජනාධිපති බාලිකා විද්‍යාලයේ දීයි. මෙවැනි වැඩසටහනකට සහභාගි වීමට අවස්‌ථාව ලැබීම මා ඉතා භාග්‍යයක්‌ කොට සලකන අතර එය මට නවමු අත්දැකීමක්‌ වුණා. විදුසර ප්‍රධාන කර්තෘතුමාටත් වැඩසටහන මෙහෙයවූ සමීර මහතා ඇතුළු කණ්‌ඩායමටත් පළමුව මා ගේ හෘදයාංගම ස්‌තුතිය පුද කළ යුතුයි. ඔවුන් මේ වැඩසටහන ඔස්‌සේ ශ්‍රී ලංකාවේ පාසල් අතර විද්‍යාව ප්‍රචලිත කිරීමට ගන්නා නිහඬ වෑයම ඉතා අගය කළ යුතුයි. විද්‍යාව රටෙහි ප්‍රචලිත කිරීම සඳහා ඉතා පලදායි ක්‍රමයක්‌ ලෙස මෙවැනි කඳවුරු පැවැත්වීමත් ඒ සඳහා කවුරුත් ප්‍රිය කරන විෂයක්‌ වන තාරකා විද්‍යාව වැන්නක්‌ යොදාගැනීමත් ඉතා සුදුසු බවයි සමීර මහතා ගේ අදහස වූයේ. මා ද එය ඉහළින් ම අනුමත කරන අතර මෙවැනි එක්‌ කුඩා ක්‍රියාකාරකමක්‌ දරුවකු විද්‍යාව කෙරෙහි යොමු වීමට ප්‍රබල හේතුවක්‌ විය හැකියි.

ඉතා අපූරුවට සංවිධානය කර තිබූ මේ තරු කඳවුර සඳහා විද්‍යාලයයේ බාලිකාවන් විශාල ප්‍රමාණයක්‌ සහභාගි වූවා. එය අපේක්‌ෂිත ප්‍රමාණය ඉක්‌මවූ බවයි විදුහල්පතිතුමිය පැවසුවේ. දරුවන් අහසට කෙතරම් ඇලුම් කරනවා ද යන්න මේ පාසලේ දරුවන් ගේ තිබූ උද්යෝගයෙනුත් උනන්දුවෙනුත් මනාව පෙන්නුම් කළා. තරමක වැසි සහිත කාලගුණයක්‌ පැවතියත් නිරීක්‌ෂණ කටයුතු සඳහා එය බාධාවක්‌ වූයේ නැහැ. විවිධ වර්ගයේ දුරේක්‌ෂ කිහිපයක්‌ මගින් දරුවන්ට අහස නිරීක්‌ෂණය කිරීමේ පහසුකම් සලසා තිබුණ බැවින් අහස තම කුළුදුල් විද්‍යා පර්යේෂණාගාරය කරගන්නට බොහෝ බාලිකාවනට හැකි වන්නට ඇති. එමෙන් ම බොහොමයක ගේ එය කුළුදුල් අත්දැකීම වන්නට ඇති. එනිසා ම අනාගතයේ බිහි වන ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කිහිප දෙනකු ගේ වත් තිඹිරිගෙය මේ තරු කඳවුර වන්නට බැරිකමක්‌ නැහැ.

තාරකා විද්‍යාව කෙරෙහි උනන්දු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ඔබ ගේ පාසලේත් තාරකා විද්‍යා සංගමයක්‌ ආරම්භ කළ හැකියි. එවැන්නක්‌ ආරම්භ කිරීම පාසලේ අධ්‍යාපන කටයුතුවල දීත් මහඟු ප්‍රයෝජනයක්‌ වනු ඇත්තේ පාසල් විෂයමාලාවට ද කිසියම් ප්‍රමාණයකින් මේ විෂය ධාරාව ඇතුළත් කර ඇති බැවිනුයි. එමෙන් ම නවෝත්පාදන කෙරෙහි ඇල්මක්‌ දක්‌වන්නන් හට තම නිර්මාණශීලී ප්‍රයත්නයන් ඔස්‌සේ දුරේක්‌ෂ නිර්මාණය සඳහා යොමු වන්නට වුවත් අවස්‌ථාවක්‌ පවතිනවා. දැනට අධ්‍යයන කටයුතු සඳහා දුරේක්‌ෂ ගෙන එන්නේ පිට රටින්. මූලිකව මේ සඳහා අවශ්‍ය වන්නේ ඉතා සරල අමුද්‍රව්‍ය පමණයි. ඒවා බොහොමයක්‌ අප රටෙන් සොයාගත හැකියි.

මේ තොරතුරු ගොනු කරද්දී මගේ මතකයට නැෙගන්නේ 2003 වසරේ මුරුතලාව ප්‍රදේශයට ඇද වැටුණු උල්කාපාතයයි. එහි කොටසක්‌ ප්‍රදර්ශනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාල්යයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ කෞතුකාගාරයෙහි තබා තිබෙනවා. එහි රසායනයත් ඛනිජ විද්‍යාත්මක පසුබිමත් පිළිබඳව ද භූ විද්‍යා පර්යේෂණ පවත්වා කරුණු අනාවරණය කර තිබෙනවා. පිටසක්‌වළ ජීවය පැවතීම හා සම්බන්ධ පර්යේෂණ පිළිබඳව ලෝකය තුළ ඇත්තේ ඉතා ඉහළ උනන්දුවක්‌. ඒ පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ද පසුගිය කාලයේ යම් යම් සාක්‌ෂි එක්‌ වුණු බව ඔබට මතක ඇති. පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැළුණු උල්කාපාත වර්ෂාවකින් ලබාගත් පාෂාණ කැබැලි විශ්ලේෂණයට ලක්‌ කිරීමෙන් ඒ තුළ ජීවය පැවතීම පිළිබඳ ධනාත්මක තොරතුරු එක්‌ රැස්‌ කරගැනීමට ශ්‍රී ලාංකික විද්වතකු වන මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහ මහතාට හැකි වුණා.

වත්මනෙහි මේ විෂය සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රජාව තුළත් පිබිදීමක්‌ ඇති වි තිබීම සතුටුදායක කරුණක්‌. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ හා සම්බන්ධිත විද්‍යාත්මක කරුණු සාකච්ඡා කීරීම සදහා විශේෂ සමුළුවක්‌ එළඹෙන අගෝස්‌තුවේ පැවැත්වීමට මේ දිනවල කටයුතු කරගෙන යනවා. මේ විෂය ක්‌ෂේත්‍රයේ පර්යේෂණ සිදු කරන්නන් හට ද ඒ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන්නන් හට ද මෙය මහඟු අවස්‌ථාවක්‌ වනවා නොඅනුමානයි. එමෙන් ම මේ විෂය තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළට ප්‍රමාණවත් ලෙස ග්‍රහණය කරගැනීමට නොහැකි වීමෙන් ප්‍රමාද වී ඇති තාරකා විද්‍යා උපාධිය කෙරෙහි උනන්දු වීමටත් යෝජනා කිරීමට මේ සමුළුව පුරෝගාමී වන්නේ නම් ලෝකය ජය ගැනීමට බලා ඉන්නා රටෙහි අනාගත පරපුරට එය අති විශාල සේවයක්‌ වනු ඇති.

විශ්වයේ ජීවය ආරම්භ වීම කවදා කොතැනක කෙසේ සිදු වුණි දැයි තවමත් නිශ්චිතව තහවුරු වී නැහැ. වසර බිලියන 12.5කට පමණ පෙර විශ්වය ආරම්භ වූ බවත් ආරම්භයේ ඇති වූ ක්‌ෂණික පිපිරුම හේතුවෙන් වේගවත් ප්‍රසාරණයක්‌ සිදු වී ක්‍රමයෙන් ශක්‌තිය පදාර්ථය බවට පත් වූ බවත් අද පිළිගන්නා මතයයි. ජීවය පවතින, තවමත් අප දන්නා එක ම ග්‍රහ ලොව පෘථිවියයි. වසර මිලියන 4500කට පමණ පෙර ඇති වූ මෙහි ජීවය ආරම්භ වූයේ මෙහි ම බවට තවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයකු මතයක්‌ පළ කර තිබෙනවා. ඒ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතායි. එනිසා මේ විෂය ඔස්‌සේ රටෙහි නම ලොව සුපතළ කිරීමට හැකි වීම අගය කළ යුතු මෙන්ම සැලකිල්ලට ද ගත යුතු සිදුවීමක්‌.

ලෝකය ආරම්භයේ ඇති වූ ජීවය හා සමාන ජීවීන් බොහෝ කටුක පරිසරවල දී හමු වන බව වත්මන් විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඒ අතර මුහුදෙහි ඇති වන ගිනිකඳු ආශ්‍රිත පරිසරවල ද, අධික ලවණතාව ඇති ස්‌ථාන ද, ගල්ගුහා වැනි පරිසර ද වනවා. ශ්‍රී ලාංකේය භූ ස්‌කන්ධයේ බහුලව විවිධාකාරයේ ගල්ගුහා හමු වන බැවින් මෙවැනි ප්‍රාථමික ජීවින් අධ්‍යයනය සඳහා මෙරට තෝතැන්නක්‌ වනු ඇතැයි අපට සිතිය හැකියි. තවමත් ප්‍රාථමික මට්‌ටමේ පවතින ගල්ගුහා පර්යේෂණ ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී මෙවැනි පර්යේෂණ සදහා ද අවස්‌ථාව සැලසීමට සූදානමින් සිටින බව එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු හැටියට මට පැවසිය හැකියි. එපමණක්‌ නො ව ගල්ගුහා පර්යේෂණ සදහා දායක විය හැකි කණ්‌ඩායම් සහ පාසල් ඇත්නම් විදුසර හරහා අප හා සම්බන්ධ විය හැකි බව මේ සමග දැනුම් දෙන්නට කැමතියි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...