Tuesday 23 July 2019



නූතන සන්නිවේදනය
23.07.2019

සන්නිවේදනය ගැන කතා කරන කොට අමතක කරන්න බැහැ අහසට දුම් ගගහ පණිවිඩ යවපු කාලයකුත් තිබුනු බව . දුනු,ඊතල පාවිච්චි කරපු යුගයකුත් තිබුනා. පරවියොත් ඒ අතරේ සැහෙන්න පණිවිඩ යවන්න උපකාරී වුනා. අද වෙනකොට පණිවිඩ යැවීම සන්නිවේදනය හරිම දියුණුයි. ඒ මොන මොනවද කියලා කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සියලු දෙනාම ඒවයේ ප්‍රයෝජන ගන්නවා නේ. හැබැයි කොච්චර හොඳට සන්නිවේදන ක්‍රමවේද, තාක්ෂණය දියුණු වුනත් අපි නිවැරදිව සන්නිවේදනය සිදු කරනවා ද යන්න ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නං හොඳයි කියලා හිතෙනවා.   

සන්නිවේදනය අපට වැදගත් ඇයි? එහෙම අහපුවහම ඔබ කියයි එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්න තමයි වැදගත් කියලා. බොහොම සරලව හිතුවොත් ඒක ඇත්ත. නමුත් මම හිතන්නේ අපට තියෙන ගැටලුව තමයි ඇත්තටම අපි නිවැරදිව ඒ දේ කරනවද කියන එක. නිවැරදි සන්නිවේදනයේ, ඉතා සරලව කිව්වොත්, ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. එකක් තමයි අදහස ප්‍රකාශ කිරීම, අනෙක තමයි එය අදාළ කෙනා ග්‍රහණය කර ගැනීම. කෙනෙකුට කියන්න පුළුවන් තේරුම් ගැනීම කියලත්. ඔවු, එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් මේ ප්‍රකාශ කරන අදහස නිවැරදිව තේරුම් ගන්නවා ද? ඒ වගේම නිවැරදිව තේරුම් ගන්න පුළුවන් විදියට අපි අදහස් ප්‍රකශ කරනවා ද කියන දෙයත් මෙහිදී වැදගත්.  මම හිතනවා මේ කරුණු දෙක නිසිපරිදි නොවීම අද ලෝකයේ තියෙන ප්‍රධාන ගැටළුවක්. මේ නිසා සුළු සුළු අකරතැබ්බයන් පමණක් නොවෙයි හිතාගන්න බැරි මහා විශාල විනාශයන් පවා ලෝකේ සිදුවෙලා ඇති.

බොහොම සරල උදාහරණයක් ලෙස පාරේ ගමන් කරන වාහන ගැන හිතමු. පයින් ගමන් කරන්නන්ට වගේ අදහස් ප්‍රකශ කිරීම රියදුරන්ට සිමිතයි නේ. මං අදහස් කලේ වාහනේ එළියේ ඉන්න අය සමග වගේම අනෙකුත් වාහන සමග කියන එක. හැබැයි ඔවුන්ට වාහනේ ඇතුලේ හිටියත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව තියෙනවා. ඒ සංඥා මගින්. වමට හරවන්න දකුණට හරවන්න යනාදී වශයෙන් වාහනය පැදවීමේ දී වැදගත් වන තීන්දු තීරණ ගැනීම සඳහා සීමිත නමුත් ප්‍රමාණවත් සංඥා ප්‍රමාණයක් හඳුන්වා දීලා තියෙනවා. නමුත් මේ සංඥා නිවැරදිව භාවිතා කරනවද ? මේක තමයි පාරේ යනකොට අපට තියෙන එක ගැටළුවක් වෙන්නේ. සමහරවිට බොහොමයක් රිය අනතුරු වෙන්නෙත් මේ හින්දා. බොහොමයක් දෙනා තමන් ගන්නා තීරණය හෝ ඊළඟට කරන්න යන දේ නිවැරදිව අනෙක් රියදුරන්ට දැනුම් දෙන්නේ නැහැ. ඒක හිතේ තියාගෙන කරන දේ කරනවා. ඒක හින්දා අවට ඉන්න සහෝදර රියදුරන් අමාරුවේ වැටෙනවා (වාහනය පදවනකොට අපි කවුරුත් රියදුරන්, මොන රස්සාව කලත්). සමහරු වැරදි සංඥා භාවිතා කරනවා, වමට හරවන්න සංඥා දාල දකුණට හරවනවා. හැරෙව්වට පස්සේ සංඥා නැවත අවලංගු කරන්නේ නැහැ. ඒ විදියටම දිගටම රථය පදවනවා. එතකොට පිටිපස්සෙන් එන අය තමයි අමාරුවේ වැටෙන්නේ. ඒ කියන්නේ බොහොමයක් දෙනා තත්කාලීන සිහියෙන්, සතියෙන්, නෙවෙයි රිය පදවන්නේ (ඒ ගැන අපි වෙනම කතා කල යුතුයි). ඒ අතරේ තමන්ගේ වාසියට සංඥා නොතකන අයත් ඉන්නවා. බොහොමයක් පාපැදි කරුවන් ත්‍රිවිල් රියදුරන් ඉතා දරුණු ලෙස මේ දේ කරනවා. බොහොමයක් රියදුරන්ට ඉවසීමක් ඇත්තේම නැහැ. ඒක හින්දා මං සන්ධි වලදී සංඥා තකන්නේ ම නැහැ. විශේෂයෙන්ම බස් රථ රියදුරන්. කොළ පාටට පසු දෙන තැඹිලි (කහ) පැහැය මගින් කියන්නේ වාහනය නවත්වාගත යුතු බවයි. නමුත් ගොඩක් අය හිතන්නේ එය වාහනය පැදවීම සඳහා ලබා දෙන අවසරයක් කියලා. නලාව නාද කිරීම මගින් කෙනෙකුගේ අවධානය ලබා ගන්නට පුළුවන්. ඒක අවධානයෙන් මිදුන අයගේ සිහි එළඹවාලීම සඳහා භාවිතා කිරීම ගැටළුවක් නොවුනත් අපේ රටේ නම් තත්පරයක ප්‍රමාදයවත් ඉවසා ගන්නට නොහැකි රියදුරන්ගේ ජනප්‍රිය ක්‍රියාවක් වෙලා. තැනට සුදුසු දේ භාවිතා කිරීම ට බොහොමයක් රියදුරන් නොදන්නා බවයි මෙයින් පෙනෙන්නේ. ආත්මාර්ථකාමී බව ද සංඥා නොසලකා හරින්නට හේතුවක් බවයි පෙනෙන්නේ. උගත්කම අනුව මේ තත්වය වෙනස් ඇති කියලා හිතුවත් එසේ නොවන බව අත්දැකිමෙන්ම ඔබට වැටහී ඇතිවාට කිසිම සැකයක් නැහැ. නිසිකල නිවැරදි සංඥා භාවිතය නිවැරදි සන්නිවේදනය සඳහා ඉතා වැදගත්.

සන්නිවේදනයේදී වැදගත් වන ප්‍රධානම දේ තමයි නිවැරදි තොරතුරු ලබා දීම. එමගින් ජනතාව නොමග යැවීම වලක්වා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකවේ මාධ්‍ය මහජන සන්නිවේදනයේ පෘතුල කාර්යයක් ඉෂ්ට කරනවනේ. නමුත් ඔවුන් බොහොමයක් දෙනා සන්නිවේදනයේ දී තාක්ෂණය අවභාවිතා කරන බව අපි කවුරුත් දන්නා දෙයක්. කවුරුන් හෝ සිදුකල කතාවක කොටස් අමුනා මුල් අර්ථය සපුරා විකෘති කල ප්‍රවෘති සකස් කිරීමට ඔවුන් ඉහලින්ම සමත්. එමගින් සත්‍ය සන්නිවේදනය වෙන්නේ නැහැ. ඇතිවන්නේ විශාල ගැටළු ගණනාවක්. වෙන්නේ මුළු රටක සමස්ත ජනතාව ඇවිස්සීමක්. මේ නොමග යැවීම දැන්වීම් ප්‍රචාරණයේ දී ඉතා දරුණුවට සිදුවෙන්නක්. ඒ විතරක් නොවෙයි සමහර නිෂ්පාදන වල සඳහන් තොරතුරු නොමග යන සුළු ආකාරයට තමයි පෙන්වා තියෙන්නේ. ඉතා කුඩා අකුරෙන්, පෙනෙන නොපෙනෙන ලෙස ඉතා වැදගත් තොරතුරු පෙන්නනවා. ඒක දැනගත යුතු කරුණු නොපෙන්වා සිටීමේ උපක්‍රමයක් ද කියලත් සිතෙනවා. දැනගත්තොත් අලෙවිය අඩුවෙන්න පුළුවන්, සමහර විට. ඒ කොහොම උනත් එක්තරා ආකාරයකට නොමඟ යැවීමක්. මේ වගේ දේවල් ලොකු ලොකු ආයතන කරනවා වාගේම. කුඩා කුඩා ව්‍යාපාරිකයොත් හරියට කරනවා. එළවලු ගන්න පොළට යන ඔබට මේ අත්දැකීම් හොඳටම ලබලා ඇති. ඒවා නංගි පෙන්නලා අක්කා දීම වගේ දෙයක්. පෙන්නන්නේ වෙන දෙයක් දෙන්නේ තව දෙයක්. පොළේ ඉන්න සමහර වෙළෙන්දෝ කැමති නැහැ එලියේ පේන්න ලස්සනට තියෙන එළවලු විකුන්නන්න. ඒවා ගන්න හදනකොට දෙන්නේ නැහැ. මේවා ගන්න කියනවා. නැතිනං එයාලම තෝරලා දෙනවා. මිල ගණන් ප්‍රදර්ශණය කරන්නේ නැහැ. ඒ මොකද මූණ බලලා ගණන් කියන්න පුළුවන්නේ. දෙල්කඳ පොළේ මේක හරියට වෙනවා. මිනිස්සු රවටනවා.  

නිවැරදිව ප්‍රකාශ කරන අදහස ගොඩ දෙනෙක් ග්‍රහණය කර ගෙන ඒක තේරුම් ගන්නේ නැහැ. ඒක හින්දා විශාල ගැටළු ඇතිවෙනවා. පාසලේ දී බොහොමයක් විෂය කරුණු ග්‍රහණය කර ගන්න දරුවන් උත්සහ කරන්නේ නැහැ. මේ තත්වය විශ්ව විද්‍යාල ඇතුළු බොහොමයක් අධ්‍යාපන ආයතන වල දැකිය හැකියි. මේවයේ ප්‍රතිඵල විභාග උත්තර පත්‍ර බලනකොට තේරෙනවා. උගන්නපු දේ ග්‍රහණය කර ගන්නේ නැතුව උත්තර වලට වෙන වෙන බහු භූත ලියනවා. සමහර වෙලාවට ලියපු දේ කියවගන්න බැහැ. එතකොට වෙන්නේ අදාළ කාරිය කරන අය බොහොම අසීරුතාවයට පත්වෙනවා. විභාගය වැනි කාරණයකදී නං ලකුණු නොලැබෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. කරුණු කාරණා නිවැරදිව ප්‍රකාශ වුවත්, නිසි පරිදි ග්‍රහණය නොකර ගැනීම කියන කාරණය අද අද බහුලව සිදුවෙන දෙයක්. බුකියේ (FB) රැඳෙන බොහොමයක් දෙනා එහි පලවෙන ලිපි සම්පුර්ණයෙන්ම කියවන්නේ නැහැ. ඉතාම හදිසියෙන් ඉහල පහල යන එක විතරයි බොහෝ දෙනා කරන්නේ. බොහොමයක් දෙනා ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතාම නොසන්සුන්කාරී ලෙසයි  හැසිරෙන්නේ. ඒ නිසා දෙන පණිවිඩ අදහස් නිවැරදි ලෙස තේරුම් ගන්නේ නැහැ. එනිසා ඇතිවන තත්වයන් ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැනේ. සියලු දෙනාටම මේ සම්බන්ධව අත්දැකීම් ඉතා හොඳින් ඇතිනේ. හරියට කළුවා මාරපන ගියා වගේ කියලා කියන්නත් පුළුවන්. මුල් අදහස විතරක් හිතට අරගන්නවා. අභ්‍යන්තරය ගැන හොයන්නේ නැහැ. මේක දන්නා දැන්වීම් නිර්මාණය කරන්නෝ මේකෙන් ප්‍රයෝජනය අරගෙන මාතෘකාව දානවා හිත ඇදිලා යන දෙයකින්. ඇතුලේ තියෙන්නේ වෙන දෙයක්.   

සන්නිවේදනයේ දී ලියන භාෂාවත් වැදගත් කියලා මම හිතනවා. සමහරු හිතනවා කොහොම ලිව්වත් කියන දේ නිවැරදිව සන්නිවේදනය වෙනවා නම් මොකද කියලා. ඒක එහෙමම ද කියලා හිතෙනවා විටෙක. අතීතයේ මිනිස්සු ලියන්න ඉගෙන ගත්තේ පස්සේ. ඒ පිටුපස්සේ අපුරු කතන්දර තියෙනවා. ඒ ගැන අපි වෙන දවසක කතා කරමු. හඬ තමයි ක්‍රමයෙන් අකුරුබවට පත්වුනේ. රූප සංඥා විදියට භාවිතා කරලා ඒවා ක්‍රමයෙන් අකුරු බවට පෙරලෙන්න ට ඇති. වචන උච්චාරණය අකුරු බවට පත් වුනාම සමහර වචන කියවනකොට නැවත ඒ හඬම නැවත ඇතිවෙන්නට ඕනේ. නැතිනං ඒක වෙන දෙයක් වෙනවා. “හඬ” කියලා ලිව්වම අපි කියවන්නේ ‘හඩ’ කියලා නෙවෙයි. ඒ වගේම ඒ වෙනුවට ‘හඩ’ ලිව්වොත් ගැටළුවක් වෙනවා. මොකද ඒකෙන් ‘හඬ’ කියලා හඬ නැගෙන්නේ නැති හින්දා. සමහර  වචන තියෙනවා හඬනැගෙන්නේ එකම විදියට. ‘තන’ සහ ‘තණ’ උදාහරණයක්. හැබැයි ඉතින් යෙදෙන තැන අනුව කෙනෙකුට වටහා ගන්න පුළුවන් වේවි අදාල දේ මොකක්ද කියලා. අපි ආයෙත් ප්‍රාථමික මට්ටම ට යන්න ඕනෙද ? භාෂාව පරිණාමය වෙනකොට විවිධ නීති රීති හැදෙනවා. සමහර ඒවා නැතිවෙනවා. අලුතින් හැදෙනවා. මං හිතනවා ඒක වැදගත් කියලා. ලියනකොට ඒක ගොඩක් වැදගත්, නිවැරදි තැනට අදාල ලෙස එම රීතින් භාවිතා කිරීම. “මරන්න එපා නිදහස් කරන්න”, කොමාව භාවිතා කරන තැන අනුව මරන්නත් පුළුවන් නිදහස් කරන්නත් පුළුවන්. මම සිංහල භාෂා පිලිබඳ ප්‍රවීනයෙක් නොවෙයි, මෙහිත් නොයෙක් වැරදි තියෙන්නට පුළුවන්.

කොහොම උනත් අපට වැදගත් වෙන්නේ නිවැරදි සන්නිවේදනයේ පහසුව. කියන දේ ලියන දේ පැහැදිළිව සහ නිවැරදිව කිරීම තමයි අපි පුරුදු පුහුණු කල යුත්තේ. ඒක යම් ජනකොටසක අනාගත පැවැත්ම උදෙසා ඉතා වැදගත්. යම් ජන කොටසක් පරිණාමිකව දියුණු වෙනකොට ඒවායේ දියුණුවක් ඇති වෙනවා. සමහරවිට තරමක් සංකීර්ණ සන්දර්භයන් ඇතිවන්නට පුළුවන්. ඒ වුනත් පරිණාමය කියලා අපි ආපසු මුලට නං යන්නේ ඒ ගැන තව පාරක් හිතන්න වෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...