Friday 13 July 2018



කාබන් චක්‍රයේ පාංශු පැතිකඩ

වසන්තය නිමා කරමින් ගිම්හානය ලබන්නේ සියලු ශාකපත්‍ර වර්ණවත් කරමින්. ඒ වර්ණවත් බව ශාකපත්‍ර වල අවසානය සනිටුහන් කරන බව හිරු එළිය නොදන්නා මුත් අඛණ්ඩ හිරු රැස් දහවල පුරා ඉතා ප්‍රබලව පතිත කරන්නේ සුපුරුදු පරිදි ස්වයංපෝෂින්හට අවැසි ශක්තිය සපයමින්.  ගිම්හානය ගෙවෙද්දී එකින් එක පත්‍ර බිම ඇදහැලෙමින් නග්න පොළොව සිප ගන්නේ නැවත නැවතත් පතිත වන තම කාර්යය නිම කල සහෝදර පත්‍රයන්ගේ නවමු ගමනට සුබාසිංශන කරමින්.

ළඟ ලඟම එන ශිත කාලය ට සූදානම් වන්නාක් මෙන් එකින් එක රැස් කකා පොදි ගැසුන ශාක පත්‍ර තම දේහ වියෝජනය ආරම්ඹ කරන්නේ දෙගිඩියාවෙන්. ඇරඹි ශිත ඉරුතුවේදී මුහුණ පාන්නට සිදුවන අධික ශීතල දේහ වියෝජන ක්‍රියාවලිය බාල කරන්නට සිදු වීම එයට හේතුවයි. කෙසේ නමුත් සෙමින් සෙමින් ලිහා දමන තම දේහයේ සංකීර්ණ කාබනික සංයෝග සතු ඛණිජ ලවණ පසට එකතු වන්නට පටන් අරන්. තම අරට, ඉරටු සහ නාරටි පවා පාෂාණීභූත කරන්නට සමත් මේ සීතලෙන් නම් කිසිවෙකුට බේරෙන්නට බැහැ. බොහොමයක් සක්‍රිය ජිවීන් සීතලට බියෙන් පලා ගොසින්. නැතහොත් පාංශු තලයේ වූ බෙන සහ ගුල්වල සැඟවී නිද්‍රාශිලී වී ඇත. මේ අතර පාංශු ක්‍ෂුද්‍ර ජිවීන් පවා තම අනසක පැතුරූ රංග භුමියේ තවත් රඟන්නට සුදානම් නැහැ. නැවත වසන්තය පැමිණෙන තෙක් අලසකම ඔවුන් වෙත තම අණසක පතුරා ඇති හැඩයි.

සිසිරය අවසන් බව සෙමින් දියවෙන පාෂාණීභූත වූවාක් මෙන් වූ හිමකඳු පෙන්නුම් කරන්නට පටන් අරන්. එනිසා දැන් දැන් සරත් ඉරුතුවේ දී දිය වෙන හිම ශීතලට දෘඩ වූ ශාක දේහ මෘදු කරමින් වැගිරෙන්නට පටන් ගෙන ඇත. පරිසරය යලිත් උණුසුම් වෙන්නට පටන් ගෙන ඇත. ශිශිරතරණයේ යෙදුනෝ නැවතත් ඇසිපිය හැර, කෑම සොයන්නට පටන් ගත්තෝය. සිසිල් ජලයෙන් මෘදු වූ ශාක දේහ වියෝජනයේ ඵල පරිසරයට නිදහස් කිරීම වේගවත් කරයි. නමුත් තවමත් නිසි පරිදි යාන්ත්‍රණය සිදුනොවෙයි. ටිකෙන් ටික වැඩිවන උනුසුමත් සමග වියෝජකයන් තම ආහාර වූ සංකීරණ කාබනික සංයෝග ගිල දමන්නට පටන් ගනී.  ඔවුන් ගිල දමන ආහාර ප්‍රමාණය වැඩිවන උණුසුමත් සමග වැඩිවන්නට පටන් ගෙන ඇත. එනිසා පොදි ගැසී ගොඩ ගැසී නොඉවසිලිමත් වූ ශාක පත්‍ර ගොනු ක්‍රමයෙන් තම බර අඩුකරගන්නට පටන් ගනියි. ක්‍රමයෙන් තුනී වන මැරුණ ශාක පත්‍ර ගොනු බොහොමයක් වසන්තය ලංවත්ම තම ගමන හමාර කර ඇත. ශාක තම දිවිය සරිකර ගැනීම සඳහා හිරු එළියෙන් තිර කර ගැනීමට පසෙන් උරා ගන්නා ලද පෝෂණය මේ අයුරින් නැවත පසට ලබා දීමට කෘතඥ වූයේ අනාගත තම දරුපරපුරේ පැවැත්ම තහවුරු කරමිනි.

නව පත්‍ර දළුලමින් ලිය ලන්නට පටන්ගන්නේ තමන් පසට ලබා දුන් පෝෂණය නැවත උරා ගනිමින්. තෙත බරිත වූ පාංශු ඛණිකා අස්සේ රිංග රිංගා තම ලෙන්ගතුකම කියාපාන ජල බින්දු විටෙක පාංශු දේහයෙන් පෝෂණය උරා ගන්නා අතර බොහෝ දුර සිට රැගෙන ආ පෝෂක ද මුදා හරින්නට බොහෝ කැමති හැඩයි. පාංශු දේහයේ යාවජීව ක්ෂුද්‍ර ජීවියෝ ඔක්සිජන් ඇතිවිට ද නැති විටද කෙසේ හෝ පසට අවැසි අංගාර අංශු ද ඛණිජ ද නිදහස් කරන්නට බොහෝ කැමැත්තෝය. එනිසා කවර පරිසරයක් ඇති වුවද නිදහස් පාංශු පෝෂණකාරක මාර්ගය පෑදී ඇත. ඔක්සිජන් හා මුසුවූ අංගාර අංශු  වාතයට මුසුවන්නේ පූටීකා තුලින් නැවත ශාක දේහ ගත වන්නට පෙරුම් පුරමින්. සූර්ය රස්මිය විඳ ගන්නා ශාක පත්‍ර උරා ගත්තා වූ ඔක්සිකරණය වූ අංගාර අංශු තෙත බරිතව ශක්තිව ගබඩා කරයි. ප්‍රභාසංස්ලේෂණයේ අරුමය ශක්තියේ මූලික අංශු බවට පෙරලෙන්නේ ශක්ති ප්‍රවාහක කාබනිකයන් පත්‍ර තුල ඇතිකරමින්. එයයි විශ්මය වන්නේ. නැවත නැවතත් නිදහස් ව සැරි සැරූ අංගාර අංශු දැන් නොසිතනා ලෙස සංකීර්ණ කාබනිකයන් බවට පත් වී ශාක මූලයන් ගේත්, කදේත්, ඵල තුලත් ගබඩා වෙයි.  

වැඩීමට අවැසි ආහාර සරලත්වයට පත් වන්නේ ශාක තුල වූ සෛල මූලිකයන් තුලමය. ගබඩා වූ ශක්තිය පැණි රසැති අපූරු ඵල ලෙසයි ශාක එළිදක්වන්නේ. ප්‍රාථමික ශාකභක්ෂකයෝ ඵල තුල ද පත්‍ර තුල ද මූලයන් තුල ද ගබඩා වූ ශක්තිය උරා ගන්නට සැදී පැහැදී සිටී. සරලත්වයට ප්‍රිය කාබනික සංකීර්ණයෝ නැවතත් බිඳ හෙලෙන්නේ සෛල තුල වූ ශක්ති නිෂ්පාදකාගාරය තුළ දී යි. අවසන නැවතත් ඔක්සිකරණය වූ අංගාර අංශු වාතයට නිදහස වෙයි.  

දැන් දැන් වායුගෝලයේ  වැඩිවන ඔක්සිකරණය වූ අංගාර අංශු වලට හේතුව වන්නේ සොබාවිකත්වය පමණක් ම නොවේ. වසර මිලියන ගණනාවක් තිස්සේ භූ ගැබේ ගැඹුරේ තැන්පත්ව පාෂාණීභූත වූ අංගාර නිධි කැන පිරිපහදු කොට යාන්ත්‍රිකයන්ගේ ශක්තිය උදෙසා භාවිතය ට පෙළඹෙන්නේ දැන් දශක ගණනාවක සිට ය. තව දුරටත් ශක්තිය අරුමයක් නොවීම නිසා යාන්ත්‍රික නිපැදවීම් වර්ධනය වී සොබාවිකත්වයෙන් ඔබ්බට මානව පරිසරය පත් වී ඇත. හිරුගේ තාපය උරාගත් ඔක්සිකරණය වූ අංගාර අංශු වායුගෝලීය උෂ්ණත්වය ද එනිසා ම සමස්ථ පරිසරයේ උෂ්ණත්වය ද වැඩි කරයි. ධ්‍රැවගෝලයේ ශිත කඳු දියකරමින් සාගරවල ට එක්වන ජලය හිරුගේ තාපය උරා ඉදිමෙන්නේ තව තවත් සාගර ජල මට්ටම උඩට ඔසවමින්.  

වර්ෂාවෙන් ද තාපයෙන් ද අනූන වූ මධ්‍ය රේඛාගත ප්‍රදේශ වල තත්වය බොහෝ භයානක ය. වර්ෂා ජලයේ දිය වන ඔක්සිකරණය වූ අංගාර අංශු එහි අම්ල රස වැඩිකර යි. තිරුවානා සහ පූර්වජ මැටි ඛණිජ ජීර්ණය කඩිනම් කරන්නට මේ වෙනස බොහෝ සමත්ය. ඝන පාෂණ මෘදු කරමින් ලිහිල් පස් තට්ටු බිහි වීම එනිසා වේගවත් වී ඇත. සර්වකාලීන යැයි සිතු බොහෝ දේ මෙනිසා වියුක්ත වී ඇත. එම වියුක්තයන්ගේ දාම පසු ක්‍රියා නොසිතු විරූ ලෙස වර්ධනය වී ඇත. සොබාවික පරිසරය යැයි සිතු සම්මතය අද වන විට වෙනස්වැ ඇත. සම්මත සොබාවිකත්වයෙන් වියුක්ත වූ මානවයා තම බුද්ධිය අන්ධ ලෙස භාවිතා කිරීමේද ප්‍රතිඵල සැමටම භුක්ති විඳින්නට සිදු වෙයි.          

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...