Sunday 6 January 2019

විදුපත්ඉරුව
27.04.2016
මේ තියෙන පෑවිල්ල වගේ ම තමයි වහින්න ගත්තහමත්. ඇති පදමට, මදි නො කියන්න වහිනවා. පෑවිල්ල හින්දා වේළිලා තියෙන පොළොවට එතකොට ඔන්න වහින වැසි වතුර බොහොමයක්‌ උරාගන්න එක අහන්නත් දෙයක්‌ ද? වැඩි දවසක්‌ යන්න මත්තෙන් ඇකිළිලා තිබුණ පස්‌ අංශු, වැසි වතුර හොඳට උරාගෙන ඉදිමෙන්න පටන්ගන්නවා. වැඩි කාලයක්‌ යන්න මත්තෙන් මුළු පොළොව ම ජලයෙන් පෙඟිලා සංතෘප්ත වෙනවා. ඔන්න දැන් තමයි ගැටලුව ඇති වෙන්නේ. මේ ක්‍රියාවලිය තැනිතලා ප්‍රදේශයක දී නම් කොහෙත් ම ගැටලුවක්‌ වෙන්නේ නැහැ. ඒ වුණාට ඔන්න කඳුකරයෙ දී තමයි ගැටලු මතු වෙන්නේ. 

අපි දන්නවා පස්‌වලට ජලය උරාගන්න එකෙන් වෙන්නේ ඒ පස්‌වල බර තවත් වැඩි වෙනවා කියන එක. මෙලෙස කඳුකරයේ විවිධ ස්‌ථානවල ඇති පස්‌ කුටිටිවල බර වැඩි වීම ඉතා ම භයානකයි. ඒ මොකද කියලා ඔබ හොඳින් දන්නවා නේ. බහුතරයක්‌ නාය යැම් සිදු වන්නේ අධික වර්ෂාපතනයක්‌ ඇති කාලවල දී. අත්දැකලා තියෙන විදියට දින කිහිපයක්‌ තිස්‌සේ අධික වර්ෂාපතනයක්‌ කඳුකරයේ යම් යම් ප්‍රදේශවලට ලැබීම නාය යැම් ඇති කිරීමට හේතු වෙලා තියෙනවා. සාමාන්‍ය වර්ෂාපතනයක්‌ වුවත් දිගුකාලීනව ඒකාකාරීව ලැබීම යහපත් තත්ත්වයක්‌ නො වෙයි. පොළොව ජලය උරාගත්තට පස්‌සේ සිදු වන තව දෙයක්‌ තමයි පස්‌ අංශු අතර ඇති බැඳීම ලිහිල් වෙන එක. ඒක සිදු වෙන්නෙ නිශ්චිතව ම මේ වේලාවටයි කියලා දැනගන්න එක බොහොම අසීරු දෙයක්‌. එක මොහොතක දී ඉතා ම හදිසියේ සිදු වන මේ සිදුවීම නිසා පස්‌ අංශු අතර ඇති ඝර්ෂණය බිඳ වැටීම තවත් එක්‌ නාය යැමක්‌ සදහා හේතු වනවා.

ඉතා ම කදිමට පෙඟිලා තියෙන පස්‌ අංශු, එක තැනකින් ලිහිල් වෙලා පහළට රූටා යැමට පටන්ගැනීමත් සමග ම ඒ හා බැඳුණු අනෙකුත් පස්‌ අංශුත් ඒ ගමනට එකතු වනවා. පස්‌වල ඇති මැටි අංශු මේ ගමනට එක්‌තරා ආකාරයකට රුකුලක්‌ දෙනවා කිව්වොත්

නිවැරැදියි. මැටි අංශු දිය වී හැදෙන දියරමය ස්‌වභාවය අති විශාල පාෂාණ කුට්‌ටි පවා පහළ ගෙන යන්නේ ඉතා ක්‌ෂණයකින්, කිසි ම අපහසුවකින් තොර ව. මේ වේගවත් චලනය තමන් ගලා යන මාර්ගයේ ඇති බොහොමයක්‌ දේ එක්‌කාසු කරගෙන යන්නට ඉතා හොඳින් වග බලාගන්නවා. ඉහළ ස්‌ථානයක තිබෙන විට ද ජලය උරාගෙන ද ඇති වූ විභව ශක්‌ති වැඩි වීම චාලක ශක්‌තියක්‌ බවට පත් කරගෙන ගමනට අවශ්‍ය ජවය ලබාගන්න මේ අස්‌ථාවර පස්‌ කුට්‌ටි ශක්‌තිය හානි කරගෙන ස්‌ථාවර වන්නේ සුදුසු නවාතැන්පළක්‌ සොයාගත් පසුයි. මේ නවාතැන්පළ හිටපු තැන ඉඳලා මීටර කිහිපයක්‌ වෙන්නත් පුළුවන්. නැතිනම් මීටර සියයක්‌ දෙ සියයක්‌ වෙන්නත් පුළුවන්. සමහර විටෙක මීටර දාහක්‌ පමණ වූ අවස්‌ථාත් තියෙනවා. මේ ගමන් මාර්ගයේ ආරම්භයේ සිට කොහේ හෝ ස්‌ථානයක මානව ජනාවාස තිබුණොත් සිදු වන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.

මේ ක්‍රියාදාමය අතිශය ස්‌වාභාවික වන මුත් දැන් දැන් වර්තමානයේ මිනිසුන් ගේ අත්aතනෝමතික ක්‍රියා හින්දා නාය අවදානම වැඩි වෙලා කිව්වොත් නිවැරැදියි. ජලය වාගේ ම නාය යැමක දී අදාළ ප්‍රදේශයේ භූමියේ බෑවුමත් අතිශය වැදගත්. බෑවුමෙහි අඛණ්‌ඩභාවයට හානි පැමිණීම නාය යැම් වර්ධනයට තවත් හේතුවක්‌. අතීත මිනිසුන් තමන් ගේ නිවහන හදාගත්තේ බොහොම ස්‌ථාවර භූමියක. කොහොම උනත් ඔවුන් කඳුකර අස්‌ථාවර භූමිවලට අත නො තිබූ බවයි පෙනී යන්නේ. තමා ගේ නිවහන සාදාගන්න සුදුසු භුමිය තෝරාගන්න ඔවුන් තමන් ගේ භූ විද්‍යාව පිළිබඳ පාරම්පරික දැනුම භාවිත කරන්න ඇති. ඒ නිසා වාසස්‌ථානයට ඉතා සුදුසු ස්‌ථාන සොයාගැනීම ඔවුනට එතරම් අපහසුවක්‌ නො වන්න ඇති. නමුත් වර්තමානයේ මිනිසුන් ගේ තම වටපිටාව පිළිබඳ ඇති දැනුම බොහොම අල්පයි. එනිසා ඔවුනට තමා අවට පරිසරය තේරුම්ගන්නට බැහැ. වැඩි වන ජනගහනයත් සමග ම මිනිසුන් ගේ යම් යම් ප්‍රදේශවලට ඇති කැමැත්ත නිසා ඒ අවට ප්‍රදේශවලට මිනිසුන් රොක්‌ වීම තමයි අද ගැටලුවක්‌ වෙලා තියෙන්නේ. එනිසා තමා ගේ කැමැති ප්‍රදේශයේ කොහේ හෝ තැනක්‌ නිවහන කරගන්න හිතගෙන ඔවුන් ඉඩම් මිල දී ගන්නා බවයි පෙනෙන්නේ. ඉන් පස්‌සේ තමයි ඔවුන් ගැටලුවලට මුහුණ පාන්නේ.

තමන් ගේ නිවහනට අවශ්‍ය ඉඩ සකස්‌ කරගැනීමට බැවුම් අධික ස්‌ථානවල කණ්‌ඩි කැපීම අද සුලබ තත්ත්වයක්‌. මෙලෙස කණ්‌ඩි කැපීම බෑවුම් අස්‌ථාවර කරන බවට ඉතා හොඳින් පැහැදිලි වී ඇති සත්‍යයක්‌. එනමුත් බොහෝ දෙනා ඒ පිළිබඳව විමසිලිමත් නො වන බවයි පෙනෙන්නේ. තමන් ගේ නිවහනටත් වඩා උස කණ්‌ඩි නිවසේ පිටුපසින් තනාගන්නා මිනිසා නිවසේ ඉංජිනේරු තාක්‌ෂණය පිළිබඳ විශ්වාසය තබා නින්දට යන්නේ භූ ස්‌ථාවරත්වය ගැන කිසිවක්‌ නො දැනයි. රාත්‍රියේ හෝ උදෑසන වන විට තම නිවහනට පමණක්‌ නො ව තමාට වූයේ ද කුමක්‌ දැයි දැනගැනීමට විටෙක නිවැසියා ජීවත් වන්නේ ද නැහැ. බොහොමයක්‌ නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි කඳුකරයේ තනන විට භූ ස්‌ථාවරත්වය පිළිබඳව නො තැකීම අද විශාල ගැටලුවක්‌ වන්නේ මේ නිසයි.

මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙරට කඳුකරය පිහිටි දිස්‌ත්‍රික්‌ක දහයක්‌ නාය යැම් සිදු විය හැකි හා අවදානම ඇති ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඒ වාගේ ම එම ප්‍රදේශවල කිසියම් ම හෝ ඉදි කිරීමක්‌ කරන්නේ නම් එම සංවිධානයේ රෙකමදාරුව ලබාගත යුතු මයි. මේ තීරණයට එළඹ තිබෙන්නේ මිනිසුන් ගේ සුබසාධනය උදෙසා වන අතර අප සියලු දෙනා ඒ බැව් හොඳින් තේරුම්ගත යුතුයි. එනිසා ඔබ නාය යැම් අවදානම ඇති ප්‍රදේශයක නිවහන සාදන්නේ නම්, එම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය කාර්යාලයට ගොස්‌ ඔබ ගේ ඉඩමෙහි තත්ත්වය පරීක්‌ෂා කරගැනීම ඔබ ගේ නිවහන ඉදි කරන්නේ සුරක්‌ෂිත තැනක දැයි තහවුරු කරගන්නට මහඟු උපකාරයක්‌ වේ වි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...