Tuesday 23 October 2018

විදු පත් ඉරුව
23.03.2016

තම සුඛ විහරණය හා පැවැත්ම ගැන පමණක්‌ ම මූලික කරගත් ගමනක්‌ යෙදී සිටින මානවයා තමා රැඳී සිටිනා ස්‌වාභාවික පරිසරය තම පෞද්ගලික නිර්මිතයක්‌ බවට පත් කරන්නේ අනෙකුත් ජීවීන් සහ ශාක ගැන තුට්‌ටුවකට වත් මායිම් කරමින් නො වේ. ඔහු ගේ එම ක්‍රියාකාරකම් නිසා පරිසරය විටෙක ඉතා වේගයෙන් ප්‍රතිචාර දක්‌වයි. විටෙක එය බොහෝ මන්දගාමී සහ දිගුකාලීන වේ. පරිසරය දිගුකාලීනව දක්‌වන ප්‍රතිචාර නිසා වුව ද අප අපහසුතාවට පත් වන්නේ ඒ වන විටත් එම ක්‍රියාවලිය බොහෝ දුර ක්‍රියාත්මක වී ඇති නිසා ය. ජීව විවිධත්වයට හානි වීම ද මිනිස්‌ ජීවිත අහිමි වීම ද පමණක්‌ නො ව, අවසානයේ එම පරිසර තත්ත්ව යථා තත්ත්වයට පත් කරන්නට යන විට අධික මුදලක්‌ වැය කරන්නට ද සිදු වේ.

1956 වර්ෂයේ දී ජපානයේ මිනමටා ප්‍රදේශයේ "චිසෝ" සමාගමේ රෝහලට ඇතුළු වූ අවුරුදු පහක්‌ වයසැති දරුවාට ඇවිදීමේ සහ කතා කිරීමේ අපහසුතා ඇති ව තිබිණි. පසුව ඔහු ගේ සහෝදරියකට ද එම රෝගය වැළඳී රෝහල්ගත කරන ලද අතර, පසුව එම ප්‍රදේශයේ සිදු කරන ලද සමීක්‌ෂණයෙන්, එලෙස රෝගී වූ අට දෙනකු හමු විය. පැතිරී යන ආසාදන තත්ත්වයක්‌ ලෙස එකල මෙය හඳුන්වා දුන් අතර එමගින් ස්‌නායු පද්ධතියට හානි වන බව වෛද්‍යවරුන්ට පැහැදිලි වී තිබිණි. 1950 දී පමණ එම ප්‍රදේශයෙන් ම හඳුනාගැනුණු  "බළල් නැටුම් රෝගය" (Cat dancing disease)ට බොහෝ සමාන වූ ලක්‌ෂණ මේ රෝගී වූ දරුවන් ද පෙන්වන බව සොයාගැනිණි.

කුමාමොටෝ සරසවියේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනවල දී මිනමාටා මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදුණු පවුල්වලින් රෝගීන් බහුලව වාර්තා වූ බව සොයාගන්නා ලදී. ඔවුන් ගේ ප්‍රධාන ආහාරය වූයේ මාළු සහ කරවල බව ද ඒවායේ අඩංගු කිසියම් රසායනික ද්‍රව්‍යයක්‌ මේ රෝගය සදහා හේතු විය හැකි බව ද පර්යේෂකයෝ විශ්වාස කළ හ. රෝගීන් ගේ හිසකෙස්‌ විශ්ලේෂණයට භාජන කළ අතර එහි දී රසදිය (Mucurry) සාන්ද්‍රගත වී ඇති බව ඔවුනට වාර්තා විය. මේ රෝගය සදහා හේතු වී ඇත්තේ රසදිය බව නිගමනය කළ අතර කෙලෙස රසදිය පරිසරයට එක්‌ වන්නේ ද යන්න බැලීම ඔවුන් ගේ ඊළඟ ඉලක්‌කය විය. මේ සදහා හේතු වන්නේ චිසෝ සමාගමෙන් කාලයක සිට බැහැර කරන අපද්‍රව්‍ය බව ද, එමගින් මිනමාටා මුහුදු බොක්‌ක වසර තිහක පමණ කාලයක සිට දූෂ්‍ය වී ඇති බව ද අනාවරණය විය.

පරිසරයේ රැෙදන රසදිය ජීවීන් ගේ ශරීර තුළට ඉතා පහසුවෙන් ඇතුළු වේ. ඒ ප්‍රධාන වශයෙන් ම ආහාර දාමය හරහා ය. ජෛව සංචයට ලක්‌ වන ලෝහයක්‌ වන රසදිය අවසානයේ දී

එක්‌රැස්‌ වන්නේ මිනිසා ගේ සිරුර තුළ ය. හානි කරන්නේ ප්‍රධාන වශයෙන් ම ස්‌නායු පද්ධතියට ය. සමායෝජනයේ අපහසුතාව, ඇස්‌ පෙනීමේ දුර්වලතා සහ අත්වල සහ පාවල ඉඳිකටු ඇනෙන්නාක්‌ මෙන් ඇති වන දැනීම් රසදිය විෂ වීමේ ලක්‌ෂණ වේ. "මෙතිල් මර්කරි" (Methyl Mucurry) නම් වූ රසායනිකය නිදහස්‌ කළ චිසෝ සමාගම හේතුවෙන් 2001 වන විට ජීවිත 1784ක්‌ බිලි වූ අතර මිනිසුන් 2265ක්‌ රෝගයට ගොදුරු විය. ඩොලර් මිලියන 86ක්‌ මිනිසුන් 10000ක්‌ අතර වන්දි ලෙස බෙදා දෙන්නට මේ සමාගමට සිදු වූ අතර එවැනි ම වූ විශාල මුදලක්‌ දූෂිත පරිසරය පිරිසිදු කිරීම සදහා වැය කිරීමට සිදු විය.

අමිහිරි මිනමාටා සිදුවීමේ මිහිරි අවසාන ප්‍රතිඵලය ලෙස 2013 ජනවාරි 19 දා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 140ක්‌ එක්‌ ව රසදිය පරිසරයට එක්‌ නො කරන්නට එකඟ ව සම්මුතියකට අත්සන් කළ අතර එය "මිනමාටා සම්මුතිය" ලෙස හැඳින්වේ. මේ රටවල් අද වන විට රසදිය ජනනය කරන මානව ක්‍රියාකාරකම් නවතාලමින් විකල්ප සදහා යොමු වී තිබේ. එහෙත් තවමත් සමහර කටයුතු සහ කර්මාන්ත මානවයා ගේ දැඩි අවශ්‍යතාව මත ක්‍රියාත්මක වෙමින් තිබෙන බව නොරහසකි.

ඒ අතරින් ලොව රසදිය වායුගෝලයට නිදහස්‌ කිරීමට දායක වන ප්‍රධාන හේතුවක්‌ වන්නේ ගල් අඟුරු දහනයයි. ආසන්න වශයෙන් එය සියයට හැට පහක්‌ පමණ වන වේ. ස්‌වාභාවික පරිසරයේ (පාෂාණ තුළ) රසදිය හමු වන්නේ සිනබාර් (HgS) නම් වූ සල්ෆයිඩ ඛනිජයක්‌ ලෙස ය. ස්‌වාභාවික ජීර්ණය හේතුවෙන් රසදිය ඉතා සෙමෙන් පරිසරයට නිදහස්‌ වේ. ස්‌වාභාවික තත්ත්ව යටතේ දියරමය තත්ත්වයේ හමු වන ලොව එක ම ලෝහ වර්ගය වන්නේ ද රසදියයි. බොහෝ විට රත්රන් ලෝහය සමග එකට හමු වන ලෝහයක්‌ වන අතර එනිසා බොහොමයක්‌ රත්රන් පතල්වල දී ඉවත ලන පස්‌ සහ ගල් සමග මිශ්‍ර ව පරිසරයට නිදහස්‌ වේ. එය ප්‍රමාණිකව සියයට එකොළහක්‌ පමණ වේ. යකඩ නො වන ලෝහ වර්ග නිස්‌සාරණයේ දී ද, යකඩ නිස්‌සාරණයේ දී ද, සිමෙන්ති නිෂ්පාදනයේ දී ද, කෝස්‌ටික්‌ සෝඩා නිෂ්පාදනයේ දී ද පරිසරයට රසදිය නිදහස්‌ වන බව වාර්තා වේ. එපමණක්‌ නො ව රත්රන් කර්මාන්තයේ දී ද රසදිය භාවිත වන අතර එම කර්මාන්තයේ යෙදෙන්නන් පහසුවෙන් රසදිය විෂ වීමට ලක්‌ විය හැකි ය.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ රසදිය රත්රන් කර්මාන්තය සදහා භාවිත වන අතර අප භාවිත කරන ෆ්ලෝරසන්ට්‌ විදුලි බුබුළ තුළ ද රසදිය අඩංගු වේ. LED නිෂ්පාදන පැමිණි නිසා ඒවා භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත් වන මුත් තවමත් රට තුළ එම විදුලි බුබුළු සංසරණය වෙමින් පවතී. එනිසා තම ගෙවල, කාර්යාල හා කර්මාන්තශාලාවල එම බල්බ ඇත්නම් ඉතා පරීක්‌ෂාකාරී ව විධිමත් ව බැහැර කළ යුතු ව ඇත. උෂ්ණත්වමානවල ද රුධිර පීඩනමානවල ද රසදිය භාවිත වන බව අපි සැවොම දනිමු. එහෙත් අද වන විට ආජන්ටිනාව, ඔස්‌ටි්‍රයාව, පිලිපීනය, එංගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල් සම්පූර්ණයෙන් ම මේවා භාවිතයෙන් ඉවත් වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තවමත් සම්මුතියට අත්සන් කළ තැන ම ද යන්න සැලකිය යුතු කරුණකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...