Thursday 30 January 2020



පුරාවිද්‍යා පර්යේෂණ සඳහා යාවත්කාලින භූ විද්‍යාත්මක දැනුම යොදා නොගැනීම

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3

කිරිගරුඬ පාෂාණය එහෙමත්  නැතිනම් ‘මාබල්’ (Marble or Crystalline limestone) ගැන අපි පසු ගියේ සතියේ කතා කළා. ඔබ මෙම පාෂාණය දැක ඇති බවට කිසිම සැකයක් නැහැ. අනුරාධපුරේ ගිහින් ඇත්නම්, ඔබ සමාධි බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගෙන ඇති. සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ කිරිගරුඬ පාෂාණයකින්. එපමණක් නොවෙයි බොහෝ ස්ථාන වල පඩි පෙළවල්, සඳ කඩ පහනවල් වැනි අලංකරණයක් අවැසි තැන්වලට මෙම කිරිගරුඬ පාෂාණය යොදා ගෙන තියෙනවා. ශ්‍රී ලංකවේ පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක මේ ආකාරයේ නිර්මාණ අපිට දැක ගන්නට පුළුවන්. මගේ හැඟීමේ හැටියට ධවල පැහැති මෙම පාෂාණය අතීතයේ ගෞරවනීය මෙන්ම උසස් තැන්වලට භාවිතා කල පාෂාණයක්.

කිරිගරුඬ වාගේම වූ තවත් පාෂාණයක් තමයි නීල ගරුඬ පාෂාණය. නිල්කොල පැහැයක් තමයි ඇත්තේ. කිරිගරුඬ වාගේම නීල ගරුඬ පාෂාණයත් අතීතයේ උසස් සහ ගෞරවනීය නිර්මාණ සඳහා යොදාගෙන තියෙනවා. නමුත් මෙම පාෂාණය බහුලව භූ පරිසරයේ මුණු ගැහෙන්නේ නැහැ. බොහොම දුර්ලභ පාෂාණයක්. මෙවැනි පාෂාණයක් නිල්දන්ඩාහින්න රූපහ ප්‍රදේශයේ තියෙනවා. අදටත් ප්‍රදේශයේ ජනතාව එහි ඖෂධීය වටිනාකමක් ඇතැයි සලකා භාවිතා කරනවා. මේ ස්ථානයේ ඇති පාෂාණ උද්ගතය සුළු ප්‍රදේශයක තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. නමුත් පොළොව අභ්‍යන්තරයට විහිදිලා ඇති. කිරිගරුඬ පාෂාණයේ ඇති කැල්සයිට් නමැති ඛණිජයට අමතරව සර්පන්ටීන් (Serpantine) නැමති ඛණිජයත් මෙහි අඩංගු වෙනවා. එනිසා තමයි නිලකොල පැහැයක් පාෂණයට ලැබෙන්නේ. සර්පන්ටීකරණයට ලක් වූ කිරිගරුඬ පාෂාණය ලෙස ද මෙය හඳුන්වා දිය හැකියි. ඔබ වලපනේ ප්‍රදේශයේ සංචාරය කරනවා නම් මෙතනට ගොස් මෙම අපූරු පාෂාණ උද්ගතය දැකබලා ගන්නට අමතක කරන්න එපා.  

දුර්ලභ පාෂාණ සහ ඛණිජ වලින් නිර්මාණ කිරීම එකල බොහෝ වටිනා දෙයක් වෙන්නට ඇති. ඔබ ජේතවනය කෞතුකාගාරයට ගොස් ඇත්නම් එහි මෙමගින් කරන ලද නිර්මාණ කිහිපයක් දැක ගන්නට පුළුවන්. හැබැයි එහි සඳහන්ව ඇත්තේනම් මේ නිර්මාණ ඉන්දියාවේ කඩප්පා ප්‍රදේශයෙන් ගෙනෙන ලද ඒවා ලෙසයි. හඳුනාගෙන ඇත්තේ කඩප්පා ප්‍රදේශයේ ඇති අවසාදිත පාෂාණයකින් කරන ලද බවයි. නමුත් මවිසින් සිදුකරන ලද භූ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වනුයේ එම පිළිම නිර්මාණය කරන ලද්දේ විපරීත පාෂාණයකින් බව. කෙසේ නමුත් මෙම නිර්මාණවල නිල්කොල පැහැයක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ කාලාන්තරයක් තිස්සේ වැළලී තිබීම නිසා දිරාපත් වීමට ලක්වෙලා. පාෂාණයේ දිරාපත් වූ බාහිරය පෙනෙන්නේ සුදු පැහැයෙන්. නමුත් බොහොම අපූරුවට විපරිත පාෂාණයක දක්නට ලැබෙන ව්‍යුහයන් දක්නට ලැබෙනවා. ඒ වාගේම කැබලි වූ පිළිම කොටස් වලින් අභ්‍යන්තරයේ නිල්කොල පැහැය අපූරුවට හඳුනාගන්නට පුළුවන්.

මෙම පාෂාණ වලින් කරන ලද ඉතා අලංකාර බුද්ධ ප්‍රතිමා දෙකක් තිස්සමහාරාම පන්සලේ දැක ගන්නට පුළුවන්. ඒවා කැණීමකින් ලැබුන පුරාවස්තු ලෙසයි සඳහන් වන්නේ. මෙම පිළිම දෙකහිත් ඉතාම කදිමට විපරීත පාෂාණ වල ලක්ෂණ සටහන් වෙනවා. නමුත් බාහිරයෙන් සුදු පැහැති ජීර්ණිත කොටස දැකගන්නට පුළුවන්. නීල ගරුඬ පාෂාණය භාවිතයට ගත් කාලවකවානු ගැන නම් නිශ්චිත අවබෝධයක් නැහැ. බොහෝ විට පාෂාණ තාක්ෂණය ඉතා දියුණු මට්ටමක තිබු අනුරාධපුර යුගයේම වෙන්නත් ඇති. අනුරාධපුර පූජා නගරය එහෙමත් නැතිනං පැරණි රාජධානි පුරවරය ආසන්නයේ කොතනකවත් කිරිගරුඬ හෝ නීල ගරුඬ පාෂාණය දැක ගන්නට නැහැ. තිබෙන සාක්ෂි අනුව පිට ප්‍රදේශයකින් ගෙන එන්නට ඇති.

මෙමගින් පැහැදිලිවන්නේ සුළු සුළු සහ විශේෂ නිර්මාණ සඳහා පමණක් මෙම සුවිශේෂී පාෂාණ වර්ග ගෙන එන්නට ඇති බවයි.  නමුත් අනුරාධපුරයේ ඇති නයිස් පාෂාණ වලින් කරන ලද මහා විසල් නිර්මාණ සහ ගොඩනැගිලි සදහා නම් කිසි ලෙසකත් පිටතින් පාෂාණ නොගෙනාව බවයි මගේ තර්කය. ඒ සඳහා බොහෝ සාධක එම භූමියේම විවිධ ස්ථානවල හමු වෙනවා. විශේෂයෙන්ම පාෂාණ නෙලාගත් තැන්. එවැනි තැනක් තමයි වෙස්සගිරිය. මෙහි පාෂාණ නෙලාගත් ස්ථාන ගණනාවක් ම හමුවෙනවා. එමගින් අපට පාෂාණ නෙලීමේ තාක්ෂණය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. කොහොම වුනත් මා කරන ලද පර්යේෂණ වලින් එළිවූයේ අනුරාධපුරයේ භාවිත තාක්ෂණයට වඩා වෙනස් තාක්ෂණයක් පොලොන්නරු යුගයේ දී පාෂාණ නෙලීම සඳහා භාවිත කල බවයි. පොළොන්නරු යුගයේ තාක්ෂණය බොහෝවිට පාෂාණ නෙලීම සඳහා රසායනික භාවිතය පිළිබඳව යම් ඉඟියක් දෙන බවයි මට සිතෙන්නේ. මේ පිළිබඳව තව දුරටත් භූ විද්‍යත්මක පර්යේෂණ සිදුකල යුතුයි.

ශ්‍රී ලංකව තුල පුරාවිද්‍යාවේ පර්යේෂණ සඳහා භූ විද්‍යාවේ ආධාර උපකාර ලබා ගන්නේ ඉතාම අඩුවෙන්. එනිසා සමහර අර්ථකතන සහ පැහැදිලි කිරීම් නිවැරදි නැහැ. ඉහත දැක් වූ දේ උදාහරණයකට ගන්නට පුළුවන්. පුරාවිද්‍යාඥයින් බොහෝ දෙනෙකු තාමත් භාවිතා කරන්නේ ඉතාම පැරණි භූ විද්‍යා ලිපි ලේඛන. ඒවා බොහොමයක් අද වෙනවිට වෙනස් වෙලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකවේ භූ විද්‍යත්මක පසුබිම වාගේ කරුණු. ඒ දවස්වල භාවිතා කල ‘ශ්‍රේණි’ අද ‘සංකීර්ණ’ බවට පත් වෙලා. වන්නි සංකීර්ණය, විජයානු සංකීර්ණය ආදී ලෙසයි දැන් රටේ භූ බෙදුම් කලාප හඳුන්වන්නේ. ඒ නවතම අධ්‍යනයන් නිසා. ඒ වාගේම බොහෝ දෙනෙකු සිතන්නේ පුරාවිද්‍යා ස්ථාන වල හමුවන බොහොමයක් ශිලා නිර්මාණ ග්‍රැනයිට් නම් පාෂාණයෙන් කරන ලද බවයි. ග්‍රැනයිට් යනුවෙන් හඳුන්වන්නේ ආගනේය පාෂාණ වර්ගයකට. නමුත් ශ්‍රී ලංකවේ පාෂාණ බහුතරයක් විපරීත පාෂාණ. අනුරාධපුරය ප්‍රදේශයේ ඇත්තෙත් විපරීත පාෂාණ ව්‍යාප්තියක්. ග්‍රැනයිට් පාෂාණ යොදාගත් බවට සාක්ෂි හමුවන්නේ නැහැ.

වැරදි හඳුනාගැනීම් වැරදි අර්ථකතන වලට හේතුවක්. එමගින් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් සිදුවන්නේ නැහැ. අද වන විට ලෝකයේ බොහෝ රටවල ඉතා ගැඹුරෙන්ම භූ විද්‍යා විෂය පුරාවිද්‍යාව සඳහා යොදාගන්නවා. ඒ සඳහා වෙනම විෂය ක්ෂේත්‍රයක් ලෝකයේ සකස් වී අවසන්. එය හඳුන්වන්නේ භූ පුරාවිද්‍යාව (Geoarchaeology) නමින්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...