Friday 23 October 2020

පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා ක්‍රමවත් නියැදිකරණයක අවශ්‍යතාවය... 

භූ සංචාරිතය 30

This article is orginally published on Vidusara, 21.10.2020.

මෙරට ඇති යුනෙස්කෝ ලෝක උරුම අතුරින් ආගමික නොවන ලෝක උරුමයක් වන්නේ ගාලු කොටුවයි. ගාලු කොටුව සංචරණය සඳහා ඉතා වටිනා තැනකි. ඔබ මෙය බැලීමට ගොහින් ඇතුවා නොඅනුමානයි. ගාලු නගරයට පෙනෙන මානයේ පිහිටා ඇති මේ අගනා වටිනා ආරක්ෂක කොටු පවුර ද එහි වූ අනෙකුත් ගොඩනැගිලි ද පළමුවෙන්ම ගොඩනගන්නේ පෘතුගීසීන් විසිනි. ඒ 1588 දී පමණය. 17 වන ශතවර්ෂයේදී පමණ මෙරටට පැමිණි ලන්දේසින් විසින් මෙම ගොඩනැගිලි සංකීර්ණය අත්පත් කරගන්නා අතර එය අද පවතින ආකාරයට නිර්මාණය කරන්නේ 1649 දී පමණය. ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් බවට පත්වන මෙම අපූරු නිර්මාණය කදිම ගෘහ නිර්මාණයක් බව අමතුවෙන් විස්තර කල යුතු නොවේ.

මා මෙහි සඳහන් කරන්නට උත්සාහ කරන්නේ මෙහි ඉහත කී වැදගත්කම ගැන නං නොවේ. මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණයේදී නිසි ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් එම සංරක්ෂණයේ ප්‍රතිඵල විරහිත යමක් වන බව අප අමතක නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකවේ මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය සඳහා මූලික වන ආයතන දෙකකි. එකක් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වන අතර දෙවැන්න වන්නේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් ආරම්භ කරන ලද සංස්කෘතික ත්‍රිකෝණය හෙවත් මධ්‍යම සංකෘතික අරමුදලයි. මෙහිදී විවිධාකාරයේ සංරක්ෂණ ක්‍රියා සිදුවන අතර පාෂාණ, විවිධ භාණ්ඩ ඇතුළු සම්පූර්ණ ගොඩනැගිල්ල ද සංරක්ෂණයට භාජනය වේ.

මේ අතර බදාම සංරක්ෂණය සඳහා ප්‍රධාන තැනක් හිමිවන්නේ එය බොහෝ ගොඩනැගිලි වල බිත්තිය ආරක්ෂා කරන සහ අලංකාරයක් එක් කරන නිසා විය යුතුයි. පිටතින්ම ඇති බාහිරයට නිරතුරුවම නිරාවරණය වන නිසා ගොඩනැගිලිවල බදාමය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් දිරාපත් වීමට ලක් වේ. එනිසා බදාම සංරක්ෂණය සඳහා ඇති ඉල්ලුම වැඩිය. බදාමය සංරක්ෂණය කරන්නේ බොහෝ විට පැරණි බදාමයේ සංයුතියට ඉතා සමීප සංයුතියක්ක් සහිත නව බදාමයක් සකස් කරගැනීමෙනි. ඒ සඳහා පැරණි බදාම විශ්ලේෂණයට භාජනය කරන අතර ඒ සඳහා වූ ක්‍රමවේද ඉතා පරෙස්සමින් තෝරාගත යුතුය.

මෙරට වූ පැරණි ගොඩනැගිලිවල  බදාම ප්‍රධාන ආකාර තුනකි. මැටිවලින් පමණක් සකස් කරන ලද බදාම, මැටි සහ හුණු මිශ්‍රණයක් වූ බදාම සහ හුණු පමණක් භාවිතා කරන ලද බදාම ඒ ආකාර තුනයි. පළමුවෙන්ම කීවල බිත්ති  බදාම බොහෝ විට රට මධ්‍යයේ වූ විහාර, ආවාස වැනි ගොඩනැගිලි වල බිත්ති නිර්මාණය කර ඇත්තේ මැටි බදාම වලිනි. රට මධ්‍යයේ පමණක් නොව වෙරළබඩ ආසන්නයේ වූ සමහර ගොඩනැගිලි මැටි-හුණු මිශ්‍රිත බදාම යොදා සකස් කර තිබේ. වෙරළාසන්නයේ සමහර ගොඩනැගිලි වල බිත්ති හුණු පමණක් යොදා සමක් කරන ලද බදාම වලින් යුක්ත බව පෙනී යයි.

මෙම බදාම අධ්‍යනය කරද්දී පෙනී යන්නේ රට මධ්‍යයේ වූ ගොඩනැගිලි සඳහා හුණු ලබා ගෙන ඇත්තේ කිරිගරුඬ පාෂාණය රත් කර ලබාගත් අළුහුණු වලිනි. නමුත් වෙරළාසන්නයේ වූ බොහොමයක් ගොඩනැගිලිවල හුණු ලබා ගැනීම සඳහා යොදාගෙන ඇත්තේ මුහුදු බෙලි කටු සහ කොරල් වැනි ද්‍රව්‍යය බව ඉතා හොඳින් පැහැදිලි වෙයි. සිමෙන්ති භාවිතයට පෙර මෙරට ගොඩනැගිලි ආරක්ෂා කරන්නටත් අලංකාරයක් ලබා දෙන්නටත් මෙවැනි බදාම භාවිතා කල බවට ඉතා කදිම සාක්ෂි හමුවේ. මැටි බදාමය සඳහා මනා උදාහරණයක් වන්නේ සිරි දළදා මාළිගාවයි.

හුණු පමණක් භාවිතා කර කරන ලද බදාමයක් ඇති ගොඩනගිලි සංකීර්ණයක් වන්නේ මෙම ගාලු කොටුවයි. තනිකරම හුණු බදාමයෙන් පමණක් වසා දමන ලද කොරල් සහ කබොල් ගලින් නිමවන ලද මෙම ගාලු කොටුව විසිඑක්වන ශතවර්ෂය ආරම්භයත් සමග මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලද අතර ඒ අතර කාලයේදී මෙහි බදාම පිලිබඳ පර්යේෂණයක් කරන්නට මා හට අවකාශය ලැබුණි. නමුත් ඒ වන විටත් වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ සංරක්ෂණයට සම්බන්ද වූවන් බදාමය විශ්ලේෂණය කර එහි සංයුතිය ලබා ගෙන තිබුණි. ඒ අනුව එහි සංයුතිය වූයේ මැටි 5% පමණ සහිත වූ හුණු බදාමයකි. ඒ අනුව කටයුතු කරමින් ඔවුන් සංරක්ෂණය සඳහා අලුත් බදාම මිශ්‍රණයක් සකස් කර තිබුණි. මැටි ද එක් කර තිබුණි.

මා ද ස්ථාන 25 කින් පමණ පැරණි බදාම ලබා ගෙන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතපත්තු ගොඩනැගිල්ලේ වූ විද්‍යාගාරයේ දී විශ්ලේෂණයට භාජනය කරන ලද අතර එහි දී ලද ප්‍රතිඵල ඉතා අපූරු විය. මෙම බදාමය විශ්ලේෂණය සඳහා රසායනික විශ්ලේෂණය සඳහා භාජනය කරන ලද අතර බදාමයේ වූ වැලි වයනය සඳහා පෙනේර විශ්ලේෂණය කටයුතු වලට භාජනය කරන ලදී. එමෙන්ම එක්ස්රේ පරික්ෂාවකටද භාජනය කරන ලදී. වැලි සහ හුණු බදාම අතර අනුපාතය 70 ට 30 ක ලෙස සෑම නියදියකම සටහන් විය. අපුරුත්වය වූයේ කිසිම නියැදියක මැටි හමු හමු නොවීමයි.  

එසේනම් කලින් කරන ලද නියැදිවලින් මැටි හමුවූයේ කෙසේද යන්න සොයා බලත් දී පැහැදිලි වූයේ, නියැදිය, විශ්ලේෂකයන් විසින් නොගෙන වෙනත් අයෙකු විසින් ලබා ගෙන යවන ලද්දක් බවයි. එහි දී, බදාමයට ඇතුලතින් වූ ද්‍රව්‍ය ද අඩංගු වන සේ නියැදිය ලබා ගැනීම හේතුවෙන් මැටි 5% ක ලෙස සටහන් වන්නට ඇත. මන්ද යත් ඇතුලත වූයේ කබොක් පාෂාණ කැබැලියි. එමගින් විශ්ලේෂකයන් නොමග යන්නට ඇත. මෙය ඉතා කදිම උදාහරණයක් වන්නේ සුපරික්ෂාකාරී නියැදි ලබා ගැනීමක් උදෙසායි. නියදිකරණය නිසි පරිදි නොකළේ නම් ඔබට ලැබෙනුයේ වැරදි සහගත ප්‍රතිඵලයකි. එය සංරක්ෂකයන් නොමග යවන්නට හේතු වෙයි.

පෙනේර පරික්ෂාව තහවුරු කරන ලද්දේ මෙම බදාමය සඳහා වැලි ලබා ගෙන ඇත්තේ වෙරළෙන් වන බවයි. එමෙන්ම මෙම හුණු මිශ්‍රණය ඉතා දෘඩ බදාමයක් නිර්මාණය කරන්නට හේතු වී ඇත. ඒ සඳහා මුහුද ජලය මිශ්‍ර වී එන මුහුදු සුලඟ ද කදිම සහයෝගයක් ලබා දෙන්නට ඇත. කෙසේ  වෙතත් මෙම තත්වය මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂ හරහා මොවුනට දැනුම් දුන්න ද ඔවුන්ගේ කරගෙන ගිය ක්‍රියාදාමය නම් වෙනසකට භාජනය වූයේ නැත. එනිසා දිගටම ඔවුන් වැරදි විශ්ලේෂණ වාර්තා මත පදනම් ව සංරක්ෂණ බදාමය භාවිතා කරන ලදී. මෙය නිවැරදි විද්‍යත්මක පැහැදිලි කිරීම් මෙරට පුරාවිද්‍යාවට අකැප බවට තහවුරු වූ තවත් එක් අවස්තාවක් පමණි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...