Monday 6 February 2017

විදු පත් ඉරුව
2015  අගෝස්‌තු 19 බදාදා

අතීතයේ අපේ ආහාර ඉහළ විවිධත්වයකින් යුක්‌ත වූ බව නොරහසක්‌. විවිධ එළවළු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග පමණක්‌ නො වෙයි විවිධ මස්‌ වර්ග සහ මාළු වර්ග ද ඒ අතර විය. එපමණක්‌ නො ව, එදා විවිධ හතු වර්ග ද අහාරයට එක්‌ කරගත් බව ෂ\හන් කළ යුතු ව තිබේ. බිම් මල්, කඳන් හතු හා ලේන පලා ඒ අතර ප්‍රමුඛ හතු වර්ග වේ. ගොයම් කපා පාගා ඉවත දමන පිදුරු කමතේ පැත්තක ගොඩා ගසා තබන අතර කාලයත් සමග ක්‍රමයෙන් මේවා දිරාපත් වේ. වර්ෂා කාලයේ දී පිදුරු ගොන්නේ පිපෙන පිදුරු බිම්මල් නෙළා රසවත් ආහාරයක්‌ අපේ පැරැන්නෝ සකස්‌ කර ගත් හ. පැරැණි ගම්වල මෙලෙස තවමත් මේ රසවත් ආහාරය පිළියෙල කරන බව වාර්තා වේ.

බිම්මල් නැත හොත් හතු ප්‍රොටීන බහුල ආහාරයකි. මේවා වර්තමානයේ විශේෂයෙන් ම එලවළු පමණක්‌ අහාරයට ගන්නා අය අතර බොහෝ ජනප්‍රිය ආහාරයක්‌ වේ. දැනට ගෙවත්තේ කළ හැකි වගාවක්‌ ලෙස හඳුනාගෙන ඇති මේ බිම්මල් වගාව බොහෝ ස්‌ථානවල සිදු කරන නමුත් ඉල්ලුමේ හැටියට සපයාගත නොහැකි බව පෙනෙන්නට ඇත. වගාව සඳහා නව ප්‍රභේද සොයාගෙන තිබෙන මුත්, ඉහත ස`දහන් කළ ඉබේ වැවෙන හතු වර්ග අපේ ජනතාව අතර තවමත් ඉතා ජනප්‍රිය ය. ඒ ඒවායේ ඇති සුවිශේෂී රසය හේතු කොටගෙන ය.

මේ අතර ආහාරයට ගත නොහැකි ප්‍රභේද ද ඇත. ඒ පිළිබ`දව ද පැරැන්නෝ ඉතා හො`දින් දැන සිටිය හ. නයි හතු ද, සිනා හතු ද ආහාරයට නො ගත යුතු ඒවා බව ද ඉන් නයි හතු ඉතා විෂ බව ද, සිනා හතු ආහාරයට ගත් විට නො නවත්වා සිනාසෙන බව ද අපේ ජනප්‍රවාදවල ස`දහන් වේ. ආහාරයට ගත හැකි ප්‍රභේද පිළිබඳ දැනුම පාරම්පරිකව ඔවුන් ගේ දරු පරපුරට උරුම වූ නමුත් වර්තමානය වන විට සිදු වන පාරිසරික විනාශයත් සමග විශේෂයෙන් ම නගරබදව මේ පිළිබඳ දැනුම අල්ප බව පැහැදිලි කාරණයකි. දිරා ගිය කඳන්වල ඇති වන තරමක්‌ වියළි කුඩා හතු වර්ගයක්‌ වන ලේන පලා මගේ කුඩා කාලයේ බැදුමක්‌ ලෙස ද ලුණුමිරිස්‌ සමග මිශ්‍ර ව ද ආහාරයට ගත් බව මගේ මතකයේ ඇත.

හතු නැත හොත් දිලීර ශාක ලෝකයේ සුවිශේෂී ජීවි කොට්‌ඨාශයකි. වෙන ම වූ රාජධානියක්‌ ලෙස හතු වර්ග කර ඇත. එක්‌ විශේෂත්වයක්‌ වන්නේ මේවායේ සෛල බිත්තිය සකස්‌ වී ඇත්තේ "කයිටින්" නම් වූ කාබනික සංයෝගයෙනි. ඒක සෛලික ජීවින් මෙන්ම බහු සෛලික ජීවින් ද මේ රාජධානියට අයත් වේ. ඒක සෛලිකයන් වන්නේ අප කවුරුත් හොඳින් හඳුනන "යීස්‌ට්‌" විශේෂ ය. බිම්මල් ඒ අතර වූ බහු සෛලිකයන් වේ. බහු සෛලික දිලීර සතු ව අපූරු ජාලයක්‌ වෙයි. එය දිලීර මයිසිලියම ලෙස හ`දුන්වන අතර, උසස්‌ ශාකවල මූල පද්ධතිය සේ පස්‌ අංශු අතරින් රිංගා යැමේ හැකියාව ඊට ඇත. එපමණක්‌ නො වේ. පස්‌ අංශු අතර වූ ජලය ද ඛනිජ ලවණ ද උරාගනිමින් ඒවා මයිසිලියම වර්ධනය කරගනියි.

මේ දිලීර තම වර්ගය බෝ කරන්නේ බීජාණුවලිනි. බීජාණු සෑදෙන කල විශේෂ ව්‍යqහයක්‌ සකස්‌ වන අතර ඒවා බිජාණුධානි ලෙස හැ`දින්වේ. බිම්මල්වල නම් ඉහළට පැමිණෙන කුඩයක්‌ බඳු වූ මේ ව්‍යqහයට ය අප බිම් මල ලෙස නම් තබන්නේ. විවිධ විශේෂවල මේ බිජාණුධානි නොයෙක්‌ පැහැ ගනී. බිම්මල පිපුණ විට යට පැත්තේ වූ බිජාණු සුළඟට මුසු ව සැම තැනක ම පැතිරෙන අතර සුදුසු උපස්‌තරයක්‌ සුදුසු කල්හි හමු වූ විට එම`ගින් දිලීර ජාලය ව්‍යාප්ත වේ. පසෙහි වූ ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය තම ආහාරය කරගන්නා මේ දිලීර හේතුවෙන් පසට කාබනික ද්‍රව්‍ය ද, ඛනිජ ලවණ ද එකතු වේ. මෙය පස සාරවත් කිරීමට ඉවහල් වේ. ඛනිජ ලවණ චක්‍රීකරණයේ දී දිලීර විසින් ඉටු කෙරෙන මෙහෙය අමිල ය.

ලෝකය පුරා පැතිරී ඇති මේ දිලීර විශේෂ මිලියන 1.5ක්‌ පමණ දැනට හ`දුනාගෙන ඇති අතර හඳුනාගැනීමට තව බොහෝ වෙයි. කාන්තාර මෙන්ම අධික ලවණතාවකින් යුක්‌ත පරිසරවල ද ජලයේ ද මේ දිලීර විශේෂ පැතිරී ඇත. පර්යේෂණ වාර්තාවලට අනුව සමහර දිලීර විශේෂවලට කොස්‌මික්‌ කිරණවලින් ද අරක්‌ෂා වී ජීවත් විය හැකි බව තහවුරු වී ඇත. දිලීර ආහාරයක්‌ ලෙස පමණක්‌ නො ව බෙහෙත් වර්ග ලෙසත්, එන්සයිම ලෙසත්, ජීවවිද්‍යාත්මක පළිබෝධනාශක ලෙසත් යොදාගැනේ. එපමණක්‌ නො වේ, වයින් වර්ග සහ මත්පැන් වර්ග නිෂ්පාදනයේ දී මේ දිලීර වර්ග බහුලව භාවිත කෙරෙයි.

අප කවුරුත් හොඳින් දන්නා පාන් නිෂ්පාදනයේ දී පිපුම්කාරකයක්‌ ලෙස මේ දිලීර යොදාගනී. යීස්‌ට්‌ ලෙස හඳුන්වන මේ දිලීර විශේෂය ස්‌වාභාවික පරිසරයේ නිදහසේ හමු වේ. එනිසා ම පොල් හෝ කිතුල් මල් කැපීමෙන් ලබාගන්නා තෙලිඡ්ජ කාලයත් සමග රා බවට පෙරළෙන්නේ මේ හේතුවෙනි.

දිලීර මෙලෙස අපට උපකාර කළ ද හානි කරන අවස්‌ථා ද නැත්තේ නො වේ. අප පුස්‌ ලෙස හ`දුන්වන්නේ ද දිලීර ම ය. අප ගේ ඇඳුම්වලට ද ආහාරවලට ද පුස්‌ නිසා හානි පැමිණේ. සමහර අවස්‌ථාවල දී ආහාරවල පුස්‌ ඇති වීමෙන් එම ආහාර විෂ වන අවස්‌ථා ද ඇත. අප ප්‍රිය කරන රටකජුවල පුස්‌ ඇති වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් මිනිසුන් මිය ගිය අවස්‌ථා ද වාර්තා වේ. එනිසා දිලීර හටගැනීමෙන් නරක්‌ වූ දෑ ආහාරයට නො ගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...