Thursday 19 September 2019

හේලයිට්‌ (Halite) නැතිව බත් කන්නේ නැද්ද?

Originally Published in Divaina, 18.09.2019.

හැබෑටම මේ හේලයිට්‌ හින්දා ගෙවල් දොරවල් වල සන්ඩු සරුවල් වෙනවා විතරක්‌ නොවෙයි ඒවා සමහර වෙලාවට මරණයෙනුත් කෙලවර වෙනවා. අඹු සැමියෝ විරසක වෙලා දික්‌කසාදත් වෙනවා. හේලයිට්‌ අඩු වුණොත් විතරක්‌ නොවෙයි වැඩි වුණත් කන්න බෑ. පදම දන්න කෙනා තමයි උයන්න දක්‌ෂයා. මෙච්චර වටින නැතිවම බැරි හේලයිට්‌ කියන්නේ මොනවද? හේලයිට්‌ කියන්නේ ලුණුවල ජීව විද්‍යාත්මක නාමය. ඔන්න පින්තුරේ තියෙනවා ලුණු ස්‌ඵටිකිකරණය වෙලා හැදෙන ස්‌ඵටික වල හැඩය. ලුණු වල රසායන විද්‍යාත්මක නාමය වන්නේ සෝඩියම් ක්‌ලෝරයිඩ් (NaCl). බොහොමයක්‌ අවස්‌ථාවලදී අධික උෂ්ණය ඇති මුහුදට අසන්න ප්‍රදේශවල මුහුදු වතුරෙන් ලුණු අවක්‌ෂේප වෙනවා. (ලුණු පමණක්‌ නොවෙයි වෙනත් ලවණ වර්ගත් ඒ සමග වෙනවා). ඒ ක්‍රමය භාවිත කරලා තමයි අපි මුහුදු වතුරෙන් කෘතිමව ලුණු නිපදවා ගන්නේ.
 
 මුහුදු වතුර ලුණු රස වෙන්නේ මුහුදේ ලුණු දිය වීම නිසා නම් නොවෙයි. හැබෑටම කොහොමද මුහුදු වතුර ලුණු රස වෙන්නේ? මේ සඳහා හේතුවෙන්නේ ප්‍රධාන භූ විද්‍යාත්මක සංසිද්ධීන් දෙකක්‌. එකක්‌ තමයි ජීර්ණය කියන ක්‍රියාවලිය. මෙමගින් ගොඩබිම ඇති පාෂාණ ජීර්ණයට ලක්‌වෙලා සමහර ඛණිජ ජලයට මුසු වෙනවා. මෙහිදී ඇත්තටම ජලයට මුසුවෙන්නේ ජලයේ පහසුවෙන් දියවෙන ඛණිජ. එහෙම නැතිනම් ඛණිජ සහ පාෂාණ ජීර්ණය නිසා ඇතිවන විවිධ ඇනායන සහ කැටායන. විශේෂයෙන්ම කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම් පොටෑසියම් වැනි කැටායන (ඇල්කලි අයන). එයට අමතරව පාෂාණ ජීර්ණයෙන්, සිලිකේට්‌ සහ කාබොනේට්‌ අයනත් ජලයට එකතු වෙනවා. ඛාදනයෙන් ජල මාර්ගවලට එකතුවෙන මේ අයන ඇල, දොළ, ගංගා ඔස්‌සේ අවසානයේදී මුහුදට එකතු වෙනවා.
 
 අනෙක්‌ ක්‍රියාවලිය තමයි මුහුද අභ්‍යන්තරයේ පිපිරෙන ගිනිකඳු. බොහොමයක්‌ අය දන්නේ නැහැ මුහුද මැද්දේ ගිනිකඳු පිපිරෙනවා කියලා. අත්ලාන්තික්‌ මුහුද මැද්දේ ඇති මාධ්‍ය සාගරික කඳු පන්තිය කේන්ද්‍ර කොට සිදුවෙන ගිනිකඳු වලින් තමයි බොහොමයක්‌ පෘථිවි මධ්‍යයේ වූ රසායනයන් මුහුදු ජලයට එකතු කරන්නේ. බොහොමයක්‌ ගිනිකඳු තල මායිම් ඇසුරු කරගෙන තමයි බිහිවෙන්නේ. එහිදී වැඩිපුරම හයිඩ්‍රජන් සහ ක්‌ලෝරයිඩ් අයන තමයි මුහුදු ජලයට මුසු වෙන්නේ.
 
 මුහුදට එකතුවෙන මෙම රසායනයන්ගෙන් කාබෝනේට සහ සිලිකේට වාගේම කැල්සියම් සහ මැග්නීසියම් අයනත් මුහුදු සතුන්ගේ කවච හදන්නට දායක වෙනවා. ඒ හින්දා ඒවා මුහුදු ජලයේ සාන්ද්‍ර ගතවෙන්නේ අඩුවෙන්. පොටෑසියම් වැනි අයන මුහුදු මැටි වලට උරා ගන්නවා. එයට අමතරව හයිඩ්‍රජන් අයනත් විවිධ රසායනයන් සමග සම්බන්ධ වෙනවා. අවසානයේ දී මුහුදු ජලයේ ඉතුරු වන්නේ එහෙමත් නැතිනම් සාන්ද්‍රගත වන්නේ සෝඩියම් සහ ක්‌ලෝරයිඩ් අයන. එනිසයි මුහුදු ජලය ලුණු රස වෙන්නේ. කොහොම වුණත් මුහුදු ජලයේත් මේවායේ සාන්ද්‍රණය වැඩිවෙනකොට අවක්‌ෂේපයෙන් මුහුදු පත්ලේ තැන්පත් වෙනවා. නැවත නැවත මෙලෙස තැන්පත් වූ ලුණු මුහුදු ජලයට එකතු වෙන්නත් පුළුවන්.
 
 මුහුදු අභ්‍යන්තරයේ නිධිගත වෙන මෙවැනි ලුණු නිධි ඒ ආසන්නයේ වූ අනෙකුත් අවසාදිත සමග පාෂාණ බවට පත් වෙන්නේ අධික ලෙස වාෂ්පීකරණය හේතුවෙන්. තල භූ ක්‍රියාකාරකම් නිසා මුහුදු පත්ලවල් ගොඩබිම් ලෙස මතුවෙන්නට පුළුවන. එහිදී මෙම වාෂ්පීකරණ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා. පාෂාණ ස්‌ථර අතර එලෙස තැන්පත් වූ ලුණු (rock salt) ලෝකයේ විවිධ ස්‌ථානවල හමුවේ. ඒ ලුණුත් එදිනෙදා භාවිතයට ගන්න පුළුවන්.

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...