Thursday 30 July 2020

සුන්දරත්වය අසුන්දර කරන මානව ක්‍රියා …!!!


භූ සංචාරිතය 20


This article has been published On Vidusara, 29.07.2020.


භූ සංචාරිතය 20


කඳුකරයේ ලස්සන බලන්න නම් ඔබ යා යුත්තේ නුවරඑලියට නොව වලපනයටයි. වලපනය එතරම්ම අපුරු සුන්දර ප්‍රදේශයක්. එක් පැත්තකින් අහස සිඹින වලාකුළු අතගාන විසල් කඳු ශිකර. අනෙක් අතින් දුටුවිට බිය දැනෙන ගැඹුරු අගාධාමය  පටු නිම්නයන්. ඒ නිම්න වල භයානකකම පලවා හරින්නේ සුන්දර දසුන් මවනා හෙල්මළු වී වගාවයි. ගොයමේ ලා නිල්ල කන්ද කපා එන සුළං පහරින් සැලෙන්නේ අමුතුම රටවකටයි. කෙමෙන් පැසි රන්වන් වන වී කරල් ගැඹුරු නිම්නයට ගෙන එන අලංකාරය කියා නිම කල නොහැකියි. ඔබ වරක් හෝ මේ ප්‍රදේශයට ගොස් ඇත්නම් නැවත වරක් යන්නට සිතෙනවා නොඅනුමානයි.


වලපනයේ සුන්දරත්වය අකාමකා දමන්නේ තැනින් තැන පවතින අස්ථාවර වූ පාංශු දේහයන් වන අතර පසුගිය කාලයේ සිදු වූ ක්ෂණික නාය ආපදා නිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වූ බව සැබවි. විශේෂයෙන්ම මාගේ අවධානය වැඩිපුරම මේ ප්‍රදේශයට යොමුවන්නේ මෙම නාය ආපදා නිසාමය. ජයිකා ආධාර මත ප්‍රතිස්තායිකරණයට ලක් වූ  උඩමාදුර   නාය ගිය භුමියේ වැඩකටයුතු සම්බන්ධීකරණය වූයේ මාගේ අනුදැනුම යටතේ යි. එනිසා බොහෝ වාර ගානනාවක මෙම ප්‍රදේශයේ සංචාරය කරන්නට මාහට හැකි විය. පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඒ සඳහා වය වූ අතර පළමු අවුරුද්ද නාය භුමිය ප්‍රතිස්ථායිකරණයට වය වූ අතර දෙවන වසර වෙන් කෙරුණේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අධීක්ෂණය සඳහායි. උඩමාදුර නාය භුමිය මේ වනවිට සාර්ථකව ප්‍රතිස්ථායිකරණයට ලක් වූ නායක් බව මෙහි ලා සතුටින් සඳහන් කල යුතුය. මෙම ව්‍යාපෘතිය නිසා මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන රටාව නොවෙනස්ව පවත්වාගෙන යාමට බොහෝ රුකල් දුන් බව අමතක නොකළ යුතුය. එනිසා නාය භුමියේ වෙසෙනා ජනතාව එම භූමියෙන් ඉවත්කරන්නට අවැසි වූයේ නැත.


සුන්දරත්වය ගෙන එන වලපනය නගරය පිහිටන්නේ කඳුවලින් වට වූ වලක බව ඔබ මෙම ප්‍රදේශය දැකබලා ඇත්තේ නම් ඔබට වැටහේවි. වලපනේ නාමය බිහිවන්නේ ද එමනිසා විය හැකිය. මේ සුන්දර ප්‍රදේශය තව තවත් අස්ථාවර පාංශු දේහයන් සහිත භුමි වලින් යුක්ත වෙයි. මුන්වත්ත, මහවැව වැනි ස්ථාන එලෙස අස්ථාවර වූ  පාංශු දේහයන් සහිත භූමින් වෙයි. තවත් එවැනිම ලොකු කුඩා ස්ථාන ගනනාවක් වලපනේ ප්‍රදේශය පවතින අතර ශ්‍රී ලංකා රජය ලද යම් ආධාර මත මහවැලි නිම්නයේ වූ මෙම වලපනේ ප්‍රදේශය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ක්‍රියත්මක කරන්නට මාගේ අධීක්ෂණය යට‍තේ හැකියාව ලැබුණි. එනිසා තෝරාගත් ප්‍රදේශ පහක අස්ථාවර පාංශු දේහයන්ගේ හැසිරීම අධ්‍යනය කරන්නට හැකි උපකරණ එම භූමිවල සවිකර තත්කාලීන  තොරතුරුකොළොඹ සිට අධ්‍යනය කරන්නත් යම් කිසි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන සයිරන් නලා සවිකර ජනතාවට සුරක්ෂිත බවක් එක්  කරන්නට ද එම ව්‍යාපෘතිය තුලින් හැකියාව ලැබුණි. තත්කාලීන වර්ෂාපතනය අධ්‍යනය කර නාය අනතුරු පුරෝකථනය කරන්නට ද මේ නිසා හැකියාව ලැබෙන්නේ එම ප්‍රදේශයේ ස්ථාන දහයක ස්වයංක්‍රිය වර්ෂාමාන සවිකිරිමෙනි. එම දහය අපගේ ප්‍රධාන පද්ධතියට එක්  කර එහි කාර්යක්ෂම බව වැඩිකරන්නට හැකියාව ලැබුණි.


වලපනේ සුන්දරත්වය මා මුලින්ම අත්විදින්නේ විශ්ව විද්‍යාලයේ තවන වසරේ පමණ ඉගෙනුම ලබමින් සිටිනා විටයි. ඒ විශ්ව විද්‍යාලයේ ගවිෂණ සංගමය සංවිධානය කරන ලද සංචාරයකට පින්සිදුවන්නටය. සති අන්තයේ සිදුකරනාගවේෂණ සඳහා මා බොහෝ විට මෙම සංගමය හා එක වූ වෙමි. මෙදින සංචාරය වලපනේ ප්‍රදේශයේ එතරම් ප්‍රසිද්ධ නොමැති දියඇල්ලක් නැරඹීම උදෙසායි. ඒ වෙන කිසිවක් නොව "කුරුඳු ඔය දිය ඇල්ලයි". මා සිතනා ලෙස මෙරටේ බොහෝ දෙනා උසම දිය ඇල්ල කුමක්දැයි දන්නා මුත් දෙවනියට උසම් දිය ඇල්ල කුමක්දැයි නොදන්නා බවයි. දෙවනියට උසම දිය ඇල්ල  වන්නේ මා ඉහත සඳහන් කල කුරුඳු ඔය දිය ඇල්ලයි. උස මීටර 189 ක් පමණ වන මෙම අපුරු දියඇල්ල නරඹන්නට යන්නේ නම් වලපනයට ගොස් ලියන්වල හරහා ද හයිපොරෙස්ට් හරහා ද ඇල්ලට ලඟා විය හැක. දෙවනියට කි මාර්ගය පළමු මාර්ගයට වඩා දුර අඩුය විනාඩි හතලිස් පහක් පමණ කාලයක් ගතවන බවයි පෙනී යන්නේ.


දිය ඇලි තවත් භූ විද්‍යාත්මක පරිසරයේ නිර්මාණයක් වන අතර භූ විෂමතාවය ඉතා හොඳින් ග්‍රහණය කර නිමැයුන සොබාවික නිර්මාණයක් බව අමතක නොකළ යුතුය. හිටිවනම ඇතිවන භුමියේ කඩා හැලීම පාෂාණ පද්ධතියේ ජානමය උරුමයක් වන පැලුම් සහ කුස්තුර වල ප්‍රතිඵලයක් බව ඉතා හොඳින් ඒ දෙය අධ්‍යනය කරනා භූ විද්‍යාඥයෙකුට පැහැදිළිවන කාරණයකි.  දිය අල්ලේ උස තීරණය වන්නේ ද ඔය කියනා භූ විද්‍යත්මක පසුබිම නිසාවටමය. එපමණක් නොව එය දිය ඇල්ලට එක කරන්න අලංකාරයක් බව මතක නොකළ යුතුය. ඇල්ලේ  ඇති ජල ප්‍රමාණය ද මෙම අලංකාරය දෙගුණ තෙගුණ කරන්නට හේතුවෙයි. කුරුදු ඔය දිය ඇල්ල නිර්මාණය වන්නේ මහා කුදුගල ප්‍රදේශයෙන් පටන් ගන්නා කුරුඳු ඔය දිය පහරෙනි. මෙම දිය පහර ගලා එන්නේ එම ප්‍රදේශයේ වූ තේ වතු හරහා අබව අප අමතක නොකළ යුතුය.


මහපාරේ සිට ආසන්න  වශයෙන් කිලෝමීටර එකක් පමණ ඉහලට නැග ඒ සුන්දරත්වය විඳින්නට ඔබට හැකිය. ප්‍රදේශය සීතල නිසා ගුවනේ පාවෙන වලාකුළු අතගෑමේ වාසිය ද මෙවංඉඅ සංචාර වලදී ලබනා අමතර වාසි වේ.  ඔබ හරහා ගලා යන සීතල ජල වාෂ්ප තම වත සිප ගන්නා විට ඇතිවන සුන්දරත්වය සහ සිත මුකුලිත වන බව ඔබ විඳිය යුතුමය. එය වචනයෙන් විස්තර කල නොහැකි අපුරු අත්දැකීමක් බව නම් මා හට කිව හැකිය.  


දිය අල්ලේ සුන්දරත්වය එලස වුවද අපගේ නොසැලිකිලිමත් බව  නිසා පශ්චාත් ගවේෂණ අත්දැකීම් නම් එතරම් සුන්දර නොවූ බව එයට එක වූ හැමටම මතක ඇති. ගෙන ගිය ජලය ඉවර වූ නිසා පිපාසය සංසිදුවා ගත්තේ අල්ලේ සීතල ජලයෙනි. ජලයේ පිරිසිදු බව අභියෝගයට ලක් වුයේ අප විශ්ව විද්‍යාලයට ආ පසුවයි. බොහෝ දෙනකුට ඇති වූ බඩේ අමාරුව නිසාවිශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය එදින රාත්‍රිය කාර්යබහුල ස්ථානයක් විය. මෙය ඉතා කදිම පාඩමක්  වන්නේ නොදන්නා ප්‍රදේශවලදී මෙවැනි ජලය පමණක් නොව එක්  එක් කෑම වර්ගවලද සුදු නුසුදුසු බව නොදැන භාවිතයට ගැනීමේදීය. කුරුඳු ඔය අල්ලේ ඉහල පෝෂක ප්‍රදේශයේ වූ ලයන් කාමර වල ජිවත්වන ජනය බැහැර ලන අපද්‍රව්‍ය සියල්ලේ එක්වන්නේ මෙම ජාල පහරට වන අතර තේ වගාවට යොදනා පොහොර සහ රසායනික ද්‍රව්‍ය එක්වන්නේ ද මෙම ජල පහරටයි.  මේ සියල්ල එක වූ ජලය බී  අප අසනීප වූ බව සැබෑවයි. එනිසා ඔබ සංචාරය කරන්නේ කොහි වුවද විශේෂයෙන්ම ප්‍රමාණවත් ජල පරිමාවක් මෙවන් ගමන් වලදී රැගෙන යාම ඔබගේ සෞඛ්‍ය රැකගැනීමට ඉවහල වන බව මතක නොකළ යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ



  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...