Thursday 11 June 2020


භූ සංචාරිතය 13
The article is originally published on Vidusara, 10.06.2020.


මාගේ මතය අනුව ලෝක විනාශය ආරම්භ වන්නේ මිට අවුරුදු මිලියන 2-2.6 කට පමණ කලින්. ඒ කාලේ තමයි මානවයාගේ ආරම්භය සටහන් වෙන්නේ. වානරයාගේ දෙපා සංචරණය නිසා ලැබෙන අති විශාල වාසි කන්දරාවත් සමග මානවයා වානරයා පසු කර ගෙන යනවා. විශාලිත වූ මොළය දෙපා සංචාරණයේ වාසිය ඉතා අපූරුවට කළමනාකරණය කර ගැනීම නිසා මිනිසා මේ වන විට පෘථිවි ගෝලය තුල වසන සුපිරි සත්ත්වයා බවට පත් වෙලා. නමුත් ඒ අපුරු හැකියාවන් මිනිසා අද භාවිතා කරන්නේ ලෝකය විනාශ කරන්නට බව සත්‍යයක්. තමන් ඇතුළු සියලුම ජීවින් මෙලොවින් අතු ගා දමන්නට මේ වන විට මිනිසා සිදුකර ඇති අනුවන ක්‍රියාකරකම් හොඳටෝම ඇති. 


චාතුර්ථ යුගයේ ආරම්භයත් සමගම ඇතිවන මානව ආරම්භය සහ සංස්කෘතිය මිනිසාගේ පැහුණ බුද්ධියට අසුවන්නේ පුරා විද්‍යාව ලෙසයි. එහි වපසරිය නිර්මාණය වන්නේ මානව ආරම්භයත් සමග බොහෝ දෙනෙකු දන්නා බවක් හැගෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඒ කාල සීමාව වානර ආරම්භයට වුව රැගෙන යා හැක. ඒ අනුව යමෙකුට පුරාවිද්‍යා සන්දර්භය තුල එතෙක් වූ විකාශනය ගැන කතා කරන්නට හැකියාව ඇත්තේ මුත්, පුරා සත්ත්ව විද්‍යාව ඔස්සේ ජුරාසික යුගයේ හෝ මයෝසින යුගයේ සත්ත්ව විකාශනයන් ගැන කතා කිරීමට උත්සහ දැරීම කොතරම් විහිළුවක්දැයි ඔබට තේරුම් යනු ඇත. මිනිසා සමග හිලෑ වූ සහ මිනිසාගේ පරිභෝජනයට නතු කර ගත් සතුන් ගැනයි ඒ තුල කතා කල යුත්තේ.  


ඒ කෙසේ වුවත් මේ සියලු දේ පුරා විද්‍යාඥයින්ට හමුවන්නේ අවසාදිත තැන්පතු තුලිනි. අවසාදිත පිළිබඳව ඔබ නොදන්නේ නම් පුරා විද්‍යා කැනීම් පර්යේෂණ කිරීමෙන් කිසිම් පලක් වන්නේ නැහැ. ඔබට හැකිවන්නේ ඒ තුල හමුවන දේ ගැන කතා කිරීම පමණකි. මේ පිළිබඳව මා පුන පුනා පවසන්නේ භූ විද්‍යත්මක පර්යේෂණ වල සහය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරනා බැවිනි. කාලීනව තැන්පත් වන අවසාදිත තට්ටු ගැන මාගේ මතය වන්නේ ඒවා ඉතා වැදගත් සංස්කෘතික සහ පාරිසරික දත්ත සිරකර ගත් කාල කැප්සියුල ලෙසයි. රසායනික ලෙස මෙන්ම භෞතිකව ද මෙලෙස තැන්පත් වූ සාක්ෂි වෙන් කර ගැනීම අප සතු දක්ෂතාවයයි. මෑත කාලින පුරා විද්‍යා පර්යේෂණ තුල මෙලෙස විද්‍යත්මක ලෙස පාංශු අධ්‍යනයන් සිදු නොවූ බව සහතිකයි. භෞතිකව පෙනෙනා පැහැය සහ වයනය (තරමක් දුරට අතින් අල්ලා බලා) පාංශු ස්තරායනය පිළිබඳව යම් නිගමනයකට එළෙඹෙනවා පමණක් බව අමතක නොකළ යුතුය. 


භූ සංචාරිතයෙන් අද ඔබ රැගෙන යන්නේ තවත් ගල් ගුහාවක් වෙතයි. පාහියන්ගල පිහිටි පාහියන් ගුහාව ඉතා ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයකි. පුරා විද්‍යා ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගුහාව අසල කරන ලද කැනීම් තුලින් හමු වූ මානව අස්ථි අවශේෂ හේතුවෙනි. ශ්‍රී ලාංකේය පුරා විද්‍යාඥයින් පවසන අන්දමට මේ මානව අවශේෂ ආසන්න වශයෙන් වසර 38000ක් පමණ පැරණි බවයි. එයින් පැවසෙන්නේ ඔවුන් ජීවත්ව ඇත්තේ ප්ලයිස්ටෝසීන කාලයේ බවයි. වසර මිලියන 2ක් පමණ කාලයේ සිට වසර 10,000 දක්වා වූ කාලය වෙන් වන්නේ ප්ලයිස්ටෝසීන කාලයටයි. ඉන් පසු එන්නේ හොලෝසීන කාලයයි. 


මව් පාෂානයේම විකාශනය වූ මෙම ගුහාව ඉතා අපූරු ගල් ගුහාවකි. ඉතා විශාල කටක් සහිත මෙය ඉතා හොඳින් ආලෝකය ලැබෙන කදිම වාසස්ථානයක් වන අතර විශාල පිරිසකට නවාතැන්ගත හැකි ස්ථානයකි. මේ කරුනුත් සමග පෙනී යන්නේ පැහැදිලිවම මෙම ගුහාව අපගේ පැරැන්නන්ගේ වාසභවනක් වන්නට ඇති බවයි. මතුපිට තැන්පත්ව ඇති අවසාදිත ඉතා සියුම් අංශු වලින් යුක්ත අවසාදිත වන අතර සැකයක් නොමැති ලෙසම පෙනී යන්නේ සුලඟ මගින් තැන්පත් වූ “ වාලුකා අවසාදිත” බවයි.


පාෂාණ ජිර්ණයේ අත්‍යන්ත ප්‍රතිඵලය පාංශු ජනනයයි. අවසාදනය වන්නේ මෙවන් වූ පාංශු දේහයන් වන අතර කිසිම අවස්ථාවක ස්ථානීය පාංශු ස්තර අතර මානව සාක්ෂි හෝ පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ නැත. අවසාදිත තැන්පත් වන්නේ මෙම ස්ථානීය පාංශු දේහයන්ගේ මතු පිටින් බව අමතක නොකළ යුතුය. පාෂාණ ජීර්ණය නිසා පාංශු ජනනය වන්නේ පාෂාණයේ ඉහල සිට භූ අභ්‍යන්තරයට වන අතර එනිසා ස්ථානීය පාංශු ස්ථරයේ වැඩිම ඉහල සිට පහලට සිදුවේ. අවසාදිතකරණය නිසා ගොඩනැගෙන පාංශු ස්තර වර්ධනය වන්නේ පහල සිට ඉහළටයි. පුරා විද්‍යඥයින්හට වැදගත් වන්නේ එලස තැන්පත් වන අවසාදිත තැන්පතු මිස ස්ථානීය පාංශු ස්ථර නොවේ. ඔබ කැණිම් කරන්නේ නම් මෙම වෙනස ඉතා පැහැදිළිව දැන ගත යුතුය. නැතහොත් ඔබගේ මුදල් පමණක් නොව කාලය ද අපතේ යනවා නිසැකයි, කිසිම සාක්ෂියක් නොලබාම.


අවසාදිත වල වයනය එනම් පාංශු ඛණිකා වල හැඩය, විශාලත්වය සහ අන්‍යෝන්‍ය සම්බන්ධය විස්තර කිරීමට හැකි නම් ප්‍රාග් කාලගුණික තත්වයන් ගැන පමණක් නොව අවසාදනය වූ ආකාරය එනම්  ස්ථානීය සැකැස්ම ගැනද අපට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. සැමවිටම මානවයා සිදුකරන සෑම ක්‍රියාකාරකමක්ම පවතින තත්කාලීන පාරිසරික සහ කාලගුණික තත්වය මත තීරණය වන අතර මෙලොව පවතින කිසිම සංස්කෘතියක් එය පවතින පරිසරයෙන් හෝ පවතින කාලගුණික තත්වයෙන් වියුක්තව ගොඩනැගී නැති බව අප අමතක නොකළ යුතුය. මානව ක්‍රියාකාරකම් අධ්‍යනය මගින් පැවති කාලගුණික තත්වයද කාලගුණික තත්වය ද අධ්‍යනය මගින් මානව සංස්කෘතීන්ගේ විකසනය ද අපහට තේරුම් ගත හැකි බව මනාව වටහා ගත යුතුය. 


පාංශු දේහයන්ගේ ස්තරාභවනය නිසි පරිදි වටහා නොගැනීම කරන කැණීම අවසානයේ ඛේදවාචකයකට  මුලපිරීමක් බව පුරා විද්‍යඥයින් වටහා ගත යුතුය. එලෙස ඛේදවාචකයක් වූ කැණීමක් ලෙස පාහියන්ගල ගල් ගුහාව තුල සිදුකල කැණීම හඳුගාගත හැක. කොතරම් ගැඹුරට කැනීම සිදුකර ඇතිද යත්, අවසාදිත තට්ටු පසු කර ස්ථානීය පාංශු ස්ථර ද පසු කර වර්ධනය වන ජිර්ණිත පාෂාණය ද කැණීමට ලක් කර ඇත. මෙහිදී ඔබට වැද්ගත් වන්නේ අවසාදිත තට්ටුව තෙක් කැනීම පමණකි. මේ වෙනස හඳුනාගැනීමට නොහැකි වීම කණගාටුදායක සංසිද්ධියක් බව අමුතුවෙන් විස්තරකර කල යුතු නොවේ, පුරාවිද්‍යාත්මක කැණීම් උදෙසා භූ විද්‍යඥයින්ගේ සහය ලබා ගැනීම පිළිබඳව කලපනා කිරීමට ඔබට සිදුවන්නේ මෙවැනි පසුබිමක් තුලය.  නැතහොත් භූ විද්යාත්ම සංකල්ප පුරාවිද්‍යඥයින්හට විශ්ව විද්‍යාලයේදී පළමු වසරේ සිටම ඉගැන්වීමයි කල යුත්තේ. එවිට ඔවුන් මේ විෂය කරුණු පිළිබඳව හොඳින් දැනුවත් වේවි. ලෝකයේ පුරා විද්‍යාව වේගයෙන් ඉදිරියට යන්නේ විද්‍යත්මක භාවිතයත් සමගයි. ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ආපස්සට යාමයි. කනගාටුවට කරුණ නම් ඔවුන් විද්‍යාව වෙතින් පලා යමින් සිටියි. 


 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...