Monday 27 December 2021

 නාය භුමි ප්‍රතිස්තාපානය කරන්නේ මෙහෙමයි...!!!

දෙසැම්බර් 22 දින (2021) විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

නාය ඇතිවීම සොබාවික සංසිද්ධියක් වූවත් අද වනවිට එය මානව ග්‍රහණයට අසුවීම නිසා කඳුකරයේ බොහෝ තැන් නිතර නිතර ආපදාවට පත් වෙමින් ඇත. මධ්‍යම කඳුකරයට ඇතුළුත් දිස්ත්‍රික්ක  බොහෝ ගණනාවක් අද වන විට මෙම අනතුරට පත්වන ප්‍රදේශ බවට හඳුනාගෙන ඇත. ජනගහනය වැඩි වීමත් සමගම ඇතිවන මානව අවශ්‍යතා සැපිරීම සඳහා භුමි පරිහරණය සීඝ්‍ර වීමත් අවිධිමත් සංවර්ධන කටයුතුත් නිසා කඳුකර භූමින් අස්ථාවර වෙමින් පවතී. නිසි ක්‍රමවේද අනුගමනය නොකරමින් සිදුකරන සංවර්ධන කටුයුතු මෙම අස්ථාවර භූමින් ඇතිකරන්නට මූලික හේතුව වී ඇති බව පර්යේෂණ පෙන්වා දෙයි. ඒ වාගේම අධි අවදානම් කලාප මානව ග්‍රහණයට ලක් වීම ද මේ සඳහා හේතුවක් වී ඇත. නිසි කළමනාකරණයකින් තොරව කඳුකරයේ සිදුවන භුමි පරිහරණය වර්ධනය වීම නිසා ඇති වි ඇති තත්වය නාය අවදානම අවම කිරීම සඳහා නව මානයක් සඳහා යා යුතු බව අපට පෙන්වා දෙයි.

ඒ කෙසේ වෙතත් නාය ඇතිවීම නිසා අතිවිශාල ආර්ථික සහ සමාජ ප්‍රශ්ණ ගණනාවක් ඇති කර ඇත, ඉදිරියට ද ඇතිකරමින් පවතිනු ඇතැයි විශ්වාස කල හැක. නාය ඇතිවීම නිසා ඇතිවන ආපදා අවම කර ගැනීම සඳහා  බොහෝ මුදල් වැය වනු ඇත.  ඉතා ප්‍රබලව වැදගත් වන ස්ථාන සහ ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය මෙහි දී දැඩි අවධානයට ලක්ව ඇති එක් කරුණකි. නාය භුමි ප්‍රතිස්ථාපනය වත්මන් භූ විද්‍යාත්මක සහ භූ ඉංජිනේරු විද්‍යාත්මක ක්ෂේත්‍රය තුල ඇතිකළ ප්‍රවණතාවයකි. තත්කාලීන පරිසරය තුල ස්ථානීය ප්‍රතිස්ථාපනය මෙරට පිළිගත් ක්‍රමවේදයක් බවට පත් වී ඇති බව මෙහි ලා සඳහන් කල යුතුය. නාය අනතුරට පත්වූ ස්ථානයක් හෝ නාය යාමේ සම්භාවිතාවයක් ඇති ස්ථාන මෙලෙස ප්‍රතිස්ථාපනය සඳහා යොදාගන්නා බව මෙහිදී අපට පැහැදිලි වේ. එය ප්‍රධාන පාරක්, පාසැල් සහ රෝහල් වැනි මහජන ගොඩනැගිල්ලක් පවතින භූමියක්, දුම්රිය මාර්ගයක් වැනි මෙරට ජනයාට වැදගත් වන කවර හෝ මර්මස්තානයක් විය හැක. නිර්මිත පරිසරයේ ඇති වැදගත්කම මත නගරයක් හෝ ගම්මානයක් වුව මේ සඳහා තෝරා ගනු ඇත, එහිදී ආර්ථික විශ්ලේෂණයකට භාජනය කර ප්‍රමුඛතාවය තීරණය කරනු ලැබේ,

නාය අවදානම අවම කිරීමේ ක්‍රියාදාමය ප්‍රධන වර්ග දෙකකට වෙන් කල හැක. ව්‍යුහාත්මක සන ව්‍යුහාත්මක නොවන ක්‍රමවේද ලෙසයි. නාය භුමි ප්‍රතිස්ථාපනය ගැනෙන්නේ පළමු වර්ගයටයි. නාය භුමියේ සිදුකරන භෞතික වෙනස්කම් පිලිබඳ මෙහිදී අවධානය යොමු කරයි.

නාය භුමි ප්‍රතිස්ථාපනය ආකාර කිහිපයකින් සිදුකරනු ලබයි. මෙහිදී නාය ඇතිවීම කෙරෙහි බලපාන සාධක කෙරෙහි අවධානය යොමුකරන අතර එම සාධක අවම කිරීම හෝ නවතා දැමීම මෙහි දී ප්‍රධන පරමාර්ථය වනු ඇත. ශ්‍රී ලංකාව වැනි රටක නාය ඇතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජලය හැසිරීම බව හඳුනාගෙන ඇත. ඒ යම් ස්ථානයක නාය ඇතිවීම කෙරෙහි බලපාන භුමියේ ආනතිය, පාංශු ස්වභාවය, භූ විද්‍යත්මක පසුබිම වැනි භුමි සාධක වලට  අමතරව බව මෙහි දී අප වටහා ගත යුතුය. නාය යාමේ සම්භාවිතාවය ඇති ස්ථානයකට ඇතිවන ජලෙය් බලපෑම නාය ඇතිවීම කෙරෙහි හේතුවන බව මෙහි දී සඳහන් කල යුතුය. ජලය මගින් පාංශු දේහයන් තුල ඇතිකරන පීඩනය නාය ඇතිකිරීම කෙරෙහි ප්‍රබල කාර්යයක් සිදුකරනු ඇත. පාංශු දේහයන් තුල ජලය මගින් ඇතිවන පීඩනය සඳහා හේතුවන්නේ අදාළ ස්ථානයේ පාංශු දේහයන්වල ගතිලක්ෂණ වන අතර බොහෝ විට මැටි අංශු වැඩි ප්‍රමාණයක් පැවතීම මගින් ඇතිකරන තත්වය ඉතා අනතුර දායකය. මැටි අංශු ජලයට නිසි ලෙස ගලායාමට ඇති අවස්ථා අහුරන නිසා පාංශු ස්ථරයේ ජලය එකතුවීම මෙලස ඒ තුල පීඩනය වැඩිකිරීමට හේතුවෙයි. එයට අමතරව මැටි කණිකා අතර බන්ධනය ද ලිහිල් කරයි. මේ තත්වය අවබෝධකරගත් පසු ඒ සඳහා අවශ්‍ය ප්‍රතිස්තාපන ක්‍රමවේද අනුගමනය කරනු ලැබේ.

ඇතිවන ජලයේ බලපෑම අවම කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අනුගමනය කරන්නේ නාය භුමියේ  පාංශු ස්තරය තුල එක් රැස්වන ජලය භූ ඉංජිනේරු ක්‍රමවේද මගින් ඉවත් කිරීමයි. එමගින් නාය භුමියේ පාංශු දේහයන් වියළීමට ලක්කර නාය යාමට ඇති අවස්තාව මග හරිනු ඇත. එයට අමතරව නාය භුමිය ජලයේ ග්‍රහණයට නතු වීමට ඇති අවස්ථා අහුරනු ලැබේ. පළමු ප්‍රතිකර්මයේදී නාය භුමියේ පාංශු ස්තර විද ඒ තුලට නල ඇතුළු කර පාංශු දේහයේ එක් රැස්වන ජලය ඉවතට ඇද දමුනු ලැබේ. කොපමණ දුරක් මෙම නල ඇතුළු කල යුතුද යන්න මූලික සමීක්ෂණ වලදී තීරණය කරනු ලැබේ. එය මීටර 10, 20 , 30 , 40, 50 හෝ 60 දක්වා වුවද දිගු විය හැක. නල මගින් පාංශු ස්තර තුල එක් රැස් වන ජලය මෙලෙස ඉවත් කිරීමට පියවර ගැනීම නිසා කෙටි කාලයක් තුල ඇදහැලෙන අධික වර්ෂා මගින් ඇති කරන ජලයේ බලපෑම අවම කරලීමට පහසුවක් වේ. එයට අමතරව නාය භූමියට ගලා එන ජලය ඉවතට හැරවීම කෙරෙහි ද අවධානය යොමු කරයි. ඒ සඳහා නාය හිසට ඉහලින් සහ නාය ගිය කොටසට දෙපසින් හෝ අවශ්‍ය නම් මධ්‍යයෙන් හෝ කානු නිර්මාණය කරලීම සිදු කරයි. මෙම කානු තුලට එක් රැස් වන ජලය පොලොව තුලට කිඳා නොබැසීම සඳහා සිමෙන්ති මිශ්‍රණ ආස්තරණ යොදා ආවරණය කරනු ලැබේ. එමගින් ද අස්ථාවර නාය භුමියේ ජල පීඩනය අවම කරලීමට හේතු වේ.

ජල බලපෑම අවම කරලීමෙන් පමණක් ප්‍රතිස්ථාපනය සම්පූර්ණ නොවේ. අස්ථාවර පාංශු ස්තරයන්හි ලිහිල් පාංශු කණිකා පාංශු දේහය තුලටම ස්ථාවරකරනය කිරීම වැදගත් වේ. ඒ සඳහා විවිධ ක්‍රමවේද භාවිතා කරයි. ප්‍රධාන වශයෙන්ම පාංශු දේහයන් එයට යටින් වූ ස්ථාවර භූමියට බැඳ දැමීම සඳහා දිගු යකඩ කුරු (මේවා ඇණ ලෙස ද හඳුන්වයි) අස්ථාවර පාංශු දේහයන් හරහා ස්ථාවර භූමියට ඇතුළු කරනු ලැබේ. අධ්‍යනයන් මගින් කොපමණ ඇණ ප්‍රමාණයක් මේ සඳහා භාවිතා කල යුතු ද යන්නත්, කොපමණ දුරකට ඇතුළු කල යුතු ද යන්නත් තීරණය කල හැක. මෙම ඇණ අතර පරතරය පවා මෙගින් තීන්දු කල හැක. පසුව මෙම ඇණ මතු පිටින් එකිනෙකින් බැඳ සම්බන්ධ කරන අතර එමගින් මෙම ව්‍යුහ තනි පද්ධතියක් ලෙස ක්‍රියා කර පාංශු දේහයන් ශක්තිමත්ව ස්ථාවර කරනු ලැබේ.

අස්ථාවර පාංශු දේහයන් ස්තවරකණය සඳහා විවිධ බැමි ද යොදාගනු ලැබේ. ඒවා ගල් කැබලි හෝ කොන්ක්‍රීට් මගින් හෝ නිර්මාණය කල හැක. මේවා රැඳවුම් බැමි ලෙස හඳුන්වන අතර ස්ථානීය අවශ්‍යතා අනුව භූ ඉංජිනේරු ගණනය කිරීම් මගින් බැම්මේ දිග, පළල සහ ඝනකම තීරණය කරනු ලැබේ. මෙම බැමි තනි කෙලින් හෝ ස්ථාවරත්වය වර්ධනය කිරීමට භුමිය දෙසට ඇල කොට හෝ නිර්මාණය කල හැක. මෙම බැමි නිර්මාණයේදී ඒ තුල කම්බි යොදා තවත් ශක්තිමත් කරනු ලැබේ. ජලය නිතරම වහනය වන ස්ථානවල ජල වහනය වලක්වා නොගෙන පාංශු ස්තර ස්ථාවරකරණය සඳහා “ගේබියන්” නම් වූ විශේෂ ව්‍යුහ භාවිතා කරයි. ගේබියන් පෙට්ටි නිර්මාණය කරන්නේ සුදුසු කම්බි දැලකින් සකස් කරගන්නා පෙට්ටියක් තුලට සුදුසු ප්‍රමාණයේ ගල් කැබලි පුරවා ගැනීමෙනි. තවත් මෙවන් වූ බොහෝ රැඳවුම බැමි වර්ග රාශියක් භාවිතා වන අතර ඒවා ස්ථානීය ගැලපුම් මගින් අවශ්‍යතාවය තීරණය කරනු ලැබේ.

නාය භුමි ප්‍රතිස්තාපනයේදී සැලකිය යුතු තවත් කාරණයක් වන්නේ පාංශු ඛාදනය වලක්වාගැනීමයි. ඒ සඳහා නිරාවරිත නාය භුමිය මත කම්බි දැලක් එලා ඒ මත කොන්ක්‍රිට් ආස්තරණය කරනු ලබයි. එමගින් මතුපිට පාංශු අංශු වර්ෂාව හේතුවෙන් විසිරියාම වලක්වා ගත හැක. මෙය බොහෝ වැදගත් වන්නේ අධික අනතියක් ඇති ස්ථාන සඳහා බව අප අමතක නොකළ යුතුය. නමුත් යම් ස්ථානයක අවශ්‍යතාවය මත යොදාගනී.

එයට අමතරව නාය ඇතිවීම කෙරෙහි එම පාංශු පද්ධතියේ බර වැඩිවීම ද බලපානු ඇත. අස්තාවරත්වයට ලඟා වූ භූමින් තුල එක්රැස් වන ජලය හේතුවෙන් ද නාය ගිය පසු ඇතිවන තත්වය මත බිහිවන පාංශු ස්තර නිසා ද භුමිය මත වැඩෙන ශාක පද්ධතිය ද අදාල ස්ථානයේ බර වැඩිකරන්නට හේතුවිය හැක. එනිසා විටෙක අවශ්‍යතාවය මත අදාළ ස්ථානයේ බෑවුම නවීකරණය කිරීම මගින් ද අනවශ්‍ය බරක් ගෙන දෙන ශාක ඉවත් කිරීම මගින් ද ස්ථාවරත්වය නැවත ඇතිකළ හැක.

මේ ආකාරයට නිර්මාණය කරගන්නා ක්‍රමවේද බොහෝ විට භාවිතා කරන්නේ ඒවායේ සම්ප්‍රයුක්තයක් ලෙස බව මෙහිදී අප අමතක නොකළ යුතුය. අවශ්‍යතාවය මත ඒවායේ සම්ප්‍රයුක්තය කොයි අකාරයෙන් පැවතිය යුතු ද යන්න අධ්‍යනය මගින් තීරණය කල හැක.

නාය භුමි ප්‍රතිස්තාපන ක්‍රියාවලියේ වැදගත්ම අංගය වන්නේ මූලික අධ්‍යයන කටයුතුය. ඒ සඳහා භූ භෞතික ක්‍රමවේද, මිහි විදුම් සිදුකිරීම, සිතියම අධ්‍යනය සහ නිර්මාණය, පාංශු දේහවල ඉංජිනේරු ලාක්ෂනිකතා නිර්ණය කිරීම සහ පරිගණක මෘදුකාංග භාවිතය සිදුකරනු ලැබේ.

වසර දහයකට පහළොවකට පමණ පෙර මෙරට නාය ප්‍රතිස්ථාපනය ආරම්භ වූ අතර එමගින් මධ්‍යම කඳුකරයේ බොහෝ අස්ථාවර ස්ථාන ප්‍රතිස්ථාපනය කරමින් ආවරණය කර ඇත. පදියපැලැල්ල නගරය, පේරාදෙණිය නගරය, මහනුවර මහියංගනය මාර්ගය, මහනුවර ප්‍රධාන පෙලේ මාර්ග, ගාලු අධිවේගී මාර්ගයේ කොක්මාදූව, ගිනිගත්හේන පාලම අසල, දියතලාව බස් නැවතුම යානාදී බොහෝ ස්ථාන මේ අතර වේ. නාය ප්‍රතිස්ථාපනය ඉතා වියදම් අධික සංවර්ධන කටයුත්තක් වන අතර එනිසා වඩා වැදගත්වන්නේ කඳුකර භූමින් අස්ථාවර නොකර පවත්වාගැනීම බවත්, ඒ සඳහා කඳුකරවාසින්ගේ නොමද සහය අවශ්‍ය බවත් මෙහි දී අප මතක් කල යුතුය.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...