Wednesday 25 September 2019

මුහුණේ ගාන ගල් කුඩු
Originally published in Divaina, 25.09.2019
පාෂාණ නිර්මාණය වන්නේ ඛණිජ වලින්. ඛණිජ කියන්නේ රසායනික සංයෝග. මේ වනවිට ඛණිජ වර්ග 5000ක්‌ පමණ හඳුනාගෙන තියෙනවා. ඒ අතුරින්, ලෝකයේ තියෙන වඩාත්ම සුසිනිඳුම ඛණිජය වන්නේ ටැල්ක්‌ (talc). ටැල්ක්‌ කියන්නේ මැග්නීසියම්, සිලිකන් සහ ඔක්‌සිජන් වලින් සමන්විත වූ මැටි ඛණිජයක්‌. හයිඩ්රේටඩ් මැග්නීසියම් සිලිකේටයක්‌ කියලා කියන්නත් පුළුවන්. මේ ඛනිජයේ සුසිනිඳු බව නිසාම විවිධ වර්ගවල පවුඩර් (කාන්තා, ළමා සහ පිරිමි) නිෂ්පාදනයට මෙන්ම වෙනත් රූපලාවන්‍ය ආලේපන සඳහාත් ටැල්ක්‌ යොදාගන්නවා. මෙම ටැල්ක්‌ ඛණිජය 'ප්‍රංශ හුණු' ලෙස ද හඳුන්වයි.

ටැල්ක්‌වල තියෙන සුවිශේෂී ගුණය තමයි ඉතා හොඳින් ජලය උරා ගැනීමට හැකි වීම. එනිසා සිහින්ව අඹරාගත් ටැල්ක්‌ මගින් නිෂ්පාදනය කරන පවුඩර් මුහුණේ ආලේප කළ විට තෙතමනය උරා ගෙන මුහුණ වියළිව තබනවා. එවිට තෙතමනය නිසා ඇතිවන දිලීර වර්ධනය නවත්වා දද වැනි සමේ රෝග ඇතිවීම වළක්‌වයි. කොහොම වුණත් ලෝකයේ ළමා ආලේපන සඳහා ටැල්ක්‌ බහුලව යොදාගන්නවා.

ලෝකයේ ඛණිජ වර්ගවල දැඩියාව මනින මිමි හඳුන්වා දුන්නේ මෝහා. ඒ 1812 දී. ඔහුගේ චක්‍රයට අනුව දැඩියාව වැඩිම වන්නේ දියමන්ති, අගය 10 ක්‌. අඩුම වන්නේ ටැල්ක්‌, අගය 1ක්‌. ඔබේ ඇඟිල්ලේ දැඩියාවත් එයට වඩා වැඩියි. ඒ කියන්නේ ටැල්ක්‌ එතරම්ම් සිනිඳුයි. ටැල්ක්‌ යොදාගන්නේ පවුඩර් හදන්න විතරක්‌ නොවෙයි. ප්ලාස්‌ටික්‌, තීන්ත වැනි ආලේපන, කෘතීම රබර් සහ සෙරමික්‌ වැනි නිෂ්පාදන සඳහා ද ටැල්ක්‌ දායක වෙයි. විවිධ ඖෂධ නිෂ්පාදන මෙන්ම සමහර ආහාර රස කාරක ද ටැල්ක්‌ වලින් නිපදවන බව පැවසෙයි.

ලෝකයේ වැඩියෙන්ම වෙළඳපළට ටැල්ක්‌ සපයන්නේ චීනය. එය ආසන්න වශයෙන් 30%ක්‌ එයට අමතරව බ්‍රසීලය, ඇමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් ද ලෝකයට ටැල්ක්‌ සපයන්නන්. ටැල්ක්‌ ඛණිජය බහුලව හමුවන්නේ විපරිත පාෂාණ ආශ්‍රිතව. ඒ වාගේම ටැල්ක්‌ නිධි සමග සමහරවිට ඇස්‌බෙස්‌ටෝස්‌ ඛනිජයත් තියෙනවා. විශේෂයෙන්ම ධවල ඇස්‌බෙස්‌ටෝස්‌ සමග ටැල්ක්‌ මිශ්‍රව තිබෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි දෙකම බොහොම සමාන රසායනයක්‌ වගේම ස්‌ඵටිකමය ස්‌වරූපයක්‌ ද දක්‌නට ලැබීමයි.

ටැල්ක්‌ සමග ඇස්‌බෙස්‌ටෝස්‌ මිශ්‍රව පැවතීමට ඇති හැකියාව නිසා සමහර රටවල් කුඩා ළමුන් සඳහා මෙම නිෂ්පාදන අනුමත කරන්නේ නැහැ. ඒ ඉතා සියුම් අංශු ස්‌වසනය වන නිසා පෙනහළු රෝග මෙන්ම පිළිකා ද ඇතිවිය හැකි නිසා. වැඩිහිටියන්ටද විශේෂයෙන්ම කාන්තාවන්ට මෙමගින් හානි සිදුවන බව පිළිගෙන වන්දි ගෙවූ අවස්‌ථා අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ 

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...