Thursday 17 September 2020






ලෝකයේ භූ කම්පා පසුබිම.......!!!

This article is originally published on Vidusara 16.09.2020 (page 7)

පසුගිය දිනවලදී අප රටේ මහනුවර ප්‍රදේශය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. “අන්න මහනුවර හෙලවිලා ලු. සමහර අයට පොළොව සෙලවෙන එක හොඳටම දැනිලා ලු. මොකක් වේගෙන එනවද දන්නේ නැහැ” යනාදී වශයෙන් බොහෝ දෙනාගේ කතා බහට එම සිදුවීම ලක් වූ බව නොරහසකි. මෙම ලිපිය පාදක වන්නේ එම සිදුවීම මුලික කරගෙන වුව මෙමගින් මා උත්සාහ කරන්නේ එය පැහැදිලි කරන්නට නොව භූ කම්පා පිළිබඳව යම් අදහසක් ඔබට ලබා දෙන්නටයි.

අප අවට භුමිය සෙලවීම භූ කම්පා ලෙස හඳුන්වයි. භූ කම්පා ඇතිවීම කල් ඇතිව පැවසීම නම් නොකළ හැකි බව මේ පිළිබඳව පර්යේෂණ කරන ප්‍රාමාණික විද්වතුන්ගේ අදහසයි. එසේ නම් එය සිදුවන්නේ අපට නොකියාම බව අප අමතක නොකළ යුතුය. භූ කම්පාවක ප්‍රභලතාවය මනින්නේ රික්ටාර් පරිමාණය මගිනි. ලෝකයේ කොහේ හෝ තැනක ඉතා සුළු පරිමාණයේ පවා හෝ භූ කම්පාවක් ඇති විය හැක.

සිදුකර ඇති අධ්‍යනය වලට අනුව වාර්ෂිකව ලෝකයේ භූ කම්පා 120000 ත් 14000 අතර ප්‍රමාණයක් සිදුවන බව සොයාගෙන ඇත. රික්ටාර් පරිමාණයට අනුව අගය 2 හෝ එයට වඩා අඩු ප්‍රබලතාවකින් යුක්ත භූ කම්පා දිනකදී සියගණනක් ලෝකය පුරා සිදුවන බව පර්යේෂකයෝ පවසයි. එමෙන්ම එම අගය 7 හෝ ඊට වැඩි භූ කම්පා මසකට වරක්වත් සිදු වෙයි. ඔවුනට අනුව අගය 8 හෝ එයට වැඩි අගයක් ගන්නා භූ කම්පා වසරකදී අඩුම එකක්වත් සිදුවෙන බව සොයාගෙන ඇත. වඩා වැඩි හානියක් ගෙන එන්නේ ඉහල අගයක් ගන්නා භූ කම්පා මගිනි. ඉන් පෙනී යන කරුණ වන්නේ භූ කම්පා යනු නිතරම සිදුවීමට ඉඩකඩ ඇතිමුත් ඉන් වන හානිය සැලකිය යුතු මට්ටකමට ලඟා වන ඉහල අගයක් ගන්නා භූ කම්පා සිදුවන්නේ ඉඳ හිට බවයි. 

භූ කම්පා ඇතිවන්නේ කෙසේද යන්න අප විමසා බැලිය යුතුය. පර්යේෂකයන් පවසන අන්දමට භූ කම්පා ඇතිවන්නේ බොහෝ විට භූ තල මායිම් ඇසුරු කරගෙනයි. භූ තල මායිම (Plate margin) යනු අපගේ ලෝකයේ භුමියේ හමුවන දුර්වල කලාප වන අතර මෙම භූ තල මායිම් බිහිවන්නේ භූ තැටි වල ගතික බව හේතු කොටගෙනයි. භූ තැටි යනු පෘථිවියේ හමුවන කබොලෙහි ඇති වූ පැල්මවල් හේතුකොටගෙන ඇති වූ වෙන් වූ භූ කලාප වන අතර ඒවා නිරන්තරයෙන් විවිධාකාරයෙන් චලනය වේ. චලනය වන ස්වරුපය අනුව භූ තල මායිම් ආකාර තුනකි. අභිසාරී තල මායිම් (Convergent Boundary), අපසාරී තල මායිම් (Divergent Boundary)  සහ පරිණාමණ විභේද ( Transform Fault) ඒ ආකාර තුනයි. අභිසාරී තල මායිම් අසල වන්නේ භූ තැටි එකෙනෙක වෙතට තල්ලු වී එකිනෙක තෙරපීමයි. අපසාරී තල මායිම් වලදී වන්නේ භූ තැටි එකිනෙක වෙතින් ඉවතට චලනය වීමයි. පරිණාමන විභේද පෙන්වන්නේ එකිනෙක ඇතිල්ලෙමින් සිදුවන්නාවූ චලනයන්ය.

පෘතුවි කබොල ආකාර දෙකකි. ඒ මහද්වීපික කබොල සහ සාගරික කබොල ලෙස වෙන්වීමයි. විවිධාකාරයේ පාෂාණ හමුවන කබොල භූ තැටි නිර්මාණය කරන්නේ ප්‍රාවරණයේ කොටසක් ද සම්බන්ධ වීමෙනි. එනිසා භූ තැටි ලෙස හඳුන්වන්නේ කබොල පමණක් නොවේ යන්න අප වටහා ගත යුතුය. මෙලෙස නිර්මාණය වූ භූ තැටි චලනය වන්නේ ප්‍රාවරණයේ අර්ධ ඝන/ද්‍රව තත්වයේ පසුවන කලාපය මතු පිටයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්නේ ඝන තත්වයේ පසුවන ප්‍රවරණයේ අදාළ කලාපයේ අර්ධ ද්‍රව තත්වයට පත්කරමින්. මේසඳහා හේතුවන්නේ එම පාෂාණ වල පවතින විකිරණශීලී මුලද්‍රවය මගින් ලබා දෙන තාපය බව විද්‍යඥයින් පවසයි. අර්ධ ද්‍රව තත්වයට පත් ප්‍රාවරණයේ මෙම කලාපය ඉන් ඉහලින් වූ ඝන පාෂාණ කලාප චලනය කරන්නට අවැසි පරිසරය සකස් කර දෙයි. ගතික භූ තැටි බිහිවන්නේ එලෙසයි. මෙවැනි ප්‍රධාන ප්‍රාථමික භූ තැටි 7 ක් පමණ ද ද්විතියක භූ තැටි 8 ක් පමණ ද  ඇති අතර තව  කුඩා ප්‍රමාණයේ භූ තැටි බොහෝ ගණනක් ද ඒ අතර වෙයි. මේවා විවිධ දිශාවන් ඔස්සේ චලනය වෙමින් පවතී.  

භූ කම්පා ඇතිවන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ අභිසාරී තල මායිම් සහ පරිණාමන විභේද අසල සිදුවන්නා චලනයන්ය. අභිසාරී තල මායිම් අසල දී භූ තැටි එකිනෙකා තල්ලු කර ගන්නා නිසා ඇතිවන තෙරපුම විශාල බලයක් ලෙස කාලයක් තිස්සේ ඒ අසල එක් රැස් වේ. ඉතා හදිසියේම මෙලෙස ගොඩ නැගුන බලය ක්ෂණිකව පිට කරන්නේ තල එකිනෙක වෙතින් ලෙස්සා යාමෙනි. එලෙස පිටකරන බලය හේතුවෙන් ඇතිවන ලිස්සීම භූ තැටි චලනය කරන්නට හේතු වෙයි. එවිට සිදුවන එම චලනයන් භූ කම්පා ලෙස අප හඳුනාගන්නා අතර එහිදී හට ගන්න ශක්ති තරංග එම ශක්තිය භූ තැටිය පුරා රැගෙන යයි. මේ අකාරයටම එකිනෙක ලං වී ඇතිල්ලෙමින් චලනය වන පරිණාමන විභේධ වල ද මෙවැනිම ආකාරයේ ශක්තියක් කාලයක් තිස්සේ ගොඩ නැගෙන්නේ ඒ තැටි අතර ඇතිවන ඝර්ෂණය හේතුවෙනි. එම ඝර්ෂණය තැටි අතර ඇතිල්ලෙමින් සිදුවන චලනයන් හට බාධා කරන අතර එම ඝර්ෂණ බලය ඉක්මවන අවස්තාව තෙක් ඉතා ප්‍රභලව ඇතිල්ලීම දිගටම පවත්වා ගනී. ඒ සඳහා අවශ්‍ය බලය අභිසාරී භූ තැටි චලනයෙන් හෝ අපසාරී භූ තැටි චලනයෙන් මෙම පරිසර වලට ලැබෙයි.

අභිසාරී තල මායිම් හේතුවෙන් ලෝකයේ කඳු පන්තීන් ගොඩනැගෙන අතර හොඳම උදාහරණය වන්නේ හිමාලය කඳු පන්තියේ ගොඩ නැගීමයි. ඒ සඳහා හේතුවී ඇත්තේ යුරේසියානු භූ තැටිය සහ ඉන්දියානු භූ තැටිය එකිනෙක වෙත තල්ලු වී ඇති කරගත් අභිසාරී තල මායිමයි. වසර මිලියන 300 කට පමණ පෙර ලෝකයේ බොහෝ දකුණේ තිබු ගොන්ඩ්වානාලන්තයේ කොටසක් වූ මෙම ඉන්දියානු භූ තැටිය ක්‍රමයෙන් ඒ අතර සාගර කලාපය මිරිකා දමමින් දිගටම උත්තරව චලනය වී ඇත. මේ හේතුවෙන් අතර මුහුදේ වූ බොහෝ වූ අවසාදිත ගොනුව ද තල්ලු කරමින් එක්තරා අවස්ථාවක අති විශාල යුරේසියානු මහද්වීපික භූ තැටිය හා ගැටී ඇති අතර තව දුරටත් නොනවත්වා සිදු වූ චලනය හේතුවෙන් මුහුදේ වූ මඩ ද තෙරපමින් ඉහලට ඔසවමින් හිමාලය කඳුකරය බිහිකර ඇත්තේ ඉන්දියානු භූ තැටියට ඇති විශාල යුරේසියානු භූ තැටිය තව දුරටත් තල්ලු කර දමන්නට නොහැකි වූ නිසාවෙනි.

ඉන්දියානු භූ තැටියේ නොනවතින චලනය හේතුවෙන් හිමාලය තව දුරටත් උස යමින් සිටිනා බව අමතක නොකළ යුතුය. දිගින් දිගටම සිදුවන මෙම තල්ලුව තල මායිම් අතර ගොඩ නැගෙන ඝර්ෂණය වරින් වර ඉක්මවා ගොස් ක්‍රමික ලිස්සිම් ඇති කරන්නේ ඒ අවට කලාපයේ භූ කම්පා ඇති කරමිනි. අමතක නොකළ යුතු කාරණය වන්නේ අප ද සිටින්නේ මෙම ඉන්දියානු භූ තැටියේ කොටසක් ලෙස යන්නයි. එනිසා එම කලාපයේ සිදුවන භූ කම්පා වල බලපෑම් ද අපට නිතර අත් විඳින්නට සිදුවිය හැක. එලෙස අත්වින්ද අවස්ථා ද වාර්තා වෙයි.

මේ ආකාරයෙන් සිදුවන භූ කම්පා හඳුන්වන්නේ අන්තර් භූ තැටි භූ කම්පා (Interplate Earthquakes)  ලෙසයි. මේවා බොහෝ විට සිදුවන්නේ භූ තල මායිම් ඇසුරු කරගනිමින් බව විද්වතුන් පවසයි. නමුත් භූ තැටි මධ්‍යයේ සිදුවන භූ කම්පා ද වාර්තා වී ඇත. ඒවා හඳුන්වන්නේ අන්තඃ භූ තැටි භූ කම්පා (Intraplate Earthquakes) ලෙසයි. මේ සඳහා හොඳම උදාහරණ සපයන්නේ ලඟම පිහිටි ඉන්දියාවෙනි. 2001 වසරේ ගුජරාට් ප්‍රදේශයේ මෙවැනි භූ කම්පාවක් සිදු වී ඇති අතර එය රික්ටාර් පරිමාණයේ අගය 7.7 ලෙස සටහන් වී ඇත. එමගින් අති විශාල හානියක් සිදු වූ බව වාර්තා වෙයි. මිනිසුන් 20,000 කට අසන්න ප්‍රමාණයක් මිය ගිය අතර 1,67,000 කට අසන්න පිරිසකට තුවාල සිදු වී ඇත. ගොඩනැගිලි 3,40,000 ක් පමණ විනාශ වූ බව පැවසෙයි. මේ සඳහා හේතුවන්නට ඇත්තේ මෙම ප්‍රදේශයේ ඇති වූ භූ පැලුම් ඔස්සේ සිදුවූ භූ තැටි තල්ලුවක් බව විද්වතුන්ගේ අදහසයි.

අප අමතක නොකල යුතු කාරණය වන්නේ භූ තැටි අප සිතනා ලෙස ඒකාකාරීව අඛණ්ඩව නොපිහිටනා බවයි. භූ තැටි නිර්මාණය කරනා භූ තැටි පාෂාණ අධිකව කුස්තුර, දැදුරු සහ පැලුම් වලින් යුක්තය. සමහර පැලුම් කිලෝමීටර ගණනාවක් දුරට විහිදෙන බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ පාෂාණ වලද ද එවැනිම වූ කුස්තුර සහ පැලුම් රටාවක් දැක ගත හැකිය. ඊසාන නිරිත ඔස්සේ දිවෙන පැලුම් රටාවක් ද වයඹ ගිනිකොණ ඔස්සේ දිවෙන පැලුම් රටාවක් ද මෙම පාෂාණ වල ඇති අතර මෙරටේ බොහෝ ජල මාර්ග හා නිම්නයන් නිර්මාණය වී ඇත්තේ ඒවා ඔස්සේයි. කදිම උදාහරණය වන්නේ මහවැලි ගංගාවයි. එය මහනුවර ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා වැටී ඇත්තේ එවැනි වූ දීර්ඝ භූ පැල්මක් ඔස්සේ බව ශ්‍රී ලාංකීය භූ විද්‍යාඥයින්ගේ මතයයි. මෙම පැල්මවල් විභේද (Fault) ලෙසද හඳුන්වයි. අන්තඃ භූ තැටි භූ කම්පා බොහෝ විට සිදුවන්නේ මෙවැනි විභේද ඇසුරු කරගෙන බවයි විද්වතුන්ගේ මතය වන්නේ.

බොහෝ විට භූ කම්පා ඇතිවන්නේ භූ අභ්‍යන්තරයේ වන අතර භූ කම්පාව සිදුවන ස්ථානය භූ කම්පා නාභිය (Focus, Hypocenter) වන අතර එයට වහාම ඉහලින් පොළොවේ මතුපිට සටහන් වන ස්ථානය අපි කේන්ද්‍රය (Epi center) ලෙස හඳුන්වයි.   

Continued ……

ආචාර්ය පත්මකුමාර ජයසිංහ



  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...