Monday 27 February 2017

විදු පත් ඉරුව

2015  ජුලි 08 බදාදා

අප කුඩා කල ඉගෙනගත් තේරවිල්ලක්‌ මාගේ මතකයට නැෙගයි. ඒ, "පුංචි ළිඳේ වතුර රසයි" යන්නයි. මා එය ඔබට පහදා දිය යුතු නො වේ. මන්ද අප සියල්ල ඒ කුමක්‌ දැයි හොඳින් ම දන්නා බැවිනි. පිපාසය නිවාලන්නට ද, ශක්‌තිය ලබා දෙන්නට ද "වෑවරය"කට හැකි ය. එමෙන් ම ඛනිජ ලවණවලින් ද එය පොහොසත් ය. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ එය සේලයින් වතුරට බොහෝ සමාන බවයි. ඒ ගස උඩ ඇත්තා වූ පුංචි ළිඳයි.

ගමේ ගස යට ද එවැනි ම වූ පුංචි ළිඳකි. ශක්‌තිය ලබා දෙන්නට නොහැකි වුවත් අප ගේ ගත සිත නිවාලන්නට මේ පුංචි ළිඳට හැකි ය. ඒ "කුඹුකේ ළිඳයි" (කුඹුක්‌ ගසක්‌ යට පිහිටි ළිඳයි). මා කුඩා කල ජීවත් වූ ගමෙහි ද කුඹුකේ ළිඳක්‌ විය. එහි වූ නිල් කැටේට පිරිසිදු සීතල වතුර බීමට බොහෝ ම කදිම ය. මද්දහනේ පවා වතුර සිසිල ය. ඒ අසලින් ම තවත් වඩා විශාල ළිඳකි. ඒ ස්‌නානයට ය. වැඩිහිටියන් අනුමත කරන්නේ එයින් මද්දහනට පෙර ස්‌නානය කිරීමයි. සවස්‌ කාලයේ නෑම ඔවුහු ප්‍රතික්‌ෂේප කරති. එය ඔවුන් ප්‍රත්‍යක්‌ෂයෙන් ම දැනගත්තකි. ගස උඩ පුංචි ළිඳේ වතුර බීමේ දී ද මෙලෙස ම වූ කතාවක්‌ ගැමියන් අතර වෙයි. ඒ මද්දහනට පෙර වෑවර බොන්නේ නම් රන් කාසියක්‌ දී වුව බීම හොඳ බවයි. එහෙත් මද්දහනෙන් පසු සවස්‌ කල රන් කාසියක්‌ සමග වෑවරය ලැබුණ ද නො බොන ලෙසයි. ඒ වෑවර ජලය ගත සිසිල් කරන නිසා සෙම ගතිය ඇවිස්‌සෙන බැවිනි. එය ද බොහෝ කලක සිට ඔවුනට ප්‍රත්‍යක්‌ෂ වූවකි.

මේ කුඹුකේ ළිඳේ දෙතුන් දෙනකුට වඩා එකවර නෑමට වතුර ප්‍රමාණවත් නො වේ. එහෙත් පැය භාගයක්‌ යන්නට මත්තෙන් නැවත හනික පිරිසිදු වතුරෙන් ළිඳ පිරේ. එතරම් ම අපූරුවට දිය උල්පත ප්‍රබල ය. ඒ ජල උල්පතහි මූලාශ්‍ර ප්‍රදේශයේ වූ පොහොසත් වන වැස්‌ම හේතුවෙනි. මෑතකාලීනව සිදු කරන ලද බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ කුඹුක්‌ ශාකයට ජලය පිරිසිදු කිරීමේ හැකියාව ඇති බවයි. කුඹුක්‌ ශාකයට අපූරු මූල පද්ධතියක්‌ වෙයි. ජාලයක්‌ සේ සකස්‌ වූ ද නිරන්තරයෙන් ම ජලය සොයා දිවෙන්නා වූ ද මේ මූලයන් ජලයේ ඇති බැර ලෝහ උරාගන්නා බව මේ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත. ජලාශ්‍රිතව වැඩෙන නිසා ගස ශක්‌තිමත්ව පොළොවට සවි කර තබන්නට කුඩා මුල්වලට රුකුලක්‌ වන්නේ ගසෙහි ඇති කඳන් පාලම් ය. අතුපතර විහිදී යැම මගින් ඇති කරන සෙවණ ළිඳේ සිසිලසට තවත් හේතු වේ.

පැරැණි ගම්වල කුඹුකේ ළිඳ සුපුරුදු දසුනකි. එමෙන් ම එය පිහිටන්නේ වෙල් යාය ඉස්‌මත්තේ ය. ළිඳ පිරී ඉතිරෙන ජලය වෙල ඉස්‌මත්තේ සිට කුඩා දිය කඳුරක්‌ නිර්මාණය කරයි. අවශ්‍ය විටෙක වෙලට ජලය සපයන්නේ මේ දිය කඳුරයි. දියකඳුරු පහළට ගලත් ම ක්‍රමයෙන් විසල් වෙයි. එවිට දෙපස ඉවුරු පිරෙන්නේ කුඹුක්‌ ගස්‌වලිනි. බොහෝ විට විශාල ඔයවල ද කුඩා ගංගාවල ද මෙවැනි ගස්‌ අතීතයේ නම් කදිමට තිබෙන්නට ඇත. එනිසා ම අතීතයේ මෙලෙස ගලා ගිය ජලය ස්‌වාභාවිකව ම පිරිසිදු වන්නට ඇත. ස්‌වාභාවිකත්වය ඉක්‌මවා එය ජය ගන්නට වැර දරන වර්තමානයේ ජල පිරිපහදු ගැන කතා කරන්නට වී ඇත්තේ කරුණු දෙකක්‌ නිසා ය. කෘත්‍රිම ද්‍රව්‍ය පරිසරයට එක්‌ කිරීමෙන් ජලය අපවිත්‍ර වීමත්, ස්‌වාභාවික ජල පිරිපහදු පරිසරයෙන් ඉවත් කිරීමත් ඒ ප්‍රධාන කරුණු වෙයි. අතීතයේ මුතුන් මිත්තන් විසින් ඉදි කරන ලද වාරිමාර්ගවල ද වැව් වටා ද වූයේ කුඹුක්‌ ගස්‌, මී ගස්‌ වැනි ස්‌වාභාවික ජලය පිරිසිදු කරන්නා වූ ශාක ය.

වත්මනෙහි අපි තාක්‌ෂණයෙන් සුපෝෂිත වී නවීන වාරිමාර්ග හා ජලාශ තැනුවෝ වෙමු. ජල කළමනාකරණය ගැන ඉහළින් ම කතා කරන්නෝ වෙමු. එහෙත් තවමත් රටෙහි ධන නිධානයක්‌ වන ජල සම්පත රැකගැනීමට කෙතරම් දුරට ක්‍රියාමාර්ග ගෙන ඇත් ද යන්න ප්‍රශ්නයකි. දිනෙන් දින ම සුපිරිසිදු ජල නිධි දූෂණය වෙමින් භාවිතයට ගත හැකි ප්‍රමාණය අඩු වෙමින් පවතී. ජලයට එක්‌ වන විෂ ද්‍රව්‍ය ගැන මතකයට නැෙගන්නේ ජනතාව රෝගී වන විට ය. එක්‌ උදාහරණයක්‌ වන්නේ රජරට ජනතාව පීඩා විඳින වකුගඩු රෝගයයි. තවමත් හරිහැටි හේතුවක්‌ සොයාගැනීමට නොහැකි ව සියල්ලන් ම අතරමං ව වාද පිට වාද පවත්වන්නේ ස්‌වාභාවිකත්වය ජයගන්නට ගත්තා වූ ද ගන්නා වූ ද ක්‍රියාමාර්ග ගැන දෙවරක්‌ නො සිතීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

බුද්ධිමත් අය නම් වත්මනෙහි සිදු කළ මහා පරිමාණ ජලාශ නිර්මාණයේ දී ද කොන්ක්‍රීට්‌ වාරිමාර්ග තැනීමේ දී ද මුතුන් මිත්තන් ගේ තාක්‌ෂණය අධ්‍යයනය කර එහි වූ පරිසර හිතකාමී ක්‍රියාමාර්ග හා තාක්‌ෂණයන් යොදාගන්නවා නිසැක ය. ගිණිය නොහැකි තරම් වූ මහා සහ කුඩා පරිමාණ වැව් පංතීන් නැවත සක්‍රිය කිරීමට උත්සාහ ගන්නවා නිසැක ය. අතීතයේ වියළි කලාපයේ ජනයා එහි ස්‌වභාවයෙන් ම සාන්ද්‍රගත වූ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ හේතුවෙන් කඨ§නත්වය වැඩි වූ භූගත ජලය වෙනුවට වැව් ජලය භාවිතයට ගත්තෝ ය. එහෙත් රසායනික පොහොර ඇතුළු අනෙකුත් කෘත්‍රිම රසායනයන් පරිසරයට එක්‌ කිරීමෙන් මතුපිට ගලායන ජලයෙන් පෝෂණය වූ වැව් දූෂණයට ලක්‌ වී ඇත. එනිසා අද වන විට පානය සඳහා වැව් ජලය පරිහරණය අත් හැර ඇත.

සුරක්‌ෂිත අනාගතයක්‌ සඳහා ජල කළමනාකරණය අත්‍යවශ්‍ය ය. එනිසා ජල විද්‍යාඥයන් එක්‌ වී ස්‌ථිර සහ පැහැදිලි වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු ය. ඒ අතරට ජල නිධිවල වර්තමාන තත්ත්වය කුමක්‌ ද යන්න වටහාගත යුතු ය. දැනට දූෂණය වී ඇති සහ පිරිසිදු ජල නිධි වෙන් කරගැනීම වැදගත් වේ. දූෂිත ජල නිධි නැවත යථා තත්ත්වයට පත් කළ හැකි දැයි බැලීම සඳහා පර්යේෂණ දියත් කළ යුතු ය. අපට ද මේ සඳහා යමක්‌ කළ හැකි ය. ජලය අපිරිසිදු කරන්නා වූ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය හැකි ය. ජල පිරිපහදු කරන්නා වූ කුඹුක්‌, මී වැනි ශාක වර්ග ජල මාර්ග සහ ළිං අසල වගා කිරීම ආරම්භ කළ හැකි ය. ඒ අතර, අප ගේ දරුවන් හට ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරවීම ඉතා වැදගත් කටයුත්තකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදුපත්ඉරුව
2015  ජුලි 15 බදාදා
"ලුසී" මානව වංශකතාවේ ආන්දෝලනාත්මක චරිතයකි. මේ ඇටසැකිල්ල හිස්‌කබලත් සමග ම හමු වීම විද්‍යඥයන් ගේ අමන්දානන්දයට හේතු වූයේ ඉතා කලාතුරකින් එවැන්නක්‌ ලැබෙන නිසා ය. මීටරයක්‌ පමණ උසැති මේ මිත්තනිය 1974 දී ඉතියෝපියාවෙන් සොයාගන්නා ලද අතර ඈ ද්විපාද සංචාරණයේ යෙදුනියක ලෙස වාර්තා විය. අස්‌ථි පංජරයෙන් සියයට 40ක්‌ පමණ අස්‌ථි කොටස්‌ ඉතිරි වි තිබීම බොහොමයක්‌ කරුණු අනාවරණය කරගැනීමට මගපෑදිණි. මේ අනාවරණයට හේතු වන්නේ මෝරිස්‌ තෙයිබ් නම් වූ ප්‍රංශ භූ විද්‍යාඥයකු ගේ පර්යේෂණයකි. ඔහු එය තවත් පුළුල් කරමින් බහු විෂයාත්මක පර්යේෂණයක්‌ බවට පත් කරන්නේ පුරාවිද්‍යාඥයකු, මානව වංශ විද්‍යාඥයකු සහ ප්‍රාග් ජීවධාතු විද්‍යාඥයකු මෙයට සම්බන්ධ කරගනිමිනි. එම ප්‍රයත්නය හේතුවෙන් මානව පරිණාමයේ ඉතා වැදගත් කරුණු සමූහයක්‌ ලොවට හෙළි කරන්නට ඔවුනට හැකි විය. ලුසී අදින් වසර මිලියන 3.7කට පමණ පෙර ජීවත් වූ ඔස්‌ට්‍රෙලොපිතෙකස්‌ නම් වූ ගණයට අයත් වූවෙකි.

ශ්‍රී ලංකාවේ ද ප්‍රථම වතාවට මෙවැනි ම බහු විෂයාත්මක ප්‍රවේශයක්‌ ලබා දුන් පුරාවිද්‍යා පර්යේෂයණය මා දුටුවේ අලවල පොත්ගුල් ලෙනෙහි සිදු කරන ලද කැණීමෙනි. කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරි විසින් මෙහයවනු ලැබූ මේ පර්යේෂණය සඳහා පුරා විද්‍යායඥයනට අමතරව විවිධ විද්‍යා ක්‌ෂේත්‍ර ඔස්‌සේ පර්යේෂණ සිදු කරන විද්‍යාඥයෝ පිරිසක්‌ සහභාගී වූ හ. 2008 වසරේ දී ආරම්භ කළ මේ පර්යේෂණයේ ක්‌ෂේත්‍රයේ කටයුතු එයින් වසර දෙකකට පමණ පසු අවසාන කිරීමෙන් අනතුරුව විද්‍යාගාර විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී. නුදුරේ දී ම එහි අවසන් ප්‍රතිඵල එළිදැක්‌වීමට නියමිත ය. පුරාවිද්‍යාව එහි මුඛ්‍ය අර්ථයෙන් ම විද්‍යාවක්‌ වුව ද ශ්‍රී ලංකාවේ දී විද්‍යා ක්‍රමවේද ඒ සඳහා භාවිත වන්නේ අවමයෙනි. එනිසා මේ පර්යේෂණය සාම්ප්‍රදායියික බව බිඳහෙළා ඉන් ඔබ්බට පියමං කරමින් විද්‍යා ක්‍රමවේදවල සහ බහු විෂයාත්මක ප්‍රවේශයක කාලීන අවශ්‍යතාව මනාව පෙන්නුම් කෙරුවකි.

භූ විද්‍යා ක්‌ෂේත්‍රය නියෝජනය කරමින් මා හට ද එම පර්යේෂණ කටයුත්තට සහභාගී වීමට හැකි විය. එහි දී භූ විද්‍යාවේ විධි ක්‍රම භාවිත කරමින් පුරාවිද්‍යාව හා භූ විද්‍යාව සම්බන්ධ කරන නව විෂය ක්‌ෂේත්‍රයක්‌ වන භූ පුරා විද්‍යාවේ (geo-archaeology) වටිනාකම පෙන්වා දීමට මා හට හැකි වීම මහත් වූ සතුටට කරුණකි. එහි දී ප්‍රථම වතාවට නව විශ්ලේෂණ ක්‍රමවේද ගණනාවක්‌ ම භාවිත කිරීමටත් එමගsන් වඩාත් පලදායි තොරතුරු රැසක්‌ එක්‌ කරගැනීමටත් හැකි විය.

මේ වසරේ ගත වූ පසුගිය සතියට පුරා විද්‍යා දෙපාර්තමේතුව පිහිටුවා වසර 125ක්‌ ගත විය. එදා මෙදාතුර බොහෝ පුරා විද්‍යා පර්යේෂණ සිදු කර ශ්‍රී ලාංකේය සංස්‌කෘතියෙහි අනර්ඝ බව ලොවට කියා පෑමට හැකි විය. ඔවුන් සිදු කළ පර්යේෂණවල ඉතා වැදගත් සහ අපූර්ව කොටස වන්නේ ප්‍රාග් ඵෙතිහාසිකයන් ගැන සිදු කළ පර්යේෂණ ය. දැනට වාර්තා වී ඇති අන්දමට වසර 40000ක්‌ පමණ පැරැණි මානවයන් ගැන බුලත්සිංහල පාහියන් ලෙනෙන් හමු වන අතර මෙවැනි ම වූ සාධක කිතුල්ගල බෙලි ලෙනෙන් ද කුරුවිට බටදොඹ ලෙනෙන් ද හමු වීම සුවිශේෂී මානව පරිණාමයක තතු ලොවට හෙළි කරන බව මාගේ හැඟීමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් හමු වූ මානව ප්‍රාග් ජීව ධාතුන් (human fossils) එක්‌ ස්‌ථානයක දක්‌නට නො ලැබීම ඉතා කණගාටුවට කරුණකි. එය ශ්‍රී ලාංකේය මානව පරිණාමය හදාරන්නන් හට සිදු ව ඇති විශාල අසාධාරණයක්‌ බව ද අවධාරණයෙන් සදහන් කළ යුතු ය.

පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළ භූ විද්‍යාවේ යෙදීම අත්‍යවශ්‍ය වූවකි. මන්ද යත් බොහෝ විට ඔවුන් ගේ පර්යේෂණ Rජු ව ම ගොඩනැෙගන්නේ භූ පරිසරය තුළ ය. මවු පාෂණයට ඉහළින් වූ අවසාදිත තට්‌ටුව ඔවුන් ගේ ප්‍රමුඛ පර්යේෂණාගාරයයි. එනිසා මේ පර්යේෂණවල නියෑළෙන්නන් භූ පරිසරයෙහි වන අවසාදිත ද, ඛනිජ සහ පාෂාණ ද සහ එහි ක්‍රියාකාරකම් ද පිළිබඳව මනා අවබෝධයකින් යුක්‌ත වීම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හේතු වේ. පසුගිය දශකය තුළ මා ගේ බොහෝ පර්යේෂණ දියත් වූයේ ද ඉහත සදහන් "භූ පුරා විද්‍යා" ක්‌ෂේත්‍රය තුළ ය. එහි දී පර්යේෂණ කැණීම්වලට අමතරව සංස්‌කෘතික සහ උරුම සංරක්‌ෂණ කටයුතුවලට ද භූ විද්‍යාවේ යෙදීම්වල වැදගත්කම පෙන්වා දීමට හැකි විය. එනිසා ම ප්‍රථම වතාවට එම විෂය පුරාවිද්‍යා උපාධියෙහි එක්‌ විෂය ක්‌ෂේත්‍රක්‌ ලෙස එක්‌ කර ඇති අතර වත්මනෙහි රජරට විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා උපාධිය හදාරන සිසුනට එම භාග්‍යය ලැබී ඇත. එමෙන් ම පුරාවිද්‍යා පශ්චාත් උපාධි හදාරනන්ට ද මේ අවස්‌ථාව ඉතා ඉක්‌මනින් ලැබෙනු ඇති බව මගේ හැඟීමයි.

පුරා විද්‍යා කැණීම් සහ ගවේෂණවලින් මතු කරගන්නා පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යයන් සංරක්‌ෂණය ඉතා වැදගත් වේ. එමගින් සංස්‌කෘතියෙහි විකාශය පිළිබිඹු කරයි. බොහෝ විට අතීතයේ නිර්මිත පරිසරය දේශීය ඥානය සහ දේශීය තාක්‌ෂණය මත ගොඩනැගුණකි. එය වත්මන් පරිසරයෙහි කොටසක්‌ ව ඇත. විවෘත පරිසරයෙහි ඇත්තා වූ එවන් නිර්මාණ ස්‌වාභාවික ක්‍රියාදාමයන්ට හසු ව විනාශ වෙමින් පවතී. ඒවා ආරක්‌ෂා කිරීමට මහත් වෑයමක්‌ දැරිය යුතු ය. ලොව බොහෝ රටවල මේ සදහා සුවිශේෂී වැඩපිළිවෙළවල් සහ ක්‍රියාදාමයන් සිදු කරමින් පවතී. වසර 125ක්‌ ගත් වුවත් උරුම සංරක්‌ෂණ සහ කළමනාකරණය සදහා අප රටෙහි විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නොමැති බව මගේ හැඟීම ය. පුරා විද්‍යාත්මකව සහ සංස්‌කෘතිකමය වශයෙන් වැදගත් වන්නා වූ ලෝක උරුම ගණනාවක්‌ ම ඇති අප මේ පිළිබඳව සිතා ඉතා ඉක්‌මනින් ක්‍රමවත් ක්‍රියාදාමයක්‌ දියත් කළ යුතු ය. නැත හොත්, කැටපත් පවුර, බිතු සිතුවම්, සමාධි පිළිමය වැනි අගනා නිර්මාණ විනාශ වී යැම නොවැළැක්‌විය හැකි වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...