Saturday 6 January 2024

 වර්ණ සහ ලෝහ ඛනිජ

06/01/2024

මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා  පවසනුයේ පර්යේෂණයෙන් සොයා ගත්තක් නොව මාගේ යම් සිතුවිල්ලකට යටත්වය. ඒ සඳහා සාධාරණ කරුණු කිහිපයක් දැක විය හැක. එහි වර්ණය ආකර්ෂණීයයි. ඕනෑම අයෙකුගේ ඇස ඒ සඳහා යොමු වේ. ඕනෑම භූ පරිසරයක ඉතා පහසුවෙන් කෙනෙකුගේ අවධානයට යොමු වේ. ප්‍රාග් මානවගේ ඇසට රත්තරන් යොමු නොවූ වේ යැයි කිව නොහැක. විශේෂයෙන්ම ගංගා නිම්න පරිසරයේ සැරිසරණ මොවුනට ගසාගෙන එන වැල්ලේ එය නිතැතින්ම හමුවන්නට ඇත. නමුත් රත්තරන් කොතරම් ලස්සන වුවද ඒ සතු යම් දුර්ගුණාංගයක් නිසා එය ඔවුන්ගේ සිත් නොගන්නට ඇත. ලෝහයක් ලෙස එහි භාවිතය එතරම් දුර්වලය. පිරිසිදු රත්තරන් (කැරට් 24) සිහින් ලෙස කැඩි කැඩී යයි. එතරම් ම ශක්තිමත් නොවේ. රත්තරන් වලින් යම් ශක්තිමත් භාණ්ඩයක් සෑදිය නොහැක්කේ මේ නිසාය. ශක්තිමත් වන්නට නම් තවත් ලෝහ සමග මිශ්‍ර කල යුතුය.

නමුත් තඹ එසේ නොවේ. සමහර තඹ ඛනිජ පෙනුමෙන් රත්තරන් වැනිය (දිය රත්තරන්). එනිසාම කලවමේ මෙම ලෝහ ඛණිජ අවධානයට ලක් වන්නට ඇත. එකම වර්ණය දෙන නමුත් වෙනස් ගුණ දෙන ඛනිජ දෙකෙන් තඹ වෙන්කර ගැනීමෙන් සාර්ථක ලෙස ආයුධයක් තනන්නට හැකි බව පැරැන්නන් අවබෝධ කරගන්නට ඇත. එනිසාම රත්තරන් වලට වඩා තඹ එකල ප්‍රචලිත වන්නට ඇත. බොහෝ දේ තඹ ලෝහය ඇසුරුකරගෙන නිමකරන්නට ඇත. පසුව තඹ ඔක්සයිඩය සහ සල්ෆයිඩය වැනි ඛනිජ වලින් තඹ ලෝහය වෙන්කරග්න්නට තරම් වූ තාක්ෂණයක් සොයාගන්නට ඇත. එයත් සමග යකඩ ලෝහය ද නිස්සරණය කරගන්නට හැකි බව ඔවුන්ගේ දැනුමට එකතුවන්නට ඇත. යකඩ ලෝහය සොබාවයේ පවතින්නේ බොහෝ විට ඔක්සයිඩයක් ලෙස හෝ හයිඩ්රෝක්සයිඩයක් ලෙසයි. තඹ නිස්සාරණයේ මූලධර්ම යකඩ ලෝහ නිස්සරණයට කදිමට ගැලපෙන බව සේරුවිල පැරණි ලෝහ කර්මාන්තය පරික්ෂා කිරීමේදී ඉතා හොඳින් ඔප්පු වෙයි.

තඹ නිස්සසාරණයේ ප්‍රතිඵලයක් ලෙස තඹ මිශ්‍රිත සිලිකා (තඹ බොරය- තඹොර) නිල් පැහැති විදුරු වැනිය. සිලිකා උණුවීමෙන් විදුරු ගතිය ලබාදෙන අතර එයට තඹ එක් වීමෙන් නිල් පැහැය ලබා දෙයි. මෙම ප්‍රතිඵලය පසුව විදුරු පබළු කර්මාන්තයක් ලෙස වැඩි දියුණු වන්නට හේතුවන්නට ඇතැයි මට සිතේ. අහම්බයක් ලෙස ලැබෙන මෙම ප්‍රතිඵලය තවත් අතීත කර්මාන්තයක් සඳහා පදනම් විය.

ආකර්ෂණය සහ වර්ණය මෙලෙස ඛනිජ සොයාගැනීමේදී වඩා පහසුවම් මුතුන් මිත්තන්ට ලබා දෙන්නට ඇත. එනිසා රත්තරන් වර්ණය, නිල් පැහැය සහ කොළ පැහැය ( තඹ නිසා) සහ රතු පැහැය (යකඩ) සාදාගන්නට එතරම් අපහසුවක් නොවන්නට ඇති බවයි මාගේ අදහස වන්නේ. මේ අතර ධවල පැහැගත් කිරිමැට්ට සුදු පැහැය සාදා ගන්නට යොදාගන්නට ඇත. මේ ඛනිජ වර්ණ නිසා පැහැය බොහෝ කාලයක් රඳා පවතින බව පැහැදිලිය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

 

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...