Thursday 2 July 2020

ගෙඩි ඉල්ලම්  ඇතිවන්නේ කොහොමද ?
භූ සංචාරිතය 16
The article is originally published on Vidusara, 01.07.2020.

අපේ රටේ මිණිපුරය රත්නපුරයයි. රත්නපුර බේසමේ තැන්පත් වූ ආදී කාලික මිනිකැට පොළොවේ ගැඹුරට විද විද ලබා ගන්නෝ  මැණික් පතල් කරුවෝය. මිනිකැට බරය. තදය. වර්ණවත්ය , නැතහොත් අනෙකුත්  බොරළු පෙබලු වලින් සපුරා වෙනස්ය. ඇස හුරුවූවන්ට මිනිකැටයක් හඳුනාගැනීම කජු කනවා වගේය . මෙතරම් අපූරුවට දිස්නේ දෙන ගල්කැට බිහිවන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකු විමසන ප්රශ්නයකි.  මේ පිළිබඳව අප භූ සන්චාරිතයෙන් අද අප  කතා කරමු. අපගේ ගමනාන්තය මිනිපුරයට ආසන්න  ඇහැලියගොඩටයි.

ඇහැලියගොඩ ප්රසිද්ධ වන්නේ සුවිශේෂී මැණික්  පතල් වර්ගයකටයි.  ලංකාවේ අනෙකුත් ස්ථානවල ද නැතුව නොවෙයි. නමුත් ඉතා ගැඹුරේ අපට හමුවන මෙම පතල්  හඳුන්වන්නේ "ගෙඩි පතල් " ලෙසයි. "ඕන්න පුතේ ගෙඩියක් හෙම මතු වුනොතින් පරම්පරා ගණනාවකට මදැයි" පළිගු සීයා කිවේ බුලත් කහට බැඳුනු තම දත් වහල්ල විලිස්සමින්. පලිඟු සීයා මැණික් පතල් කර්මාන්තය ගැන බොහෝ අත්දැකීම් ඇති දැනට විශ්රාම සුවයෙන් කාලය ගත කරන ගැමියෙකි. ඔහුගේ දවසේ කාරිය දවස් තිස්සෙම බුලත් විට සරි කග ගැනීමයි.  ගැනත් ඔහුගේ ක්රියා ගැනත් අත්දැකීම් ගැනත් බොහෝ කතා රාශියක් ඇතිමුත් ඒවා ගැන වෙන වෙලාවක අපි කතා කරමු. එකිනෙකට වෙනස් ත්රාසජනක සහ විනෝදාත්මක කරුණු රාශියක් ඔහු අපට ඉදිරිපත් කලේ වරුවක්ම අපව සිනා සයුරේ ගිල්වමිනි.

පලිඟු සීයාට අනුව හොඳ ගෙඩියක් වැදීම  පරම්පරා ගානක් ගොඩයන්නට හේතුවකි. ඒ තරමටම මිලක් ගත හැකි කදිම  ජාති ගල් ගෙඩියෙන් හමුවෙයි. "පුතේ ඔය ගෙඩියක තනිකරම තියෙන්නේ එක්කෝ නිල් කැට පලිඟු, නැතිනං රතුකැට  පලිඟු  ඒත් නැතිනං ගෙවුඩ පලිඟු". පලිඟු කියලා කියන්නේ ඉතා අපුරුවට වැඩුන ස්ඵටික හමුවන නිසා. ගෙඩියක් යනු භූ අභ්යන්තරයේ හමුවන මැණික් නිධියකි, මෙවැනි නිධි මතුපිටට ආසන්නයේ පවා හමුවිය හැක. නමුත් මෙහි විශේෂත්වය මෙම මැණික් ගෙඩි  හමුවන්නේ මාලවේ එනම් ජීර්ණය වන පාෂාණයේ වීමයි. 

මැණික් නිධි වර්ග දෙකක්  ප්රධාන වශයෙන් ලංකාවේ හමුවේ. ඒවා ප්රාථමික නිධි සහ ද්විතියික නිධි ලෙස හඳුන්වයි. ද්විතියික නිධි ගොඩනැගෙන්නේ ඛාදනයේ සහ පරිවහනයේ ප්රතිඵලයක් ලෙසයි. එනිසා බොහෝ විට හමුවන්නේ ගංගා, ඇලදොළවල ගමන් මග ඇසුරු කරගෙනය, කොටින්ම ද්විතියික නිධි තැන්පත් වීම සඳහා ජලයේ සහය අවශ්යමය. ප්රාථමික නිධි ගොඩ නැගෙන්නේ ජිර්ණයේ ප්රතිඵලයක් ලෙස නැවුම් පාෂාණවල වූ මැණික් සහ පාෂාණ කොටස් පාංශු දේහයට එක්  විම නිසයි. පාෂාණ යනු ඛනිජ සමුච්චයක එකතුවකි. පාෂාණය නිර්මාණය වන විටම ඛනිජ සමුච්චය ද බිහි වී හමාරය. ආගනේයකරණය ද විපරිතකරණයද අවසාදිතකරණය ද පාෂාණ ද ඛනිජ ද බිහිකරන ප්රධන භූ ක්රියාකාරකම් වෙයි. එයට අමතරව ජීර්ණය මැටි වැනි ද්විතියික ඛණිජ බිහිකරයි.නමුත් එමගින් මැණික් ඛණිජ  බිහිවන්නේ නැත. ඒ සඳහා  හේතුවන්නේ ඉහත කී  භූ ක්රියාකාරකම් ත්‍රිත්වයයි. එනිසා පාෂාණයක් බිහි වී පෘතුවි මතුපිටට ආ පසු නැවත එම පාෂාණයේ අලුත් මැණික් ඛනිජ බිහිවීමක් සිදුවන්නේ නැත. 

වතාවක් මා කි පරිදි විපරිතකරණය ඉතා අපුරු සංකීර්ණ භූ ක්රියාකාරකමකි. ඝන 
අවස්ථාවේදීම අදාළ උෂ්ණත්වයට සහ පිඩනයට අනුරූපව ඛනිජ බිහිවන අතර මෙහිදී රසායනික සංයුතියේ වෙනස්වීමක් සිදුවන්නේ නැත. එකම රසායනික සංයුතියකින් හෙබි සංයෝග පද්ධතියක් ලැබෙන තාපය හා පීඩනය පදනම් කරගෙන එය ගැලපෙන ඛනිජ සමුච්චයක් බිහිවීමයි එහිදී සිදුවන්නේ. නිල් , රතු සහ ගෙවුඩ වැනි ඛණිජ  බිහිවන්නේ කුරුවින්ද (කොරන්ඩම්) කුලයෙනි. මෙහි රසායනික සංයුතිය වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩය  පමණකි. එනිසා සංයෝග පද්ධතියේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ඉස්මතු වීම තුල පමණකි මෙවැනි ඛනිජ බිහිවන්නේ. එනිසා සංයෝග පද්ධතියේ වැඩිපුර ඇලුමිනියම් තිබීම ඉතා වැදගත්ය. බොහොමයක්  ඇලුමිනියම් ඔක්සයිඩ පවතින අනෙකුත් රසායනිකයන් වන සිලිකා වැනි සංයෝග සමග මිශ්රවී වෙනත් සිලිකේට ඛනිජ බිහිකරන අතර සියලු සිලිකා සංයෝග පද්ධතියෙන් ප්රතික්රියා කර  අවසන් වී ඉතිරිවන ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටිකිකර්ණය වීමෙන් කුරුවින්ද මැණික් කුලයේ ඛනිජ බිහිවෙයි. පාෂාණ පරිසරයේ ඉතා අධිකව හමුවන සිලිකා හමුවේ මෙම ක්රියාදාමය කන කැස්බෑවා හඳ  දකින්නා හා සේම ඉතා දුර්ලභ ක්රියාවලියකි. මෙම මැණික්වල දුර්ලභ භාවයට හේතුවත් එයම වෙයි. 

ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටික වලට පාට ලබෙන්නේද කදිම ආකාරයටයි. සංයෝග පද්ධතියේ ඉතිරිවන අපද්රවය අතර ක්රෝමියම් ලෝහය තිබුනේ නම් එය හේතුවන්නේ රතු කැට  බිහිකරන්නට වන අතර රුටයිල් සහ යකඩ ඔක්සයිඩ ඇතිවිට කදිම නිල්  මැණික් බිහිකරයි. එහිදී මෙම  එකිනෙක ප්රතික්රියා කරන්නට අවැසිය . එසේ නොවන්නේ නම් බිහිවන්නේ ගෙවුඩ වැනි මැණික් වර්ගයි. එනිසා ඉතා පහසුවෙන් ගෙවුඩ රත් කර මෙම සංයෝග මිශ්රකර නිල්  මණික බවට  පත්කළ හැක.
ඇහැලියගොඩ ඇත්තේ මෙලෙස නිර්මාණය වූ මැණික් ගෙඩි ඉල්ලම් වන අතර ගෙඩියක එකම වර්ගය මැණික් හමුවන්නට හේතුව ඔබට දැන් අවබෝධකරගත හැකි යයි සිතමි. මාලාව යනු ජීර්ණය වන පෂණයයි. මීටර තිහක් හතළිහක් ගැඹුරේ ජීර්ණය වෙමින් පවතින පාෂාණයේ හමුවන මෙම ගෙඩි ඉල්ලම් කැනීම්  එක්තරා ආකාරයක මැණික් පතල් තාක්ෂණයක් වන අතර ඒ සඳහා පළපුරුදුකරුවෝ සිටිති. හැමෝටම මේ කාරිය කල නොහැක. එනිසා වැඩ දන්නා මනුස්සයට මෙම ක්ෂේත්රයේ හොඳ තැනක් ඇත. පතල ගැසීම නිසි පරිදි කල යුතුය මන්දයත් මෙහි අරමුණු වන්නේ ඉතා ගැඹුරට යාමයි. එනිසා ඉදි කරන ව්‍යූහය ඉතා ශක්තිමත් විය යුතුය, පතල ගසන්නා ගේ දක්ෂතාවය මත අනෙකුත් වැඩකරුන්වන්න්ගේ ජිවිත  රැඳී තිබේ. 

මෙවැනි ගොඩ පතල් හමුවන්නේ ඇහැලියගොඩ පමණක් නොවේ. දෙවසරක පමණ කාලයක් මාහටද  මැණික් පර්යේෂණ ක්ෂේත්‍රයේ භූ විද්‍යඥයෙකු ලෙස සේවය කරන්නට හැකි වූ  අතර එනිසා විවිධ ප්‍රදේශවල තිබු මෙවැනි ප්‍රාථමික නිධි අධ්‍යනය කරන්නට හැකියාව ලැබුණි. කොස්ලන්ද ප්‍රදේශයේත්, හල්දුම්මුල්ල ප්‍රදේශයේත්, වැල්ලවාය ප්‍රදේශයේත් විවිධ ස්ථාන වල මෙවැනි ප්‍රාථමික නිධි හමුවන අතර කොලොන්න ප්‍රදේශයේ හමුවූ එවැනි නිධියක තිබුනේ තනිකරම රෝස පැහැති කුරුවින්ද  පලිඟු කැටයි. මැණික් නොවන කුරුවින්ද මෙවනි ස්ථානවලින් බොහොමයක් හමුවන අතර ඒවායේ වටිනාකමක් නොමැතිය. කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේත්, ගලපිටමඩ ප්‍රදේශයේත් ස්ථාන දෙකක මෙවැනි මැණික් නොවන කුරුවින්ද නිධි දෙකක් හමුවේ. මෙහි විශේෂත්වය වන්නේ නැවුම් පාෂානයේත් ජීර්ණය වූ පාෂානයේත් මෙම කුරුවින්ද පලිඟු කැට  දක්නට ලැබීමයි. එයට අමතරව රත්නපුරය අවට ප්‍රදේශවල ද බලන්ගොඩ තන්ජන්තැන්න වැනි ප්‍රදේශවලත් මෙවැනි ප්‍රාථමික  මැණික් නිධි හමුවන  බව වාර්තා වේ. 

මැණික් පතල් හා ආශ්‍රිත සංස්කෘතිය ගැන අවදානයක් දක්වන්නන් සහ අධ්‍යනය කරන්නන් ගෙඩි පතල් කර්මාන්තය ගැන විමසිය යුතුමය මන්දයත් ඒ හා සබැඳි ඉතා අගනා සංස්කෘතික කරුණු රාශියක් ගොනු කර ගත හැක. පතලකට බැස  ඔබ එම අත්දැකීම ලබා ගත යුතුමය. ඉතා සුන්දර මැණිකක් ඔබ වෙත ගෙන එන්නට වෙහෙස වන පතල් කරුවන්ගේ කාරිය ඔවුන්ගේ උත්සාහය අගය කරන්නට නම් ඔබ ඔවුන් වෙත යායුතුමය

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...