Thursday 12 January 2017

විදුපත්ඉරුව
2016 අගෝස්‌තු 24 බදාදා. www.vidusara.com

ප්‍රභාසංශ්ලේෂකයෝ ද, රසාසංශ්ලේෂකයෝ ද ස්‌වයං ශක්‌ති ජනකයෝ වෙති. එහෙයින් ප්‍රභාසංශ්ලේෂකයන්ට හිරු එළිය ලැබෙන තාක්‌ බිය විය යුතු නො වේ. රසාසංශ්ලේෂකයන් හට හිරු එළිය නොමැති වුව ද ජීවය පවත්වාගෙන යැමේ ගැටලුවක්‌ පැන නො නගී. පරිණාමය එතරම් ම විස්‌මයජනක ය. ප්‍රභාසංශ්ලේෂකයෝ රසාසංශ්ලේෂකයන් ගෙන් පරිණාමය වූවෝ වෙති. මේ හරිතප්‍රදධාරීහු ලොව හිරුඑළිය වැටෙන සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම පැතිර ගියෝ වෙති. ඔවුහු ජලයේ ද ගොඩබිම ද එක සේ ව්‍යාප්ත ව අතීත පෘථිවියේ විවිධ යුගවල දී ප්‍රමුඛව තව තවත් පරිණාමය වී, අවසන අපුෂ්පකයන් වී "හෙලූ බීජ" තනා එයින් ද නො නැවතී තව තවත් පරිනාමිකව ලොව මලින් සරසන්නට සමත් වෙති. ඒ සපුෂ්පකයන් බිහි කිරීමෙනි. හෙලූ බීජ තැනූ අපුෂ්පකයන් ගෙන් දැන උගත් පාඩම් නිසා "පල බර" එමෙන් ම ලොව "උසස්‌ ම ශාක" බවට පත් වූ සපුෂ්පකයෝ තමා නිර්මාණය කළ ඵලයේ දරු බීජ සඟවා අපූරු ආරක්‌ෂාවක්‌ සලසා දුන්නෝ ය.

ඒ කෙසේ වෙතත් හිරු පවතින තාක්‌ ශක්‌ති අහේනියක්‌ සපුෂ්පකයන්ට නො දැනෙන්නේ වුව ද ඔවුහු පවතින්නා වූ පරිසරය විටෙක තම වර්ධනයට අකුල් හෙළන්නෝ ය. ඒ වර්ධනයට අවැසි ඛනිජ ලවණ ප්‍රමාණාත්මකව ලබා නො දීමෙනි. නයිට්‍රජන් අවශ්‍යතාව ඒ අතර ප්‍රබල සාධකයක්‌ වේ. මේ තත්ත්වය බොහෝ විට ඇත්තේ මඩවගුරුමය පහත් බිම්වල ය. නැත හොත් පසේ ඝනකම ඉතා අඩු මවු පාෂාණ තට්‌ටු මත ය. එනිසා මෙතරම් පරිණාමය වූවන් කෙලෙස නම් එම පරිසරය ජයගෙන ඇත්ද යන්න අප විමසා බැලිය යුතු ම ය.

බොහොමයක්‌ ශාක තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නේ පසේ නිපදවෙන නයිට්‍රජන් අඩංගු සංයෝග ඇසුරෙනි. විදුලි කෙටීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස භෞතිකව නිපදවී පසට එක්‌ වන නයිටේ්‍රට හෝ ක්‌ෂුද්‍රජීවීන් ගේ ක්‍රියාවෙන් මූලගැටිතිවල නිපදවෙන නයිට්‍රෙට ඉතා පහසුවෙන් උරාගැනීමේ හැකියාවක්‌ මොවුන් සතු ව ඇත. පොළොව මතුපිටට නිරාවරණය වූ මවු පාෂාණ තට්‌ටුවල ඛනිජ ලවණ රැෙදන්නට තරම් උපස්‌තරයක්‌ නිර්මාණය නො වීම නයිට්‍රජන් හිඟතාවට හේතු වේ. එමෙන් ම වගුරුමය පරිසරවල නයිට්‍රජන් හිඟ වන්නට ප්‍රධාන කාරණාව වන්නේ එහි පවතින නයිට්‍රජන් වායුව බවට පත් ව පද්ධතියෙන් ඉවත් වීමයි. එය ඔක්‌සිජන් රහිත පරිසරයේ ඉන්නා ක්‌ෂුද්‍ර ජීවීන් පසෙහි රැඳී නයිට්‍රජන් වායුගෝලයට මුක්‌ත කරන බැවිනි.

සජීවීන් ගේ අහිංසකයෝ මේ කරුණේ දී ඉතා රැඩිකල් තීරණයක්‌ ගෙන ඇති බව ඔවුන් ගේ දේහ විලාසය දෙස බැලීමෙන් තේරුම්ගත හැකි ය. ඒ කිසිවක්‌ නො ව තම ජීවය පවත්වාගෙන යැම සඳහා ම "මාංශභක්‌ෂණයට" හුරු වීමයි. විශේෂයෙන් ම මේ පරිසර පද්ධතිවල වෙසෙන සමහර ශාක කෘමි භක්‌ෂණයට පෙලඹී ඇත. එමගින් සතුන් ගේ දේහගත නයිට්‍රජන් උරාගැනීමට මං පාදාගෙන ඇත. මේ සදහා ඉතා සංවිධානාත්මකව විවිධ විකරණයන් සිදු කර ඇත. එහි දී ප්‍රධාන කාරණාව වී ඇත්තේ අදාළ ජීවියා අල්ලාගැනීමයි. විවිධ උගුල් අටවා සතුන් එම උගුලේ පටලා තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නට ඔවුහු බොහෝ සමත්කම් පාන්නෝ ය.

මේ මාංශභක්‌ෂකයන් සතුන් අල්ලාගැනීම සදහා සකස්‌ කර ඇති උගුල් විවිධ ය. සමහරක්‌ ඒ සදහා ම සුවිශේෂී මල්ලක්‌ නිර්මාණය කර ඇත. පත්‍රයේ කෙළවර "මරඋගුල" තැනීම සදහා විකරණය වී ඇති අතර එය අපූරු බඳුනක්‌ වීම විස්‌මයජනක ය. එලෙස සාදන බඳුනේ සතුන් ආකර්ෂණය සදහා ද, ජීර්ණය සදහා ද වැදගත් වන පැණි රසැති දියරයක්‌ පුරවා ඇත. මේ අප කවුරුත් හොඳින් හඳුනන බාඳුරා ශාකයයි. නිවර්තන කලාපයේ රටවල බහුලව දැකිය හැකි මේ ශාක විශේෂ (Nephenthus sp) ගොදුරු කරගන්නේ බොහෝ විට කෘමි සතුන් වන අතර "බාඳුරා පැණිය" වැස්‌සෙන් තනුක වීම වළක්‌වනු වස්‌ ඉහළින් පියනක්‌ ද නිර්මාණය වීම කෙතරම් හොඳින් තම කාර්යය සදහා අනුවර්තනය වී ඇත් ද යන්නට කදිම උදාහරණයක්‌ සපයයි. බඳුනේ කර මතට නගින කෘමි සතුන් ඉතා පහසුවෙන් බඳුන තුළට තල්ලු කරලීම සදහා කරගැට්‌ට සුමුදු කරන්නට ද වගබලාගෙන ඇත. එනිසා බඳුනට එබෙන කිසිදු කෘමියකු යහතින් ආපසු නො යන බව නම් නිසැක ය. විවිධ ලෙස මෙවැනි බඳුන් නිර්මාණය කර සතුන් අල්ලාගන්නා ශාක විශේෂ බොහොමයක්‌ ලොව පවතින අතර අප ගේ වාසනාවට ඔවුන් විශාල සතුන් අල්ලාගැනීම සදහා අනුවර්තනය වී නොමැති ය.

ඉතා වේගවත් චලනයකින් තම ගොදුර ඩැහැගැනීමට විශේෂණය වූ ශාක ද මේ අතර වෙයි. තම පත්‍රයේ කෙළවර බෙදී දෙපෙති තනා උගුල නිර්මාණය කර ඇත. උගුලේ රැඳෙනා කෘමියකු සිර කරගැනීමට මේ ශාකවලට ගත වන්නේ ඇසුරු සැණකි. පත්‍රයේ බාහිර දාරයේ ඇති ඝනකම් රෝම පත්‍රයේ දෙපෙති වැසුණු පසු කෘමියාට ගැලවී යැමට ඇති ඉඩ තවත් අසුරයි. කෘමි සතා ගේ ආගමනය සන්නිවේදනය සදහා පත්‍රය මධ්‍යයේ සියුම් කෙඳි නිර්මාණය වී ඇති අතර කෘමියා එහි ගැටුණු විගස රසායනික සංවේදනයෙන් ඉතා වේගයෙන් පත්‍ර දෙපෙති වසා දමනු ලබන්නේ කෘමියාට ක්‍රියාත්මක වීමට ඉඩක්‌ නො තබා ම ය. "වීනස්‌ ගේ මැසි උගුල" (Venus's flytrap- Dionaea muscipula) මේ බවට කදිම නිදසුනකි.

කෘමි සතුන් ග්‍රහණය කරන්නට ඇලෙනසුලු ද්‍රdව සහිත පෘෂ්ඨ නිර්මාණය කරන්නෝ ද මේ අතර වෙති. මේ සදහා වැදගත් වන මැලියම් වෑස්‌සෙන ග්‍රන්ථි පත්‍රයේ මතුපිට පෘෂ්ඨයේ ඇති අතර පෘෂ්ඨය මත වසන හෝ ගමන් කරන හෝ කෘමි සතා ගේ පාද ද ක්‍රමයෙන් දැඟලීම නිසා මුළු ශරීරය ද ඇලෙයි. එහෙත් විශාල කෘමි සතුනට මේ උගුලෙන් ඉතා පහසුවෙන් ගැලවී යා හැකි ය. කඳුලැස්‌ස (Droseracapensis) ශාකය මෙසේ ඇලෙනසුලු මැලියම් යොදා කෘමීන් අල්ලාගන්නා කෘමි භක්‌ෂකයෙකි. ජලයේ වෙසෙන මාංශ භක්‌ෂකයෝ ද (Utricularia sp) කදිම උගුල් සකසා ඇත. ආසෘතියෙන් ජලය ඉවතට විද රික්‌තයක්‌ තම උගුල් මල්ලේ ඇති කර ජලජ ජීවීන් අල්ලාගැනීමට ඔවුහු සමර්තයෝ ය.

මෙවැනි නානාප්‍රකාර අනුවර්තනයන් ගෙන් සපිරි මාංශභක්‌ෂකයන් මෙලෙස කදිමට පරිසරය ජයගෙන ඇත්තේ අප කවුරුත් සජීවීන් ගේ අහිංසකයන් ගෙන් කිසි දා බලාපොරොත්තු නො වන ක්‍රමවේදයන් ගෙන් වුව ද ඒ සියල්ල දුෂ්කර පරිසරයේ තම ජීවය ගැටගසා ගන්නට පමණක්‌ නො ව තම පරපුරේ අඛණ්‌ඩතාව පවත්වාගෙන යන්නට පමණක්‌ ම බව ද ඉතා හොඳින් මේ සියල්ල විශ්ලේෂණය කළේ නම් අපට පැහැදිලි වනවා ඇත. එය ආත්මාර්ථකාමී මිනිසා ගේ කුරිරු අරමුණුවලින් සදා වියුක්‌ත බව ද ඔබට පැහැදිලි වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත් ඉරුව
2017 ජනවාරි 11 බදාදා        04 බදාදා

මෙම සති අන්තය අතිශය කාර්යබහුල එකක්විය. ඒ අන් කිසිවක් නිසා නොව ගංවතුර උවදුරට ලක් වූ කැළණි ගං මිටියාවතෙහි ජිවත්වන කොළඹ අවට ජනතාවට සිදු වූ හානිය තක්සේරු කිරීමේ දුෂ්කර කාර්යයක් කරන්නට සිදු වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැම විටම මෙවැනි අභියෝගාත්මක කාර්ය සදහා උර දෙන්නට සැදී පැහැදී සිටිනා නිසාත් මෙවැනි දෑ පිළිබඳව ධනාත්මකව සිතනා පිරිසක් එහි ඇති හෙයිනුත් බොහෝ උද්යෝගිමත් ලෙස ද කාර්යශුර ලෙස ද මෙන්ම විනෝදාත්මකව ද එම සමීක්ෂණය සිදු කරන්නට හැකි වූ බව පැවසිය යුතුය.  

මෙම ගං වතුර උවදුර සිදු වී බොහෝ කල් වුවද පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදුකරන්නට කඩිනම් වැඩපිළිවෙලක් අදාළ වගකිවයුතු ආයතනවලට නොමැති වීම පිළිබඳව කනගාටු වියයුතුවාක් මෙන්ම ඉතා වගකිවයුතු ලෙස ඔවුන්ගේ අවධානය ද මේ කෙරෙහි යොමුවිය යුතු බව පැවසිය යුතුය. මෙවැනි ආපදාවන්ට ලක්ව අවතැන් වන ජනතාව උදෙසා බොහෝ ආධාර උපකාර මුල්ම කාලයේ ලැබෙනා මුත් කල්යත්ම ඔවුන් පිලිබඳ මතකය අමතක වන බැවින් ස්ථිරසාර විසඳුමක් ඉතා කෙටි කලකින් ස්ථාපනය කල යුතුය. එවැනි වැඩපිළිවෙලක් සැකසීම එතරම් අසීරු දෙයක් නොවේ. මන්ද යත් ගං වතුර උවදුර මෙරටට අලුත් දෙයක් නොවනා බැවිනි. සෑම ගං වතුර ආපදා අවස්ථාවකදී ම ලබා ගන්නා අත්දැකීම් ඊළඟ සිදුවීම කළමනාකරණය කර ගැනීම සදහා යොදා නොගැනීම ද මෙහි දී අවාසිදායක තත්වයන් නිර්මාණය කරන බව සිහි තබා ගත යුතුය.    

පසුගිය වසර බොහෝ ආපදා ගෙන දුන් වසරක් විය. ස්වභාවික සංසිද්දීන් හේතුවෙන් හටගත් උපද්‍රව (Hazard) මෙම බොහොමයක් ආපදාවනට (Disasters) හේතු වූ බව පෙනී යයි. පසු ගිය මැයි මාසයේ ක්‍රියාත්මක වූ අසාමාන්‍ය කාලගුණික විපරියසයන් නිසා ගංවතුර උවදුර සහ නාය අනතුරු ද කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්ක බෙහෙවින්ම කළඹවාලන්නට හේතු වූ බව රහසක් නොවේ. ආපදා අවදානම අවම කිරීමේ (Disaster Risk Reduction) බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබුනද ස්වභාවික සංසිද්දීන් නිසා ඇතිවන උපද්‍රවයන් (Natural Hazard) හට අභියෝග කල නොහැකි බව වරින් වර සිදුවන ආපදා මගින් අපට පෙන්වා දෙනු ලබන බව සිතිය හැක.

ගං වතුර උවදුර පිළිබඳව පෙර සුදානමක් තිබුනද මෙවර අනතුරට ලක්වීම පිළිබඳව ජනතාවටද යම් තරමකට දොස් පැවරිය යුතුය. විද්‍යාත්මක ක්‍රමවේද භාවිතාකර සිදුකරනා අනුමානයන් (Predictions) පිළිබඳව ජනතාව සතුටු දායක ලෙස ප්‍රතිචාර දැක්විය යුතුය. මෙවර එලෙස නොකිරීමේ ප්‍රතිපල ඔවුන් පමණක් නොව අප ද බුක්ති විදිනා බව කිව යුතුය. යම් පිරිසකගේ අත්තනෝමතික තීරණ මහාජනතාවගේ මුදල්හදල් පමණක් නොව බොහෝ පිරිසකගේ කාලයද කා දමන බව කිව යුතුය. මෙවර සිදු වූ ගං වතුර උවදුරේදී අදාළ ආයතන ලබා දුන් අනතුරු ඇඟවීම් අනුව ජනතාව ක්‍රියාත්මක වුවා නම් බොහොමයක් අලාභ හානි අවම කරගන්නට තිබුණි.    

මේ තත්වය නාය උවදුර අවම කිරීමේ ව්‍යපෘති කෙරෙහිද ඉතා දරුණු ලෙස බලපාන බව පෙනී යයි. මේ වනවිටත් නාය අනතුර සිදුවිය හැකි යැයි අනුමාන කරන ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි අවදානම්, මාධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස කලාපකරණයට ලක් කොට ඇත. එම ප්‍රදේශ සිතියම් ගතකර ඇත්තේ භූ විද්‍යාඥයින්ගේ ප්‍රභල සහ කැපී පෙනෙන මැදිහත් වීම මත වන අතර ඔවුන් කැප කල කාලය පමණක් නොව වැය කර ඇති ධනය ද බොහෝ වෙයි.. ඒ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලද ප්‍රමුඛ දායකත්වය  අතිමහත් බව කිව යුතුය. ඒ සියල්ල මහජනතාවගේ මුදල් වෙයි. යම් ප්‍රදේශයක පාෂාණ වර්ගය සහ එහි ව්‍යුහාත්මක ලක්ෂණ,  භුමියේ ආනතිය, ජලවහන රටාව යනාදී ප්‍රමුඛ කරුණු ගණනාවක් කේන්ද්‍ර කොට සකසන ලද මෙම සිතියම් සැකසීම සදහා භූ විද්‍යාත්මක දැනුම සහ ප්‍රයෝගික භාවිතය අතිශය වැදගත් වේ. ලංකාවේ මධයම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක 13ක් සඳහා නිර්මාණය කරන ලද මෙම සිතියම් සෑම අදාළ පළාත් පාලන ආයතනයක් වෙතම ලබා දී ඇති අතර අවශ්‍ය වේ නම් යම් අයෙකුට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය වෙතින් ද ලබා ගත හැක. නමුත් වැදගත් වන්නේ එම සිතියම් හමස් පෙට්ටියේ දමා පරිස්සම් කිරීම නොව භාවිතයට ගැනීමයි.

මැයි මාසයේ සිදු වූ නාය ආපදා සමීක්ෂණ කටයුතු වලදී පෙනී ගිය කරුණක් වන්නේ මෙම සිතියම් පිළිබඳව ජනතාවගේ ඇති අඩු දැනුවත්බාවයයි. එනිසාම බොහොමයක් ජනතාව නව නිවාස තැනීමේදී මෙම සිතියම් භාවිතාකර තම ඉඩම පිළිබඳව තොරතුරු විග්‍රහ කර නොගන්නා බව පෙනී යයි. නාය අවදානම ඇති දැනට නම් කර ඇති මෙම දිස්ත්‍රික්ක 13 හිම බොහොමයක් ජනතාව මේ පිළිබඳව දැනුවත් කර ඇතත් මෙවැනි දේ ඔවුන්ගේ ග්‍රහණයට හසු වී නොමැති බව විටෙක ප්‍රයෝගිකවම පෙනී ගිය කරුණකි. නමුත් පුදුමය වන්නේ සමහර පිරිසක් ඉතා හොඳින් මෙම තත්වය ග්‍රහණය කරගෙන තිබීමයි. මෙවැනි අනතුරක් සිදුවන අවස්තාවලදී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රසංශනීය බව කිව යුතුය. මෙහි ලා භූ විද්‍යාඥයින්ගේ කාර්ය භාරය අතිශය තීරණාත්මක බව කිව යුතුය, භූ විද්‍යඥයින් හෝ ප්‍රභලව එම දැනුම ග්‍රහණය කර ගත්තෙකුට හැර අන් අයෙකුට නාය ආපදා පිළිබඳ වූ මූලික සිද්ධාන්ත සාමාන්‍ය ජනතාවට පැහැදිළි කල නොහැකි බව පිළිගත යුතුය. ඔවුනට ඉතා යහපත් ලෙස පවතින සහ ඇතිවන අවදානම පිළිබඳව ඔවුනට මනා අවබෝධයක් ලබා දිය හැක.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...