Wednesday 14 August 2019




කඳුකරයේ නිවාස සහ නාය අනතුර .....!!!


වැස්ස ආයෙත් පටන් අරන්. කඳුකරයටත් වහිනවා. ඒක තමයි ලොකුම ගැටළුව. මොකද නාය යාමේ අවදානම තියෙන නිසා. නාය යාමේ අවදානම තියෙන දිස්ත්‍රික්ක මේ වෙනකොට ප්‍රධාන වශයෙන් එකොළහක් නම් කරලා තියෙනවා. ඒ තමයි මොණරාගල, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට. ඊට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කත් නාය අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ ලෙස සලකනවා. ඒකට හේතුව තමයි, මේ ප්‍රදේශවල ඉතා සීග්‍රයෙන් සිදුවන සංවර්ධන කටයුතු නිසා භුමියේ ස්ථාවරත්වය ට සිදුවිය හැකි බලපෑම. මේ නිසා කණ්ඩි කඩා වැටීම් සහ ගිලාබැසීම් වැනි තත්වයන් උද්ගතවන වෙන අතර මෙවැනි ආපදා ඉතාම බහුලව වාර්තා වෙනවා. එම තත්වය කඳුකර ප්‍රදේශ වලත් වැඩි වැඩියෙන් වාර්තා වෙනවා.

වැඩිවෙන ජගහනයත් සමග නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම් වල අවශ්‍යතාවය වැඩිවෙලා. ඒ  නිසා ඉතා සිඝ්‍රයෙන් සංවර්ධන කටයුතු සිදුවෙනවා. නමුත් මේ තත්වය පාලනය නොකළොත් වැඩිකාලයක් යන්නට මත්තෙන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ අතර නාය යාමේ අවදානම ප්‍රමුඛව තියෙනවා. පාංශු ඛාදනය සහ ගංවතුරත් මේ අතර තියෙනවා. එනිසා ඉතා කඩිනම් දිගුකාලින වැඩපිළිවෙලක අවශ්‍යතාව තදින්ම තියෙනවා. විශේෂයෙන්ම කඳුකර ඉඩම් කළමනාකරණය සම්බන්ධව වාගේම පාංශු කළමනාකරණය සම්බන්ධවත්. එපමණක් නොවෙයි ජල පෝෂක ප්‍රදේශ වැඩි දියුණු කිරීම මෙන්ම කඳුකරයේ භූ ජලය කළමනාකරණයත් අත්‍යාවශය කාරණා.

බොහොමයක් දෙනා කඳුකර ප්‍රදේශවල ගෙවල් සෑදීමේ දී අනුගමනය නොකරන කරුණ තමයි තමාගේ ඉඩමට නාය යාමේ අවදානම ඇතිදැයි සොයා බැලීම. මේ කරුණ ඉතා සුවිශේෂී කාරණාවක්. ඉහත සඳහන් කල ප්‍රදේශවල ජිවත්වන ජනතාවට නම් නීති ප්‍රකාරව ම මේ සම්බන්ධව සොයා බැලිය යුතු වෙනවා. 2010 දී නිකුත්කළ කැබිනට් පත්‍රිකාව මගින් ප්‍රකාශ කර ඇත්තේ එම දිස්ත්‍රික්ක වල යම් කිසි සංවර්ධන කටයුත්තක් සිදුවන්නේ නම් ඒ හා සම්බන්ධ භුමියේ ස්ථාවරත්වය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් අනිවාර්යෙන්ම පරික්ෂා කර ගත යුතු බවයි. නිවාස ඉදිකිරිම සඳහා පමණක් නොව යම් ව්‍යාපෘතියක් සඳහාත් මෙය වලංගුයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉහත කී දිස්ත්‍රික්ක එකොළහක තම දිස්ත්‍රික්ක කාර්යාල පවත්වාගෙන යන අතර අදාළ දිස්ත්‍රික්කයේ ජනතාවයට එම කාර්යාල වලට ගොස් අදාළ සේවාව ලබා ගත හැකි වෙනවා.

නමුත් බොහෝ දෙනෙකු එම අවස්ථාව නිසි පරිදි ලබා ගන්නේ නැහැ. ඉඩම් පරික්ෂාකරවා ගැනීම් සඳහා ලැබෙන ඉල්ලීම් සලකා බැලීමේදී පෙනීයන ප්‍රභල කරුණ වන්නේ ජනතාව ස්ව කැමැත්තෙන් එසේ නොකරන බවයි. බොහෝවිට ණයක් ගැනීම වැනි හෝ තමන්ගේ නිවසේ හෝ ඉඩමේ සැලැස්ම ආදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරවා ගැනීම වැනි හෝ කරුණක දී පමණක් එලෙස ඉඩම් පරික්ෂා කරවා ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට එන බවයි. නමුත් විය යුත්තේ එලෙස යම් යම් කොන්දේසි නිසා ඒ කාරිය කරවා ගැනීම නොව, ඇත්තෙන්ම තමනට ඇති අවදානම හඳුනාගැනීමට ක්‍රියා කිරීමයි.

කඳුකරයේ විශේෂයෙන්ම නිවාස ඉදිකිරීමේදී නාය අවදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. බොහෝ දෙනෙකු ජිවත කාලයක් පුරා එකතුකරගත් තම ධනය වැයකර නිවස සාදාගන්නේ සැනසිල්ලේ ඉන්නටය. එනිසා ඇතිවිය හැකි ආපදා පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්යෙන්ම කල යුතුය. භුමියේ අස්ථාවරත්වයක් ඇත්නම් එහි නිවසක් සාදා පලක් නොවන්නේම ය. එවැනි ස්ථාන කොයි මොහොතක හෝ අවදානමට ලක් විය හැක.  

බෑවුම් ඉඩම් වල නිවාස ඉදිකිරීමේ දී බෑවුම් කපා තම භුමිය සකස් කල යුතු වේ. පවතින සීමිත ඉඩත් නොදැනුවත් කමත් නිසා බොහෝ දෙනෙකු කපන ලද කණ්ඩියට ඉතා ආසන්නයෙන් හෝ කණ්ඩියට යාව තම නිවස ඉදිකරයි. ඒ වාගේම ඉදිරිපස භුමිය පස් පුරවා සකස් කර ගනී. බොහෝ දෙනෙකු ඒ සඳහා ස්ථාවර බැමි ඉදිකරන්නේ නැත. කපන ලද කණ්ඩිය සමහර විට ගෙටත් වඩා උසය. මේ කරුණු දෙකම එම භුමිය අස්ථාවර කරන්නට හේතුවෙයි. ස්ථාවරව තිබු කණ්ඩිය කැපීම නිසා අස්ථාවර වන අතර පවතින පාංශු වර්ගය සහ පාෂාණ අනුව ස්ථාවරත්වය කොපමණ කාලයක් තිබෙන්නේ ද යන්න තීරණය වේ. කලින් නාය ගිය භූමියක නම් එවැනි කණ්ඩියක පවතින්නේ සුන්පහන් පාංශු ද්‍රව්‍යයි. එවැනි අවසාදිත ඉතා පහසුවෙන් නාය යාමට ලක්විය හැකිය. කණ්ඩියේ දිරපු පාෂාණ ඇත්නම් ඒ ද අවදානම් සහිතය. ඉතා හොඳ අලුත් මව් පාෂාණය මතූ වූ කණ්ඩිවල හොඳ ස්ථාවරත්වයක් තිබුන ද කාලයක් යත්ම පාෂාණ ජීර්ණය නිසා පස් නිර්මාණය වී එම කණ්ඩි ද අස්ථාවර විය හැක. පාංශු ද්‍රවය  හෝ ජිර්ණිත පාෂාණ මතු වූ කණ්ඩි ස්ථාවර කිරීම අතවශ්‍ය කරුණක් බව සිහි තබා ගත යුතුය. භුමියේ පස් පිරවූ ඉදිරි පස කොටස ට නිසි ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා නොදුන්නේ නම් ඒ ද නාය යාමේ අවදානමට ලක් විය හැක. මේ තත්වය වැසි දිනවල වර්ධනය වන්නේ ක්‍රමාණුකුලව ජලය බැස යෑම සඳහා කානු පද්ධතියක් සකස් නොකර ඇති විටයි. ලිහිල් පස් අංශු අතරින් රිංගා යන ජලය ඉතා පහසුවෙන් එවැනි පිරවුම් අස්ථාවර කරන්නේ නිතැතින්ම ය. එනිසා කඳුකරයේ නිවාස තන්නන් මේ කරුණු ඉතා හොදින් සැලකිල්ලට ගත යුතුය.

වර්ෂා දිනවල දී වාර්තා වන බොහොමයක් නිවාසා හානි සිදු වී ඇත්තේ මේ හේතුවෙන් බව අධ්‍යන වලින් හෙළි වී ඇත. මේ තත්වය ඉදිරියේ දී වර්ධනය විය හැකි අතර නිතිය නිසා නොව තම ජිවිතයට ඇති අතවශයතාවය තේරුම් ගෙන නාය අවදානම ක් ඇත්තේ දැයි තහවුරු කර ගත යුතුය.  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත්ඉරුව
01.02.2017

"ලංකාවේ වැඩි ම වායු දූෂණය වාර්තා වෙන්නේ මහනුවරින් කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක්‌ වෙලා තියෙනවා කියලා කියන්නේ මාළිගාව ළඟ පාර වහපු එක ලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දූෂණය වැඩියි තමයි" මගේ මිත්‍රයෙක්‌ මේ ලඟ දි දවසක පැවසුවේ බොහොම කණගාටුවෙන්. "මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක්‌ හදන්න යෝජනා කරලා තියෙනව ලු. ඇයි දන්නෙ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාළිගාවත් බේරාගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුණා. අපේ මිනිස්‌සු හොඳ තීන්දු තීරණ ගන්න හරි ම පරක්‌කුයි." ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක්‌ බලා පොරොත්තු නො වන වගක්‌ හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ.

වායු දූෂණය සිදු වන්නේ වාහනවලින් විතරක්‌ නො වෙයි. කර්මාන්තශාලාවලින් පිට වන දූෂ්‍ය වායූන් ද වායු දූෂණයට ප්‍රධාන හේතුවක්‌. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තදබල දූෂණයක්‌. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්‌ම ගැනීමේ පරම අයිතිය නො වේ දැයි ඔබ කී දෙනකු නම් කල්පනා කර ඇත්ද? එපමණක්‌ නො ව, අප මේ උල්ලංඝනය කරන්නේ ඔක්‌සිජන් තම ස්‌වසන කර්තව්‍යය සදහා භාවිත කරන අනන්ත අප්‍රමාණ ජීවීන් ගේ අත්‍යන්ත අයිතිය නො වේ ද? මේ අයුරින් ම ජලය ද පස ද ඉතා ම අප්‍රසන්න ලෙස දූෂණයට ලක්‌ කරන බව මා ඔබට අමුතුවෙන් පවසන්නට අවැසි නො වේ. ඉදින් මෙලෙස මේ අප යන්නේ කුමන ගමනක්‌ දැයි කෙලෙසක වත් සිතන්නට නොහැකි බව ඔබට වැටහේ වි.

මිනිසා සමස්‌ත පරිසරයෙන් කෙතරම් වියුක්‌ත වී දැයි පසුගිය සතියෙක අප සාකච්ඡා කළ බව ඔබට මතකයට නැෙග් වි. එමෙන්ම පාරිසරික සාධකවලට අනුගත ව මිනිසා සංස්‌කෘතීන් බිහි කර ඇති අයුරු ද අපි තරමක්‌ දුරට අප සාකච්ඡාවට ගත්තෙමු. ඒ සියල්ල සැලකිල්ලට ගත් කල, ඉතා දියුණු මොළයක සහ අපූරු ශරීරයක හිමිකරුවකු වී ඇති මිනිසා ගේ වර්තමාන ක්‍රියාකාරකම් කෙතරම් දුරකට ස්‌වාභාවික දැයි යන්න ඉතා ප්‍රබල විමසුමකට ලක්‌ කළ යුතු ගැටලුවකි.

මෙලොව ජීවයේ අත්‍යන්ත අරමුණ වන්නේ එය දිගින් දිගට ම පවත්වාගෙන යැම බව ඉතා හොඳින් පැහැදිලි වන සත්‍යයකි. උභය ජීවීන්, ද උරගයන් ද, පක්‌ෂීන් ද මෙන්ම ක්‌ෂීරපායින් ද ඉහත සඳහන් කළ සත්‍යය තුළ ක්‍රියාත්මක වන බව අපි හොඳින් දනිමු. ඔවුහු දරු පරපුරක්‌ බිහි කර තම පරම්පරාව ඉදිරියට පවත්වාගැනීමේ අසීරු සටනේ කොටස්‌කරුවෝ වෙති. පරිණාමයේ එක්‌ එක්‌ ආංශිකයන් ඔස්‌සේ මොවුහු ඉදිරියට යති. බැක්‌ටීරියා සහ ඇල්ගාවන් වැනි ප්‍රාථමික ජීවීන් ද මේ සන්දර්භය තුළ විවිධ උපක්‍රම භාවිත කර සිදු කරන්නේ මේ දෑ ම ය. තම ව්‍යාප්තිය සාර්ථකව සිදු කරගැනීම උදෙසා ජීවීන් සතු උපාය උපක්‍රම විවිධ ය. විචිත්‍ර ය. එමෙන් ම විටෙක සංකීර්ණ ය. සොබාවිකව හැඩගැසුණු මේ ජෛවීය ක්‍රියාදාමය පරිණාමිකව විවිධ හැලහැප්පීම්වලට ලක්‌ ව විකසනය වෙමින් පවතින බව පෙනී යයි.

බැක්‌ටීරියාවන් ගේ ඒක සෛලය විඛණ්‌ඩනය වීම සර්ව සම දුහිතෘන් බිහි කරන්නට හේතු වෙයි. මෙය ප්‍රාථමික ජීවීන් පෙන්වන සරල ම ව්‍යාප්ති ක්‍රියාදාමයයි.ඉන් ඔබ්බට යත් ම බීජාණු නිෂ්පාදනයත්, දේහයන් කැබැලි වී සිදු වන ව්‍යාප්තියත් අලිංගික ක්‍රමවේදයන් වේ. වර්තමානයේ උසස්‌ ශාකවල ව්‍යාප්තිය අතිශය පරිණාමයට ලක්‌ වී ගොඩබිම ව්‍යාප්තියට හැඩගැසී ඇත. ඇත. ජලයෙන් ගොඩබට ආ ජීවීන් ද මුල් ම කාලයේ ඒ සදහා අවැසි වූ ජලය මත යෑපීම දැන් දැන් අවම කරගෙන ඇත්තේ වසර මිලියන ගණනාවක සිදු වූ පරිණාමයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

උසස්‌ ජීවීන් අලිංගික ව්‍යාප්තිය අත් හැරීම තුළ ඇත්තේ වඩා දියුණු සුරක්‌ෂිත ව්‍යාප්තිය පමණක්‌ නො ව අලිංගික ව්‍යාප්තියේ ඇති දුර්වලකම් මගහැරීමක්‌ ද විය හැකි ය. ද්වි ලිංගිකයන් බිහි වීම සත්ත්ව ලෝකය තුල ව්‍යාප්ත වන්නේ වඩා උසස්‌ සහ අර්බුද අවම ජීවන රටාවක්‌ බිහි කරගැනීම උදෙසා වෙයි. ද්විලිංගික ස්‌වරූපය ශාක ලෝකය ආක්‍රමණය කර ඇත්තේ ඉතා කදිම ආකාරයට ය. සැමට පොදු එහෙත් එක්‌ එක්‌ සත්ත්වයන් ගේ සුවිශේෂිතා විවිධාකාරයෙන් එම සතුන් ව්‍යාප්ත කිරීමට හේතු වී ඇත.

මේ රටාව දැනට ලොව ඇති උසස්‌ ම ව්‍යාප්ති ක්‍රමවේදයයි. එය සැමට ඉහළින් සිටින මිනිසාට ද අනෙකුත් සතුනට මෙන්ම පොදු වූ ධර්මතාව වේ. මිනිසා ඇතුළු සත්ත්ව ලෝකයේ සියල්ලන් ගේ ම ද්විලිංගික ආකර්ෂණයේ අත්‍යන්ත අරමුණ වන්නේ පරම්පරාව ඉදිරියට ගෙන යැම පමණ ය. ජෛව ලෝකයේ පැවැත්ම ආරක්‌ෂා වන්නේ එලෙසිනි. මේ අනුව සොබාවික ලෝකය අනුමත කරන්නේ කුමක්‌ ද යන්න සැමට ඉතා හොඳින් පැහැදිලි වෙයි.

සොබාවිකත්වයෙන් වියුක්‌ත වීම අනුමත කළ නොහැකි වන්නේ ඉන් කෙදිනක වත් ජීවයේ ප්‍රධාන අරමුණ සඵල නො වන බැවිනි. සැමට ඉහළින් සිටින මිනිසා ගේ ඉතා අපූරු සංවේදී සංස්‌කෘතිය තුළ දැන් දැන් විකසනය වන්නේ කෙතරම් දුරකට සොබවිකත්වය අනුගමනය කරන ක්‍රියාදාමයක්‌ දැයි යන්න ගැටලුවකි. දියුණු සංස්‌කෘතීන් හිමි යෑයි පිළිගන්නා මනුෂ්‍ය කොට්‌ටාස පවා සොබාවිකත්වයෙන් මිදෙන්නට උත්සාහ දරන බව පෙනී යයි. ජීවයේ අත්‍යන්ත අරමුණ සාක්‌ෂාත් නො වීම යනු වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් කෙතරම් දියුණු ජීවී කොට්‌ඨාශයක්‌ වුව පෘථිවියෙන් අතුගා දැමෙන්නට ඉතා ප්‍රබල ලෙස බලපාන හේතුවක්‌ බව සංස්‌කෘතියේ සහ සභ්‍යත්වයේ දිග පළල සොයන්නන් මෙන්ම මානව හිමිකම් සහ සත්ත්ව හිමිකම් පටලවාගන්නන් හොඳින් තම මතකයේ රඳවාගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...