Thursday 25 June 2020


භූ සංචාරිතය 15

This article is originally published on Vidusara 24.06.2020.


“වර්තමානය අතීතයට යතුර” බව පවසන්නේ නවීන භූ විද්‍යාවේ පියා වූ ජේම්ස් හට්න් (James Hutton) නම් වූ ස්කොටිස් ජාතික භූ විද්‍යාඥයායි. භූ විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් වූ මේ කියමන බොහෝ තැන්වලදී අප භාවිත කරන මුත් එය සෑම තැනකදීම නිවැරදිදැයි කීයෙන් කී දෙනෙකු අධ්‍යනය කර ඇත්දැයි නොදනී.  ඔහු මේ පවසන්නේ වර්තමානයේ සිදුවන බොහෝ සොබාවික ක්‍රියාදාමයන් ඒ ආකාරයෙන්ම අතීතයේදී ද සිදු වූ බවයි. ඇත්තටම එය කොතරම් දුරට නිවැරදි ද? වර්තමානයේ සිදුවන එකම ආකාරයේ භූ සංසිද්ධීන් සමුහයක් අතීතයේදී ද සිදුවුනා යයි පැවසීම මටනං තරමක් ප්‍රශ්නාර්ථමය කියමනක් බව පෙනී යයි. අතීතයේ දී සිදු වූ දේ පිළිබඳව අප අද අධ්‍යනය කරන්නේ වර්තමානයේ සිදුවන සිදුවීම් පාදක කරගෙන නම් වත්මනෙහි සිදු නොවන නමුත් අතීතයේ සිදු වූ භූ සංසිද්ධියක් ගැන අධ්‍යනය කරන්නේ කෙසේද යන්න පැහැදිළි කර ගත යුතුය. මේ අප කතා කරන්නේ භූ සංසිද්ධීන් ගැන නම් ඒවායේ වේගය සහ සොබාවය ගැන නම් එය ඉතා ප්‍රශ්නකාරී බව අමුතුවෙන් විස්තර කල යුතු නැහැ. විවිධ භූ විෂයන් හා භූ ක්‍රියකාරකම් ගැන කතා කරන විට මෙහි බරපතල තත්වයක් නොමැතිව මතුපිටින් පමණක් ගැලපෙන කියමනක් බවයි මටනං හැඟී යන්නේ. 


කොහොම වුනත් මේ ගැන ඔබට සිතන්නට ඉතිරි කර අපගේ භූ සංචාරිතය වෙත යමු. කලින් දිනක මා කී පරිදිම වෙරළබඩ පරිසරය භූ විද්‍යාඥයින්හට පර්යේෂණ සඳහා කදිම තෝතැන්නක් බව අමතක නොකළ යුතුය. එනිසා වෙරළබඩ පරිසරය අපගේ භූ සංචාරිතයේ අත්‍යවශය සංධිස්ථානයක් බව නොකියාම බැරිය. එනිසාම වරින් වර වෙරළට පැමිණ යන්නට මා හට අමතක නොවන බව මෙහි ලා සඳහන් කල යුතුය. මුහුදු මට්ටම උච්චාවචනය වීම වෙරළබඩ භූ සංසිද්දීන් පෙළ ගස්වන්නට සමත් ජගතායි. මේ ක්‍රියාදාමය නිසා කලෙක ගොඩ නගන වෙරළබඩ භූ සම්පත් නැවත වරෙක සියල්ල අතු ගා දමන්නට ක්‍රියා කරයි. මුහුද මට්ටම වෙනස්වීම යාමනය කරන්නේ පෘථිවියේ උෂ්නත්වයයි. කොටින්ම කිවහොත් හිරුගෙන් ලැබෙන තාපයයි. කුමන හෝ හේතුවන්  නිසා මෙහි වෙනසක් සිදුවන විට ඉතා පැහැදිළිවම මුහුදු මට්ටමෙහි උච්චාවචනයන් සිදු වේ. ලෝක උෂ්ණත්වය වැඩි වන විට ග්ලැසියර දිය වී සාගර වලට එක් කරන්නේ කලින් ගත් ණයක් ගෙවීමට මෙනි. ඒ ණය අරගෙන ඇත්තේ ශිත යුගයේදී හිම ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා වන අතර උෂ්ණත්වය වැඩිවන විට එම ණය ගෙවීමට සැමවිටම සිදුවනු ඇත. 


ලෝකයේ අවසාන ශිත යුගයේ උපරිමය සටහන් වන්නේ මෙයින් වසර 22000කට පමණ පෙර බව විද්‍යාඥයින් පවසයි. ඒ තත්වය වසර 10000 පමණ වන විට සමතයකට පත් වූ බවත් එනිසා අද පවතින තත්වයට මුහුදු ජල මට්ටම   වැඩි වූ බවත් විද්‍යඥයින් සොයාගෙන ඇත. වසර 10000 කින් පසු ආරම්භ වන්නේ හොලොසින කාලය පරිච්චේදය වන අතර එය නුතන මිනිසාගේ කාලය ලෙසද හඳුන්වයි. කොහොම වුනත් අයිස් යුගය නිම වුවායැයි විද්‍යාඥයින් පවසන්නේ මුත් අප හොඳින් දන්නා එක් සත්‍යක් වෙයි. ඒ තවමත් ධ්‍රැවයේ අයිස් තට්ටු නැතහොත් ග්ලැසියර පවතින බවයි. එසේ නම් අයිස් යුගය සත්‍ය ලෙසම අවසන් වී ඇතැයි පැවසීම ගැටළුවක් බව ඔබට පසක් වනු ඇත. සත්‍ය ලෙස අයිස් යුගය නිමා වන්නේ නම් ලොව පවතින සෑම අයිස් තට්ටුවක්ම නැතහොත් ධ්‍රැවයේ සියලු අයිස් දිය වූ පසුව බවයි මාගේ හැඟීම වන්නේ. කොහොම වුනත් මෙතනදී සඳහන් කල යුතු තවත් කරුණක් වෙයි. ඒ වසර 5000 දී පමණ නැවත වරක් මුහුදු ජල මට්ටම වැඩි වී නැවත අඩු වී අද පවතින තත්වයට පත් වී ඇති බවයි. 


මෙහි දී තේරුම් යන ඒක දෙයක් නම් වර්තමාන තත්වය අයිස් යුගයේ අවසාන අවස්තාව ලෙස පිළිගෙන ඇති බවයි. නමුත් එය කොතරම් සාධාරණ ද යන්න අප වටහා ගත යුතුය. ජේම්ස් හටන්ගේ නියමය පිළිපැදීම නිසා මෙම තත්වය පොදු තත්වයක් ලෙස දකින්නේද යන්නත් අප සාකච්චා කල යුතුය.  


කිරින්ද සිට තංගල්ල දක්වා වූ මුහුද තීරය ඉතා වැදගත් භූ සංසිද්ධියක් පාදක කරගත් ප්‍රදේශයක් බවත් භූ සංචරණයට ඉතා කදිම බවත් මෙහි ලා සඳහන් කල යුතුය. මුහුද ජල මට්ටමෙහි උච්ච්වචනය නිසා එහි ඍජු බලපෑමට ලක් වූ මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙහි පහත්බිම් වසා පවතින මුහුදු බෙල්ලන්ගේ කවච නිධි හේතුවෙනි. ඉතා පහත් බිම් වල විශේෂයෙන්ම කුඹුරු ආශ්‍රිතවද මෙම බෙලි කවච නිධි දැක ගත හැකිය. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ කලපු ආශ්‍රිතව මෙහි ව්‍යාප්තියේ සම්බන්ධයක් ඇති බව පෙනී යයි. බොහොමයක් බෙලි කවච නිධි හමුවන්නේ මුහුද වෙරළේ සිට කිලෝමීටර එකකට දෙකකට ඈතින් ගොඩබිම දෙසින් බව පෙනී යයි. වැදගත්ම කරණය වන්නේ මෙවැනි මුහුදු බෙලි කවච ගොඩබිමෙන් හමුවන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමයි. මෙවැනි මුහුදු බෙලි කවච නිධියක් බුන්දල උස්බිම් ප්‍රදේශයේ ද හමුවන බව මාගේ මතකයක් ඇත. මුහුද හා සම්බන්ධ මෙවැනි භූ රූපන සහ නිධි හමුවීමෙන් පවසන්නේ මෙහි ඇති වීම කෙරෙහි ඍජුවම මුහුදේ බලපෑමක් ඇති බවයි. එනම් මුහුද මට්ටම නැතහොත් මුහුද මෙම ප්‍රදේශයේ අතීතයේදී පැවති බවයි.   මුහුදු මට්ටම වැඩි කලෙක ගොඩබිම මුහුදෙන් යටවීම අනුමත කල හැක. පසු කාලීනව මුහුදු මට්ටම අඩුවන විට ක්‍රමයෙන් ගොඩ බිම දෙසින් ජලය බැස යන අතර වෙරළට වඩා ගැඹුරු වූ නිම්න කලාප වල ජලය එක් රැස් වී කලපු නිර්මාණය විය හැක. මෙම කලපු වල මුහුද බෙල්ලන්ගේ වර්ධනය සිදුවන අතර දෙපියන් බෙල්ලන් වැනි කෑමට ගත හැකි බෙල්ලන් විශාල වශයෙන් වැඩෙන පරිසර බවට පත් වේ. 


‘මිනිඇතිළිය’ යනු මෙම ප්‍රදේශයේ වූ අපුරු පහත් බිමක් වන අතර දැනට කුඹුරු කර්මාන්තයේ  යෙදෙන පරිසරයකි. වැළලී ගිය ‘මැණික් හාමි’ හමුවන්නේ මෙම ප්‍රදේශයේ එක් කුඹුරකින් වන අතර එම ප්‍රදේශය පුරාවටම භූ අභ්‍යන්තරයේ  දැක ගත හැකි වන්නේ මුහුදු බෙල්ලන්ගේ කවච වලින් පිරුණ භූමියක් බවයි. බොහෝ පුරා විද්‍යඥයින්ගේ මතය වුයේ මෙය පුරාන මිනිසා විසින් කා ඉවත දමන ලද බෙලි කටු නිධියක් බවයි. නමුත් මෙම ස්ථානය අහඹු ලෙස දැක බලා ගැනීමට භාග්‍ය ලද මාගේ නිගමනය වූයේ එය එසේ නොවන බවත් මෙය සොබාවිකව තැන්පත් වූ බෙලි කවච නිධියක් බවත්ය. ලෝකයේ විවිධ ස්ථාන වල එසේ බෙලි කවච නිධි හමුවිය හැකි වුවත් මාත් මාගේ මිතුරු මනොජ් ප්‍රසන්නත් සිදු කල පර්යේෂණයෙන් පැහැදිලි වුයේ මාගේ මතය නිවැරදි බවයි. මිනිසාගේ බලපෑමෙන් එය සකස් වූයේ නම් මෙම නිධියේ වැඩිපුරම හමුවන්නේ  වැඩුන බෙල්ලන්ගේ කවච වන අතර ඒ සඳහා හේතුවන්නේ සැමවිටම ආහාරය සඳහා මිනිසා ලබා ගන්නේ වැඩුන බෙල්ලන් බැවිනි. නමුත් අපගේ අධ්‍යනයෙන් හෙළි වුයේ විවිධ ප්‍රමාණවල බෙලි කටු හමුවන බවත් ඒවා බෙල්ලනගේ වර්ධනයේ එක් එක්අවධි නිරුපණය කරන බවත්ය. ඉතා කුඩා ප්‍රමාණයේ ලපටි බෙල්ලන්ගේ කවච හමු වීමෙන් මාගේ මතය තහවුරු වන අතර තව දුරටත් මුහුද මට්ටම අඩුවීම නිසා මෙම කලපු පරිසර එකවර සිඳී යාම මෙවැනි මුහුදු බෙලි කවච නිධි ඇති වන්නට හේතු වූ බව මාගේ අදහසයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...