Monday 30 January 2017

විදු පත් ඉරුව

2015  සැප්තෑම්බර්   23  බදාදා


පසුගිය සති කිහිපයේ ම සිදු වූ විවිධාකාරයේ අනතුරු හේතුවෙන් මනුෂ්‍ය ජීවිත ගණනාවක්‌ ම අහිමි වූ බව ජනමාධ්‍ය නැරඹූ ඔබට දැනගන්නට ලැබෙන්නට ඇත. මෙහි දී දුටු පොදු ලක්‌ෂණය වූයේ "අපරීක්‌ෂාකාරී ව ක්‍රියා කිරීම" මේ අනතුරුවලට ප්‍රධානව බලපෑ බවයි. එහෙත් මෙවැනි ම සිදුවීම් මෙයට පෙර ද බොහෝ සිදු වී ඇති බව ද නොරහසකි. මෙවැනි පෙර අත්දැකීම් සමාජගත වී "පරම උපහැරණ" නො වන්නේ ඇයි ද යන්න සමාජ විද්‍යාඥයන් ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තකි. තාක්‌ෂණය දියුණු වත් ම අවදානම බැහැර කරන්නට හෝ එය අවම වන ලෙස ක්‍රියා කිරීම හෝ බලාපොරොත්තු වුවත් එසේ නො වන බවට බොහෝ අත්දැකීම් ඇති බව සියුම්ව කල්පනා කළ හොත් ඔබට පසක්‌ වනු ඇත.

නිරන්තරයෙන් ම අලුත් වෙමින් අනතුරු අවම කරවන කාර්මික ඥානයකින් හෙබි රථවාහන ලොවට එක්‌ වෙද්දීත් එලෙස ම වූ ලෙස මහා මාර්ග පද්ධතිය දියුණු වෙද්දීත් මේවා භාවිත කරන උදවිය තව තවත් අපරික්‌ෂාකාරී වීම නම් කොහෙත් ම අනුමත කළ නොහැකි ය. මහා මාර්ගයේ දී ධාවකයා මෙන්ම එහි මගීන් ද, ප්‍රවාහයට එකතු වී ඇති අනෙකුත් රථවාහන ද මෙන්ම පදිකයන් ද මහාමාර්ගය විවිධාකාරයෙන් හාවිත කරන බව ද රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය එහි දී ද ඒ ආකාරයෙන් ම බලපවත්වන බව ද එය භාවිත කරන්නන් එක ලෙස සිහි තබා ගත යුතු කරුණකි. තවෙකකු ගේ ක්‍රියාවන් අනෙකා ගේ නාසය අග්ගිස්‌සෙන් කෙළවර වන බව ද, එනිසා ම තම නිදහස අගයන ඔබ සැවොම අනෙකා ගේ ද නිදහස ආරක්‌ෂා කිරීමට වග බලාගත යුතු බව සිහි තබාගත යුතු ය.


අද වන විට මිනිසුන් අතර වූ අෙන්‍යාන්‍ය අවබෝධය පස්‌සා දොරින් පලා ගොස්‌ ඇති බවට මෙවැනි සිදුවීම් ඉතා ප්‍රබල සාක්‌ෂ්‍ය සපයයි. යහපත් මානව සම්බන්ධකම් කදිමට සහ ප්‍රබලව වර්ධනය වූ සංස්‌කෘතියක විද්‍යාව සහ තාක්‌ෂණික අනුගත වීමේ නොපෑහීම ද මෙයින් මතු වන්නේ ය යන්න සැලකිල්ලට ගත යුත්තකි.

රටක දියුණුවට අෙන්‍යාන්‍ය සම්බන්ධය හා එකිනෙකා වටහාගැනීම ඉතා වැදගත් බව අප සැවොම හට හොඳින් ම පැහැදිලි වේ. මහා මාර්ග වැඩිදියුණු වන විට සහ අලුත්වැඩියාවන් කරන විට සිදු නො වන ආයතනික සම්බන්ධය සහ සමායෝජනය හේතුවෙන් නිරන්තරයෙන් ම නැවත නැවතත් එම මාර්ග, විශේෂයෙන් ම ජල නළ ද විදුලි සංදේශ නළ ද එලීමට සිදුරු කිරීම ඔබට අමුතු අත්දැකීමක්‌ නො වනු ඇත. එහෙත් මේ ආයතන අතර සමායෝජනයක්‌ සිදු වූවා නම් හෝ දූරදර්ශී ලෙස සැලසුම් සහගත වූවා නම් මෙවැනි අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදු නො වනු ඇත. විශේෂයෙන් ම අලුතෙන් නගර සහ මහා මාර්ග සැලසුම් කිරීමේ දී මෙවැනි පද්ධතීන් නිර්මාණය කිරීමෙන් අදාළ ආයතනවලට අමතර ආදායමක්‌ ද උපයාගත හැකි වේ.

කඳුකර ප්‍රදේශවල මහා මාර්ග ඉදි කිරීමේ දී තවත් බොහෝ දේ පිළිබඳව සැලකිලිමත් වීමට සිදු වේ. විශේෂයෙන් ම තියුණු බෑවුම් හරහා මාර්ග තැනීමේ දී ප්‍රමාණවත් ස්‌ථායිතාවක්‌ ඇති වන ලෙස බෑවුම් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. නැත හොත් වැඩි කල් නොගොසින් ම බෑවුමේ කැපූ ඇල්ල එසේත් නැතිනම් කණ්‌ඩිය කඩා වැටී මාර්ගයේ ගමන් කරන්නන් අනතුරට භාජන වනු ඇත. මේ ස්‌ථාන ප්‍රතිස්‌ථාපනයට විශාල මුදලක්‌ අවශ්‍ය වේ. මෙවැනි කඩාවැටීම් බොහෝ කඳුකර මාර්ගවල සුලබ දසුනක්‌ බව ඔබට සිහි වනු ඇත. මෙවැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකි බව පුරෝකථනය කිරීම එතරම් අපහසු කාරියක්‌ නො වේ.

මාර්ග තැනීම සැලසුම් කිරීමේ මූලික අවස්‌ථාවේ දී ම මේ පිළිබඳව අවධානය යොමු කර අවදානම් සහ අනතුරු අවම වන ආකාරයට මාර්ගයේ කණ්‌ඩි/බෑවුම් සකස්‌ කිරීම ද අවදානම් බෑවුම් තිර කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ද ඒ සදහා ප්‍රමාණවත් ලෙස ව්‍යාපෘතියෙන් මුදල් වෙන් කිරීම ද කළ යුතු ය. එලෙස ක්‍රමවත් ලෙස සැලසුම් කරන්නේ නම් මාර්ග තැනීමෙන් පසු ඇති වන අතුරු අනතුරු අවම වීමෙන් පසු කාලීනව වැය වන මුදල බෙහෙවින් අඩු කරගත හැකි වේ. එවැනි ක්‍රියාමාර්ග අනුගමනය නො කිරීමෙන් අනතුරට භාජන වී ඇති මහා මාර්ග සදහා කදිම නිදසුනක්‌ වන්නේ මහනුවර මහියංගනය මාර්ගයයි. නුවරඑළියේ හග්ගල මල්වත්ත කිට්‌ටුව මාර්ගයේ සිදු ව ඇති කණ්‌ඩි කඩා වැටීම තවත් නිදසුනකි. මේ ස්‌ථාන මෙලෙස අනතුරට ලක්‌ වීමට, ආයතන අතර ඉහත සදහන් කළ අෙන්‍යාන්‍ය සම්බන්ධය තර නො වීම ද එක්‌ හේතුවකි. එම ස්‌ථානයේ ඇති කණ්‌ඩියේ බෑවුම ප්‍රමාණවත් ලෙස සකස්‌ කිරීමට අවශ්‍ය ඉඩ ලබාගැනීමට අපහසු වීම එනිසා සිදු වී ඇති අතර, එය සිරස්‌ කණ්‌ඩි නිර්මාණයට හේතු වී ඇත. එහෙත් අවසානයේ අධික වර්ෂාපතනයත් සමග නො සිතූ ලෙස ඉතා විශාල බිම් ප්‍රදේශයක්‌ නාය යැමට ලක්‌ වීම අලාභය වැඩි කරන්නට හේතු වී ඇති බව ඒ ස්‌ථානය පසු කරන නැණවත් උදවියට වැටහෙනු ඇත. තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් ප්‍රායෝගික වීම ද දූරදර්ශී වීම ද ආයතනික ක්‍රියාවලිය තුළ දී අවශ්‍ය වන්නේ එබැවිනි.

කෙසේ වෙතත් කඳුකරයේ මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී පාංශු ඛාදනය ශීඝ්‍ර වන බව නොරහසකි. එමෙන් ම වන වැස්‌මට හානි සිදු වීම ද හේතු වෙන් සොබාවයෙහි තිබිය යුතු වූ නිශ්චිත කොළ පැහැය තවත් අඩු වෙයි. පසුගිය වකවානුවල දී සිදු වූ එවැනි ව්‍යාපෘති හේතුවෙන් අඩු වූ වන වැස්‌ම නැවත බලපාන්නේ වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අඩු කරලීමට ය. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දරුණු ම කඳුකර වනාන්තර විනාශය සිදු වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී බව අප ගේ අදහසයි. ඒ කෝපි, තේ ඇතුළු ආර්ථික බෝග වගා කිරීම හේතුවෙනි. මෙය අප රටට පමණක්‌ නො ව අනෙකුත් යටත්විජිත රටවල ද සිදු වූ මේ හරිත විනාශය වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ශීඝ්‍රව වැඩි කරන්නට හේතු වන්නට ඇති බව අප මොහොතකට වත් සිතුවා ද? කෙසේ වෙතත් යටත්විජිත වනාන්තර විනාශයේ සහ කඳුකර ආර්ථික බෝග වගාවේ අතුරුවිපාක මොනවා ද යන්න අප තවමත් නිසි පරිදි තේරුම් නො ගෙන ඇති බව ඔබට මෙයින් වැටහෙනවා ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව

2015  සැප්තෑම්බර් 30 බදාදා

සේයා දැරිය ගේ වියෝව මෙරට සැම ගේ හද කම්පා කරවන්නක්‌ වූ බව නිසැක ය. එමෙන් ම ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වීමත් සමග ම එක්‌තරා ආකාරයකට සාධාරණය ඉටු වූවා ය යන හැඟීමක්‌ බොහෝ දෙනකුට ඇති විය. එහෙත් එයින් සියල්ල සම්පූර්ණ විණි ද යන්න විමසා බැලිය යුතු ය. මවුපියනට ඇසක්‌ බඳු තම දියණිය අහිමි වෙද්දී තවත් අයකු දඟ ගෙට නියම වීමෙන් වත්මන් සමාජයේ ඇති වෙමින් පවත්නා සංස්‌කෘතික සෝදාපාළුව මකාලිය හැකි ද යන්න ද ගැඹුරින් විමර්ශනය කළ යුත්තකි. මේ අතර මේ සිදුවීම හා බැඳුණු පශ්චාත් සිද්ධි දාමයේ දී තවත් දරුවකු ගේ අනාගතය අඳුරු කරලීමට තරම් කාරණා සිදු වීම ගැන ද රට ම කතා කරයි. විද්‍යාත්මක සාක්‌ෂි එනතුරු ඉවසා සිටීමට නොහැකි වීම සහ සැකකරුවකු වරදකරුවකු ලෙස ඉස්‌මතු වන තරමට මාධ්‍ය තුළ හංවඩු ගැසීම යන කාරණා සියුම්ව විමසා බැලීමේ දී සමහර විටෙක මේ සිදුවීම තුළ තවත් අනාගත අපරාධකරුවකු ගේ අංකුරයක්‌ නිර්මාණය වන්නට ද බැරි නැත. මෙතුළින් ඉස්‌මතු වූ වැදගත් කරුණක්‌ වන්නේ කිසියම් සැකකරුවකු සාක්‌ෂි විමසා වරදකරුවකු ලෙස නිශ්චය කරන තුරු එම තැනැත්තා නිවැරැදිකරුවකු ලෙස සැලකීමේ වැදගත්කම සහ අවශ්‍යතාවයි.

කෙසේ වෙතත් මේ පාසල් දරුවාට චෝදනා එල්ල වීමට හේතු වූ ඔහු ගේ තරමට නො ගැලපෙන්නා වූ කාරණා, ඔහු ගැන ඇති වන්නා වූ අනුකම්පාවෙන් යටපත් වී යැමට සැලැස්‌විය යුතු ද නො වේ. එවැන්නකට ඔහු ගොදුරු වීමට තරම් හේතු වූ කරුණු කාරණා මොනවා දැයි යන්න අත්‍යවශ්‍යයෙන් සොයා බැලිය යුතු වේ.

මෙමගින් නිරුපණය වන්නා වූ කරුණු කාරණා කිහිපයක්‌ ඇති බව පෙනී යයි. පළමුවැන්න වන්නේ නව තාක්‌ෂණයේ භාවිතය සමග ඇති වී ඇති සමාජ ස්‌තර අතර වූ දරුණු පරතරය නැතිනම් ගැටුමයි. එපමණක්‌ නො ව එමගින් ඉතා විශාල ලෙස පරිහානියට පත් වන්නා වූ දේශීය සංස්‌කෘතියයි. අනෙක්‌ කරුණ වන්නේ ගෝලීයකරණය සහ විවෘත ආර්ථිකය ඇති කළ සමාජ විපර්යාසය තුළ ශ්‍රී ලාංකික ජන සමාජයේ අනාගතයේ විපරිණාමයයි. එසේ හෙයින් අසහනකාරී සහ අතිධාවනකාරී සිදුවීම්වලට ඉඩ නො තැබීම සදහා ද මේ සිදුවීම් දාමය පාඩමකට ගෙන වැඩිහිටි සමාජය ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු ය.

ඔබ සුප්‍රසිද්ධ "ෂර්ලොක්‌ හෝම්ස්‌" කතා කියවා හෝ නරඹා ඇති. ලෝකයේ බොහෝ දෙනකු ගේ අවධානයට පාත්‍ර වූ මේ කතා මාලාව තුළ අපරාධ පරීක්‌ෂණ ක්‌ෂේත්‍රය තුළ දී කෙතරම් අපූරු ලෙස විද්‍යාත්මක ක්‍රමවේද සහ තර්කනය භාවිත කරන්නේ දැයි මතකයට නැෙගනු ඇත. විද්‍යාත්මක ක්‍රම භාවිතය ඉතා විශ්වාසී ලෙස සහ නිවැරැදිව ම අපරාධකරුවන් හසු කරගැනීමට ඉවහල් වන ආකාරය කදිමට ඒ තුළ විස්‌තර කර ඇත. එමගින් පෙනී යන කරුණක්‌ වන්නේ තාර්කික ඥානය සහ විද්‍යාත්මක ක්‍රමවේදයේ භාවිතාව අපරාධ පරීක්‌ෂණය සදහා ඉතා වැදගත් වන බව සහ නිවැරැදි බව තහවුරු කරන බවයි. අප රට තුළ කෙතරම් දුරකට විද්‍යාඥයන් ගේ සේවාව මේ සදහා ලබාගන්නේ ද? එසේ ම වර්තමාන දේශපාලන ඇඟිලිගැසීම් වැනි බලපෑම් මත එවැනි සාක්‌ෂි ප්‍රබලව මතු වන්නේ ද යන්න ද පැටලිලි සහගත කරුණකි.

ඒක පුද්ගල නිශ්චය කිරීම් සදහා පමණක්‌ නො ව, බහු පුද්ගල සමාජ සන්දර්භය තුළ ද ඇති වන්නා වූ නොපැහැදිලි කරුණු කාරණා ලිහාගැනීම සදහා ද විද්‍යාත්මක ක්‍රමවේද භාවිතාව වැදගත් වේ. එහෙත් එම පර්යේෂණ මගින් උකහාගන්නා සාක්‌ෂි නිසි ලෙස සමාජගත නො වීම ඉතා අභාග්‍යසම්පන්න කරුණකි. මීට ඉතා කදිම උදාහරණය වන්නේ රතුපස්‌වල සිද්ධියේ දී අදාළ වගකිවයුතු ආයතන විසින් කරන ලද ජල පරීක්‌ෂාවන්වලින් ලද සාක්‌ෂි සහ එහි නිගමනයන් කිසි ලෙසකත් තවමත් මහජනතාවට දැනගැනීමට නො ලැබීමයි. මෑත කාලීන අනෙක්‌ අපූරු උදාහරණය වන්නේ, ලෝ ප්‍රකට එක්‌තරා බීම සමාගමකින් කැලණි ගඟේ ජල දූෂණයක්‌ සිදු වීමයි. ජනතාවට පිරිසිදු ජලය සැපයීමට බැඳී සිටින රජයේ ආයතන ජලයේ ගුණාත්මක බව වටහාගැනීමට සිදු කරන ලද පරික්‌ෂාවන් ගෙන් නිරීක්‌ෂිත කරුණු නිශ්චිත ලෙස ජනතාවට දැනුම් දීම පැහැර හැරීම, ජනතාවට නිවැරැදි කරුණු දැනගැනීමට ඇත්තා වූ අයිතිය අභියෝගයට ලක්‌ කරන අතර ම එම ආයතන පිළිබඳව ජනතාව තුළ වූ විශ්වාසය බිඳලීමට ද හේතු වේ. රටෙහි පරිසර ආරක්‌ෂණ ආයතන සෝඩා බෝතලය කැඩුවා සේ තීරණ ගැනීම ද, කල් යත් ම ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම ද මගින් ඉහත කී කරුණු තවදුරටත් සනාථ වේ.

සත්‍ය කරුණු ජනතාව ගෙන් සැඟවීමට සිදු වීම මේ පර්යේෂණවලට සම්බන්ධ විද්‍යාත්මක ආයතනවල දරුණු පසුබෑමක්‌ වන අතර මේ තත්ත්වය සදහා බලපෑ හේතූන් කවරක්‌ විය හැකි ද යන්න විමසා බැලිය යුතු ය. මෙවන් තීරණ පිටුපස දේශපාලන හස්‌තයන් ක්‍රියාත්මක වීම ද මීට සම්බන්ධ පෞද්ගලික සමාගම්වලට ජාත්‍යන්තර වශයෙන් ඇති කළ හැකි බලපෑම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. එමෙන් ම ශ්‍රී ලාංකික පර්යේෂණ ආයතනවල සමහර පර්යේෂණ සදහා නිසි පහසුකම් නොමැති වීම ද, සිදු කරන්නා වූ පර්යේෂණවල නිවැරැදිතාව පිළිබඳ ඇති සැකය ද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු අතර වේ. ආයතන ප්‍රධානීන් ගේ, පරිසර සහ ජනතා ආරක්‌ෂණය සදහා ප්‍රතිස්‌ථාපිත නීති රාමුවේ හිදැස්‌ පමණක්‌ නො ව යම් යම් දේ ආවරණය සදහා නීති සම්පාදනය වී නොමැති වීම ද වැරැදිකරුවන් හට ඉතා පහසුවෙන් ලිස්‌සා යැමට මාර්ගය තනා දෙන බව පෙනී යන කරුණකි.එමෙන් ම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක්‌ ය යන්න තවදුරටත් තහවුරු කරන්නට ද මේ සිදුවීම ඉතා ප්‍රබල හේතුවක්‌ වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදුපත් ඉරුව
2015  ඔක්‌තෝබර් 07 බදාදා


බ මාරි කියුරි ගැන අසා ඇතිවාට සැකයක්‌ නැහැ. බටහිර විද්‍යා ක්‌ෂේත්‍රය තුළ ඈ ඉතා වැදගත් චරිතයක්‌ වන්නේ "විකිරණශීලිතාව" ලොවට හඳුන්වා දීමත් විකිරණශීලිතාව පෙන්වන මූලද්‍රව්‍ය දෙකක්‌ ලොවට හඳුන්වා දීමත් පමණක්‌ නිසා නො වේ. එකිනෙකට වෙනස්‌ විද්‍යා ක්‌ෂේත්‍රයන් (භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව) උදෙසා නොබෙල් ත්‍යාගය දෙවරක්‌ දිනාගත් ලොව ප්‍රථම සහ එක ම කාන්තාව පමණක්‌ නො ව එක ම පුද්ගලයා ද වන්නේ ඇයයි. ඉතා අපූර්වතම කරුණ වන්නේ ඇගෙන් ලද මේ ආදර්ශය නිසා එම පවුල නොබෙල් ත්‍යාග පහක්‌ ම දිනාගන්නට සමත් වී තිබීමයි.

අනෙක්‌ විශේෂත්වය වන්නේ මහාචාර්ය මාරි කියුරි තම උපන් බිම වන පෝලන්තයට දැඩි ව ආදරය කිරීමයි. එනිසා ම ඈ විසින් සොයාගන්නා ලද එක්‌ මූලද්‍රව්‍යයක්‌ තම මවු බිමට ගරු කිරීමක්‌ ලෙස "පොලෝනියම්" යෑයි ඇය නම් කළා. ඈ සොයාගත් දෙවැනි මූලද්‍රව්‍යය වන්නේ රේඩියම්.

ඉතා ම කැප වීමෙන් තම පර්යේෂණ මෙහයවූ ඇය මුල් අවධියේ දී දුෂ්කර ජීවිතයක්‌ ගත කළ බව සදහන්. කෙසේ වෙතත් පර්යේෂණ සදහා ප්‍රමුඛතාව ලබා දුන් මහාචාර්ය මාරි කියුරි බටහිර විද්‍යා ලෝකය තුළ උත්කෘෂ්ට විද්‍යාඥවරියක වූ ආකාරය කදිමයි, පරමාදර්ශීයි.

අප සිදු කරන්නාවූ සැම කර්තව්‍යයක්‌ ම සදහා කැප වීම සහ උනන්දුව අත්‍යවශ්‍යයි. එය විද්‍යා ලෝකය තුළ දී තීරණාත්මක කරුණක්‌. තම දිවිය ම පර්යේෂණ උදෙසා කැප කරන තැනැත්තන් එකල සිටියා. පර්යේෂණ සදහා වූ කුතුහලය සහ එයින් ලබන්නා වූ ප්‍රතිඵල තම වින්දනය බවට පත් කරගෙන ඇති බව බොහෝ විද්‍යාඥයන් ගේ ජීවිත ගමන නිරීක්‌ෂණයෙන් පැහැදිලි වනවා. ඒ හේතුවෙන් නවතම මෙන්ම බොහෝ සැඟවුණු දේ ද ලෝ වැසියන්ට ඉදිරිපත් කරන්නට ඔවුනට හැකි වී ඇති බව නොරහසක්‌. මෙලෙස එක්‌ අයෙක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණ ලොවෙහි ගමන් මග නිති වෙනස්‌ කරන්නට හේතු වී ඇති බව ඔබට වැටහෙනවා නිසැකයි.

අද වන විට බටහිර විද්‍යාව ලොව පුරා පැතිරී ගොසින් එනිසා ම විවිධ අධ්‍යයන ක්‌ෂේත්‍රයන් ලොව බිහි වෙලා. සන්නිවේදන තාක්‌ෂණය දියුණු වීමත් සමග ම එය වඩා ප්‍රබලව ව්‍යාප්ත වී තිබෙනවා. විවිධ පර්යේෂණ, නව සොයාගැනීම් සහ නවතම නිෂ්පාදන අසුරු සැණින් දැනගැනීමටත් එනිසා හැකියාව ලැබී තිබෙනවා. නිර්ව්‍යාජ පර්යේෂණ මෙන්ම ව්‍යාජ පබැදුම්වලට ද මෙනිසා අවකාශය ලැබෙනවා. කෙසේ වෙතත් ඒ අතරින් සත්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් මෙලොවෙහි "සදාකාලික" වී සිටිනවා.

ශ්‍රී ලංකාවේත් පසුගිය දශක කිහිපය තුළ ඉතා ශීඝ්‍රව බටහිර විද්‍යාව ප්‍රමුඛ ලෙස පැතිරෙමින් පවතිනවා. ඇත්තෙන් ම අප රටෙනුත් ලොවට විද්‍යාඥයන් බිහි වන්නේ ද? මේ කරුණ ඉතා සියුම් ව විග්‍රහ කළ යුත්තක්‌. මෙරටෙහි විද්‍යාව ප්‍රචලිත කරන්නා වූ සහ විද්‍යාඥයන් බිහි කරන්නා වූ ආයතන තිබේ ද? බටහිර විද්‍යාවේ විවිධ විෂය පථයන් නියෝජනය කරන්නා වූ ආයතන මෙරටෙහි ඇතත් ඒවා කෙලෙස කොපමණ ආකාරයෙන් විද්‍යාඥයන් හෝ පර්යේෂකයන් බිහි කරන්නා වූ තිඹිරි ගෙවල් වී ඇත් ද යන්න ගැටලුවක්‌. අපරදිග හෝ පෙරදිග දැනුම් පද්ධතිය මූලික කරගෙන බිහි වන පර්යේෂකයන් ඇත්තේ ඉතා අතළොස්‌සක්‌ බව පෙනී යන සත්‍යයක්‌. එසේ නම් ගැටලුව ඇත්තේ කොතැන ද? එය කුමක්‌ විය හැකි ද?

මෙරටෙහි ප්‍රධාන විශ්වවිද්‍යාල ඒ සදහා කොපමණ දායකත්වයක්‌ දක්‌වන්නේ ද? නිදහස්‌ චින්තනයකින් හෙබි දක්‌ෂ තාර්කිකයන් සහජයෙන් බිහි වුවත් අද පවතින අධ්‍යාපන රාමුව තළ ඔවුන් සිරකරුවන් බවට පත් කරන්නේ ද යන්න විටෙක පැන නඟින පැනයක්‌. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්‌ටමේ පර්යේෂණ සහ සොයාගැනීම් උදෙසා දායකත්වය සපයා ඇති බව නොරහසක්‌. එයින් පෙනී යන කරුණ නම් බොහෝ දක්‌ෂයන් මේ අතර වන බවයි.

පර්යේෂණයේ දක්‌ෂයන් හට නියමාකාරයෙන් තම පර්යේෂණ සිදු කිරීම සදහා අවස්‌ථාව මෙරට පරිපාලන සන්දර්භය ලබා දෙන්නේ ඉතා ම අඩුවෙන් බව ප්‍රායෝගිකව අත්දැකීමට හැකි කරුණක්‌. වෘතිකයන් ආයතනික රාමුව තුළ දී "විද්‍යාඥයන්" ලෙස හදුන්වා දුන්නත් ඔවුන් විද්‍යාඥයන් ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට කොපමණ යොමු කරන්නේ ද, ඒ සදහා කෙලෙස පොලඹවන්නේ ද යන්න සාකච්ඡා කරන විට පෙනී යන කරුණ නම් එය ඉතා ශෝචනීය තත්ත්වයක්‌ බවයි. තම ආයතනය තුළ නමට පමණක්‌ "විද්‍යාඥයන්" බඳවාගන්නා මෙරට ඇති ආයතන ඔවුන් ගේ නිදහස්‌ චින්තනය "අට-පහ" කාර්යාල කාල සීමාවට පමණක්‌ සීමා කරන බව අත්දුටු සත්‍යයක්‌. "පැය අටේ" සේවය තුළින් ලැබෙන්නා වූ සොච්චම් වේතනයකට හිර කර ඇති මේ ආයතනවල සේවය කරන දක්‌ෂ පර්යේෂකයන් ගේ සේවය නිසි ලෙස යොදවාගැනීමට නිවැරැදි නිශ්චිත වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නො තිබීම සහ ඔවුන් නිසි ඇගයීමකට ලක්‌ නො වීම නිසා දක්‌ෂයන් එම ආයතනවලින් බැහැර වී පර්යේෂණ සිදු කළ හැකි වෙනත් අවස්‌ථාවන් සොයා යන බව ද එසේත් නැතිනම් ඒ සියල්ල අතහැර මුදල් සෙවීම අරමුණ කරගෙන විදෙස්‌ගත වන බව ද ඉතා පැහැදිලි කරුණක්‌. එලෙස මෙරටින් බැහැර ව ඉහත කී ආකාර දෙකෙන් ම සාර්ථක වූවන් සදහා බොහෝ සාක්‌ෂි තිබෙනවා. මෙරට නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵල අප විසින් ම වෙනත් රටවලට භුක්‌ති විඳීමට සලස්‌වනු ලබන්නේ මේ ආකාරයෙන් බව සැමට මනාව තේරුම් යන්නක්‌ නො වේ ද ?

මෙහි දී වැටහී යන තවත් කරුණක්‌ වන්නේ අදූරදර්ශී සහ ළපටි ආයතනික නායකත්වය ද මේ සදහා ප්‍රබල හේතුවක්‌ වන බවයි. මුහුකුරා නො ගිය පරිපාලන නායකත්වයේ ප්‍රතිඵල වන්නේ පර්යේෂණ හෝ විද්‍යාත්මක යෙදීම්වල අවශ්‍යතාව නිසි පරිදි හදුනා නො ගැනීමයි. පුද්ගල දායකත්වය සහ පුද්ගල දක්‌ෂතා හඳුනා නො ගැනීමයි. විද්‍යා සහ පර්යේෂණවල දැනුමේ භාවිතය මෙරටෙහි ආර්ථික වර්ධනයට දක්‌වන දායකත්වය ඇසුරු සැණෙකින් සහ Rජු ව ම නො පෙනුණත් දීර්ඝ කාලීනව සිදු වන බලපෑම එනිසා ම මෙවැන්නන් හට නො පෙනන බව නම් කිව යුතු නැහැ. මෙවැනි පසුබිමක විද්‍යා පර්යේෂකයන් මෙරටෙහි කෙසේ නම් බිහි වන්න ද?

පෙරදිග හෝ අපරදිග හෝ වේ වා, විද්‍යාව නම් සත්‍ය ගවේෂණයයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...