Thursday 25 July 2019

විදුපත්ඉරුව
09.11.2016

ඊසානදිග මෝසම නිසා මෙරටට ආයෙත් වැසි සමය උදා වෙලා. දිවයිනේ බොහොමයක්‌ තැන්වලට සැලකිය යුතු වර්ෂාවක්‌ ඇති වෙමින් පවතින බවයි පෙනෙන්නේ. නිවර්තන කලාපීය රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට කදිමට ලැබෙන උණුසුමත් අධික වර්ෂාපතනයත් බහුතරයක්‌ වූ මෙරට භුමිභාගය නිර්මාණය කරන විපරීත පාෂාණ (Metamorphic Rocks) ජීර්ණයට ලක්‌ කරන්නට හේතු වනවා.

මේ පාෂාණ ජීර්ණයේ අවසාන ප්‍රතිඵලය වනුයේ පාංශු ස්‌තර නිර්මාණයයි. භෞතික ජීරණයෙන් කැබැලි වන්නා වූ මවු පාෂාණ රසායනික ජීර්ණය හේතුවෙන් ස්‌ථායි ඛනිජ නිර්මාණය කරනවා. මේවා ද්විතීයික ඛනිජ. පාෂාණ ජීර්ණය බොහෝ විට රඳා පවතින්නේ එහි ඛනිජ සංයුතිය මතයි. ෆෙල්ඩ්ස්‌පා (Feldspar) නම් වූ ඛනිජය බහුල පාෂාණ ඉතා පහසුවෙන් ජීර්ණයට ලක්‌ වන්නේ මේ ඛනිජය ජලය ද ඔක්‌සිජන් ද සමග ඉතා කදිමට ප්‍රතික්‍රියා කර මැටි ඛනිජ නිර්මාණය කරන්නට හේතු වන බැවින්. එහෙත් කිරිගරුඬ (Marble) හෝ හුණුගල් (Limestone) ජීර්ණයේ දී සිදු වන්නේ තරමක්‌ වෙනස්‌ ක්‍රියාදාමයක්‌. වැසි ජලය ද මතුපිට ගලා යන ජලය ද බොහෝ විට තරමක්‌ ආම්ලික අතර එනිසා ඉතා පහසුවෙන් මේ පාෂාණ දිය වීමට ලක්‌ වනවා. තිරුවානා (Quartz) ඛනිජයෙන් සමන්විත පාෂාණ ජීර්ණයට ලක්‌ වන්නේ ඉතා අඩුවෙන්. එයට හේතුව වන්නේ තිරුවානා ඛනිජය ජීර්ණයට දක්‌වන ප්‍රතිරෝධිතාවයි.

ඉහළ කඳුකරයේ පිහිටි පාෂාණ ජීර්ණය වී පාංශු ස්‌තර නිර්මාණය කළ ද වැඩි වන ඝනකම නිසා වැඩි කාලයක්‌ ස්‌ථායි ව පවතින්නේ නැහැ. අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ පාංශු ස්‌තර අස්‌ථාවර බෑවුම් තනමින් ගිලිහෙන්නේ කඳුකරයට විටෙක ඉතා භයානක තත්ත්වයන් ඇති කරමින්. ඒ නාය යැම් ඇති කරමින්. මෙමගින් ඇති වන සුන්පහන් අවසාදිත (Colluvial Sediments) සියලු වර්ගවල කණිකා සහිත වූ මිශ්‍රණයක්‌. බෝල්ඩර ප්‍රමාණයේ පමණ වූ කැබැලි ද කොබලු, පෙබලු, බොරලු පමණක්‌ නො වේ විවිධ ප්‍රමාණවල වැලි ද මැටි කණිකා ද මේ මිශ්‍රණයේ අඩංගුයි. මේ සැම කණිකාවක්‌ ම ඉතා රළු වන අතර කෝණාකාර තියුණු මුළු සහිත ඒවා වනවා. පාෂාණ කැබැලි පමණක්‌ නො ව ඛනිජ කණිකා ද කැබැලි ලෙස මේ මිශ්‍රණයේ පවතිනවා.

කඳුකරයට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ලිහුණු කණිකා සහිත සුන්පහන් අවසාදිත ඉතා පහසුවෙන් දිය වී ගලා යන්නේ බෝල්ඩර වැනි විශාල පාෂාණ කැබැලි මග දිගට ඉතුරු කරමින්. මැටි ඛනිජය හේතුවෙන් ඇති කරන ලිහිස්‌සුම් බවත් වර්ෂා ජලයේ ප්‍රභාලතාවත් හේතුවෙන් මේ විශාල පාෂාණ කැබැලි තරමක්‌ දුරට පහළට තල්ලු වන අතර බෑවුමේ ආනතිය අධික වීම මේ ගමනාගමනය තවදුරටත් පහසු කරවන්නක්‌. ඉතා පහසුවෙන් කුඩා කණිකා වන කොබලු, පෙබලු, බොරළු, වැලි සහ මැටි ජලයේ සේදෙමින් ද ජල පහරේ වේගය හේතුවෙන් ද පහළට තල්ලු වන්නේ ක්‍රමයෙන් මේ සියල්ල ජල කඳුරුවලට එක්‌ වෙමින්. මළකඩ ද සමගින් මැටි ඛනිජ බවට පත් වෙමින් තවමත් ජීර්ණය වෙමින් පවතින පාෂාණ සහ ඛනිජ කැබැලි ද මේ අතරේ තම ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීමට තැත් කරනවා.

මග දිගට ඇති වන විවිධ බාධා හේතුවෙන් කෝණාකාර හැඩයෙන් යුක්‌ත වූ පාෂාණ සහ ඛනිජ කැබැලි ක්‍රමයෙන් තියුණු බව ගිලිහී ගෝලාකාර වන්නට පටන්ගන්නේ භෞතික ජීර්ණය පමණක්‌ නො ව රසායනික ජීර්ණය ද එක විට ක්‍රියාත්මක වන නිසාවෙන්. ගමන් කරන දුරට සාපේක්‌ෂ වන කැබැලිවල ගෝලාකාර බව ද මෘදු බව ද ඉතා හොඳින් සපථ වන්නේ ගංගාවක පහළ කෙළවරේ ගොඩ ගැසෙන විවිධ අවසාදිත ගොනු පරීක්‌ෂාවට ලක්‌ කළ විටයි.

ජීර්ණය හේතුවෙන් වෙනස්‌ වන ඛනිජ කොතෙක්‌ වුවත් තිරුවානා ඛනිජය නම් පහසුවෙන් ජීර්ණයට ලක්‌ නො වීම ඒ ඇසුරෙන් ගොඩනැගුණු භුමි භාගයන් ඉතා ඉහළට ඔසවා තබන්නට හේතු වනවා. පාෂාණවල ඇති වූ විභේද, පැලුම් සහ කුස්‌තුර වැනි වූ දුර්වල කලාපයන් හේතුවෙන් විවිධාකාරයෙන් නිම්න බිහි වන්නේ වැසි ජලය ගලා යන්නට කදිම මාර්ග සකස්‌ කරමින්. භෞතික ජීර්ණයේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙලෙස බිහි වන නිම්න ශීඝ්‍ර බෑවුම්වලින් යුක්‌ත වන්නේ ඉතා ඉහළින් පිහිටි කඳුකරයේ ලාක්‌ෂණික පෙන්වමින්. බෑවුමේ ශීඝ්‍ර බව වැඩි වන්නට වැඩි වන්නට බෑවුමේ රැඳෙන පාංශු ස්‌ථරයේ ඝනකම අඩු වන අතර විටෙක සියලු පාංශු කොටස්‌ සහ අවසාදිත ගිලිහී යවන්නට හේතුවක්‌ වනවා. ඛාදනය එතරම් ප්‍රබල වන විට නග්න වන්නා වූ මවු පාෂාණය තව තවත් ජීර්ණයට ලක්‌ වන්නේ නිතැතින්.

මෙරට බහුල විපරීත පාෂාණ වන නයිස්‌ (Gniess) පාෂාණ විවිධ වර්ග වනවා. ගානට්‌ නම් වූ ඛනිජය ද, කළු පැහැති මයිකාවක්‌ වන බයෝටයිට්‌ නම් ඛනිජය ද හෝන්බ්ලෙන්ඩ් නමැති ඛනිජය ද මූලික කරගත් නාමකරණයක්‌ මේ නයිස්‌ පාෂාණවලට හිමි වුවත් තිරුවානා සහ ෆෙල්ඩ්ස්‌පා නම් ඛනිජ දෙක ද අපූරුවට ගොඩනැගුණ පත්‍ර න්‍යාස තලය ද එහි ලාක්‌ෂණික වනවා. මේ හේතුවෙන් සාපේක්‌ෂව ජීර්ණයට වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නේ මුත් තිරුවානා ඛනිජය බහුල අවස්‌ථාවල දී ජීර්ණයේ ප්‍රබලතාවට පිටුපාන්නේ උස්‌ බිම් නිර්මාණය කරමින්. තෙත් කලාපයේ දී අධික ජීර්ණය ආරුඪ කරගන්නා ඕනෑ ම පාෂාණයක්‌ වියළි සහ අර්ධ ශුෂ්ක කලාපවල දී නිහඬතාව රකින්නේ උණුසුම කොතෙක්‌ වුවත් වර්ෂාපතනයේ හිඟ බව දැඩිව දැනෙන නිසාවෙන්.

ඛාදනය නිබඳව ම ජීර්ණයට සහාය දක්‌වනවා. ලොව මතුපිට පවතින සැම පාෂාණයක්‌ ම රුදුරු ජීර්ණයට නතු වන්නේ එයින් බේරීමට කිසිදු ලෙස හැකි නො වන හෙයින්. නිවර්තන කලාපයේ පිහිටි පාෂාණ නිබඳ ව ම ඉතා දුක්‌ඛදායක තත්ත්වයකට පත් වන බව නම් අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...