Thursday 3 September 2020

කල්පිටිය වාලුකා නිධියේ විකසනය ...!!!

භූ සංචාරිතය 25

This artcile is originally published on Vidusara 02.09.2020.

කල්පිටිය ඉතාම සුන්දර සංචාරක නාවතැනක්. එපමණක් නොවේ එය අපට හමුවන ඉතාම කදිම අනවහිරත ජල නිධියක්. සමුද්‍රාසන්නයේ හමුවන දුලභ සුපිරිසිදු භූ ගත ජල නිධියක් ශ්‍රී ලංකාවේ හමුවන්නේ නම් ඒ කල්පිටියයි. වර්ෂා ජලයෙන් ප්‍රතිපෝෂණය වන මේ අපූරු අනවහිරත ජල නිධිය මේ වන විට අපරික්ෂාකාරී නවීන බටහිර කෘෂිකර්මය ක්‍රමයෙන් ගිල ගන්නා බව නම් අමතක නොකළ යුතුය. නා නා ප්‍රකාර රසායනිකයන් ජල නිධියට එකතුවන්නට අරන් දශක පහක පමණ කාලයක් ගත වී ඇත. අර්ධ ශතකයක කාලයක් තුල ජල  නිධියේ ගුණාගුණ අති ප්‍රභල ලෙස වෙනස් කරන්නට හේතු වී ඇති බව පසුගිය කාල වකවානුවේ මා සිදු කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

ජලයේ තිබිය යුතු නයිට්‍රේට ප්‍රමාණය වන්නේ ලීටරයකට මිලිග්‍රෑම් 10 ක් පමණ වනමුත් මේ වන විට ඒ සීමාව දශගුණයකින් පමණ ඉක්මවා ඇති බව තහවුරු වී ඇත. මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ හිතු මනාපේ යූරියා පොහොර භාවිතයයි. සීමාව ඉක්මවා යන ආකාරයේ භාවිතයක් ඇති බව මා කල සමීක්ෂණ වලින් තහවුරු වුණි. මෙම තත්වය ඇති වන්නට ප්‍රධාන කොටම හේතුවන්නේ මේ ජල නිධිය නිර්මාණය වී ඇත්තේ ඉතා සියුම් වැල්ලෙන් වීමයි. සම්පූර්ණ කල්පිටිය භුමියම නිර්මාණය වී ඇත්තේ සියයට අනුනමයක්ම වූ මෙම සියුම් සිලිකා වැල්ලෙනි. එනිසා මැටි හෝ කාබනික ද්‍රව්‍ය වගාවට සුදුසු පරිදි ප්‍රමාණවත්ව මෙහි දක්නට නොමැත. එමෙන්ම සියුම් වැල්ලෙන් නිර්මාණය වීම සවිවරතාවය වැඩිකරලන්නට හේතු වී ඇත. පාරගම්‍යතාවය අධික මෙම වාලුකා නිධිය එනිසා කිසිවක් මතු පිට රඳවා ගන්නේ නැත. ජලයේ පහසුවෙන් දියවෙන සියලු දේ භූ අභ්‍යන්තරයට රැගෙන යන්නට වැඩි කාලයක් ගත නොවේ. එනිසා මෙහි වගාකරුවන්නට දිනකට දෙතුන් වාරයක්ම තම වගාවට ජලය සපයන්නට සිදු වී ඇත. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ද සරල නල ළිං මගින් ලබා ගන්නා මෙම නිධියේම ජලයයි.

දිනකට දෙතුන්වරක් ජලය සැපයීම මගින් සිදුවන්නේ වරින් වර වගාවට ලබා දුන් රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනිකයන් ද දියවී භූ ගත ජලයට එක් වීමයි. මේ කිසිවක් නොවේ නම් මෙහි ඇති ජලය ඇති පිරිසිදු භාවිතයට කදිම ජලය වේ. මෙවැනි ජල නිධියක් බිහිවන්නට ප්‍රධාන හේතුව වන්නේ ඉහත කි ලෙස තිරුවානා වැලි වලින් සමන්විත වීමත්, ඊසාන දිග මෝසමෙන් ප්‍රති පෝෂණය වීමත්ය.

කල්පිටිය වාලුකා නිධියේ විකසනය ඉතා අපූරු භූ විද්‍යාත්මක සංසිද්ධියකි. කදිම කතාන්දරයකි. කල්පිටියේ අවසාදිත පමණක් නොව ජලයේ රසායනික ගුණාගුණ ද පදනම් කර ගනිමින් එහි විකසනය පහදන්නට මා කල පර්යේෂණයෙන් මා හට හැකි විය. ඒ කතාව නම් මෙසේය.

කල්පිටිය අර්ධද්වීපය නිර්මාණය කරන වාලුකා නිධි බිහිවන්නේ වසර 12,000 කට පමණ පෙර වන අතර ඒවා වෙරළාසන්නයේ කෝණාකාර නිධි ලෙස තැන්පත් වන්නේ උණුසුම් සහ තෙත් කාලයේ මෙරට අභ්‍යන්තර දිය දහරා  මගින් වෙරළට ගෙන එන ලදුවයි. කෙසේ වෙතත් මේ කාලය අධික සීතලෙන් යුක්ත ග්ලැසියර යුගයේ අවසාන භාගය වන අතර එනමුත් තවමත් මුහුදු මට්ටම පැවතියේ අද පවතින මට්ටමට වඩා පහතිනි. මෝසමෙන් පණ ගහන එක එල්ලේම දිවයන දිගු දුර දියවැල් මෙම කෝණාකාර වාලුකා නිධි සමතලා කර උතුරදකුණු  දිශානුගතව තැන්පත් කරන්නට සමත් වන්නේ කුඩා කුඩා නිධි තැනින් තැන තනමිණි. වාලුකා නිධියේ වැලි ඛණිකා රට අභ්‍යන්තරයෙන් උපදින නිසා සාපේක්ෂව මුහුදු බෙල්ලන් සහ හිරිගල් කැබලි අඩු වන්නේමය. එනිසා මෙම අනවහිරත ජල නිධියේ ජලයේ සාපේක්ෂව ඇති කැල්සියම් කබෝනෙට් ප්‍රමාණය අඩුය.

ඒ අතර කාලයේ මුහුදේ හට ගන්නා තිමිර පාෂාණ (beach rock) බාධකයන් ලෙස ක්‍රියා කරමින් සමතලා වෙමින් පවතින වාලුකා නිධිය ක්‍රමයෙන් බාධක දිවයින් බවට තව දුරටත් ක්‍රියා කරයි . පසුව ඒවා ක්‍රමයෙන් ප්‍රධාන ගොඩබිමට සම්බන්ධ වී කලපු නිර්මාණය කරයි. ඒ වසර 7500 කට පමණ පෙරයි.

වසර 6000 ක් පමණ වන විට ශිත යුගයේ අවසානය හේතුවෙන් ඇතිවන අධික ජල කාන්දුව මුහුදු මට්ටම වැඩි කරන්නට හේතු වෙයි. එනිසාම මෙම කුඩා දිවයින් පෙළ මුහුද වතුරෙන් යට වන අතර ක්‍රමයෙන් නැවත මුහුද මට්ටම අඩු වූ  නිසා (නැවත ලෝකය සිසිල් වීමෙන් ධ්‍රැවාසන්න හිම තර වීමෙන්) ඉලිප්පෙන වාලුකා නිධි පෙළ දිගු දියවැල් මගින් අත්කරන ලද වාලුකා ප්‍රවාහය හේතුවෙන් එකට එකතු වී දීර්ඝ බාධක දිවයිනක් නිර්මාණය කරන්නේ පසුව දකුණෙන් ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධ වී අර්ධද්වීපයක් බවට පත් වීමයි. ජලයෙන් ඉල්පුණු වාලුකා නිධිය වෙරළාසන්නයේ ඇති වැලිකඳු (sand dune) බිහිවන්නේ එකල පැවති ශිත වියලි කාලගුණය හමුවේ ඇතිවන අධික සුළං ධාරා හේතුවෙන් බවයි පැහැදිලි වන්නේ. ක්‍රමයෙන් මෙලස විකසනය වූ කල්පිටිය වාලුකා නිධිය එලෙසයි අද පවතින තත්වයට පත් වූයේ. මේ විකසනය අර්ථකථනය සඳහා විශේෂයෙන්ම වාලුකා නිධියේ අවසාදිත ලක්ෂණ මෙන්ම අනවහිරත ජල නිධියේ ජලයේ රසායනික ගුණාගුණ ද උපයෝගී කරගත් බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.   

මෙහි වූ විශේෂත්වය වන්නේ මෙම වාලුකා නිධිය තැන්පත් වන්නේ වසර මිලියන 25 ක් පමණ පැරණි මයෝසින හුණුගල් තට්ටුව මත වීමයි. එමෙන්ම කුඩා දිවයින් ලෙස ආරම්භ වූ මෙම භූ ව්‍යුහය පෙන්නුම් කරන්නේ පහක් හයක් පමණ වෙන් වෙන්ව ඇති කුඩා කුඩා ජල නිධි එතුල ඇති බවයි. මෙය ඉතාම හොඳ පිහිටීමක් බව තේරුම් යන්නේ මෙහි ජල කළමනාකරණය ගැන සිදු කරනා කතා බහේදීය. මන්ද යත් එක් එක් ජල නිධි එකිනෙකා අසම්බන්ධිත නිසා එක් එක් නිධියට එක් වන ජල දූෂක අනෙකට දිය වී යන්නේ නැත. එනිසා කුඩා කුඩා ජල නිධි වලට එකතුවන දූෂක පාලනයෙන් අනෙක් ජල නිධිය අරක්ෂා කර ගත හැකිය.

කෙසේ වෙතත් මෙරට ජල පාලන ආයතන මේ සඳහා පමණක් නොව රට වටේම වූ වාලුකා ජල නිධි කළමණාකරණය සඳහා ඉක්මන් සහ විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කල යුතුව ඇත. එසේ නොකරන්නේ නම් වෙරළාසන්නයේ සිදුවන මෙවැනි මානව ක්‍රියා මේ කදිම ජල නිධි ඈවර කරන්නට වැඩි කාලයක් ගත කරන්නේ නැත. අප  අමතක නොකළ යුත්තේ කල්පිටියේ නිෂ්පාදනය වන එළවලු සහ පළතුරු වල ඉතා අධිකව නයිට්‍රටේ සහ කෘෂි රසායන අඩංගු වීමේ දැඩි ප්‍රවණතාවක් ඇති බවත්, මෙම රසයනයන්ගේ භාවිතය සඳහා යම් කිසි පාලනයක් අවශ්‍ය බවත්ය. එසේ නොමැති නම් වාලුකා නිධි වල සිදු කරන කෘෂි කර්මාන්තය වහා නැවතීමට පියවර ගත යුතුව ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...