Wednesday 1 January 2020


අගස්‌ති මාල

This article was originally published in Divaina on 01.01.2020.
https://divaina.com/daily/index.php/visheshanga3/37444-2019-12-31-11-55-55.

අපේ ආච්චිලා අත්තම්මලා ඉස්‌සර බොහොම උජාරුවට කරේ බැන්දේ අගස්‌ති මාල. අපූරු වයිරමත් එක්‌ක එන පාට පාට අගස්‌ති මාල බොහොමයක්‌ ගෙනාවේ ඉන්දියාවෙන්. හැබෑවටම මොනවද මේ අගස්‌ති. අගස්‌ති කියන්නේ ඛනිජයක්‌. රසායනය නම් තිරුවානා වල රසායනයට සමානයි. ඒ කියන්නේ එහි තියෙන්නේ සිලිකන් සහ ඔක්‌සිජන්. සිලිකන් ඩයොක්‌සයිඩ් (සිලිකා) කියලා කිව්වනං හරියටම හරි.
 
 අගස්‌ති නිර්මාණය වෙන්නේ බොහොම අපූරු විදියකට. තිරුවානා ඛනිජය තමයි ලෝකේ ජීර්ණයට බොහොම ප්‍රතිරෝධි ඛනිජය. ඒක රසායනිකව වෙනස්‌ වෙලා ද්විතියික ඛණිජයක්‌ බවට පත්වෙන්නේ නැහැ. කොහොම වුණත් ඉතා කුඩා ඇහැට නොපෙනෙන අංශු වලට බිඳුන සිලිකා ජලයේ දිය නොවුණත් පා වෙන අංශු ලෙස ප්‍රවාහනය වෙන්නට පුළුවන්. ඒ වාගේම සිලිසික්‌ අම්ලය බවට පත්වෙන්නත් පුළුවන්. එයත් එමෙන්ම එලෙස ප්‍රවාහනය වෙන සිලිකා අංශුත් කොහේ හෝ තැනක තැන්පත් වීමෙන් තමයි අගස්‌ති නිර්මාණය වෙන්නේ. නිදහසේ ගලා යන සිලිකා ද්‍රdවණ බොහෝවිට පසේ හෝ පාෂාණ වල ඇති කුහරවල තැන්පත් වීමෙන් කුහරයේ හැඩයම වූ අගස්‌ති නිර්මාණය වෙයි. කුහරමය පරිසරය නිසා මෙම සිලිකා වලට තරමක්‌ නිදහසේ ස්‌ඵටීකිකරණය වෙන්න පුළුවන්. හැබැයි බොහෝවිට හැදෙන්නේ ඇහැට නොපෙනෙන ප්‍රමාණයේ ස්‌ඵටික. ඒක නිසා තමයි මෙවැනි ඛනිජ 'ක්‌ෂුද්‍ර ස්‌ඵටික' ලෙස හඳුන්වන්නේ.
 
 දැඩියාව හයත් හතත් අතර අගයක්‌ ගන්නා මේ අගස්‌ති සමහර විටෙක කැල්සිඩොනි ලෙසත් හඳුන්වනවා. බොහොමයක්‌ අගස්‌ති ගිනිකඳු ලාවා ආශ්‍රිතව හට ගන්නා බව තමයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ වාගේම විපරිත පාෂාණ ආශ්‍රිතවත් හමු වෙනවා. විශේෂයෙන්ම අධික ජීර්ණය සහ ඛාදනය පවතින ඉතා හොඳින් වැස්‌ස සහ හිරු එළිය ලැබෙන පළාත්වල ඉතා බහුලව පවතිනවා. ඔක්‌සිකරණය වූ යකඩ ඔක්‌සයිඩය සහ යකඩ හයිඩ්රොක්‌සයිඩය මේවා සමග මිශ්‍ර වීම නිසා ඉතා අපූරු පරාසයක රතු සහ කහ මිශ්‍රිත වර්ණ රටා ලැබිලා තියෙනවා. වර්ණවත් තීරු ලැබෙන්නේ එක්‌ එක්‌ ආකාරයට එක්‌ එක්‌ කාල වලදී ලැබෙන රසායනයන් නිසා. මේ වර්ණ රටා එකල පැවති පාරිසරික තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ ලබා දෙනවා. රතු කහ පමණක්‌ නොවෙයි කළු, නිල්, කොළ වැනි වර්ණත් මේ අතර දැකගන්නට ලැබෙනවා. අවර්ණ මෙන්ම ඒක වර්ණ අගස්‌ති ද මේ අතර වෙයි. මෙම ක්‍රියාදාමය නිසා සමහර ප්‍රාග් ජීව ධාතුන් පවා අගස්‌ති බවට පත් වී සංරක්‌ෂණය වූ අවස්‌ථා නැත්තේ නොවේ.
 
 අගස්‌ති අතීතයේ සිටම භාවිතා කළේ මැජික්‌ ඛනිජයක්‌ ලෙස. එමගින් විවිධ අපුරු දෑ නිර්මාණය කළා. මාල, වළලු, බොත්තම්, කෝප්ප, පිඟන් පමණක්‌ නොවේ. විවිධ ගොඩනැගිලි ආකෘති සහ විවිධ සතුන්ගේ ආකෘති ද මේ අතර වෙයි. ඉතා අඩුවෙන් ජීර්ණයට ලක්‌ වෙන නිසා බොහෝ කාලයක්‌ නිරුපද්‍රිතව තබා ගැනීමේ හැකියාව තිබේ. අතීතයේ ශ්‍රී ලංකාවේ භාවිතය ගැන හොඳම අදහසක්‌ ගන්නට නම් අනුරාධපුරයේ ඡේතවනය කෞතුකාගාරයට යා යුතුයි. ඡේතවනය පුරා විද්‍යා කෞතුකාගාරයේ ඇත්තාවූ අති විශාල සංඛාවක්‌ වූ පබළු අතර අගස්‌ති වලින් ද නිර්මාණය කළ පබළු වාර්තා වන අතර චුඩා මාණික්‍ය නිර්මාණයට ද යොදාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ද ඉතා බහුලව මෙවැනි නිධි ලැබෙන අතර විශේෂයෙන්ම රත්නපුර වැනි මැජික්‌ නිධි ඇති ප්‍රදේශවල බහුලයි.
 
 පොදුවේ මෙම වර්ග 'කහඳ' කුලකයට අයිති වන අතර කැල්සිඩොනි, ජස්‌පර්, ඔනික්‌ස්‌, ෆaලින්ට්‌ වැනි ඛනිජ ද මෙම කුලකයටම අයත් වේ. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...