Wednesday 10 May 2017


විදුපත් ඉරුව

2017 මැයි 10 බදාදා

පරිසරය නිරතුරුව වෙනස් වෙයි. සතුන් ද ගහකොළ ද පරිණාමය ට ලක් වෙයි. මිනිසා ද පරිණාමයට ලක් වෙයි. එනිසා සමාජ සංස්කෘතීන් ද පරිණාමයට ලක් වෙයි. එම පරිණාමය මෙකල්හි “විපරිණාමයක්” නොවන්නේ යැයි කාට කිව හැකිදැයි අපි නොදනිමු.

සංස්කෘතීන් ගේ පරිණාමය විපරිණාමයක් වූ කල්හි මිනිස් සංහතියේ විනාශය සනිටුහන් කරන බව අමතක නොකළ යුතුය. පවතින පරිසරයට එරෙහිව යන කල යම් සංස්කෘතියක් වැඩිකල් නොපවතින බව සමාජ මතයයි. එනිසා මුල්බැසගත් සමාජ නිර්මාණ යම් සමාජයක් ස්ථාපනය කරන්නත් එය මෙලොවින් තුරන් කරන්නත් සමත් වෙයි.

ආගමක් අවැසි වන්නේ සමාජය හික්මවන්නට බව පැවැසේ. සෑම ආගමක්ම එසේ නොමැති බව යැයි ඔබ තර්ක කරන්නට පුළුවන. ඒ කෙසේ වූවත් “හික්මවීම” යන්න පවා බොහෝ සාපේක්ෂ බව පැවසිය යුතුය. පවතින සමාජය තුල හෝ බිහිවන නව සන්දර්භයන් හමුවේ විවිධ අරමුණු සමාජගත වන්නේ විවිධ ආකල්ප හරහා බව පෙනී යයි.

බෞද්ධාගම ආගමක් ලෙස වැළඳ ගත් අපේ පැරණි මිනිසුන් එය පාදක කරගෙන අපූරු සංස්කෘතියක් බිහි කර ඇත්තේය. සාමය ද අහිංසාව ද ප්‍රමුඛ කර ගත් ඒ සමාජය බුද්ධ කරුණාව ද අනුකම්පාව ද තම මාවත එළිය කරනා පහන් ටැඹ කර ගත් බව අතීතය දකින්නට හැක්කේ නම් කදිමට තේරුම් ගත හැකි වේ. සතා සිවුපාවට ද ගහ කොළටද ඒ තුල ඇත්තේ අත්‍යන්ත ආරක්ෂාකාරී බවකි.

යම් ආගමක සත්‍ය මූලික හරය සමාජ පරිණාමයත් සමග කල් යත්ම අනාගතය ට නිසි ලෙස නිවැරදි ව සම්ප්‍රේෂණය වන්නේ යැයි කිසි ලෙසකින්වත් පැවසිය නොහැක. වසර 2500 ක පෙර බිහි වූ බෞද්ධ ධර්මය නිර්මලව පවතින්නේ යැයි අද අපට පැවසිය නොහැක. නල දිගේ ජලය සුමටව ගලා යන්නා සේ එක් එක් සමාජ පරිවර්තනයන් හමුවේ ඕනෑම ආගමක අරමුණ ද හරය ද සුමටව ගලා යන්නේ නැත. එනිසා එහි නිර්මල අරමුණද හරය ද නොයෙක් ලෙස වෙනස් වීම් වලට භාජනය වන බව අපට පැහැදිළි වෙයි. සමාජ ප්‍රගමනය කොතරම් ප්‍රබලද යන්න යම් ආගමක වියුක්තිය මත තේරුම් ගත හැක. බෞද්ධ අපට ද මෙය වලංගු වෙයි.

විදුසර ඔබ අත පත් වන අද දින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් දිනයයි. ලහි ලහියේ බොහෝ දෙනෙකු ලක ලැහැස්ති වන්නේ කුමන පරමාර්ථයක් සරි කර ගන්නට ද යන්නේ ගැටළු සහගත බව ඔවුන් සිදු කරනා යම් යම් ක්‍රියා වලින් පැහැදිළි වේ. බෞද්ධ සාරධර්ම වලට පටහැනිව කොපමණ දෙනා මේ වෙසඟේ කෙලෙස ක්‍රියාත්මක වන්නේ දැයි ඔබට සිතිය හැකිද? තම බඩ වඩා ගැනීමට වෙසඟ වුව කම් නැති බව සිතනා, මුදලටම යටවූ පිරිසක් මෙම සමාජය තුල බිහිවෙමින් සිටිනා බව රහසක් නොවන අප තේරුම් ගත යුතුය. 

සමාජ විද්‍යාත්මක විග්‍රහයන් කියා දෙන්නේ ප්‍රතිපත්ති පූජා අමතක කරමින් ආමිසයට ඇති බෞද්ධයන්ගේ නැඹුරුවයි. මනස මූලික කරගත් එවන් දහමක මෙවැනි වියුක්තියක් අනුමත කරන්නේ කෙසේද? වෙසක් කුඩු ද පහන් ද ඉටිපන්දම් ද දල්වමින් ඔබ සිහි කලයුත්තේ කුමක් දැයි නිකමට හෝ සිතුවා ද? බොහෝ අලංකාර පුෂ්පයන් පූජා කරමින් ඔබ මතකයට නගන්නේ කුමක් ද? දැල්වෙන නිමෙන විදුලි බුබුළු පිරිවරා ගත් තොරණ රාජයා ගෙන එන පණිවිඩය කුමක් දැයි ඔබ මොහතකට හෝ සිතුවා ද? අලංකරණය පමනක්ම මූලික කරගත් වෙසක් සැරසිලි ආමිසය වසාලමින් වෙළඳ උපාය මාර්ග පමණක් වී ඇති අයුරු ඉතා සුපහැදිලිව දක්නට ඇත. වර්තමානයේ සියලු ආගම් වෙළඳ තුරුම්පු වී ඇති බව ඔබට වැටහේවි.

මනසෙහි ප්‍රගමනය වර්තමානයේ සිදුවන්නේ ආපස්සට බව මෙරට පමණක් නොව මෙලොව සිදුවන බොහෝ ක්‍රියාකලාපයන් විශ්ලේෂණයන් උගත හැකි කරුණයි. විය යුත්තේ මනසෙහි සන්සුන් බව රැකගැනීම නම් මෙතරම් විච්චුර්ණ මන්දැයි යමෙකුට අසන්නට පුළුවන. එම පැනය වර්තමානයට නම් ඉතා අපූරුවට සබැඳෙන බව කිව යුතුය. තම ආගමෙන් කියවෙන බොහෝ කරුණ දැන් දැන් මිනිස් සිත් සතන් තුලින් ගිලිහී ගොස් ඇති බව විපරිණාමය වෙමින් පවතින් මේ සමාජය විග්‍රහ කිරීමෙන් පැහැදිළි වන කරුණකි.   

මනසෙහි පරිණාමය ක්ෂණිකව සිදුවන්නක් නොවේ. ඒ සුභදායි වෙනසකටය. නමුත් අසුභවාදී වන්නට මනස පෙරලෙන්නට ගත වන කාලය ඉතා අඩුය. දිගු කාලීනව පුරුදු පුහුණු වූ මනසකට සමාජ පෙරළිම් හමුවේ නොසැලී සිටිය හැකි වූවත් දැන් දැන් සිදුවන විවිධ පෙරලීම් හමුවේ වත්මන් බෞද්ධයෝ කොතරම් කැළඹිලි සහගත යන්න ඔවුන්ගේ යම් යම් සිදුවීම් වලට දක්වන ප්‍රතික්‍රියා අනුව පැහැදිළි වේ. සියලු අන්තගාමි ආගමික කල්ලි මෙම සමාජය රැගෙන යන්නේ මරණය කරා බව සියුම්ව මෙම සිදුවීම් විග්‍රහ කරන්නෙකුට පැහැදිළි වෙයි.

සුභදායි පරිසරයක් පවත්වාගැනීමට මනසෙහි සංසුන් බව කදිම පිටිවහලක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. සංසුන් මනස විද්‍යාඥයෙකුට අත්‍යවශ්‍ය සාධකයකි වෙයි. චිත්ත ඒකාග්‍රතාවය ලබා දෙන ආගමක් වේ නම් එයිටත් වඩා සුදුස්සක් තවත් වේදැයි කලපනාවට ගත යුතුය. එනිසා ආගමෙහි හරය අවිහිංසාවාදී නොවේ නම් එතන විද්‍යාවට ද ඉඩක් නොමැති බව වටහා ගත යුතුය.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...