Wednesday 31 July 2019

විදුපත්ඉරුව
23.11.2016

නිරෝගී බව තරම් තවත් වටිනා දෙයක්‌ ඇත් දැයි යන්න ඉතා හොඳින් ග්‍රහණය කරගෙන සිටි අය අතර ශ්‍රී ලාංකිකයන් ඉදිරියෙන් ම සිටි බව අමතක කළ යුතු නැත. එහෙත් දේශීය චින්තනයත්, සංස්‌කෘතියත් ඉතා කදිමට ගලපමින් බොහෝ කාලයක සිට පැවත ආ විස්‌මයජනක මිනිස්‌ පරපුරක අවසානය සනිටුහන් කරන මොහතක ය මේ අප ජීවත් වන්නේ. මානව විකාශනයේ අභාග්‍යසම්පන්න බව කරපින්නාගත් මානව විශේෂයන් මෙලොව රැඳි වකවානුවක පවා ශ්‍රී ලාංකිකයන් ඒ අතර උත්කෘෂ්ට මිනිස්‌ කොට්‌ඨාශයක්‌ වූ බව සිහිපත් කළ යුතු ය. යුද්ධය තම දිවිය කරගත් ජාතීන් වෙසෙද්දී ශ්‍රී ලාංකිකයෝ ස්‌වකීය පැවැත්ම ඉතා හොඳින් තහවුරු කරගත්තෝ වෙති. ස්‌වාධීන වූවෝ වෙති. ඒ පැරැණි ශ්‍රී ලාංකික චින්තයේ මහිමයයි.

බටහිර විද්‍යාත්මක චින්තනය මෙරටට කාන්දු වන්නට පටන්ගෙන වැඩි කාලයක්‌ නැත. එහි ප්‍රබල බව මෙරටෙහි බොහෝ දෑ කණපිට පෙරළන්නට ද සමත් වූ බව අප පිළිගත යුතු ය. වෙදකමේ සිට කෘෂිකර්මාන්තය දක්‌වා වූ තාක්‌ෂණික සහ විද්‍යාත්මක පෙරළිය මෙරට බටහිර වෙදකමක්‌ සහ බටහිර කෘෂිකර්මාන්තයක්‌ ස්‌ථාපිත කරවන්නට තරම් ප්‍රබල වී ඇති බව නොරහසකි. මේ අතර තොරතුරු සන්නිවේදනයේ ශීඝ්‍ර විකාශනය බොහෝ දෑ ක්‌ෂණිකව ලොව පුරා ප්‍රචලිත කරන්නට සමත් වී ඇති අතර ම අන්තර්ජාලයේ ආගමනය මෙරට බොහෝ දෑ වෙනස්‌ කරන්නට බලපා ඇති බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ.

බටහිර විද්‍යාවේ ඇඟිලි ගැසීම්වලට පෙර මෙරට දේශීය කෘෂිකර්මාන්තයක්‌ විය. සොබාදම් මාතාව සමග නිබඳව අත්වැල් අල්ලා නිබඳව ගමන්ගත් ඒ ක්‍රමවේද මෙරට වැසියා ලෙඩ කරවූයේ නැත. තම ජීවිතය ගෙනයන්නට සැහෙන යමක්‌ ගොවිතැනින් උකහාගත් ගොවියාට ඉන් ඔබ්බට යමක්‌ අවැසි නො වී ය. ඒ අතරේ පාරිසරික සාධක සහ එහි අංගෝපාංගයන් කෙරෙහි නිති විමසිලිමත් වූ ගොවියා (මෙරට වැසියා) තම ගොවිතැන් ක්‍රමවේද පාරිසරික හිතකාමී ලෙස කරවන්නට වගබලාගත්තේ මන්ද යන්න දැනගැනීමට අප කඩතුරා හැර බැලිය යුතු කාලය එළඹ ඇත.

චින්තනයන්හි විකාශය බිහි වන සංස්‌කෘතියට සාපේක්‌ෂ බව අප තේරුම්ගත යුතු ය. එනිසා තවත් සංස්‌කෘතියකින් යමක්‌ මෙරට සංස්‌කෘතියට වද්දාගැනීම පිළිබඳව අප බෙහෙවින් සැලකිලිමත් විය යුතු ය. මෙරට බටහිර විද්‍යාවේ ව්‍යාප්තිය ක්‍රමානුකූල වූවක්‌ ද? පරිසර හා සෞඛ්‍ය හිතකර ගොවිතැන මත විශ්වාසය රැන්දූ අප වැනි මිනිස්‌ කොට්‌ඨාශයක්‌ කෙලෙසක බටහිර විද්‍යා ශිල්පීය ක්‍රමවේද ක්‍රමවත්ව නො සොයා නො බලා භාවිතයට ගත්තේ ද යන්න වුව අපට පෙන්නුම් කරන්නේ බටහිර විද්‍යාවට දැක්‌වූ ගැතිකමයි. රසායනික පොහොර ඇතුළු අනෙකුත් කෘෂි රසායන පමණක්‌ නො ව සොබාවික ධර්මතාවන්ට එරෙහි වූ ක්‍රමවේද ද භාවිත කරමින් ස්‌වයංපෝෂිත රටක්‌ උදෙසා අප සිහින මැව්ව ද ඇත්තෙන් ම සියල්ල පාරාවළල්ලක්‌a වී ඇති බව අප පිළිගත යුතු ය.

හේතුවක්‌ සොයා නො ගත් රජරට වකුගඩු රෝගය ඇති වීමට ඇත්තෙන් ම බටහිර කෘෂිකාර්මික ක්‍රමවේද හේතු වන්නට වැඩි ඉඩක්‌ ඇති ඇති බව එහි ඉතිහාසය සහ වටපිටාව සොයා බැලීමෙන් කදිමට පැහැදිලි වෙයි. බටහිර විද්‍යාව තුළින් සියල්ලට පිළිතුරු සෙවිය හැකි යෑයි විශ්වාස කළ ද මේ රෝගයෙන් පීඩා විඳින රෝගීන් ස`දහා තවමත් නිසි පිළිසරණක්‌ ලැබී නැත. එයට එක්‌ හේතුවක්‌ වන්නේ මේ සම්බන්ධව කටයුතු කරන බොහෝ දෙනකු හට සෙසු අය ගේ මත පමණක්‌ නො ව තම විෂය ක්‌ෂේත්‍රය පිළිබඳ පවා විශ්වාසයක්‌ නොමැති වීම බව අනුමාන කළ හැකි ය. කුමක්‌ නිශ්චිතව බලපෑවේ ද යන්න වත්මන් බටහිර විද්‍යාඥයන් හට පැවසීමට නොහැකි වීමට තවත් හේතුවක්‌ විය හැක්‌කේ මේ බටහිර ක්‍රමවේද භාවිතයේ ප්‍රතිඵලවල සංකීර්ණ සහ ප්‍රබල බවයි. එනිසා වල්ගය හෝ හිස වෙන් කර හඳුනාගැනීමට ඔවුනට තවත් කාලයක්‌ ගත් වනු ඇතැයි යන්න අප ගේ හැඟීමයි.

බටහිර කෘෂිකර්මාන්තයේ භාවිතය මෙරට ගොවි ජනතාව රූකඩ බවට පත් කර ඇත්තේ සියලු උපදෙස්‌ බහු ජාතික සමාගම් ම`ගින් ලබා දීම හේතුවෙන් බව විශ්වාස කළ හැකි ය. කාලය ද ප්‍රමාණය ද තීරණය කිරීමේ පමණක්‌ නො ව වගා කළ යුත්තේ කුමන බෝගයක්‌ ද යන්න පවා අද වන විට තීරණය කරන්නේ බහු ජාතික සමාගම් වීම ඉතා කණගාටුවට කරුණකි. එය දේශීය ගොවියා අතරමං කරන්නේ ඔවුන් ගේ දේශීය ඥානය, විමර්ශනාත්මක දැනුම ලඝූ කරමින් නො වේ දැයි අප තේරුම්ගත යුතු ය. කාලගුණය අනුව වෙනස්‌ වන වගා ක්‍රමවේද සහ වගා ප්‍රභේද අද වන විට කාලයේ තාලයට තේරුම්ගත නොහැකි වී ඇත්තේ සියයට සියයක්‌ ම බටහිර කෘෂි ක්‍රමවේද කෙරෙහි විශ්aවාසය තැබීම නිසා බව හොඳින් වැටහී යන කරුණකි.

ශ්‍රී ලාංකික ජනතාව මෙවැනි උගුල්වල පැටලී තව තවත් අමාරුවේ නො වැටෙන්නට වග බලාගත යුතු ය. ස්‌වයං ඥානය යොදා හෝ විමර්ශනය කර හෝ අධ්‍යයනය කර හෝ මේ සියල්ලෙහි යටගියාව තේරුම්ගැනීමට නොහැකි නම් භාවිතය තුළින් ලද උගත් පාඩම්වලින් හෝ වැරැදි නිවැරැදි කරගත යුතු ය. නිවැරැදි මාර්ගය තෝරාගත යුතු ය. අප සතු වගකීමක්‌ වන්නේ සියල්ල සොයා බැලීමට තරම් වූ බුද්ධියකින් යුතු වීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...