Saturday 26 December 2020

වැනසෙන වනසන වගුරු බිම්, සම්පතකි පහත් බිම්....!!!

This  article is originally published on Vidusara 23.12.2020.

භූ සංචාරිතය 37

වගුරු බිම් පහත් බිම්ය. පහත් හෝ උසස් හෝ වූවා කියා වෙනසක් නොමැත, මන්දයත් මේ සියල්ල භූ රුපණයේ එක්එක් අංගය. පාෂාණ ජිර්ණයේත් ඛාදනයේත් ප්‍රතිඵලයක් ලෙස බිහිවන මෙවැනි භූ රූපණ පරිසරයට ඉතා අත්‍යවශය වේ. දුර්වල පාෂාණ කලාප ඉතා වේගයෙන් ජීර්ණයට සහ ඛාදනය ලක් වෙයි. මේ සඳහා ඛණිජ සංයුතිය පමණක් නොව පාෂාණයේ ව්‍යුහයන්ද ආධාර උපකාරී වෙයි. මෙනිසා ඉතා ඈතට ඇදී යන්නාවූ නිම්නකලාපත් කඳුවැටිත් බිහි වෙයි.

ශ්‍රී ලංකවේ භූ රූපණය විශේෂ වෙයි. මධ්‍යයේ වූ කඳු වැටිය වටකරමින් ඇත්තේ උතුරින් ඉතා විශාල තැනිතලා භූමියක් බිහි කරමින්. ජීර්ණයට ක්‍රියාදාමයේදී මුරණ්ඩු වුවෝ හුදකලා කඳු බවට පත් වූවෝ වෙති. වෙරලාසන්නයට යත්ම යත්ම උච්ච බව අහිමි කරගන්නා මෙරට භුමිය මුහුදු මායිමේ දී සාගර තරංගවල බලපෑමද නොඅඩුව ලැබේ. එනිසා මුහුද මට්ටමේ උච්චාවචනය මෙම පහත් බිම්වල පැවැත්ම තහවුරු කරනුවස් විශාල මෙහවරක් සිදු කර ඇත. කලකදී පහලයන මුහුදු ජල මට්ටම නිසා පහත් බිම් කලාප විශාල වන අතර ඉහල යාම නිසා එම කලාපය සංකෝචනය වෙයි.

පහත් බිම්වලට වැඩිවන වැසි වතුර එක් රැස් වී වගුරු බිම් බවත් පත් වෙයි. බොහෝ විට මෙම වගුරු බිම් ගංගා නිම්න ඇසුරු කරගෙන නිර්මාණය වේ. එසේ නැතහොත් ප්‍රාග් ගංගා නිම්නවල පිහිටයි. එනිසා බොහෝවිට වගුර නිර්මාණයට අවැසි පරිසරය සකස් වෙයි. ගංගා රොන්මඩ තැන්පත් වන්නේ බොහෝ විට එහි වෘධ අවධියේ බව අපට මතකය. එනිසා ශ්‍රී ලංකවේ වගුරු බිම් වල හමුවන්නේ ඉතා සියුම් මැටි ඛණිකා වලින් සමන්විත වූ සියුම් අවසාදිත තට්ටුවකි.

සියුම් අවසාදිත තැන්පත් වන්නේ වඩා වැඩි කාලයක් ජලය එක් රැස් වී පැවතීම මෙවැනි සියුම් ඛණිකාමය අවසාදිත තැන්පත් කරන්නට හේතුවෙයි. මෙම සියුම් අවසාදිත සමන්විත වන්නේ බොහෝවිට මැටි සහ සිල්ට් නම් වූ වර්ග දෙකෙනුයි. ඊට අමතරව ඉතා සියුම් වැලි ඛණිකා ද මේ සමග විය හැක. පිටාර ගලන ගංගා ජලය උරා ගන්නේත් වැඩිපුර ජලය ගබඩා කරන්නෙත් මෙම පහත් වගුරු බිම් බව අප අමතක නොකළ යුතුය. මේ නිසා ඉතා ක්ෂණිකව ඇතිවන්නා වූ ගංවතුර පාලනය කරගැනීම සඳහා කදිම උපක්‍රමයකි.

මේ සියුම් අවසාදිත එවන් වූ අකාබනික සංයෝගවලින් පමණක් නොව ඉතා විශාල ප්‍රමාණයක් වූ කාබනික ද්‍රව්‍යද මේ සමග බොහොමයක් වගුරු බිම්වල මේ සියුම් අවසාදිත සමග තැන්පත් වේ. එනිසා කළු පැහැයෙන් යුක්ත වගුරු බිම් පරිසරය ඉතා සරුසාර භූමියකි. නමුත් මේ සියුම් අවසාදිත වල අවසාදනය නිසා වගුරු බිම් වල සවිවර බාවය බිඳ වැටේ. එනිසා බොහෝවිට ඔක්සිජන් ඌනතාවක් ද ඇත.  එය තන්පත්වන කාබනික ද්‍රව්‍ය වියෝජනයට බාධාවකි. එනිසා ගස්වල කඳන් වැනි ශාඛමය දෑ වැඩිකාලයක් ජීර්ණයට ලක් නොවී ආරක්ෂාවන්නට හේතුවෙයි.

වගුරු බිම් සුවිශේෂී පරිසර පද්ධතියකි. එහි ජෛව විවධත්වය අධිකය. විවිධාකාරයේ ජීවින් මෙම පරිසරයේ වසයි. ඒ අතිනුත් පක්ෂීන් සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ප්‍රසිද්ධ පරිසර කලාපයක් මේ වගුරු බිම් ආශ්‍රිතව ගොඩනැගෙන බැවිනි. බොහොමයක් සංචාරක කුරුල්ලන්ගේ නවාතැන පමණක් නොව ආහාර සොයාගන්නා භුමිය වන්නේ ද මෙම වගුරු භුමි පරිසරය බව අමතක නොකළ යුතුය.

කොළොඹ හා ඒ අවට කලාපය ඉතා විශාල වගුරු බිම් පද්ධතියකින් සමන්විත වේ.  මෙම ප්‍රදේශ කාලයකි ගංගා නිම්න කලාපවල වෘධ අවධිය සනිටුහන් කල පරිසර බව මතකයේ රඳවා ගත යුතුය. කොළඹ සහ ඒ අවට කලාපය සමන්විත වන්නේ කලකදී තැන්පත් වූ ගංගා අවසාදිත වලිනි. වරින්වර තැන්පත් වූ මෙම අවසාදිත කලාපනය වන්නේ කිසියම් ප්‍රමාණයකට මුහුද මට්ටම ඉහල යාමද බලපාන්නට ඇත. ඉතා වැදගත් වන්නේ මේ කොළඹ සහ ඒ අවට කලාපය අදටත් ගංවතුර පාලනයේ දී ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකරයි.

අදවනවිට මෙම පහත් වගුරු බිම් ක්‍රමයෙන් ඉතා සිඝ්‍රයෙන් විනාශ වෙමින් පවතියි. මිනිසා ගේ අන්තනෝමතික ක්‍රියා නිසා මෙවැනි පහත් බිම් ගොඩකරන්නටත් විවිධ කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය හරවා ඇත්තේත් මේ වගුරු බිම් වලට බවත් කදිමට පෙන්නුම්කරන කාරණාව වන්නේය. එනිසා වගුරුබිම් වල සොබාවික තත්වය අවුල් කරන්නටත් එහි සේවය වලක්වන්නටත් මේ මානව ක්‍රියා කාරකම් හේතු වී ඇත.

බොහොමයක් කර්මාන්තශාලා වල අපද්‍රව්‍ය වගුරු බිම්වලට ඉලක්ක කිරීම නිසා වගුරු බිම් වේගයෙන් දුෂණයට ලක් වෙමින් පැවති. පවතින්නේ සියුම් අවසාදිත නිසා දුෂනකාරක උරාගැනීම හැකියාවද ඉහලය. නිතරම පාහේ ජලයෙන් යටවෙමින් පවතින මෙම කලාප වල වගා කටයුතු ද කෙරෙමින් පැවති. කොළඹ අවට මෙය විශාල ලෙස පැතිරී ඇත. නමුත් කොළඹ පවතින නාගරික බව දැනටත් මෙම වගුරු බිම්වල සොබාවිකවත්වය විනාශකර ඇත. එනිසා මෙහි පවතින අවසාදිත වල එක් රැස් වූ බැරලෝහ වැනි දුෂණ කාරක ජෛව සංචිතයට ලක්වන්නට  කදිම පරිසරයක් සකස්කර දෙයි.

වගුරු බිම් වල පවතින්නාවූ කීර කොටුවල කීර ආහාරයට ගැනීම මේ තත්වය යටතේ භයානකය. ජෛව සංචිතයට ලක්වන්නේ බැර ලෝහ පමණක් ම නොවේ. එනිසා විවිධ කාබනික සහ අකාබනික විෂ කීර කොටුවල වවනා පලා වලට එක් වීමේ දැඩි නැඹුරුතාවයක් පවතී. විශේෂයෙන්ම කංකුන්, මුගුණුවන්න වැනි පලා වලට ඉතා හොඳින් මෙම විෂ උරා ගැනීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත. සුපෝෂණය අධික වූ පරිසර කලාප වල මෙම පලා ඉතා හොඳින් වර්ධනය වී විශාල දේහ සහිතවන බව පෙනී යයි. එනිසා මෙම කීර ආහාරයට ගැනීමට පෙර දෙතුන්වරක් සිතා බැලීම යෙහෙකි.

සුපිරි වෙළඳසැල් වල තබා තිබෙනා දුටු විගස මිලදී ගන්නට සිතෙනා මෙවැනි එළවලු වල තත්වය ඉහත පරිදි විය හැක. එනිසා විශේෂයෙන්ම කොළඹ අවට කලාපයෙන් නිෂ්පාදනය වන්නා වූ මෙවැනි එළවලු පලතුරු වල තත්වය සහතික කරගත යුතුය. ඒ සඳහා යම් නවීන ක්‍රම වේදයක් සකස්විය යුතුය. නවෝත්පාදන වැදගත් වන්නේ මෙවන් අවස්ථාවකය. ඉතා ක්ෂණිකව මෙවැනි සොබාවික ද්‍රව්‍ය විෂ සහිත ද යන්න හඳුනාගැනීම සඳහා යම් උපකරණයක් නිර්මාණය විය යුතුය. එමගින් ඉතා වේගයෙන් විෂ සහිත එළවලු පලතුරු හඳුනාගැනීම හැකියාව ලැබේ. සොඳුරු වගුරු බිම් අඳුරු කර ඇත්තේ මිනිසාම බව අමතක නොකළ යුතුය.     

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...