Monday 23 March 2020


සිසි භූ විද්‍යාව (selenology ) - තාරකා භූ විද්‍යාවට ප්‍රවේශයක්
සිසි භූ විද්‍යාව (selenology ) කේන්ද්‍ර වන්නේ චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක පසුබිම වෙතයි. එය පෘතුවියේ භූ විද්‍යත්මක පසුබිමෙන් වෙනස් වන අතර එයට හේතුවන කාරණා කිහිපයහි. වායුගෝලයක් නොමැති වීම. එනිසාම පාෂාණ ජීර්ණය සහ ඛාදනය නොමැති වීම. කබොලක්, ප්‍රාවරනයක් සහ හරයක් ඇත්තේ වූවද තල භූ ක්‍රියාකාරකම් සනිටුහන් වන්නේ නැත. චන්ද්‍ර මතුපිට ඇති සංකීර්ණ භූ විෂමතා ලක්ෂණ ඇතිවන්නේ දිගින් දිගටම සිදුවූ ගිනි කඳු පිපිරීම් සහ උල්කාපාත පතනයෙන් සිදුවූ බලපෑම හේතුවෙනි.


චන්ද්‍ර පාෂාණ සහ පාංශුදේහයන් පිළිබඳව නියම තොරතුරු වාර්තා වන්නේ චන්ද්‍රයාගෙන් ගෙන එන ලද පාෂාණ සහ පාංශු නියැදි වලිනි. 1969 සිට 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ ව්‍යාපෘතිය නිසා චන්ද්‍රයාහේ ස්ථාන හයක් නියැදි කරණයට ලක්වන අතර කිලෝ ග්රෑම් 381 පෘතුවියට ගෙන එන ලදී. 1970 සිට 1976 දක්වා සිදුකල සෝවියට් චන්ද්‍ර ගවේෂණ වලින් තවත් කිලෝ ග්රෑම් 326 ක් පමණ පෘතුවියට ගෙන එන ලදී.

නාසා ආයතනය මෙම නියැදි අධ්‍යනය කර පලකල ඇති පර්යේෂණ පත්‍රිකා වලට අනුව චන්ද්‍රයාගේ නිම්න නැතහොත් ආවාට කලාප ගොඩ නැගී ඇත්තේ බැසෝල්ට් නම් වූ ආග්නේය පාෂාණ වලින්. බැසෝල්ටික් ආගනේය පාෂාණ නිර්මාණය වන්නේ උල්කා පතනය නිසා ඇතිවූ චන්ද්‍ර කබොලේ සිදුරු තුලින් පිටතට ගලා ගිය ලාවා වලිනි. බොහෝවිට ඉතා සියුම් ඛණිකා වලින් යුක්ත වන මෙම පාෂාණය ඕලිවින්, පයිරෝක්සින්, ඇම්පිහිබෝල් වැනි ඛනිජ ද ප්ලජියෝක්ලෙස් නම් වූ ඛනිජයෙන් ද සමන්විතයි. අඳුරු පහක් යුක්තයි. බසෝල්ටික් ලාවා ඒකාකාරී ලෙස මතුපිට පෘෂ්ටය මත පැතිරී නොමැති බවයි අධ්‍යනය වලින් පැහැදිලි වී ඇත්තේ. බැසෝල්ටික් ගලනයන් අතිපිහිත වී ඇති බව ද පවසයි. එය උල්කාපතනයන්ගේ අඛණ්ඩ බව කියා පායි.


එයට අමතරව චන්ද්‍රයාගේ කඳුකර කලාප සුසැදි ඇත්තේ ඇනොතොසයිට් නම් වූ ආග්නේය පාෂාණයෙනි. මෙම පාෂාණය අභ්‍යන්තරයේ වූ මැග්මා භූ අභ්‍යන්තරයේම සිසිලනය වීමෙන් තැනෙන පාෂාණ වෙයි. එනිසා ඉතා හොඳින් වර්ධනය වූ ඛණිජ ඛණිකා දක්නට හැකිය. ප්ලජියෝක්ලෙස් නම් වූ ඛණිජයෙන් සමන්විත වන මෙම ඇනොතොසයිට් පාෂාණය චන්ද්‍රයාගේ පැරණිතම පාෂාණ බවයි පැවසෙන්නේ. 


නිරන්තර උල්කා පතනයෙන් සෑදෙන බ්‍රෙෂියා නම් වූ පාෂාණ ද චන්ද්‍ර පාෂාණ කුලකයට අයත්  වේ. මතුපිට පාංශු දේහයන් සහ පාෂාණ හා උල්කා ගැටීම නිසා ඇතිවන තාපයෙන් හෙම්බත් වී තැනෙන පාෂාණයි බ්‍රෙෂියා. 


චන්ද්‍රයාගේ පාංශු දේහයන් අලංකාර වන්නේ තැඹිලි පැහැති අවසාදිත වලිනි. මේවා නිර්මණය වන්නේ නිරන්තරයෙන් සිදුවන උල්කා පතනයෙන් මතුපිට පාෂාණ කැබලි වීමෙන් තැනුන පාෂාණ කැබලි, එම පාෂාණ උණු වීමෙන් තැනුන කොළ සහ තැඹිලි පැහැති සොබාවික විදුරු කැබලි සාහ ගට්ටනයෙන් ඇති වූ දුවිලි වලිනි.



තවත් සිසි භූ විද්‍යාත්මක තොරතුරු සමග ළඟදීම හමු වෙමු.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...