Sunday 4 August 2019

විදුපත් ඉරුව
07.12.2016

"ඊයේ දුටුව හීනය නම් ඉතා නරක එකක්‌. මොකක්‌ වෙන්න එනව ද කියලා හිතාගන්න බෑ." මෙවැනි දෑ බොහෝ දෙනෙකුට අලුත් අත්දැකීමක්‌ වන්නට නම් නුපුළුවන. නින්දට යන බොහෝ දෙනකුට හොඳ හෝ නරක, ස්‌වප්නයන් පෙනෙන බව සත්‍යයකි. එහෙත් ගැටලුව වන්නේ උදෑසන අවදි වන විට බොහෝ දෙනකුට එම ස්‌වප්නයන් අමතක වී යැම ය. වර්තමාන ඇතැම් විද්‍යාඥයන් ගේ මතය නම් ස්‌වප්නයන් ඔස්‌සේ අනාගතය පිළිsබඳ යම් යම් පණිවිඩ ගෙන එන බවයි. බොහෝ විට අප ලද අත්දැකීම් මූලාශ්‍ර කර එම සිද්ධීන් ගලපා අපූරු කතාවක්‌ නිර්මාණය කරන බව ඔවුහු පවසති. බොහෝ විට එම කතාව නිර්මාණය කරන්නේ අයකු ගේ යටි සිත බවත් යටි සිතට එක්‌තරා ආකාරයකට අනාගතය දැකීමේ හැකියාව ඇති බවත් ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

යටි සිත බොහෝ බලසම්පන්න බව අද වන විට ඉතා හොඳින් ම තහවුරු වී ඇති කරුණකි. යම් අයකු ගේ යටි සිතෙහි බලය අවදි කර ඇත්නම්, භෞතිකව ග්‍ර්‍රහණය කරගත නොහැකි බොහෝ පාරිසරික කරුණු අතීතයටත් අනාගතයටත් අදාළ වන පරිදි දැකීමේ හැකියාව පවතී. තමා ගේ ම යටි හිත ස්‌වප්නයන් මගින් පණිවිඩ ලබා දෙද්දී අවදි වූ යටි සිත් ඇත්තන් හට තවත් අයකුට පණිවිඩ ලබා දීමේ හැකියාව පවතින බව ඇතැම් බටහිර විද්‍යාඥයන් ශතවර්ෂ දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ සිදු කළ පර්යේෂණවලින් හෙළි වී තිබේ.

සිතෙහි බලය මුවහත් කරන්නන්ට නම් ඒ සදහා විවිධ ප්‍රගුණ කිරීම් කළ යුතු ය. ඒ සදහා විශේෂයන් ම භාවනාව උපයෝගී කරගත යුතු වීම ඉතා සුවිශේෂී කරුණකි. ඔබ බොහෝ දෙනකු නො දන්නා නමුත් විස්‌මයජනක මානසික බලයකින් යුක්‌ත වූවෙකි "එඩ්ගාර් කේසි" නම් වූ ඇමෙරිකානු ජාතිකයා. විසිවැනි ශතවර්ෂය මුල් භාගයේ ජීවත් වූ ඔහු මේ හැකියාව උපතින් ම උරුම කරගත්තෙකි. අනාගතය දැකීමේ විස්‌මයජනක හැකියාවකින් යුක්‌ත වූ කේසි හට ලෙඩ සුව කිරීමේ හැකියාව ද වූ බව පැවසේ. බටහිර විද්‍යාවට එකල හසු නො වූ මේ විෂය ක්‍ෂේත්‍රය අද වන විට ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින් බව ශ්‍රී ලාංකික අපට අලුත් දෙයක්‌ වුව ද ලොවට නම් එය නොරහසකි. එඩ්ගාර් කේසිට තම තරුණ අවධියේ දී කතා කිරීමේ හැකියාව අහිමි වන අතර මෝහන ක්‍රියාවලියකින් එය නැවත යථා තත්ත්වයට පත් කරගත හැකි විය. මෝහනය ද එක්‌තරා ආකාරයකට අතීතය සහ අනාගතය දැකීමේ දී සිතට යම් යම් බලපෑම් කළ හැකි ක්‍රමවේදයක්‌ ලෙස ද මානසික ප්‍රතිකාර ක්‍රමවේදයක්‌ ලෙස ද යොදාගනිමින් ඇත.

අධිමානසික විද්‍යාවේ ලෙසින් බටහිර විද්‍යාඥයන් අතර ගොනු වෙමින් දියුණු වන මේ විෂය ක්‍ෂේත්‍රය මේ වන විට සැලකිය යුතු දියුණුවක්‌ මෙන්ම ස්‌ථාවරත්වයක්‌ ද අත්පත් කරගෙන ඇති බව පෙනී යයි. අනෙකුත් බටහිර විද්‍යා විෂයන් සමග සමගාමී ව පැවතෙන්නට තරම් වූ විද්‍යාත්මක කරුණු රාශියක්‌ මේ වන විටත් හෙළි වී තිබීම එයට හේතුවයි. භෞතික විද්‍යාවට හෝ මනෝ විද්‍යාවට හෝ හසු නො වන ගුප්ත විෂය කරුණු මෙහි දී සාකච්ඡාවට බඳුන් වන අතර ඒවා මිථ්‍යාවට ඔබ්බෙන් වූ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සදහා මාර්ගය පාදනු ලබයි.

මේ විෂය ක්‍ෂේත්‍රයේ කතා බහට ලක්‌ වන අංශ දෙකකි. පළමු වැන්න වන්නේ අතීන්ද්‍රිය ඥානයයි. (Extra Sensory Perception- ESP). දෙවැන්න අධිමානසික බලයයි (Psychokinesis- PK). පංචෙන්ද්‍රිය භාවිතයෙන් තොර ව හුදෙක්‌ ම සිතෙහි බලයෙන් පමණක්‌ තොරතුරු රැස්‌ කරගැනීමේ හැකියාව අතීන්ද්‍රිය ඥානයයි. දිවැස්‌ (Clairvoyance), පරසිත් කියවීම (Telepathy) සහ අනාගතය දැකීම (Precognition) ලෙස හැඳින්වෙන්නේ අතීන්ද්‍රිය ඥානයේ ආකාර ත්‍රිත්වයයි. 'දිවැස්‌' තුළ ශබ්දයන් ලෙස කනට ද රූප ලෙස ඇසට ද පණිවිඩ ලබාගත හැකි බව බටහිර විද්‍යාව තුළ තහවුරු වී ඇත. පරසිත් කියවන්නන් ඇසුරෙන් සිදු කළ පර්යේෂණ ද එහි ඇති සත්‍යතාව මැනැවින් ගම්‍ය කර ඇත. එඩ්ගාර් කේසි වැන්නවුන් හට අනාගතය දැකීමේ හැකියාව වූ බව පුදුමයක්‌ නො වන බව එහෙයින් පෙනී යයි.

අධිමානසික බලයක්‌ (PK) ඇත්තකුට මානසික බලයෙන් පමණක්‌ භෞතික ලෝකයට බලපෑම් කළ හැකි බව බොහෝ වාර ගණනක්‌ විවිධ ක්‍රියාකාරකම් මගින් තහවුරු වී ඇත. යුරි ගෙලර් නම් වූ ඊශ්‍රායෙල් ජාතිකයා සතු වූ අධිමානසික හැකියාව මේ සදහා කදිම නිදසුනකි.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඩියුක්‌ විශ්වවිද්‍යාලයය මේ විෂය පථය ස්‌ථාපනය කරන්නට බොහෝ දායක වී ඇත. මේ වන විට දශක නවයක පමණ කාලයක සිට සිදු කළ පර්යේෂණ මේ ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට බොහෝ හේතු වී තිබේ. එය මේ විශ්වවිද්‍යාලය තුළ ඒ සදහා වූ ස්‌වාධීන අංශයක්‌ ස්‌ථාපනය කරන්නට හේතු වන්නට තරම් මෙය කදිම විෂයක්‌ බව අපට ඒත්තු ගන්වයි.

බටහිර විද්‍යාව තුළ මේ විෂය ස්‌ථාපනය වී තවමත් ගත වී ඇත්තේ දශක දෙකක්‌ පමණි. එහෙත් ආසියාතික සංස්‌කෘතිය තුළ විශේෂයෙන් ම වසර දෙ දහස්‌ පන් සියයක්‌ පමණ පැරැණි බුදු දහම හා ඊටත් වඩා පැරැණි හින්දු දහම ප්‍රචලිත රටවල මේ හැකියාවන් ගෙන් ඵල ලබාගන්නන් ඉන්නා බව නොරහසක්‌ වුව එය බොහෝ දෙනකු ගේ අවධානයෙන් ගිලිහෙන කරුණකි. ඒ කෙසේ වෙතත් වර්තමානයේ පවතින රටාව අනුව බටහිර විද්‍යාව ජනප්‍රිය වී ඇති කලෙක වුව ද අප තවමත් කරපින්නාගෙන ඇත්තේ බටහිර යල් පැනගිය, පිළුණු වී ගිය චින්තනයන් බව සඳහන් කිරීමට සිදු වේ. දැනටත් චරපුරුෂ සේවයට පවා මේ විෂය යොදාගන්නා බටහිර ලෝකය, අනාගතයේ දවසක ලොව පාලනය කරන්නේ ද මේ තුළින් ම බව අප මතක තබාගත යුතු ය.

කෙසේ වෙතත් අධිමානසික විද්‍යාව ලේබලයට මුවා වී, පිළිගත හැකි පදනමක්‌ නොමැති ව මේ විෂය පිළිබඳ විශාරදයන් ලෙස පෙනී සිටින්නන් පිරිසක ගේ අමනෝඥ ක්‍රියාකලාපයන් නිසා මේ විෂය ක්‌ෂේත්‍රය විද්‍යාත්මක පදනමකින් ගවේෂණය කිරීම සහ පිළිගැනීමට ලක්‌ වීම තවදුරටත් පමා වී ඇති බව ද කණගාටුවෙන් වුව සඳහන් කළ යුතු ය. සිදු කෙරී ඇති විද්‍යාත්මක අධ්‍යයනයන්හි වටිනාකම් පවා මෙවන් පිරිස්‌ නිසා හෑල්ලුවට ලක්‌ වෙයි. විද්‍යාත්මක ප්‍රජාව පවා මේ සම්බන්ධයෙන් එළිපිට අදහස්‌ දැක්‌වීමෙන් වැළකී සිටින්නේ තමන් ද හාස්‍යයට ලක්‌ වේ ය යන බියෙන් විය හැකි ය.

එනිසා මේ මානසිකත්වයෙන් අත්මිදී මෙකී විෂය පථය ලෝක ප්‍රජාව ගේ අභිවෘද්ධියට යොදාගැනීම සඳහා එකී බඩගෝස්‌තරවාදීන් හා අවස්‌ථාවාදීන් පිරිස ගෙන් එල්ල වී ඇති බාධකය ද ජයගත යුතු ව තිබේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...