Friday 9 August 2019

විදුපත්ඉරුව
11.01.2017


ඉකුත් සති අන්තය අතිශය කාර්යබහුල එකක්‌ විය. ඒ අන් කිසිවක්‌ නිසා නොව ගංවතුර උවදුරට ලක්‌ වූ කැලණි ගං මිටියාවතෙහි ජීවත් වන කොළඹ අවට ජනතාවට සිදු වූ හානිය තක්‌සේරු කිරීමේ දුෂ්කර කාර්යයක්‌ කරන්නට සිදු වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැම විට ම මෙවැනි අභියෝගාත්මක කාර්ය සදහා උර දෙන්නට සැදී පැහැදී සිටිනා නිසාත්, මෙවැනි දෑ පිළිබඳව ධනාත්මකව සිතනා පිරිසක්‌ එහිඇති හෙයිනුත් බොහෝ උද්යෝගිමත් ලෙස ද කාර්යශූර ලෙස ද මෙන්ම විනෝදාත්මකව ද එම සමීක්‌ෂණය සිදු කරන්නට හැකි වූ බව පැවසිය යුතු ය.

මේ ගංවතුර උවදුර සිදු වී බොහෝ කල් වුව ද පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදු කරන්නට කඩිනම් වැඩපිළිවෙළක්‌ අදාළ වගකිවයුතු ආයතනවලට නොමැති වීම පිළිබඳව කණගාටු විය යුතුවාක්‌ මෙන්ම ඉතා වගකිවයුතු ලෙස ඔවුන් ගේ අවධානය ද මේ කෙරෙහි යොමු විය යුතු බව පැවසිය යුතු ය. මෙවැනි ආපදාවන්ට ලක්‌ ව අවතැන් වන ජනතාව උදෙසා බොහෝ ආධාර උපකාර මුල් ම කාලයේ ලැබෙනා මුත් කල් යත් ම ඔවුන් පිළිබඳ මතකය අමතක වන බැවින් ස්‌ථිරසාර විසඳුමක්‌ ඉතා කෙටි කලකින් ස්‌ථාපනය කළ යුතු ය. එවැනි වැඩපිළිවෙළක්‌ සැකසීම එතරම් අසීරු දෙයක්‌ නො වේ. මන්ද යත් ගං වතුර උවදුර මෙරටට අලුත් දෙයක්‌ නො වනා බැවිනි. සැම ගං වතුර ආපදා අවස්‌ථාවක දී ම ලබාගන්නා අත්දැකීම් ඊළඟ සිදුවීම කළමනාකරණය කරගැනීම සදහා යොදා නො ගැනීම ද මෙහි දී අවාසිදායක තත්ත්වයන් නිර්මාණය කරන බව සිහි තබාගත යුතු ය.

පසුගිය වසර බොහෝ ආපදා ගෙන දුන් වසරක්‌ විය. ස්‌වාභාවික සංසිද්ධීන් හේතුවෙන් හටගත් උපද්‍රව (Hazard) මේ බොහොමයක්‌ ආපදාවනට (Disasters) හේතු වූ බව පෙනී යයි. පසුගිය මැයි මාසයේ ක්‍රියාත්මක වූ අසාමාන්‍ය කාලගුණික විපර්යාසයන් නිසා ගංවතුර උවදුර සහ නාය අනතුරු ද කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්‌ත්‍රික්‌ක බෙහෙවින් ම කළඹවාලන්නට හේතු වූ බව රහසක්‌ නො වේ. ආපදා අවදානම අවම කිරීමේ (Disaster Risk Reduction) බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද ස්‌වාභාවික සංසිද්ධීන් නිසා ඇති වන උපද්‍රවයන් (Natural Hazard) හට අභියෝග කළ නොහැකි බව වරින් වර සිදු වන ආපදා මගින් අපට පෙන්වා දෙනු ලබන බව සිතිය හැකි ය.

ගංවතුර උවදුර පිළිබඳව පෙර සූදානමක්‌ තිබුණ ද මෙවර අනතුරට ලක්‌ වීම පිළිබඳව ජනතාවට ද යම් තරමකට දොස්‌ පැවරිය යුතු ය. විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කර සිදු කරන අනුමානයන් (Predictions) පිළිබඳව ජනතාව සතුටුදායක ලෙස ප්‍රතිචාර දැක්‌විය යුතු ය. මෙවර එලෙස නො කිරීමේ ප්‍රතිපල ඔවුන් පමණක්‌ නො ව අප ද භුක්‌ති විඳින බව කිව යුතු ය. යම් පිරිසක ගේ අත්තනෝමතික තීරණ මහජනතාව ගේ මුදල්හදල් පමණක්‌ නො ව බොහෝ පිරිසක ගේ කාලය ද කා දමන බව කිව යුතු ය. මෙවර සිදු වූ ගං වතුර උවදුරේ දී අදාළ ආයතන ලබා දුන් අනතුරු ඇඟවීම් අනුව ජනතාව ක්‍රියාත්මක වූවා නම් බොහොමයක්‌ අලාභ හානි අවම කරගන්නට තිබිණි.

මේ තත්ත්වය නාය උවදුර අවම කිරීමේ ව්‍යාපෘති කෙරෙහි ද ඉතා දරුණු ලෙස බලපාන බව පෙනී යයි. මේ වන විටත් නාය අනතුර සිදු විය හැකි යෑයි අනුමාන කරන ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි අවදානම්, මාධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස කලාපකරණයට ලක්‌ කොට ඇත. එම ප්‍රදේශ සිතියම්ගත කර ඇත්තේ භූ විද්‍යාඥයන් ගේ ප්‍රබල සහ කැපී පෙනෙන මැදිහත් වීම මත වන අතර ඔවුන් කැප කළ කාලය පමණක්‌ නො ව වැය කර ඇති ධනය ද බොහෝ වෙයි. ඒ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලද ප්‍රමුඛ දායකත්වය අතිමහත් බව කිව යුතු ය. ඒ සියල්ල මහජනතාව ගේ මුදල් වෙයි. යම් ප්‍රදේශයක පාෂාණ වර්ගය සහ එහි ව්‍යqහාත්මක ලක්‌ෂණ, භූමියේ ආනතිය, ජලවහන රටාව යනාදී ප්‍රමුඛ කරුණු ගණනාවක්‌ කේන්ද්‍ර කොට සකසන ලද මේ සිතියම් සැකසීම සදහා භූ විද්‍යාත්මක දැනුම සහ ප්‍රායෝගික භාවිතය අතිශය වැදගත් වේ. ලංකාවේ මධ්‍යම කඳුකරය ඇතුළු දිස්‌ත්‍රික්‌ක 13ක්‌ සඳහා නිර්මාණය කරන ලද මේ සිතියම් සැම අදාළ පළාත් පාලන ආයතනයක්‌ වෙත ම ලබා දී ඇති අතර අවශ්‍ය වේ නම් යම් අයකුට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය වෙතින් ද ලබාගත හැකි ය. එහෙත් වැදගත් වන්නේ එම සිතියම් හමස්‌ පෙට්‌ටියේ දමා පරෙස්‌සම් කිරීම නො ව භාවිතයට ගැනීමයි.

මැයි මාසයේ සිදු වූ නාය ආපදා සමීක්‌ෂණ කටයුතුවල දී පෙනී ගිය කරුණක්‌ වන්නේ මේ සිතියම් පිළිබඳව ජනතාව ගේ ඇති අඩු දැනුවත්භාවයයි. එනිසා ම බොහොමයක්‌ ජනතාව නව නිවාස තැනීමේ දී මේ සිතියම් භාවිත කර තම ඉඩම පිළිබඳව තොරතුරු විග්‍රහ කර නො ගන්නා බව පෙනී යයි. නාය අවදානම ඇති දැනට නම් කර ඇති මේ දිස්‌ත්‍රික්‌ක 13හි ම බොහොමයක්‌ ජනතාව මේ පිළිබඳව දැනුවත් කර ඇතත් මෙවැනි දේ ඔවුන් ගේ ග්‍රහණයට හසු වී නොමැති බව විටෙක ප්‍රායෝගිකව ම පෙනී ගිය කරුණකි. එහෙත් පුදුමය වන්නේ සමහර පිරිසක්‌ ඉතා හොඳින් මේ තත්ත්වය ග්‍රහණය කරගෙන තිබීමයි. මෙවැනි අනතුරක්‌ සිදු වන අවස්‌ථාවල දී ඔවුන් ගේ ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රශංශනීය බව කිව යුතු ය. මෙහි ලා භූ විද්‍යාඥයන් ගේ කාර්යභාරය අතිශය තීරණාත්මක බව කිව යුතු ය. භූ විද්‍යාඥයන් හෝ ප්‍රබලව එම දැනුම ග්‍රහණය කරගත්තකුට හැර අන් අයකුට නාය ආපදා පිළිබඳ වූ මූලික සිද්ධාන්ත සාමාන්‍ය ජනතාවට පැහැදිලි කළ නොහැකි බව පිළිගත යුතු ය. ඔවුනට ඉතා යහපත් ලෙස පවතින සහ ඇති වන අවදානම පිළිබඳව මනා අවබෝධයක්‌ ලබා දිය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...