Wednesday 25 December 2019

වායු ගෝලීය දූවිලි අංශු 

This aticle was originally published in Divaina 25th December, 2019
 https://divaina.com/daily/index.php/visheshanga3/37204-20-25

පසුගිය දිනවල ඔබට මතක ඇති අපේ රටේ වායු දූෂණය සම්බන්ධ යම් යම් ගැටලු පැන නැගුණා. ඒකට හේතු වුණා කියලා කිව්වේ ඉන්දියාවේ සිට මෙරටට පා වුණ ඉතා කුඩා අංශු. මේ අංශු එරට වායුගෝලයේ කැළඹීමත් සමගම ඇතිවුණ සුළං ධාරා මගින් මෙරටට ගෙන ආ බවයි නිගමනය වුණේ. මේවා වායුගෝලීය ක්‌ෂුද්‍ර අංශු එහෙම නැතිනම් අපිට පුළුවන් වායුගෝලීය දූවිලි අංශු කියලත් හඳුන්වන්න.
 
 දිනකට සුළං ගැලුන් 3000ක්‌ නොසිතාම පෙනහැල්ලට යවන ඔබ මේ පිළිබඳව දැනුවත්ද? මොනවද මේ වායු ගෝලීය දූවිලි අංශු? බොහොම සරලව හඳුන්වනවා නම් වායු ගෝලයේ පාවෙන ඉතා කුඩා අංශුමය ද්‍රව්‍යය මෙලෙස හඳුන්වන්න පුළුවන්. මේවා ඝන ද්‍රව්‍යය වාගේම දියරමය ස්‌වරුපයෙන් හෝ මිශ්‍රණයක්‌ ලෙස ද වායුගෝලයේ පා විය හැක. ප්‍රමාණය මනින්නේ මයික්‍රෝ මීටර ප්‍රමාණයෙන්. මයික්‍රෝ මීටරයක්‌ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවක්‌. සෙන්ටිමීටරයකින් දස දහසකින් පංගුවක්‌. එතකොට හිතා ගන්නකො අංශුවල ප්‍රමාණය කොපමණ ද කියලා. උදෑසන හිරුඑළියට ඇතිවන හිරුකිරණ ඔබ දැක ඇතිවාට සැකයක්‌ නැහැ. ඒ ආලෝක ධාරා තුළ චලනය වන්නේ මෙවැනි කුඩා අංශු.
 
 ඇහැට නොපෙනෙන මෙවැනි අංශු උත්පාදනය වෙන්නේ කොහොමද කියලා දැන ගන්න එක වැදගත්. බොහෝ විට පස්‌ කැපීම වැනි සිද්ධීන් වලින් වාගේම, ගිනි තැබීම වැනි සිද්ධි නිසාත් ඉතා අධිකව වායුගෝලයට මෙවැනි අංශු එකතුවීමේ සම්භාවිතාවය වැඩියි. ඒ වගේම ගල් අඟුරු බලාගාර මෙන්ම වාහන ධාවනය නිසාත් මෙවැනි ඉතා කුඩා අංශුමය ද්‍රව්‍යය වායුගෝලයට එකතූ වෙන්නේ පුළුවන්. නග්න පාරවල් වාගේම, පිට්‌ටනි සහ ඉවත දමන පස්‌ වැනි ද්‍රව්‍යය නිසාත් වායුගෝලයේ මෙවැනි ක්‌ෂුද්‍ර අංශු සැරිසරන්නට පුළුවන්. ඒ විතරක්‌ නොවෙයි වඩුමඩු, ගරාæ (තීන්ත ස්‌ප්‍රේ) වැනි කර්මාන්ත නිසාත් වායුගෝලයට මේ ක්‌ෂුද්‍ර අංශු එකතු වීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය වියළි කාලයේදී වර්ධනය වීම විශේෂත්වයක්‌.
 
 අපි ඒ කතා කළේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා දූවිලි අංශු ඇතිවන ආකාරයනේ. සොබාවිකවත් මෙවැනි අංශු බිහිවීමේ හැකියාව තියෙනවා. බොහෝ විට ශාක පුෂ්පයන්ගෙන් නිකුත්වන පාරග ඉතා සියුම් සහ ක්‌ෂුද්‍ර නිසා ඒවාත් මේ කාණ්‌ඩයටම ඇතුළත් කරන්න පුළුවන්. එපමණක්‌ නොවෙයි වැලි කුණාටු නිසාත්, ගිනිකඳු පිපිරීම් නිසාත්, මුහුදු සුළං නිසාත් වායු ගෝලයට ක්‌ෂුද්‍ර අංශු එකතු වීමේ අවදානමක්‌ තියෙනවා. පස්‌ මගින් බිහිවන දූවිළි අංශු වල නම් බොහෝ වැටි මැටි ඛණිජ අඩංගු අතර ගිනි ගැනීම නිසා වායුගෝලයට එකතුවන අංශු බොහෝවිට බාගෙට පිළිස්‌සුන කාබන් අංශු වෙයි. කොහොම වුණත් මේවායේ සංයුතිය නම් එකිනෙකට වෙනස්‌ වෙනවා. වායුගෝලීය පාවෙන අංශු උත්පාදනය වන ක්‍රමවේදය සහ ස්‌ථානය අනුව එලෙස වෙනස්‌ විය හැකියි.
 
 දැනට විද්‍යාඥයින් අධ්‍යනයේ පහසුව සඳහා ක්‌ෂුද්‍ර අංශු වර්ගීකරණය කරලා තියෙනවා. ඒ අනුව PM10 යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රමාණයෙන් මයික්‌රෝමීටර 10ට අඩු අංශු ලෙසයි. ඒ වාගේම PM2.5 යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රමාණයෙන් මයික්‌රෝ මීටර 2.5 ට වඩා අඩු අංශු ලෙසයි. දෙවැනි ආකාරය වඩා කුඩා වන අතර වායුගෝලයේ පහසුවෙන් පා වීමේ හැකියාව සතුයි. ලෝකයේ දකුණු භාගයේ වායුගෝලයේ විශාල අංශු වාර්තා වන අතර ඒ සඳහා හේතුවන්නේ දකුණු අර්ධය බොහොමයක්‌ වැසී පවත්නේ මුහුදු කලාපයයි. නමුත් උතුර අර්ධයේ වැඩිපුර වාර්තා වන්නේ සියුම් අංශු වන අතර ඒ සඳහා හේතුවන්නේ මේ ප්‍රදේශය සමන්විත වන්නේ ගොඩබිම කලාපයයි.
 
 වායුගෝලය දූවිලි අංශු වලින් වැසී යැම නිසා විවිධ බලපෑම් එල්ල විය හැක. ප්‍රධාන වශයෙන්ම සුර්යාලෝකය පතිත වීම අඩපණ කරන අතර දූවිලි අංශු මගින් හිරු කිරණ විමසීම සිදුකරයි. වායුගෝලයේ ඇති ක්‌ෂුද්‍ර අංශු ජල වාෂ්ප එකතු කරන න්‍යෂ්ටි ලෙස ක්‍රියාකිරීම නිසා සාමාන්‍ය ලෙස වර්ෂාව ඇතිවීමට බාධා පමුණුවන බව සඳහන් වෙනවා. එපමණක්‌ නොවේ වායුගෝලයේ මෙවැනි අංශු සාන්ද්‍රගතවිම නිසා දිගු දුර දැක්‌මට බාධා පමණුවයි. ඒ වාගේම මෙම ක්‌ෂුද්‍ර අංශු පතිත වීම නිසා මතුපිට ජලය ආම්ලික වීමේ වැඩි ප්‍රවණතාවයක්‌ නිර්මාණය විය හැක. ජල දූෂණය වාගේම පාංශු දූෂණය ද එනිසාම කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම ද මේ අනුව සිදුවිය හැක. ඒ වාගේම අවසානයේදී ජෛව විවිධත්වය අඩුකරලීමෙහිලා බලපෑම් එල්ල කිරීමට සමත් බව පැහැදිලි වේ. මෙම ක්‌ෂුද්‍ර අංශු එලෙස පරිසරයට බලපාන අතර මානව සහ සත්ත්ව සෞඛ්‍ය සඳහා ද ප්‍රබල ලෙස බලපාන බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ.
 
 PM10 සහ PM2.5 යන නිර්මිත මගින් මනිනු ලබන අංශු ප්‍රමාණයන් මානව සෞඛ්‍ය සඳහා ඉතා තදින්ම බලපාන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ඔවුනට අනුව අකල් මරණ සඳහා වැඩි සම්භාවිතාවක්‌ මේ නිසා ඇති වේ. බොහෝවිට ස්‌වසනයෙන් ඒ සමග පෙනහළු ගතවන අංශු නිසා ඇඳුම වැනි තත්වයන් පමණක්‌ නොව පිළිකා තත්වයන් ද වර්ධනය විය හැක. ඒ වගේම නොයෙකුත් අසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවක්‌ ද නැතුවා නොවේ. එය ස්‌වසන මාර්ගය ආශ්‍රිත නොයෙකුත් ලෙඩ රෝග ඇති කිරීමටද හේතුවෙයි. එමෙන්ම හෘදයා බාධ ඇතිකිරීමටද හේතුවන බව සොයාගෙන තිබේ. විද්‍යාඥයින් පවසන පරිදි ඉතා කුඩා අංශු ( PM2.5) පෙනහළු ගතවීම පමණක්‌ නොව අවසානයේදී රුධිරගත වීමේ හැකියාවක්‌ ඇති බව පැහැදිලි වේ.
 
 අනෙකුත් විශේෂත්වය වන්නේ, මෙම වායුගෝලීය අංශු සමග විවිධ ලෙඩ රෝග පැතිරීමේ අවදානමයි. සමහරවිටෙක මෙවැනි පවෙන අංශු සමග විවිධ බැක්‌ටීරියා වර්ග සහ දිලිර වර්ග සහ ඒවායේ බීජානු පැතිරීමේ සම්භාවිතාවක්‌ ඇත. එනිසා ඒ සමග ඉතා පහසුවෙන් ලෙඩ රෝග පැතිරිමේ හැකියාව ඇති බව පෙනී යයි.
 
 මානව ගහනයේ වැඩිපුරම බලපෑමට ලක්‌වෙන කාණ්‌ඩය වන්නේ කුඩා ළමුන්. ඔවුන්ගේ දේහ ප්‍රමාණයට සාපේක්‌ෂව වැඩි වායු ප්‍රමාණයක්‌ ස්‌වසනය කරන නිසා ඔවුන් දූෂකවලට වැඩිපුර නිරාවරණය වෙයි. ඊට අමතරව මේ තත්වය අසනීප තත්ත්වයේ පසුවන අයවලුන් සඳහා ඉතා නොසුදුසු වේ. විශේෂයෙන්ම පෙනහළු සහ ස්‌වසන මාර්ගය ආශ්‍රිත රෝගාබාධ වලින් පෙලෙන අය සඳහා ද වයසක අය සඳහා ද මෙම අහිතකර වායුගෝලීය තත්වය ප්‍රබලව බලපායි.
 
 වර්තමායේ පවතින වායුගෝලීය දූෂක තත්ත්වය මග හැරීම සඳහා නාසාවරණ පැළඳීම උචිත වන අතර ගෙවලවල දොර ජනෙල් වසා තැබීම වඩා උචිත වේ. කෙසේ වෙතත්, මෙයින් මිදීම සඳහා ඒක පුද්ගල මෙන්ම සමාජීය සාමුහික සහයෝගය ද ඉතා වැදගත් වේ.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...