Friday 11 December 2020

යාපනයේ කබෝනේට ෆැක්ටරිය.....!!!

භූ සංචාරිතය 36

This article is originally published on Vidusara 9.12.2020.

කුරිරු ත්‍රස්තවාදී යුද්ධය හමාර වූ වහාම මෙරට ජනතාවගේ සංචාරක සන්ධිස්ථානයක් වූයේ යාපනයයි. බොහෝ පිරිසක් තම ජිවිත කාලයේම දැක බලාගත නොහැකි වූ යාපනය බලාකියා ගැනීමේ ආශාවෙන් මෙලෙස සංචාරයේ නිරටැහැ විය. ඒ අතර යාපනයේ බැලිය යුතු ස්ථාන වලද යම් පෙළ ගැස්මක් ඇති විය. පතුල නොපෙනෙන ලිඳ, කීරමලේ පොකුණ, නාග දීපය,  යාපනයේ කොටුව යානාදී වශයෙන් තවත් බොහෝ තැන් ද මෙම සංචාරයට ඇතුලත් විය.

ඇත්තෙන්ම යාපනය අපූරු සංචාරක සන්ධිස්ථානයකි. මෙම  ප්‍රදේශයේ නැරඹිය යුතු තැන් බොහෝය. ඒවා සොබාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද නිර්මිතයන් ද ඒ අතර වෙයි. වර්තමානයේ බොහෝ කෝවිල් දැක ගත හැකි යාපනයේ කලෙක බෞද්ධ වෙහෙර විහාරවලින් පිරි තිබු බව පැවසේ. කෙසේ වෙතත් පසු කාලිනව සිදු වූ සමාජීය පෙරලියක් හේතුවෙන් බෞද්ධ ජනතාවගේ පිරිහීමක් ඇති වී හින්දු ධර්මය ඉස්මතු වී තිබේ. ඒ කෙසේවෙතත් ඉතා කාර්යක්ෂම ක්‍රියාශීලි ජනතාවක් ජිවත්වන යාපනය ගොවිතැනට කදිමය. මෙහි වෙසෙන ජනතාවගේ කැපවීම සහ දක්ෂතාවය යාපනයේ ගොවිතැනින් දැක බලා ගත හැකිය.

යකඩ ඔක්සයිඩය බහුල රක්ත පැහැගත් පාංශු දේහයන් සහ අවසාදිත වලින් සමන්විත වී ඇති යාපනයේ භූ ස්කන්ධය ඉතා වටිනා සම්පතක් බව දන්නී ඇත්තෙන්ම එහි වසන ජනතාවමය. ඔනෑම වර්ගයක එළවළුවක්, පළතුරක් වැවෙන මෙවන් සම්පතක් අතිශය වටින්නේයැයි පැවසිය හැකිය. සමහර ස්ථානවල පාංශු ස්ථරය එතරම් ඝනකම් නොමැත. නමුත් ප්‍රදේශයේ වගකරන්නා වූ ගොවිමහත්වරුන් ගේ ඥානය කදිමට මෙහෙයවමින් අභ්‍යන්තරයේ වූ මයෝසින හුණුගල බිඳිමින් යම්  ගැඹුරක් කෘතිමව ඇතිකරගන්නා බව යාපනය කිරික්ෂණය කරන ලද බොහෝ අවස්ථාවන්හි දී මාගේ අවධානයට යොමු වුවෙකි. පාංශු සම්පත මෙම ප්‍රදේශයේ ජනතාවට සත්‍ය ලෙසම රන් සේම වූ සම්පතක් බව යාපනයේ සමාජ සංස්කෘතිය අධ්‍යනය කරන්නෙකුට ඉතා හොඳින් පැහැදිලි වේ.

පවතින උණුසුම් කාලගුණයත් නිරන්තරයෙන් හමනා සුළං දහරත් ප්‍රදේශය යම් ප්‍රමාණයකට වියලිව තබන්නට උත්සුක වෙයි. එනිසා ජලයේ වටිනාකම මෙහි ලා පැවසිය නොහැක. ජලය භූ ගත ජල නිධි භාවිතයෙන් ලබා ගන්නා අතර සමහර අවස්තාවලදී මෙම ජලය බිමට ගැනීමට තරම් හොඳ තත්වයේ නොමැත්තේ ජල නිධි පවතින්නේ හුණුගල් මධ්‍යයේ හෙයිනි. ජල නිධි පවත්නා හුනුගලේ රසායනයන් වන්නාවූ බොහෝ පහසුවෙන් දියවෙන කබෝනේට්  ජලයේ රසය වෙන්ස්කරයි. වැඩිවන කටිනතාවය නිසා බිමට ගත නොහැකි වුවත් කෘෂිකර්මය සඳහා භාවිතා කල හැක. භාවිතාකරන්නාවූ උපකරණවල මෙන්ම භාජන වල ද හුණු තැන්පත් වීම බහුලව දැකිය හැකිය. විශේෂයෙන්ම ජලය රත් කිරීමට භාවිතා කරන්නා වූ භාජන මෙම තත්වය බහුලය. කලාතුරකින් හමුවන්නා වූ තැන් කිහිපයක පමණක් පිරිසිදු ජලය ලබාගත හැකි ජලනිධි හමුවේ. පතුල නොපෙනෙන ළිඳත් කීරමලේ පොකුණත් එවන් වූ ස්ථාන දෙකකි.

දියවුන භූ අභ්‍යන්තරික හුණුගල් පාෂාණය ඇතිකරන්නා වූ කුහරමය ව්‍යුහයන් ගෙන එන්නේ යම් අස්ථාවර බවක්මය. එනිසා බිඳුන හුණුගල් ස්ථර නිර්මාණය කරන කාස්ටික භූ රූපණ ප්‍රදේශයට අනන්‍ය වූ ලක්ෂණයකි. වසර මිලියන 300 කට පමණ ඇති වූ අපසාරී තල මායිම නිසා ඉවතට පාවෙන ශ්‍රී ලංකේය භූ ස්කන්ධයත් ඉන්දියානු භූ ස්කන්ධයත් අතර හටගත නව සාගරික තලයේ රසායනිකව තැන්පත් වූ කබොනේට අවසාදිත පාෂාණිභූත වීමෙන් මෙම මයෝසින හුණුගල නිර්මාණය වී ඇත. මේ අතර වූ නොගැඹුරු මුහුදු කලාපය කබෝනේට් අවක්ෂේපණය සඳහා කදිම පරිසරයක් නිර්මාණය කර දෙන්නට ඇත. වියළි උණුසුම් කාලගුණය සාගර ජලයෙන් කබෝනේට් අවක්ෂේපණය තීව්ර කරන්නට ඇත. මෙම අවක්ෂේපණය සඳහා වයුගෝලිය කාබන්ඩයොක්සයිඩ් පීඩනයේ අඩු වීම ද ඉතා වැදගත් ය. ඒ මගින් කබොනේට් සමතුලිතය පසුපසට තල්ලු කිරීමෙන් කබොනේට් අවක්ෂේපණය වර්ධනය කරන්නට ඇත. කබෝනේට වල ද්‍රාව්‍යතා ගුණිතය ඉක්මවීම මෙම ක්‍රියාදාමය සඳහා හේතුවන්නට ඇත.

සාන්ද්‍රගත වූ කබෝනේට් සහිත සාගර ජලය අවක්ෂේපණය පහසු කරන්නේ සාගර පත්ලේ වූ වලිකට හෝ බෙලිකටු කැබලි හෝ න්‍යෂ්ටි බවට පත්කර කණිකාමය කබොනේට් අවසාදිත නිර්මාණය කරන්නට ඇත. එනිසා ඌඔයිඩ්, පිලොයිඩ්, පිසොයිඩ් වැනි කබෝනේට් ඛණිකා නිර්මාණය සිදුවන්නට ඇති බව උපකල්පනය කල හැක. කෙසේ වෙතත් මයෝසින හුනුගලේ සංයුතිය බහුලව පෙන්වන්නේ ජෛව අවසාදිත වලින් අනුන බවයි. විවිධාකාරයේ බෙලිකටු සහ කොරල් වැනි වූ කබොනේට් කවචදරණ ජීවීන්ගේ ප්‍රාග් ජීව ධාතුන් බහුලව හමුවේ. මයෝසින යුගයට ආවේනික වූ මුහුදු ජීවී විශේෂ මේ අතර වන්නේය. ඔවුන් අධ්‍යනය කිරීමෙන් එකල වූ ජෛව පරිණාමය පිලිබඳ කදිම තොරතුරු සමුහයක් දැනගත හැකිය. එපමණක් නොව හුනුගලේ ගුණාගුණ අධ්‍යනය මගවෙන්වන්නේ අතීත පාරිසරික තත්වයන් පැහැදිලි කිරීමේදී වැදගත් වේ.

භූ තල මායිමෙන් ශ්‍රී ලංකාව අපසරණය වීමේදී තවමත් සිදුවන උක්ෂිප්ත වීම නිසා තැන්පත් වී අවසාදිත හුණුගල ක්‍රමයෙන් මතුපිට භුමියේ දර්ශනය වී ඇත. එමගින් යාපනය භුමිය නිර්මාණය වී ඇත. ඒ මතුපිට පසුකාලීනව විශේෂය්නෙම චාතුර්ථ කාලයේ අවසාදනය වූ රක්ත පැහැති පාංශු ස්ථර එකල වූ සුළං මගින් ඇති වූ ඒවා වන්නට බොහෝ ඉඩකඩ ඇත්තේය. ඉතා සියුම් වැලිකැට, සිල්ට් සහ මැටි ඛණිකාමය මෙම අවසාදිත වැස්ම මේ ප්‍රදේශයට ආවේනික භූ සම්පතක් බව මතක නොකළ යුතුය.

මේ ප්‍රදේශයට ආවේනික වූ වගා ක්‍රමයක් දැක ගත හැකිය. නමුත් සම්ප්‍රදායික ක්‍රමවේද වලින් දැන් දැන් බැහැර යන මේ ප්‍රදේශයේ වගා කරුවන් ගේ නවීන කෘෂිකර්මයේ අත්හදා බැලීම් නිසා යාපනයේ පාංශු ස්තර ද භූ ගත ජලයද ක්‍රමයෙන් දුෂණයට ලක්වෙන බව මනාව පෙනී යන්නකි.  විවිධාකරයේ රසයනික පොහොර සහ කෘෂිකාර්මික රසායනයන් භාවිතය  එවන් වූ ජල දුෂණයක් සහ පාංශු දුෂණයක් උදෙසා හේතු වී ඇත. මේ තත්වය දිනෙන් දින වර්ධනය වන බව අමතක නොකළ යුතුය. තවත් කලක් යත්දී භූගත ජලය පමණක් නොව මතුපිට ජලය ද භාවිතයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගත විය අහක. එනිසා විශේෂයෙන්ම යාපනයේ සංවර්ධන ව්‍යපෘති වලදී මෙම තත්වය පිලිබන්දව් අවධානය යොමු වියයුතුවා  පමණක් නොව දුෂිත ජල නිධි ප්‍රකෘති කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කල යුතුය. නැතහොත් යාපනයේ ජල නිධි නැවත භාවිතයට ගතැහැ නොහැකි තරමටම අභාවයට යනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...