Wednesday 8 January 2020

 කිරිගරුඬ පාෂාණ අලංකරණය
This article was originally ublished in Divaina, 08.01.2020.
https://divaina.com/daily/index.php/visheshanga3/37728-8-23.
 
අතීතයේ ශ්‍රී ලංකාවේ පාෂාණ භාවිතය ඉතා බහුලයි. ඒ වාගේම විවිධාකාරයි. අතීත මිනිසුන්, ඔවුන් එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා මෙම පාෂාණ භාවිත කළා. ගොඩනැඟිලි නිර්මාණයට, වාරිමාර්ග කටයුතු සඳහා, මාර්ග නිර්මාණය සඳහා පමණක්‌ නොව අලංකරණය සඳහා ද පාෂාණ යොදාගත් අවස්‌ථා දැකිය හැකියි.
 
 කිරිගරුඬ පාෂාණය ඉතා අපූරු පාෂාණයක්‌. ධවල පැහැති මෙම පාෂාණය ශ්‍රී ලංකවේ බොහෝ අලංකරණ කටයුතු සඳහා භාවිත වූ බවට කදිම සාක්‌ෂි ලැබෙනවා. මොනවද මේ කිරිගරුඬ පාෂාණ කියන්නේ ? භූ විද්‍යාත්මකව විග්‍රහ කළහොත් මෙම පාෂාණ 'මාබල්' (Marbal) කියලා හඳුන්වන්න පුළුවන්. සමහරු 'විපරිත හුණුගල්' කියලත් කියනවා. ඇත්තටම 'මාබල්' කියන්නේ විපරිත වූ පාෂාණයක්‌. ශ්‍රී ලංකවේ ඇත්තාවූ ඇති බහුතරයක්‌ පාෂාණ විපරිත පාෂාණ.
 
 කිරිගරුඬ පාෂාණයේ රසායනය වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්නා 'කැල්සියම් කබෝනේට්‌' කියන රසායනය. කිරිගරුඬ ඉතා ඉක්‌මනට ආම්ලික ජලයත් එක්‌ක ප්‍රතික්‍රියා කරන නිසා ඉතා පහසුවෙන් දියවෙන පාෂාණයක්‌. වැසි ජලය තරමක්‌ ආම්ලිකයි. එනිසා අධික වර්ෂාවත් සමග මෙම පාෂාණ ඉතා ඉක්‌මනට ජීර්ණයට ලක්‌වීම සාමාන්‍ය ලක්‌ෂණයක්‌.
 
 ශිලා නිර්මාණ කර්මාන්තය සඳහා අපේ රටේ මුතුන් මිත්තන් හරි ප්‍රසිද්ධයි. ඛනිජ සංයුතිය සහ ස්‌ඵටිකවල විශාලත්වය සැලකූ විට මෙම පාෂාණය නෙලීමේ කටයුතු සඳහා එතරම් සහයෝගයක්‌ ලබා දෙන පාෂාණයක්‌ නොවෙයි. එසේ වුවත් ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් කොතරම් දක්‌ෂදැයි කිවහොත් මෙමගින් ඉතා අපුරු නිර්මාණයන් කරලා තියෙනවා. අනුරාධපුරයේ ඇති අපි කවුරුත් දැක ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ එම පාෂාණයෙන් කළ නිර්මාණයක්‌. එවැනි ප්‍රතිමා වහන්සේලා තුනක්‌ අනුරාධපුර පූජා භුමියේ දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ගෘහස්‌ථ අලංකරණය සඳහා ද වෙහෙර විහාර අලංකරණය සඳහා ද මෙම පාෂාණය ඉතා බහුලව යොදාගෙන ඇති බවට සාක්‌ෂි සහිතයි. සඳකඩ පහන, කොරවක්‌ ගල් වැනි නිර්මාණ සඳහ ශ්‍රී ලංකාවේ හමුවන බොහෝ පුරාවිද්‍යාත්මක ස්‌ථාන වල දී මෙම පාෂාණය යොදාගෙන ඇති බව අපට පැහැදිලිව දැක ගත හැකි වේ. ඉන්දියාවේ ටඡ් මහල් නිර්මණය කර ඇත්තේ ද කිරිගරුඬ පාෂාණ වලින්.
 
 හුණු නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ කැල්සියම් කාබෝනේට්‌ සහිත ඛනිජ සහ පාෂාණ යි. හුණු අතීතයේ දී ගෘහස්‌ථ පැහැ ගැන්වීම සඳහා යොදාගෙන තිබෙනවා. ඉස්‌සර ආදී කාලයේ හුණු නිෂ්පාදනය කරගත්තේ බෙලි කටු හෝ ගල්මල් (කොරල්) පුච්චලා. ඒ වෙරළබඩ ප්‍රදේශයේ. නමුත් රට අභ්‍යන්තරයේ මේ සඳහා යොදාගෙන තියෙන්නේ කිරිගරුඬ පාෂාණය. අධික උෂ්ණත්වය හමුවේ කිරිගරුඬ පාෂාණය වියෝජනය වී අළුහුණු ලබා දෙන අතර එමගින් හුණු දියරය නිෂ්පාදනය කර ගත හැකිය. දැනටත් මහනුවර දිගන සහ මාතලේ ප්‍රදේශවල හුණු නිෂ්පාදනය කරන්නේ මෙලෙසයි.
 
 කිරිගරුඬ පාෂාණය පවතින ප්‍රදේශවල තියෙන ගැටලුව තමයි භූ අභ්‍යන්තරයේ කුහර නිර්මාණයට හේතු වීම. මේ තත්ත්වය මාතලේ සහ මහනුවර ප්‍රදේශයේත් බදුල්ල වැනි ප්‍රදේශවලත් දැක ගත හැකියි. ඉතා පහසුවෙන් දියවීමට ලක්‌වෙන නිසා භූ අභ්‍යන්තරයේ විවිධ ප්‍රමාණවලින් විවිධ ගැඹුරේ කුහර දක්‌නට හැකියි. මෙම කුහර ක්‍රමයෙන් විශාල වී මතුපිටට අසන්න වූ විට ක්‌ෂණයකින් කඩා වැටීම නිසා ජනතාව ආපදාවට ලක්‌ වේ. මෙවැනි සිද්ධීන් ගණනාවක්‌ ම පසුගිය කාලයේ මහනුවර, මාතලේ සහ බදුල්ල ප්‍රදේශවලින් වාර්තා වුණි.
 
 කිරිගරුඬ පාෂාණය වත්මනෙහි යොදාගන්නේ හුණු නිෂ්පාදනයට පමණක්‌ නොවෙයි. විශාල වශයෙන් කිරිගරුඬ ආකාර වලින් ලබා ගන්නේ පෝසිලේන් නිෂ්පාදනයට 'කිරිගරුඬ' එම කර්මාන්තයේ අත්‍යවශ්‍ය අමුද්‍රවයක්‌.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...