Tuesday 17 January 2017


විදු පත් ඉරුව
2015  නොවැම්බර් 04 බදාදා

ඒ 1997 අවුරුද්දයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ප්‍රථම වසරේ සිසුවෙකු වූ මම ඉතා තදින් ම භූ විද්‍යාව හා බැඳී සිටියෙමි. දුෂ්කර වූ මුල් මාස කිහිපයෙන් පසුව නිදහසේ සැරිසරන්නට හැකියාව ලද අපි සියලු දෙනා ම අපට හදුන්වා දුන් මේ අලුත් විෂය ගැන නිරන්තරව සාකච්ඡා කළෙමු. භූ විද්‍යාව හැදෑරීම සදහා අප කණ්‌ඩායමේ 30 දෙනකු තෝරාගෙන තිබූ අතර ගැහැනු ළමයි දස දෙනකු පමණ ද ඒ අතර වූ හ. මේ මනරම් විෂයයෙන් ඔළු ගෙඩිය පුරවාගෙන සිටි මා හට අවසානයේ දී උසස්‌පෙළ දී මා ඉතා කැමැත්තෙන් සිටි උද්භිද විද්‍යා විෂය අතහැරීමට සිදු වූයේ දෙවැනි වසරේ සිට භූ විද්‍යා විශේෂ උපාධිය හැදෑරීමට අවස්‌ථාව ලද හෙයිනි. මා භූ විද්‍යාවට ප්‍රිය කළේ එය ක්‌ෂේත්‍ර මූලික විෂයක්‌ වූ නිසා ම ය.

පළමු වසරේ භූ විද්‍යාව හැදෑරූ අපට ක්‌ෂේත්‍ර අධ්‍යයනය අනිවාර්ය අංගයක්‌ විය. සිතියම් අධ්‍යයනයත්, ඛනිජ සහ පාෂාණ වර්ග අධ්‍යයනයත් මූලික සංකල්පනා අතර විය. නවතම විෂයයක්‌ වූ බැවින් අලුත් ම කරුණු හැදෑරීම බොහෝ සතුට දනවන කරුණක්‌ විය. ඒ අතර ම බොහෝ අත්වැරැදීම් ද වූ අතර සමහර සිදුවීම් ඇත්තෙන් ම අප සිනා සයුරේ ගිල්වනසුලු විය. විශේෂයෙන් ම ක්‌ෂේත්‍ර චාරිකාවල දී ඉගෙනගත් කරුණුවලට අමතරව දවස රස කරවූ සිදු වීම් එමට විය.

පළමු වසරේ වූ අපට ක්‌ෂේත්‍ර අධ්‍යයනයන් ඉගැන්වූයේ ආචාර්ය ජගත් ගුණතිලක ඇදුරුතුමන් ය. ක්‌ෂේත්‍ර අධ්‍යයනයන් සදහා යැමට පෙර සම්පූර්ණ කරගත යුතු කරුණු සමූහයක්‌ විය. භූ විද්‍යාඥයකුට භූ විද්‍යා මාලිමාව සහ භූ විද්‍යා මිටිය අත්‍යවශ්‍ය මෙවලම් දෙකකි. මේ උපකරණ දෙක නොමැති ව කෙසේ වත් ක්‌ෂේත්‍ර චාරිකා සදහා සහභාගි විය නොහැකි ය. ක්‌ෂේත්‍ර සටහන් පොත ද අදාළ ප්‍රදේශයේ සිතියම ද අනිවාර්යයෙන් ම ළඟ තිබිය යුතු ම ය. එමෙන් ම අව්වෙන් ආරක්‌ෂා වීමට හිස්‌වැසුමක්‌ ද, වතුර බෝතලයක්‌ ද, සපත්තු ද ඒ අත්‍යවශ්‍ය අංග අතර වෙයි. අප සියල්ලන් ම බසයට නංවාගන්නා ජගත් ගුණතිලක ඇදුරුතුමන් මහනුවර අවට කොහේ හෝ කළුගල් කඩනා තැනකට හෝ අලුතෙන් පාරක්‌ කපනා ප්‍රදේශයකට හෝ අප කැඳවාගෙන යන්නේ ඉතා හොඳින් එම ස්‌ථානවල අලුත් පාෂාණ මතු වී ඇති බැවිනි. බසයෙන් බැස ක්‌ෂේත්‍රයට යැමේ දී සමහර අය ළඟ අවශ්‍ය උපකරණ සියල්ල නැත. ඒවා බසයේ ය. මේ බව හොඳින් දන්නා ඇදුරුතුමන් ගේ පරීක්‌ෂාව අනිවාර්ය ය. බොහෝ දෙනකුට නැවත බසය වෙත යැමට සිදු වේ. කෙසේ වෙතත් අප ඉතා විනෝදයෙන් මේ අධ්‍යයනයන් සිදු කළ බව නම් සැබැවි. පළමු වසරේ අප ලද එම ක්‌ෂේත්‍ර පුහුණුව අද වන තෙක්‌ ම ඉතා කඩිසරව සහ විනයානුකුලව ක්‌ෂේත්‍රයේ රැඳී සිටීමට මහඟු උපකාරයක්‌ විය. එවක සිට මා විශ්ව විද්‍යාලයයෙන් පිට වන තුරු එහි වූ සියලු ම ආචාර්යවරුන් ගේ ඉගැන්වීම් සහ උපදෙස්‌ භූ විද්‍යාඥයකු ලෙස මෙරටට සේවය කරන්නට අතිමහත් පිටිවහලක්‌ විය.

භූ විද්‍යා අධ්‍යයනය ගැන කතා කරන විට මෙරට භූවිදයා අධ්‍යයන හා පර්යේෂණ ක්‌ෂේත්‍රයේ අමතක කළ නොහැකි සුවිශේෂ චරිත කිහිපයක්‌ ගැන ද මෙහි සඳහන් නො කළොත් බලවත් අඩුවකි.

මහාචාර්ය පී. ඩබ්. විතානගේ මහතා ශ්‍රී ලංකේය විශ්වවිද්‍යාල ක්‌ෂේත්‍රයට භූ විද්‍යාව හඳුන්වා දුන් ඇදුරුතුමන් ය. භූ විද්‍යාවේ මේ මහැදුරුවරයා 1964 දී භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනු අංශයක්‌ ලෙස භූ විද්‍යා අංශය ආරම්භ කරන්නේ ළමයින් 12 දෙනකු ගෙන් සමන්විත වූ කණ්‌ඩායමකිනි. අඩු පහසුකම් යටතේ වුව ද එය ක්‍රමානුකූලව පවත්වාගෙන ගිය අතර මේ විෂය ඉගැන්වූ වැඩි දෙනෙක්‌ පිටරටවල දේශකයෝ වූ හ. කෙසේ වෙතත් 1967 දී ස්‌වාධීන අංශයක්‌ ලෙස භූ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යලයයේ විද්‍යා පීඨය යටතේ ස්‌ථාපිත වූ අතර උපකරණ ඇතුළු අනෙකුත් අංගයන් ගෙන් සම්පූර්ණ වන්නට විය. මෑතක්‌ වන තුරු ම දෙපාර්තුමේන්තුව පැවතියේ කලා පීඨයේ භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙහි ම ය.

කෙසේ වෙතත් මහැදුරුතුමන් ගෙන් ඉගෙනගැනීමට අප කණ්‌ඩායම වාසනාවන්ත වූයේ නැත. ඔහු 1998 වසරේ ජනවාරි මාසයේ අගභාගයේ දී හදිසියේ ඇති වූ හෘදයාබාදයකින් මෙලොව හැර ගියේ ය. එතුමන් දේශනවලට පමණක්‌ සිමා වූ පුද්ගලයකු වූයේ නැත. දේශයේ විවිධ සංවර්ධන කටයුතුවල දී තම විශේෂඥ මතය ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකිකයකු ලෙස විශාල සේවයක්‌ ඉටු කළේ ය. ඔහු බොහෝ සුවිශේෂ පුද්ගලයෙක්‌ විය. තම ගෝලයන්ට, විෂයට සහ තම රටට බෙහෙවින් ආදරය කළේ ය. ඔහු හා ක්‌ෂේත්‍ර චාරිකා සහභාගී වූ අය සිතින් නො මැකෙන අත්දැකීම් ලබා ඇති බව නිසැක ය. ඔහු ගේ එක්‌ චාරිත්‍රයක්‌ විය. ඒ ක්‌ෂේත්‍ර වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර ශිෂ්‍යයන් සියල්ලන්ට ම කිරිබත්වලින් සංග්‍රහ කිරීමයි. එදා මෙදාතුර ඔහු ගෙන් ඉගෙනගත් බොහෝ අය භූ විද්‍යාඥයන් ලෙස මෙරට ද පිටරට ද සේවය කරති. ඔවුන් ගෙන් සමහරෙක්‌ ලෝ ප්‍රකට වූවන් වන අතර ශ්‍රී ලාංකේය භූ විද්‍යාවේ ප්‍රගමනයට අතිමහත් සේවයක්‌ කළ අය වෙති.

ශ්‍රී ලාංකේය භූ විද්‍යා ක්‌ෂේත්‍රයේ නම රැන්දූ තවත් භූ විද්‍යා මහාචාර්යවරුන් දෙපළක්‌ වන්නේ මහාචාර්ය සී. බී. දිසානායක මහතා සහ මහාචාර්ය කපිල දහනායක මහතා ය. මොවුන් දෙදෙනා ම මෙරටින් බිහි වූ විශිෂ්ට භූ විද්‍යාඥයෝ වෙති. මහාචාර්ය සී. බී. දිසානායක මහතා භූ රසායන විද්‍යාවේ ආරම්භක සහ පෙරළිකාර සොයාගැනීම් රැසක්‌ දායාද කළ තැනැත්තෙකි. වෙද භූ රසායනය හඳුන්වා දෙමින් කළ එතුමා ගේ අධ්‍යයන තුළින් භූ පරිසරය මානව සෞඛ්‍යය කෙරෙහි කෙසේ බලපාන්නේ ද යන්න විග්‍රහ වෙයි. පර්යේෂණ පත්‍රිකා රැසකට හිමිකම් කියන මහාචාර්ය සී. බී. දිසානායක මහතා දැනට හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස සේවය කරයි. භූ පරිසරයේ අවසාදිත සහ අවසාදිත පාෂාණ අධ්‍යයනය කරමින් ද ප්‍රාග්ජීවධාතු විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් ද මහාචාර්ය කපිල දහනායක මහතා නො මැකෙන සේවයක්‌ කර ඇත. රටේ බලවත් ගැටලුවක්‌ වන නාය යැම් පිළිබඳව ගැඹුරෙන් අධ්‍යයනය කළ කපිල දහනායක මහාචාර්යතුමා මෙවැනි ව්‍යසන පිළිබඳව අධ්‍යයනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක්‌ කළ මෙතුමා එහි ප්‍රථම අධ්‍යක්‌ෂවරයා ද වෙයි. මේ අතර ශ්‍රී ලංකේය භූ විද්‍යා ඉතිහාසයේ තවත් නො මැකෙන චරිතයක්‌ වන්නේ මහාචාර්ය පී. ජී. කුරේ මහතා ය. චතුර්ථ භූ විද්‍යාවෙහි ප්‍රවීණයකු වූ මේ මහාචාර්යතුමා දැනට ලංකාවේ භූ විද්‍යා විවිධ විෂයන් සම්පිණ්‌ඩනය කරමින් ලියූ එක ම පොත වන Geology of Ceylon ලියූ භූ විද්‍යා ඇදුරුතුමා ය.

දේශන සහ පර්යේෂණ සදහා අවශ්‍ය නවතම උපකරණ සහ පහසුකම්වලින් සමන්විත භූ විද්‍යා දෙපාර්තුමේන්තුව පිහිටුවා මේ වසර වන විට වසර 51ක්‌ ගත වන අතර මෙරටට අවශ්‍ය භූ විද්‍යාඥයන් බොහොමයක්‌ ඉන් බිහි වී ඇත. ගත වී ඇති කාලය හා සැසඳීමේ දී භූ විද්‍යාඥයන් ගේ සේවය දිනෙන් දින ම මෙරටට දැඩිව අවශ්‍ය බව මැනවින් පසක්‌ වන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතු ව ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදු පත් ඉරුව

2017 ජනවාරි 11 බදාදා

වසර 12000 කට පෙර ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය පිහිටියේ අද පවතින වෙරළට මීටර 100ක්‌ පමණ පහතින් බව භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. ඒ අප කවුරුත් දන්නා ලොව අවසාන අයිස්‌ යුගයේ දී ය. එම යුගයේ අවසානය වසර 11000කට පමණ පෙර ආරම්භ වූ අතර මුහුදු මට්‌ටම තවමත් වැඩි වෙමින් පවතියි. සමහර විද්‍යාඥයන් පවසන පරිදි අප තවමත් ගත කරන්නේ එම යුගයේ අවසාන කාල පරිච්ඡෙදයේ ය. එයට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ තවමත් ධ්‍රැවාසන්නයේ ඇති අයිස්‌ කඳු දිය වී නොමැති වීමයි. කෙසේ වෙතත් ඉතා පහතින් මුහුදු මට්‌ටම පිහිටීම හේතුවෙන් වසර 6000ක්‌ පමණ කාලයක්‌ දක්‌වා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ගොඩබිමෙන් සම්බන්ධ ව තිබෙන්නට ඇතැයි යන්න භූ විද්‍යාඥයන් ගේ මතයයි.

ශ්‍රී ලංකාවේ පිහිටි ත්‍රිකුණාමල වරාය ලොව පිහිටි හොඳ ම ස්‌වාභාවික වරායන් ගෙන් එකකි. එසේ වන්නට හේතු වී ඇත්තේ එහි අපූරු භූ සැකැස්‌ම ය. ඊසාන-නිරිත දිශානුගත ව විහිදී යන ලාංකේය භූ ස්‌කන්ධයේ පැලුම් රටාව සුවිශේෂී ලෙස මේ කෙරෙහි බලපා ඇත. මෙරට දිග ම ගංගාව වන මහවැලිය, මහනුවරින් පසු එක එල්ලේ මුහුදට ගලා බසින්නේ මේ සුවිශේෂී පැලුම් රටාව ඔස්‌සේ ය. එම පැල්ම මුහුදට ආසන්න වත් ම බොහෝ ගැඹුරට සෑරී ඉතා ගැඹුරු නිම්නයක්‌ සකස්‌ කොට ඇත. මේ නිම්නය, වසර 11000කට පමණ පෙර එනම් අයිස්‌ යුගයේ වූ පහළ ගිය මුහුදු මට්‌ටම හේතුවෙන් දුර්වල පාෂාණ සහ පාංශු ස්‌ථර ඛාදනය වීමෙන් සකස්‌ වන්නට ඇති බව අප ගේ මතයයි. එමෙන් ම බොහෝ විට මේ ස්‌ථානවල අලංකාර දිය ඇලි සකස්‌ ව තිබෙන්නට ද ඇත. ඒ නිම්නයේ බෑවුම ශීඝ්‍ර හෙයිනි. පසුකාලීනව ක්‍රමයෙන් මුහුදු මට්‌ටම ඉහළ යැම හේතුවෙන් නිම්නය ජලයෙන් යට වී මේ මුහුදු බොක්‌ක නිර්මාණය වන්නට ඇත. මේ ප්‍රදේශයේ ඇති අධික ගැඹුර ලොව විශාලතම සහ ගැඹුරු පත්ලක්‌ සහිත යාත්‍රා ගොඩබිම සමීපයට ගෙන එන්නට සමත් වේ. ඉතිහාසය පිරික්‌සීමේ දී මේ ස්‌වාභාවික මුහුදු බොක්‌ක මානව වෙළෙඳ වංශ කතාවේ සන්ධිස්‌ථානයක්‌ වන්නට ඇත. අවම වසර 3000කට පෙර අන්තර් ජාතික වරායක්‌ ලෙසත් අවට ගොඩබිම කලාපය අතිශය දියුණු වෙළෙඳ නගරයක්‌ ලෙසත් පැවතෙන්නට ඇත්තේ මේ මුහුදු බොක්‌කේ වූ සුවිශේෂී භූ සැකැස්‌ම සහ රුපණය හේතුවෙනි.

වයඹදිග වෙරළෙහි පිහිටි මන්නාරම ප්‍රදේශය ඉපැරැණි වරායක්‌ සදහා ප්‍රසිද්ධියක්‌ උසුලයි. මේ ප්‍රදේශය එකල මාන්තායි ලෙස ද හදුන්වා ඇති අතර කරන ලද පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අනුව වෙළෙඳ නගරයක ලක්‌ෂණ පෙන්නුම් කරන බව පෙනී යයි. එහෙත් භූ විද්‍යාත්මක සාධක සැලකීමේ දී ත්‍රිකුණාමලය (ගෝකන්න) තරම් වූ මනාව පිහිටි ස්‌වාභාවික වරායක්‌ නො වන බව පැහැදිලි වේ. එයට හේතු කවරේ ද...? ප්‍රධාන ම හේතුව නම් ත්‍රිකුණාමලයේ පිහිටන ආකාරයට ගැඹුරු අගාධමය ස්‌වරූපයක්‌ මන්නාරමෙහි නොමැති වීමයි. එනිසා පැහැදිලිව ම විශාල නැව් මන්නාරම් වරාය වෙත එන්නට හැකියාවක්‌ නොමැත. මන්නාරම සහ ඉන්දියාව අතර මුහුදු තීරය ඉතා පටු වන අතර ගැඹුර අඩු ය. මේ නොගැඹුරු මුහුදු කලාපයෙහි වඩාත් පහසුවෙන් භාවිත කළ හැක්‌කේ පැතලි පත්ලක්‌ සහිත යාත්‍රා වන අතර බොහෝ විට ඒවා කුඩා පරිමාණයේ ඒවා වන්නට ඇත.

භූ විද්‍යාත්මකව සැලකූ විට මේ පටු මුහුදු තීරය සකස්‌ වූයේ කෙසේ ද යන්න භූ තල කාරක මතයෙන් පැහැදිලි කළ හැකි ය. වසර මිලියන 230-300 අතර කාලය වන විට ශ්‍රී ලාංකේය භූ තලය සහ ඉන්දියානු භූ තලය එක ම ගොඩබිමක්‌ ව පැවැති අතර එම කාලය ලොව ඩයිනොසෝරයන් සැරිසැරූ යුගයයි. එම කාලයේ දී ඇති වූ අපසාරී භූ තල මායිමක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූ ස්‌කන්ධය ඉන්දියාවෙන් වෙන් වන්නට පටන් ගත්තේ ය. ක්‍රමයෙන් වර්ධනය වූ මේ පැල්ම හේතුවෙන් කාවරි ෙද්‍රdaණිය හටගත් අතර මේ ෙද්‍රdaණිය දෙපස මුහුද හා සම්බන්ධ වීමෙන් මේ කුඩා පටු මුහුදු කලාපය බිහි විය. භූ තල ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් දකුණු-ගිනිකොන දෙසට තල්ලු වූ අතර අද ද ක්‍රමයෙන් ඉන්දියාවෙන් ඈත් වෙමින් පවතී. ජුරාසික යුගයේ ඇරඹි මේ තල්ලු වීම හේතුවෙන් මේ මුහුදු කලාපයේ මයෝසින යුගයේ දී හුණුගල් තට්‌ටුවක්‌ අවසාදනය වූ අතර පසුකාලීනව උක්‌ෂිප්ත වීම හේතුවෙන් ශ්‍රී ලාංකේය විපරිත පාෂාණ පිහිටි භූ තලයට ඈදුණු කොටසක්‌ විය.

කෙසේ වෙතත් අවසාන අයිස්‌ යුගයට පසු එළඹි කාලයේ තෙවරක්‌ ම මුහුදු මට්‌ටම අද පවතින මට්‌ටමට වඩා ඉහළ ගිය බවත් එලෙස ම පහළ මට්‌ටමක පවතින බවත් පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි. එනිසා භූ තලකාරක ක්‍රියා හේතුවෙන් ඉන්දියාවෙන් ලංකාව ඈත් වුවත් මුහුදු මට්‌ටම පහළ යැම නිසා මන්නාරම සහ තමිල්නාඩු මුහුදු කලාපය අතරින් සම්බන්ධ වී ඇත. අදටත් අප රාමා ගේ පාලම යෑයි හදුන්වන්නේ මේ ගොඩබිම් කලාපයයි. ඈත අතීතයේ සිට ම මෙලෙස වරින් වර ඉන්දියාව හා සම්බන්ධ වීමෙන් ජාන සමුච්චය මිශ්‍ර වීමෙන් ද පසුකාලීනව සංස්‌කෘතීන් මිශ්‍ර වීමෙන් ද ලාංකේය ජීව පද්ධතිය වෙනසකට භාජන වන්නට ඇත. (මෙය අනෙක්‌ අතට ද වලංගු වේ.)

නොගැඹුරු මුහුදු කලාපයක්‌ නොමැති ව වුවත් වෙළෙඳ නගරයක්‌ සහ වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මාන්තායි පරිණාමය වන්නට ඇත්තේ මේ පටු මුහුදු කලාපය හරහා ඉතා පහසුවෙන් ඉන්දියානු අර්ධද්වීපය හා සම්බන්ධ විය හැකි වීමෙනි. එලෙස සම්බන්ධ වීම යනු ගොඩබිම හරහා ලෝකයේ අනෙකුත් රටවල් හා පහසුවෙන් සම්බන්ධ වීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජන...