Thursday 20 August 2020

උඩවලවේ පාංශු භක්ෂක හස්තීන් ...!!!

This artcile is originally published on Vidusara 19,08.202

භූ සංචාරිතය 23

ලෝකයේ හොඳම වයින් නිෂ්පාදකයා වන්නේ ඉතාලිය බව ද විටෙක එය ප්‍රංශය බව ද  පවසයි. කෙස් වුවත් වයින් නිෂ්පාදනයේ එක රහසක් වන්නේ එය සාදන අකාරය වාගේම ඒ සඳහා යොදා ගන්නා මිදී ලබා ගන්නා ප්‍රදේශයයි. එම රටවල එක් එක් ප්‍රදේශවලින් ලබා ගන්නා මිදී භාවිතා කර සාදන වයින් සුවිශේෂී වයින් වර්ග වන බව වයින් සංස්කෘතියේ ඉන්නා ඒ ගැන දන්නා බොහෝ දෙනා පවසන සත්‍යයක්. ඉන් ගම්‍ය වන කාරණය වන්නේ මිදී වල රසය වෙනස් කරන්නට එම ප්‍රදේශය බලපානා බවයි. ඇත්තෙන්ම ඒ ප්‍රදේශයේ පැතිරී ඇත්තා වූ පාංශු දේහයන් ගේ ගති ලක්ෂණ මේ සඳහා හේතුවන බවයි අපට වඩාත් හොඳින් පැහැදිලි වන්නේ.

මේ කාරණයම ලෝකයේ කිරි නිෂ්පාදනය සඳහා ද බලාපාන බවයි පැවසෙන්නේ. හොඳම කිරි ලබා ගැනීමට ඉතා හොඳ තණකොළ ලබා දිය යුතු බවත් ඒ සඳහා හොඳම තණකොළ වවාගැනීමට අවශ්‍ය බවත් පැවසෙනවා. හොන්දම් තණකොළ තීරණය වන්නේ වවනා ප්‍රදේශය මත බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.  එනම ඒ සඳහා ප්‍රමුඛ වන්නේ අදාළ ප්‍රදේශයේ පාංශු දේහයන්ගේ ගුණාගුණ බවයි.

කෙසේවෙතත් ලෝකයේ කොයි ප්‍රදේශය සැලකූවත් පසේ ගුණාගුණ මත ඒ මත වැවෙනා ශාක රටාව වෙනස් වන බව පැහැදිලි කරුණකි. ඉන් ගම්‍ය වන්නේ ශාක වැඩිම සඳහා අවශ්‍ය වන එක් එක් පෝෂක කොටස් ලබා දෙන්නේ පස් මගිනි. පාංශු ස්ථරයේ ඝනකම ලොව සෑම තැනකම එකම ලෙස හමුවන්නේ නැත, සමහර ස්ථානවල පාංශු ස්ථරය දක්නට නොලැබෙන අතර හමුවන්නේ පාෂාණ උද්ගතයන් පමණකි. සමහර ස්ථානවල ඉතා විශාල පාංශු ස්ථර දැකගත හැකිය. මේ වෙනස බොහෝ විට දේශගුණය සහ දාල ප්‍රදේශයේ කාලගුණය මත පදනම් වන අතර ජීර්ණය වන පාෂාණයේ ගුණාගුණ මතද රඳා පවතින බව අප අමතක නොකළ යුතුය. එයට අමතරව ශාක වැස්ම මගින් ඇතිකරන බලපෑම ද නොසලකා හල හැකි නොවේ.

ඒ අනුව ඉතා හොඳින් පැහැදිලි වන සත්‍ය නම් පාංශු දේහයන්ගේ ගුණාගුණ පවතින ප්‍රදේශයට සාපේක්ෂ වන බවයි. එනිසා මේ කාරණය බොහෝ විට ජීවීන්ගේ සෞඛ්‍ය උදෙසා ද බලපාන බව අපට අනුමාන කල හැකි. එවැනි ප්‍රදේශවල වැවෙන ශාක තම පෝෂණය උදෙසා ලබා ගන්නා ජීවින් තුල ඒ අනුව ඇතිවන විපරියාසයන් දැක ගත හැක. මෙවර භූ සංචාරිතයෙන් මා පවසන්නට යන්නේ එවැනි සිද්ධියක් වාර්තා වන ප්‍රදේශයක් පිළිබඳවයි. තම දේහයට අවැසි පෝෂණ කොටස්, විශේෂයෙන්ම පාංශු ඛණිජ ලවණ නිසි පරිදි තම ආහාරයන් මගින් නොලැබෙන්නේ නම් බොහෝ ජීවින් එය කෙලින්ම පසෙන් ලබා ගන්නා අවස්ථා ඕනා තරම් ලෝකයේ විවිධ ස්ථාන වලින් වාර්තා වෙයි. මේ සිදුවීම් හඳුන්වන්නේ “පාංශු භක්ෂණය” (geophagy) නමිනි.

මානවයන් ද ඇතුළුව ලෝකයේ බොහෝ සතුන් මෙම හැසිරීම දක්වන බව මේ වන විට අනාවරණය වී ඇත. බොහෝ විට සෝඩියම් වැනි ඛණිජ ලවණ ලබා ගැනීම සඳහා ලවණ අවසාදනය වූ ගල් ගුහා කරා මෙම සතුන් ඇදෙන බවත් එමනිසා එම ගුහා වල විශාලත්වය වැඩි වී ඇති බවත් අත්‍යන්ත කරුණකි. උදාහරණයක් ලෙස ගත හොත් කෙන්යාවේ ‘කිතුම්’ නම් වූ ගල්ගුහාව මෙලස විශේෂයෙන්ම හස්තීන්ගේ ග්‍රහණයට හසු වූ ස්ථානයකි. ගුහාව මීටර සියයකට වැඩ දුරකට හෑරි විශාල වී ඇත්තේ මෙලෙස හස්තීන්ගේ කැණීමට හසු වූ නිසාවෙනි. මේ තත්වය හස්තීන්ගේ පමණක් නොව කුරුල්ලන් සහ වනයේ වසන අනෙකුත් ක්ෂිරපයින්ගේ පවා දැකිය හැකි බව විද්‍යත්මක පර්යේෂණ වලින් තහවුරු වී ඇත. විශේෂයෙන්ම මේ තත්වය අප්‍රිකාව වැනි ප්‍රදේශ වලින් ඉතා ප්‍රමුඛව වාර්තා වෙයි.

අප්‍රිකාවේ ගෝත්‍ර අතර පවතින “මානව පාංශු භක්ෂණය” ද සතුන් අතර පවතින්නාක් මෙන් ඉතා පොදු ධර්මතාවක් බව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ගැබිණි කාන්තාවන් සහ ළමුන් අතර මේ තත්වය හඳුනාගෙන ඇත. බටහිර වෛද්‍යක්‍රමයට අනුව මෙය එක්තරා රෝගයක් ලෙස ද ඔවුන් හඳුන්වා දී තිබේ. මේ තත්වය ග්‍රීසියේ 14 වන ශතවර්ෂයේදී පවා හඳුනාගෙන ඇත. මෙවැනි සමහර සිදුවීම් ශ්‍රී ලංකාවෙන් පවා වාර්තා වී ඇති බව මා හට මතකයක් ඇත.

අප උඩවලව යන්නේ අලි බැලීමටයි. ඔබ නොදන්නවා වූවාට උඩවලවේ අලින් ද මේ ආකාරයේ හැසිරීමක් දක්වන බව වාර්තා වී ඇත. වසර ගනනාවකට ඉහත දී මා මිත්‍ර පශු වෛද්‍ය දීපානි ජයන්තා මහත්මිය සමග උඩවලවේ අලින්ගේ පාංශු භක්ෂණ ප්‍රදේශයන් දැක බලා ගැනීමට මා හට ඉතා කදිම අවස්ථාවක් ලද්දෙන් ඒ පිළිබඳව යම් තරමකට හෝ අධ්‍යනය කරන්නට හැකියාව ලැබුණි. උඩවලව ජාතික උද්‍යානයෙන් ඔබ්බෙන් වූ මෙම ප්‍රදේශ වලට ද තම පාංශු භක්ෂණය සඳහා අලින් පැමිණෙන බව අපගේ නිරීක්ෂණ කටයුතු වලින් ඉතා හොඳින් පැහැදිලි විය. මේ තත්වය වනෝද්‍යාන තුලද ඉතා බහුලව දැකිය හැකි බවත් අසන්නට ලැබුණි.

අප සිදුකල අධ්‍යනයෙන් අපහට පැහැදිලි වූ කාරණාව වන්නේ ඔවුන්ගේ භක්ෂණයට ලක් වන්නා වූ ස්ථාන බොහොමයක් ප්ලෑජියෝක්ලෙස් (plagioclase) නම් වූ ඛනිජය ඉතා බහුලව හමුවන ස්ථාන බවයි. ඉතා හොඳින් පැහැදිලි වූ කරුණ වන්නේ ඔවුන්ගේ පාංශු භක්ෂණය නම් සෝඩියම් අඩංගු ලුණු සඳහා නම් නොවන බවයි. එවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ නම් ඔවුන් අනිවාර්යෙන්ම අසල ගම්මාන වලට කඩා වදිනා බවත් එම ගෙවල ඇති ලුණු ආහාරයට ගන්නා බවත් සිතිය හැක. නමුත් කලාතුරකින් එවැනි සිදුවීම් වාර්තා වුවත් එය බහුලව වාර්තා නොවන බවයි අපට පැහැදිලි වන්නේ.

එසේ නම් ඔවුන් කවර කාරණයක් සඳහා මේ පාංශු භක්ෂණයේ යෙදෙන්නේ ද බව ඇත්තෙන්ම ගැටලුවකි. මා කල අධ්‍යයන වලින් පැහැදිලි වූ  ඉහත සඳහන් කල කාරණය යම් ආකාරයක පිළිතුරක් මේ සඳහා ගෙන එන බව සිතිය හැකිය. අනුමාන වශයෙන් පැහැදිලි වන කරුණ වන්නේ පාංශු භාකෂණයට ලක්වන ප්‍රදේශයේ භූ විද්‍යත්මක පසු බිම ගෙන එන්නේ පෙග්මටට්යිට් (pegmatait) නම් වූ පාෂාණ විශේෂය හෝ ප්ලෑජියෝක්ලෙස් (plagioclase) බහුලව අඩංගු ඛණිජ තීරු දක්නට ඇති ස්ථාන බවයි.  සුදු පැහැති ඛනිජයක් වන මෙහි රසායනික සංයුතියේ කැල්සියම් අඩංගු බව පෙන්වා දෙයි. එසේ නම් උඩවලව අලින්ගේ මේ ව්‍යායාමය තම කැල්සියම් අවශ්‍යතාව සපුරා ගැනීමට විය හැකිය.

මේ හැසිරීම් තත්වය උඩවලවේ අලින් පමණක් නොව විවිධ සිවුපාවුන් ද කුරුල්ලන් ද පෙන්වන අපට එම නිරීක්ෂණ චාරිකාවේ දී පැහැදිළි වූ කරුණකි. කෙසේ වෙතත් යම් ප්‍රමාණයකට දීර්ඝව සහ විස්තරාත්මකව අධ්‍යනයට ලක් කල යුතු කාරණයක් බවයි මාගේ අදහස වන්නේ. මා මිතුරු දීපානි ජයන්තාට නොවක තුති පිරිනමන්නේ මේ කදිම කාරණය ගැන යම් ප්‍රමාණයකට හෝ අවබෝධයක් ලබා ගැනීමට මා හට අවස්ථාව ලබා දුන්නාටයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...