Friday 18 May 2018

විදු පත් ඉරුව
2015.06. 10

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ගවේෂණ සංගමය මා හට බොහෝ අපූරු සහ අනර්ඝ අත්දැකීම් ගෙන දුන් තැනකි. "ඇවිද්ද පය දහස්‌ වටී" යන කියමනට සැබෑ අරුතක්‌ එක්‌ කරන මේ ගවේෂණ සංගමය ගවේෂණයට ලැදියවුනට මහාර්ඝ සම්පතකි. දශක හතරකට (1971) පමණ පෙර ස්‌වාභාවික විද්‍යාවන් හැදෑරූ සිසුන් කිහිප දෙනකු විසින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද මේ සංගමය මා ඉගෙන ගන්නා කාලය වන විට විශාල පිරිසක්‌ සමග බොහෝ සක්‍රිය ව ක්‍රියාත්මක විය. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරන මහාචාර්ය නවරත්න ඇදුරුතුමා ද මෙහි එක්‌ ආරම්භක සාමාජිකයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඉන්නා ගවේෂණශීලී සිසු දරුවනට තම අත්දැකීම් වැඩි දියුණු කරගැනීමටත් තම විෂය ක්‌ෂේත්‍රයට අදාළ දැනුම දියුණු කරගැනීමටත් මේ සංගමය කදිම තෝතැන්නකි.

මේ ගවේෂණ සංගමයේ එකල ප්‍රධාන ක්‍රියාකාරකම වූයේ කඳු ඇසුරු කරගත් ගවේෂණයි. හන්තාන, ලුල්කඳුර, මොණරකන්ද, දොළොස්‌බාගේ, හුන්නස්‌ගිරිය, අලගල්ල, පිදුරුතලාගල යනාදී මහනුවර වටා වූ කඳු ශිඛරයන් හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් පිළිබඳව කරුණු රැස්‌ කරගැනීමට ඒ හේතුවෙන් අපට හැකි විය. සමහර විටෙක ප්‍රමාණය සියය ද ඉක්‌මවූ අවස්‌ථා විය. බොහොමයක්‌ දෙනා විශ්ව විද්‍යාලයයේ නේවාසික ව විසූ හෙයින් දහවල ආහාරය සදහා රැගෙන ගියේ එහි ආපන ශාලාවලින් මිල දී ගත් යමකි. ගමනේ දී ඒ දේවල් බෙදා හදාගත් බැවින් අඩුපාඩුවක්‌ නො වී ය. හැරත් ගවේෂණය ම මූලික වූ හෙයින් ආහාරය එතරම් වැදගත් වූයේ ද නැත. ගවේෂණ කණ්‌ඩායම මුළු විශ්ව විද්‍යාලයය ම නියෝජනය කළ හෙයින්, ඒ ඒ ක්‌ෂේත්‍ර පිළිබඳ දන්නා ඒ ඒ පුද්ගලයන් විසින් අදාළ කරුණු සදහා අදාළ ස්‌ථානවල දී කණ්‌ඩායමේ සියල්ලන් ම දැනුවත් කරන ලදි. එනිසා ම මේ ගවේෂණ චාරිකාවන් අවසන දැනුම් සම්භාරයක්‌ එක්‌ කරන්නට සමත් විය. මා ගේ භූ විද්‍යා දැනුම ද වර්ධනය කරගන්නට එය මනා පිටිවහලක්‌ විය.

මේ ගවේෂණවල දී අප භාවිත කළ මාර්ග බොහෝ පිරිස්‌ ගමන් ගත් ඒවා විය. එනිසා ම බොහෝ අපද්‍රව්‍ය රැඳී තිබිණි. විශේෂයෙන් ම පොලිතින් වැනි කෘත්‍රිම දෑ බොහෝ විය. එක්‌ ගවේෂණයක දී මේ පිළිබඳ අවධානය යොමු කළ අප අතර සිටි සාමාජිකාවක කළ යෝජනාවකින් අප යන මාර්ගයේ වූ නො දිරන දෑ එකතු කරන්නට කිහිප දෙනකු තීරණය කළ අතර ක්‌ෂණයකින් එය ක්‍රියාත්මක විය. හන්තාන සංරක්‌ෂණ සංගමයේ සාමාජිකයන් ද ඒ අතර සිටි බැවින් එය පහසු විය. එදා පටන්ගත් එම යහ කටයුත්ත අප විශ්ව විද්‍යාලයයෙන් අයින් වන තුරු ම ක්‍රියාත්මක විය. අපි රැගෙන ගිය සියලු ම දෑ ද නැවත රැගෙන ඒමට වගා බලාගත්තෙමු. එදින ගත් ඒ අපූරු තීරණය එකල ගවේෂණ සංගමයේ නීතියක්‌ බවට පත් විය. අපට සොඳුරු අත්දැකීම් සහ දැනුම ලබා දුන් පරිසරයට කෘතුගුණ සැලකීමට ඒ අයුරින් හෝ හැකි වීම සතුටට කරුණක්‌ විය. පරිසරයට ලැදි මෙවැනි කණ්‌ඩායම් අතර පරිසර හිතකාමී කටයුතු ක්‍රියාත්මක කිරීම ඉතා පහසු වුවත් අනෙකුත් පිරිස්‌ අතර දී නම් එය මහත් අභියෝගයකි.

හන්තාන සංරක්‌ෂණ සංගමය මූලිකව විශ්වවිද්‍යාලය තුළ ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි විය. පාලක මණ්‌ඩලයේ ද ආශිර්වාදය මැද දැනුවත් කිරීම් ද සිදු කළ අතර පසුව විශ්වවිද්‍යාලයෙන් බැහැරට ද ක්‍රියාත්මක කිරීමට හැකි විය. එහි දී එකල විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනය හැදෑරූ මා මිතුරු පශු වෛද්‍ය දීපානි ජයන්තා මහත්මිය ගේ මැදිහත් වීමෙන් තරුණ සත්ත්වවේදීන් ගේ සංගමය හා එක්‌ ව ශ්‍රී පාදස්‌ථානයේ කසළ එකතු කිරීමේ වැඩසටහනක්‌, 2000 වසරේ දී ක්‍රියාත්මක කිරීමට හැකි විය. මැයි මස පොහොය දිනයේ දී ශ්‍රී පාද වන්දනාව අවසන් වන හෙයින් එදින මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගත් අතර නල්ලතන්නියේ දී කණ්‌ඩායම් දෙක එක්‌ වී ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවී ය. නඩය ඉහළට කරුණා කරන අතර, මාර්ගය දෙපස වූ නො දිරන ද්‍රව්‍ය එකතු කරමින් මලුවලට පුරවා ඒ ඒ තැන්වල තැබුවෙමු. හවස්‌ වන විට ක්‍රමයෙන් ශ්‍රී පාදයට ළං වූ අතර රාත්‍රිය එහි ම ගත කර පසු දින පහළට බසින විට තැන් තැන්වල තැබූ කසළ පිරි මලු පහළට

රැගෙනැවිත් එක්‌ තැනක ගොඩ ගැසූ අතර මේ කසළ රැගෙන යැමට ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව එක්‌ ව වැඩපිළිවෙළක්‌ යොදා තිබිණි. පසුව කළ විමසීමක දී මෙලෙස එකතු කළ නො දිරන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් එකක්‌ පමණ විය. මා ගේ මතකය නිවැරැදි නම් මේ සත්ක්‍රියාව දිගට ම සිදු වූ බවයි සඳහන් වන්නේ. පසුකාලීනව පොලිතින් වැනි ද්‍රව්‍ය පූජා භූමියට ගෙන යැම ද තහනම් කිරීමට මේ ක්‍රියාව හේතු වන්නට ඇත. එය හොඳ තීරණයක්‌ වුවත් නීතිවලින් වළක්‌වාලීමට වඩා ජනතාව මෙහි අහිතකර බව තේරුම්ගෙන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම ය වැදගත් වන්නේ.

මේ ආකාරයට ම ඒ කාලයේ ම අනුරාධපුර පූජා භුමියේ ද පොසොන් උත්සවය වෙනුවෙන් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්‌ හන්තාන සංරක්‌ෂණ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද අතර ඒ සදහා ඒ අවට ප්‍රධාන පාසල්වල දරුවන් ද සහභාගී කරවාගැනීමට හැකි විය. එය ඉතා ම හොඳ අවස්‌ථාවක්‌ වූයේ කසළ කළමනාකරණය පිළිබඳව එම පාසල් දරුවන් දැනුවත් කිරීමට හැකි වීමත් ඒ සම්බන්ධව අත්දැකීම් ලබා දීමට හැකි වීමත් නිසා ය. මෙවැනි කර්තව්‍යයන්වල දී පාසල් දරුවන් ගේ සහභාගීත්වය ඉතා වැදගත් වන්නේ රට කරවන අනාගතය ඔවුන් වන නිසාවෙනි.

මෙවැනි යහ ක්‍රියාවල යෙදීම එතරම් පහසු කටයුත්තක්‌ නො වේ. එය විටෙක උඩුගං බලා යැමෙකි. මන්ද යත් මෙවැනි දේ පහදා දීමේ දී ද, ක්‍රියාත්මක කිරීමේ දී ද විවිධ බාධක එල්ල වන බැවිනි. එහෙත් අන් මත ඉවසීමෙන් ද, හොඳින් ඇහුම්කන් දීමෙන් ද, ස්‌ථානෝචිතව ක්‍රියාත්මක වීමෙන් ද, කලබල නො වීමෙන් ද, කල්යල් බලා වැඩ කිරීමන් ද, ප්‍රායෝගිකව උදාහරණ දෙමින් ද, ගුණගරුක වීමෙන් ද මෙවැනි සත්ක්‍රියා සාර්ථක කරගැනීම අපහසු නො වන බව ය මා ගේ අත්දැකීම වන්නේ. කෙසේ වෙතත්, පරිසර ආරක්‌ෂණය උදෙසා කටයුතු කිරීම අප සියල්ලන් ගේ ම අනාගත සුබසාධනය සදහා හේතු වන බව නම් නොඅනුමාන ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...