Monday 29 July 2019

විදුපත්ඉරුව
16.11.2016

මානව වංශ කතාව දිගහැරෙන්නේ අදින් වසර මිලියන දෙක හමාරකට පමණ පෙර සිට වුව ද, මේ ගත වන අවසාන වසර පන් දහස තුළ ඔහු ගේ අත්‍යන්ත පරිණාමය අතිශය ශීඝ්‍ර වූ වෙනස්‌කම්වලට ලෝකය නතු කරන්නට හේතු වී ඇත. ඒ සොබාවික පරිසරයෙන් ඔහු ගේ පැවැත්ම සපුරා ම වියුක්‌ත වීම ම බව මධ්‍යස්‌ථව මේ ගැන විමර්ශනය කරන විට හොඳින් පැහැදිලි වේ.

එනමුත් ඉතා කදිමට නිදහස්‌ ව පැතිර පවත්නා සොබාදම් මාතාව මේ තරම් ම වියරු වට්‌ටන්නට තරම් නොමනා කෙණෙහිලිකම් කරන්නට මානවයා ආත්මාර්ථකාමී කුහකයකු වූයේ කෙසේ ද යන්න කෙදිනක වත් වටහාගන්නට කිසිවකුට වත් හැකි නො වන්නේ ම ය. එනිසා ම මානවයා පාරිසරික දම්වැලෙහි තවත් එක්‌ පුරුකක්‌ ය යන්න කිසි දිනක සිහියට නොනැෙගනු ඇත. සිහියට නගන්නේ වී නම් ඒ සියලු ජීවය මෙලොවින් තුරන් වී මානවයා මෙලොව තනි වූ කලෙක ම පමණකි.

දෙපා සංචරණයෙන් මානවයා ලද්දේ අපමණ භාග්‍යයකි. ඒ තම දෙඇස්‌ උස්‌ තැනකට එසවී නිරීක්‌ෂණ වපසරිය පුළුල් වීම ද ත්‍රිමානීයව දර්ශන ග්‍රහණය කරගැනීමට හැකි වීම ද මත පමණක්‌ ම නො වේ. ධාරිතාව පුළුල් වූ කපාලයෙන් බිහි කරනා සියුම් සහ සංකීර්ණ තීන්දු තීරණ ද, නිර්මාණශීලී උත්පාදන ද, නිදහස්‌ වූ දෙඅතින් කදිමට කළ ප්‍රතිනිර්මාණ ද ඊට හේතු විය. කෙසේ වුව ද මානවයා ගේ මොළයේ "කපටි භාගය" ක්‍රියාත්මක වී තමා ගේ ම ලෝකයක්‌ මවන්නට ඔහු පෙලඹීම එක්‌තරා ආකාරයකට සොබාවික පරිසරයේ අභාග්‍යයක්‌ බව කිව යුතු ය. පෘථිවි ජීවී පරිණාමයේ උත්කෘෂ්ඨයා වන්නට තරම් වාසනාව ලද්දේ මුත් මානවයා සොබාදහමින් වියුක්‌ත වීම සකල ලෝකවාසී ජීවීන්ට තම පරිණාමයේ අවසන් හෝරා කිහිපය ගත කරවන්නට තරම් බලපා ඇත.

සොබාවික පරිසරය ජය ගැනීමේ නොසන්සිඳෙනා ආශාවෙන් මත් වූ මානවයා ඒ සියල්ල තමා සතු කරගැනීමට වෙහෙස වූ අයුරු ගත වූ මෑත ශතවර්ෂවල දී ඔහු කළ කී දැයින් මනාව තේරුම් යයි. ඒ සියල්ල සොබාවික පරිසරය හා බද්ධ වන්නට නොහැකි වූ අතිශය කෘත්‍රිම සහ මානවීය දැ පමණක්‌ වූ හෙයින් සොබාදම් මාතාව රිදවන්නට සමත් වී ඇත. එය එසේ නම් මානවයා අනෙකුත් ජීවීන් මෙන්ම සොබාවික පරිසරයේ ම එක්‌ කොටසක්‌ ය යන මතය තවදුරටත් දැරිය හැකි ද යන්න අපට පැනනගින ගැටලුවයි.

වානර පරිණාමයේ කෙළවර පෘථිවි වාසීන්ට අතිශය භයානක තත්aත්වයක්‌ උද්ගත කරවා ඇති බව විටෙක හැඟී යන්නේ බොහොමයක්‌ මානව ක්‍රියාකාරකම් ජීවීන් ගේ සියලු වාසස්‌ථාන විනාශ කරමින් ද, ආහාර ද ජලය හා වායු ගෝලය විෂ කරමින් ද සියල්ලන්ට මරණය කැඳවමින් සිටිනා මොහොතක ය. තවමත් නො දන්නේ වී මුත් හඳුනාගන්නට ද අසමත් වූ ජීවීන් කොපමණ සංඛ්‍යාවක්‌ දිනක දී වඳ වී යන්නේ දැයි කිසිවකුටත් පැවසිය නොහැකි ය. එනමුත් ඒ මානව ක්‍රියාකාරකම්වල සෘජු දායකත්වය නිසා යෑයි අපට පැවසිය හැකි වෙයි. දැන් දැන් මතු වන්නා වූ සොබා දහමේ විපරීතයන්, සොබාදහම වින්දා වූ අනේක විධ දුක්‌ කරදරවල ප්‍රතිඵල නො වේ යෑයි කිව හැකි වේ ද? ඉතා ව්‍යසනාත්මකව සිදු වන්නා වූ කාලගුණික විපර්යාසයන් යනු සොබාදහමෙන් වියුක්‌ත ව මානවයා තමා ම තනාගත් කෘත්‍රිම ලෝකය යටපත් කරන්නට සොබාදහම දරනා තැත බව අප වටහාගත යුතු ය.

විශ්වීය ශක්‌තිය ගැබ් වූ හයිඩ්‍රජන් විලයනයේ ඵල නිදහස්‌ කරන සූර්යයා ගේ පිහිටෙන් දිවෙනා බොහොමයක්‌ පෘථිවි චක්‍රීය ක්‍රියාකාරකම් අභ්‍යන්තරිකව සොලවා දමන්නට මෑතකාලීනව බිහි වූ මානව බටහිර විද්‍යාවට කෙතරම් දුරකට හැකි වී දැයි දැන් දැන් අපි තේරුම්ගනිමින් සිටිමු. ප්‍රභාසංශ්ලේෂණයෙන් තිර වූ විශ්ව ශක්‌තිය කාලයා ගේ ඇවෑමෙන් පොළොව අභ්‍යන්තරයේ සඟවන්නට එකල

පැරැණි සොබා දහම උත්සුක වූයේ කුමන කරුණක්‌ නිසා වුව ඒ හේතුව නම් කිසි දිනක මතු බිහි වන මානවයා උදෙසා නම් නො වන බව ඉතා හොඳින් පැහැදිලි වන්නේ ඔහු පෙළොව විද, සාරා, ගොඩ දා, ඉන් පසු දවා හළු කරමින් වායුගෝලය කිළිටි කරනා අයුරු ඉතා හොඳින් දක්‌නට ඇති බැවිනි.

වර්තමානය වන විට ජීවයේ ජීවනාලිය වන දිය පිපාසය සන්සිදිය යුත්තේ මානව වර්ගයා ගේ පමණක්‌ වී ඇතැයි සිතෙනා තරමට ම ජල චක්‍රය මානවයා තම ග්‍රහණයට නතු කරගෙන ඇති බව පෙනී යයි. ජලය තමනට අවැසි දෑ සදහා පමණක්‌ යොදවන්නට තරම් මානවයා අකාරුණික වී ඇත්තේ එහි තනි අයිතිකරු තමා බව පෙන්වමිනි. එහෙත් ජල සම්පත් කෙමෙන් කෙමෙන් වියෑකී යන්නේ ද ජල චක්‍රය අවුල් වී ඇත්තේ ද සංරක්‌ෂණයේ අවශ්‍යතාව පමණක්‌ නො ව අන් සියල්ලන් සදහා ද ජලයේ අයිතිය ඇති බව අමතක කර ඇති සමයක ය.

මානව වංශකතාවේ ආරම්භයේ මුල් පියවර අත්‍යන්තයෙන් ම ශක්‌තිමත් වූයේ සොඳුරු සොබාදහමෙන් බව අමුතුවෙන් විග්‍රහ කළ යුතු නො වේ. එහෙත් ඔබේ අවධානය යොමු වේ නම් මාංශ භක්‌ෂකයකු ලෙස ඇරඹි ඒ ගමන ගහ කොළ ද සතා සිවුපාවන් ද හික්‌මවා හීලෑ කරගත්තේ මානවයා තම වියුක්‌ත මාවත තෝරාගත් අවස්‌ථාවේ සිට බව පැහැදිලි වේ. සියලු පාරිසරික සම්පත් තනි අයිතියට නතු කරගන්නට මේ දෙපා සංචාරකයාට වැඩි කාලයක්‌ ගත වී නොමැති බව පෙනී යයි. සර්වභක්‌ෂක සම්ප්‍රදායට කැමැති වී තමනට ඇවැසි ඇත්තන් පමණක්‌ හදා වඩාගන්නට පෙලඹීම ම සොබා ජීවීන් ගේ ගමන් මගින් මානවයා කෙතරම් දුරකට ඉවත් වී ඇත් දැයි යන්න කදිමට පිළිබිඹු කරන්නකි.

සොබා දහමෙන් ම බිහි වී සොබා දහමට ම වින කිරීම මෙලොව වසනා එක ම බුද්ධිමත් ජීවියාට තරම් වේ දැයි සිතනා විට ඔහු ගේ වර්ධනය වූ බුද්ධිය කොහේ දැයි ඇසීමට සිත් වීම වැළැක්‌විය නොහැකි ම ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  වර්ණ සහ ලෝහ ඛනිජ 06/01/2024 මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා   පවසනුයේ පර්යේෂණයෙන් සොය...