Monday 14 September 2020

ශ්‍රී ලංකාවේ සිටි ජුරාසිකයෝ....!!!

භූ සංචාරිතය 26

This article is originally published on Vidusara, 05.09.2020

ප්‍රාග් පරිසරයේ කලෙක මෙළොව රජ කෙරුවෝ නම් උරගයෝය. ඔවුහු මෙදින සිට වසර මිලියන දෙසිය පනහකට පමණ පෙර සිටියෝ වෙති. ඔවුන්ගේ ආරම්භය දිව යන්නේ ක්‍රිටේසියස් කාල වකවානුවටයි. එතැන් පටන් උරගයෝ සෑම මහාද්විපයකම සැරිසරන්නට ඇත. පසුව පැමිණි ජුරාසික යුගය ඔවුන්ගේ ස්වර්ණමය යුගය වන්නට ඇත. ඔවුන් හා සමගාමිව මෙළොව පරිණාමිකව ප්‍රමුඛ ශාක ප්‍රජාව වූයේ අපුෂ්පක ශාකයි. ඒ අතර විවිධ වර්ගවල පර්නාංග ද ප්‍රමුඛව පැවතී ඇත.

වඩා විශ්මය ජනක කාරණය වන්නේ සියයට අසුවක් පමණ වූ මෙරට භුමි භාගය ප්රෝටෙරෝසොයික් කාලයේ නිර්මාණය වූ පැරණිම විපරිත පාෂාණ වලින් සමන්විත වෙද්දී  ඉතා කුඩා භුමි භාගයක ජුරාසික යුගය පිළිබඳ සටහන් වූ ප්‍රාග් ජීව ධාතු සමුහයක් ඉතිරි වීමයි. මෙවර භූ සංචරිතයෙන් අප කතා කරන්නේ එලෙස ඉතිරි වූ අපූරු පාෂාණ සහිත භූ භාගය පිළිබඳවයි.

තබ්බෝව ප්‍රසිද්ධ වන්නේ එම ප්‍රදේශයේ පැරැන්නන් නිර්මාණය කරන ලද වාරි කර්මාන්තයක් හේතුවෙනි. තබ්බෝව වැව කවුරුත් දන්නා එම නිර්මාණයයි. ප්‍රාග් ජීව ධාතුන් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නන් ගේ අවධානය මෙම ප්‍රදේශයට යොමුවන්නේ මෙම වාරි කර්මාන්තය නිසා නම් නොවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්ථානයේ හමුවන වසර මිලියන දෙසීයක් පමණ පැරණි වූ ජුරාසික යුගයේ හමුවන ප්‍රාග් ජීව ධාතුන් බව අමතක නොකළ යුතුය.

මෙහි හමුවන ප්‍රාග් ජීව ධාතුන් වන්නේ එකළ පැවති ඉපැරණි ශාක සමුච්චයකි. ඒවා බොහොමයක් පර්නාංග බව හඳුනාගෙන ඇත. මෙම අපූරු ප්‍රාග් ජීව ධාතුන් ඉතාමත් කදිමට සම්පීඩනය වී ඇත්තේ මඩගල් (Mudrocks) තුලයි. මෙම මඩගල් යනු අවසාදිත පාෂාණයක් බව අප මතක තබා ගත යුතුය. ඉතා සියුම් මඩ ඛණිකා අවසාදනය වීමෙන් මෙම මඩගල් නිර්මාණය වේ. මඩගල් නිර්මාණය වන සියුම් මඩ ඛණිකා ඉතා අපුරුවට ඒ අතර සිරවූ ඉහත කී ශාකා වර්ග වල පත්‍ර ප්‍රාග් ජීව ධාතුන් බවට පත් කර ඇත. මෙම මඩ ගලේ විශේෂත්වය වන්නේ ශාක පත්‍ර සම්පීඩනය වීමෙන් ඒවා මඩ තුල තෙරපුණ සටහන් බවට පත් කර ඇත.

මඩගල් වල විශේෂත්වය වන්නේ සියුම් ලෙස තුනී ස්තරවලට පැලීමට හැකි වීමයි. එලෙස පැලු මඩගල් තුනී ස්ථර අතර සිරවී තෙරපුණ ශාක පත්‍ර වල සටහන් අපුරුවට නිරීක්ෂණය කල හැකිය. කොතරම් අපුරුවට මේවා තෙරපි සටහන් වී ඇත්දැයි පැවසුවහොත් ශාක පත්‍රවල කුඩා සියුම් නාරටි පවා නිරීක්ෂණය කල හැක. හැඩයද නාරටි රටාව ද නිරීක්ෂණයට ලක් කිරීමෙන් කවර ආකාරයේ ශාක විශේෂයකට අයත්දැයි දැන හඳුනා ගැනීමට හැකිය.

මෙම ස්ථානයේ මඩගල් වලට අමතරව වැලිගල් ද හඳුනාගත හැකිය. වැලිගල් හා කරන ලද නිර්ක්ෂණයන් පවසන්නේ මෙම වැලිගල් වල වැඩි ප්‍රතිශතයක් අසම්පුර්ණ ලෙස ජීර්ණය වූ ෆෙල්ඩ්ස්පාර් නම් වූ ඛණිජය අඩංගු වන බවයි. එනිසා මෙම වැලිගල් වලට සුවිශේෂී නමක් භූ විද්‍යාඥයින් විසින් පට බැඳ ඇත. එනිසා ඒවා “ආකොසොයික් වැලිගල්” ලෙස හඳුන්වයි. ඔබ අප කවුරුත් හොඳින් දන්නා පරිදි ෆෙල්ඩ්ස්පාර් ඛණිජයේ පරිපුර්ණ ජීර්ණය අවසානයේ ගෙන එන්නේ මැටි ඛණිජයි. මැටි ඛණිජ වෙනුවට අසම්පුර්ණ ලෙස ජීරණය වූ ෆෙල්ඩ්ස්පාර් ඛණිජ තැන්පත් වී සෑදුන ආකොසොයික් වැලිගල් කියා පාන්නේ ඉතා කෙටි දුරක් පරිවහනය වූ බවයි. ජීර්ණ ක්‍රියා දාමය පරිපුර්ණ වීමට මත්තෙන් අවසාදනය වීම මෙවැනි ආකොසොයික් වැලිගල් නිර්මාණය කරන්නට හේතු වෙයි. ආකොසොයික් වැලිගල් රෝස පැහැයක් ගනී. එයට හේතුව වන්නේ ඔක්සිකරණය වූ යකඩ අයන විය හැක.

මඩගල් ද වැලිගල් ද එකිනෙක පරයමින් මෙහි වූ ද්‍රෝනියක තැන්පත් වීමෙන් අපහට පවසන්නේ එකල පැවති ප්‍රාග් කාලගුණික සොබාව කෙලසකදැයි යන්නයි. භූ විදඥයින් පවසන ආකාරයට මෙම අවසාදිත නිධිය බිහිවන්නේ ගොඩබිම වූ ජලාශයකට මෙම අවසාදිත ගොනු වීමෙන් බවයි. ජලාශයකට ගොනු වී ඇති බව අපට පැහැදිලි කර දෙන්නේ කුඩා කුඩා ජල පහරවල් හා ගැටී මෙම අවසාදිත ගොනුවේ නිර්මාණය කල ජල පහරවල් මෙහි සටහන් වීමෙනි. කලින් තැන්පත් වූ අවසාදිත ගොනු කපා දමමින් නිර්මාණය වූ එම ජල පහරවල ද එක් රැස් වූ අවසාදිත ස්ථර ද මෙහිදී දැකගත හැක. ඒවා ඉතා කදිමට මෙම අවසාදිත ගොනුවේ සටහන් වී ඇත.

පර්නාංග වලට අමතරව මඩු වැනි අපුෂ්පක ශාක ද එහි වූ බවට සාක්ෂි හමු වේ. මෙම අවසාදිතත් එහි හමුවන ශාක සටහනුත් ජුරාසික යුගයේ බවට සාක්ෂි හමු වූවද, එකල රජ කෙරු දැවැන්තයින් ගැන නම් මේ වන තෙක් කිසිදු සාක්ෂියක් සොයා ගන්නට තරම් අප වාසනාවන්ත වී නොමැත.  මෙතරම් කදිමට ගොනු වූ ප්‍රාග් ජීව ධාතුන් හා ඔවුන්ගේ පා සටහනක් හෝ හමු නොවන්නේ මන්ද යන්න ඇත්තෙන්ම ගැටලුවකි. ඒ සඳහා හේතුවන්නේ අප තවමත් විධිමත් ගවේෂණයක් නොකර ඇති නිසා විය හැක. මෙම අවසාදිත පාෂාණ ගොනු තබ්බෝවේ පමණක් නොව ආඬිගම ප්‍රදේශයේද හමුවන බවට සාක්ෂි අත්තේමුත් එම  අවසාදිත පාෂාණ හමුවන්නේ චාතුර්ථ අවධියේ අවසාදනය වූ අවසාදිත තට්ටු වලට යටවී ඉතා ගැඹුරෙනි. බොහෝ විට එම පාෂාණ ස්ථර ළිං කැපීම් වැනි පොළොව හැරීමට ලක්වන ක්‍රියාකාරකම් මගින් මතුවන බව මා හට ද අත්දැකීම් ඇත.

තබ්බෝවේ ජුරාසික යුගයේ හමුවන මෙම වැලිගල් සහ මඩගල් තැන්පතු පොළොව මතුපිට දක්නට ඇත. එනිසා බොහෝ දෙනෙකුගේ අවධානය පහසුවෙන්ම යොමුවන්නේ එවැනි ස්ථාන වලටයි. පර්යේෂණ කර ඇත්තේ මෙම ස්ථානයේ හමුවන ප්‍රාග් ජීව ධාතුන් පිළිබඳවයි. එනිසා මෙම පර්යේෂණ යම් කිසි විධියකට සිමා වී ඇති බව පැවසිය හැකිය. කෙසේ වෙතත් මෙම අවසාදිත නිධියේ හතර සිමාවවත් අප තවමත් නොදන්නා බව අමතක නොකළ යුතුය. ඉහත කී කාරණය වාගේම අනෙක් කාරණය වන්නේ මෙරට භූ විද්‍යාඥයින්ගේ අවධානය ප්‍රාග් ජීව ධාතු අධ්‍යනය කෙරෙහි ඇති ඇල්මැරුණු සොබාවයයි. එයට හේතුවන්නේ මෙරට ප්‍රාග් ජීව ධාතුන් බහුල පරිසරයන් හමු නොවීම විය හැක. කෙසේ වුවද මෙම සිමාකාරී වටිනා අවසාදිත ගොනුව කෙරෙහි අපගේ අවධානය වඩ වඩාත් යොමු විය යුතු බවයි මාගේ හැඟීම වන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  අත්ලාන්තික් දක්ෂිණ උඩුකුරු සංසරණය ( The Atlantic Meridional Overturning Circulation ) නිසල වෙයිද ? සාගරය සැමවිටම චංචලය. සාගර තරංග ගැඹුරු...